නිසි ඇසු­රෙන් 'නැණ­සර' ලබන දෙවු­ෂාන් | සිළුමිණ

නිසි ඇසු­රෙන් 'නැණ­සර' ලබන දෙවු­ෂාන්

පුංචි දෙවුෂාන් අපට හමු වූයේ පාසල් නොයන දරුවන් සොයා මීගමු ප්‍රදේශයේ කළ චාරිකාවකදීය. දුෂ්කර මුහුදු දිවියේ කඩතොලු තවමත් මේ පුංචි මුහුණේ දිස් වෙතැයි සිතේ. මීගමුවේ 'නැණසර ප්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථානයට' මේ පුංචි දරුවා ආගන්තුක නැත. වයස අවුරුදු තුනක් වුවත් වයසට වැඩුණු පෙනුමක් මේ මුහුණේ දිස් නොවන්නේ සැපසම්පත් පිරි ජීවිතයක් දෙවුෂාන් අසලකට වත් නොපැමිණි නිසාය. අයාලේ ගිය, වීථිදරුවන් මෙන්ම විවිධ ආබාධිත දරුවන් රැසක්ද ඉගෙනුම ලබන මේ නැණසර ඒකකයේ සිටින පුංචිම දරුවා දෙවුෂාන්ය. පොතක පතක අකුරක් තබා වචනයක් පවා හරිහැටි උච්ඡාරණය කළ නොහැකි මේ දෙවුෂාන්ගේ කතාව අපට ආගන්තුකය.

"මීගමු කලාපයේ පාසල් නොයන දරුවන් සොයාගෙන අපි ගිය ගමනකදි තමයි අපිට මේ දරුවා හමු වුණේ. මේ දරුවාගේ අම්මා කරවල වේළනවා. දවල් කාලයේ දරුවා හැදුණේ වැඩු‍ණේ ගෙදර සුරතලයට ඇති කරන බල්ලෙක් එක්ක. ඒ වෙන කොට දරුවට හරියට කතා කරන්න බැහැ. දරුවගේ හැසිරීම් හැඩගැහිලා තිබුණේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයෙන්. සමහර උච්ඡාරණයන් පවා වෙනස්. පස්සේ අපි මේ දරුවව අපේ නැණසර ඉගෙනුම් මධ්‍යස්ථානයට ගේන්න කියලා මේ මවට බල කළා. මෙතැන මේ වගේ පුංචිම දරුවන් නැහැ. ඒත් මේ දරුවගේ තත්ත්වය අපේ හිතේ කම්පනයක් ඇති කළා. පස්සේ අපේ බලවත් ඉල්ලීම මත මේ දරුවගේ අම්මා මේ දරුවා මෙතැනට ගෙනත් දැම්මා. උදේට ගේනවා. අම්මගේ වැඩ ඉවර වෙලා හවසට ගෙදර යන කොට මේ දරුවව අරගෙන යනවා. දවල් දවසේ මේ දරුවා බලාගන්නේ මෙතන ඉන්න ගුරුවරු. මුලදි මේ දරුවට මෙතන නුහුරු නිසා අඬන්න ගත්තා. පස්සේ පස්සේ හුරු වුණා. දැන් මේ දරුවා අපිත් එක්ක ආසාවෙන් ඉන්නවා. දරුවගේ තිබුණු පුරුදු දැන් ගොඩාක් දුරට අඩු වෙලා ගිහින්. අපේ ගුරුවරු බෙදලා දෙන කෑමඑක මේ දරුවා තනියම කාලා නිදිමත වුණාම පැදුර එළාගෙන නිඳාගන්නවා. අද රටේ මේ වගේ අසරණ දරුවෝ ගොඩාක් ඉන්නවා. අපේ වුවමනාවත් මේ වගේ දරුවන් කොහොම හරි සමාජයට ගේන්න..." ඒ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සුනිල් ශාන්ත මහතාය.

අද මීගමුව 'නැණසර' ඉගෙනුම් මධ්‍යස්ථානයට උදේ සවස පැමිණෙන මේ පුංචි දරු පැටියා දැන් දවස ගත කරන්නේ පැමිණෙන සැමගේම ආදරය ලබමිනි. සිය මව, පියා, සහෝදර-සහෝදරියන් ළඟ නැතත් ඉගෙනුම් මධ්‍යස්ථානයේ සිටිනා දරු-දැරියන් මේ පොඩිත්තාට ඒ සෙනෙහස ලබා දෙයි.

  

Comments