ජිබු­ටියේදී හොඳ හෝට­ල­ය­කින් කෑමක් | සිළුමිණ

ජිබු­ටියේදී හොඳ හෝට­ල­ය­කින් කෑමක්

බෲස් නිසා වීසා නොලැබී අසරණව සිටි ඩිලන්ට ජිබුටියේදී සිංහල වදනක් අසන්නට ලැබීම කනට මී පැණි වත්කරන්නාක් මෙන් විය.

ඩිලන් ලෝක සංචාරයේ ත්‍රාසජනක මතකය ආවර්ජනය කරන අතරේ කෙතරම් ‘කටු’ කෑවත් එය තමාගේ කුඩා අවදියේ පටන් තිබූ සිහිනයක් යථාර්ථයක් කරගැනීමට දැරූ ප්‍රයත්නයක් බව පවසයි. මේ ගමනේදී ඩිලන් ඉතියෝපියාවෙන් නික්මි ලාංකිකයන්ට නුහුරු නමක් සහිත අප්‍රිකාවේ කුඩා රාජ්‍යයක් වන ජිබුටිය කරා පැමිණීමේදී සයිකලයේ ඉන්ධන අහවර වීම නිසා නොසිතූ මොහොතක ගැටලුවකට මුහුණ පෑවේ මුදල් හිඟයක් නිසාය.

“මං ඉතියෝපියාවේ අඩිස්-අබාබාවලින් එනකොටත් මගේ ළඟ තිබුණු ඉතියෝපියන් මුදල් වන ‘බීර්’ සල්ලි ඉවර වෙලා තිබුණේ. ඩොලර්නම් තිබුණා. මාරු කරගන්න උනන්දු වුණේ නෑ ජිබුටි දේශ සීමාවට ගිහින් ජිබුටි ෆ්රූන්ක්වලට මාරු කරගෙන තෙල් ගහන්නයි මං හිතුවේ. ජිබුටි දේශසීමාවට ගියාමයි දැනගත්තෙ ජිබුටි අගනුවර වූ ජිබුටියට යනකල්ම තෙල් ගන්න තැනක් නෑ කියලා. මට ඉතින් තරු පෙනුණා ඒක ඇහැව්වම.

“මං හිටිය හරියෙ ඉඳන් අගනගරෙට කිලෝමීටර් 300ක් විතර යන්න තිබුණා. තනිකරම දූවිලි කාන්තාර. මට දැන් කොහෙත්ම එච්චර දුරක් යන්න තෙල් නෑ. ඕන දෙයක් කියලා සයිකලේ නවතිනකල්ම යන්න හිතුවා. ටික දුරක් යනකොට මුස්ලිම් පල්ලියක් තිබුණා. එතැන ජීප් එකක මනුස්සයෙක් හිටියා පල්ලියට ආපු ගමන්. මං ඒ කෙනාට විස්තරේ කිව්වම එයා මාව ගෙදර එක්ක ගිහින් සයිකලේ ගෙදර තියලා මාත් සමඟ ඔහුගේ ජීප් එකෙන් තෙල් ටිකක් එකතු කරගන්න රවුම් ගැහැව්වා. අන්තිමට තෙල් ටිකක් හොයා ගත්තේ ආමි කෑම්ප් එකකින්. ඒත් හොයා ගන්න ලැබුණේ ලීටර් 5යි. මං සල්ලි දුන්නත් ඔහු මගෙන් සතයක්වත් ගත්තෙ නෑ.”

අනතුරුව ජිබුටි රාජ්‍යයේ අගනුවරට සේන්දු වූ ඩිලන්ගේ පළමු වෑයම වූයේ අප්‍රිකාවෙන් අරාබියට මාරුවීමට රතු මුහුදෙන් එපිට පිහිටි යේමනයට වීසා ලබා ගැනීමයි. ඒ සඳහා ජිබුටියේ පිහිටි යේමන තානාපති කාර්යාලය සොයා යා යුතු විය.

“තානාපති කාර්යාලයේදී මට සැලකුවේ හරිම සවුත්තු විදිහට. උන් මගෙන් 'උඹ යන්නෙ ඔය බයික් එකෙන්ද' ආදි අනං-මනං ප්‍රශ්න මහ ගොඩක් ඇහුවා. මං යේමනයට වීසා ගන්න මුලින්ම දැඟලුවේ කෙන්යාවේ නයිරෝබියේදී.”

නයිරෝබියේ පිහිටි යේමන තානාපති කාර්යාලයට ගොස් තානාපතිවරයා මුණගැසී වීසා ගැනීමට ගත් උත්සාහයද ඩිලන් විස්තර කළේය.

“තානාපතිවරයාත් මගෙන් ඇහැව්වා ‘ඔයා බයික් එකෙන්ද යන්නෙ’ කියලා. ඔහු කිව්වේ සාමාන්‍යයෙන් වාහනයකින් යනවනම් යේමනයට අසල්වැසි රටකින් තමයි විසා ගන්න පුළුවන් කියලයි. ඒ නිසා මෙහෙන් වීසා දෙන්න බෑ ගිහින් ජිබුටියෙන් විසා ඉල්ලන්න අනිවාර්යයෙන්ම ලැබෙයි කියලත් කිව්වා.”

නයිරෝබියේ යේමන තානාපතිවරයා ඩිලන් සමඟ කුලුපගවී ගැටලුවක් වුවහොත් ඇමැතීමට යැයි පවසමින් ඔහුගේ පෞද්ගලික දුරකථන අංකය ඩිලන්ට ලබා දුන්නේය. නමුත් යේමන තානාපති කාර්යාලය ද ඩිලන්ට විසා දීම ප්‍රතික්ෂේප කරද්දී එම තානාපතිවරයාගේ පිහිට පැතූ අවස්ථාවේ ඔහු අපූරුවට ප්‍රශ්නයෙන් ලිස්සා ගොස් ඇත්තේය.

එසේ ජිබුටියෙන් යේමනයට විසා නොලැබීම නිසා ඩිලන් සිය ලෝක සංචාරයේ ඉදිරි ගමන පිළිබඳ දැඩි ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. ඒ යේමනයේ පැවැති යුද වාතාවරණ සහ විදේශිකයන් පැහැරගෙන ගොස් මාෆියා කල්ලි විසින් කප්පම් ඉල්ලීම රජයට මහත් ප්‍රශ්නයක් වූ හෙයින් විදේශිකයන්ට වීසා නොදීම නිසායි.

“මට දැන් මාර ප්‍රශ්නෙ... නැවතත් ඉතියෝපියාවට යන්නත් බෑ මගේ ළඟ තිබුණේ වීසා එකයි. ජිබුටිය වටේට තිබුණ සෝමාලියාවටයි එරිත්‍රියාවටයි යන්නත් බෑ යුද්ධ කෝලාහල නිසා. ඒ වගේම මට ඒ රටවලට යෑමෙන් එතරම් වැඩක් වෙන්නෙත් නෑ. මොකද මගේ අරමුණ අප්‍රිකාවෙන් අරාබියට මාරුවෙලා මගේ සංචාරයේ ඉදිරියට යෑමයි.”

අපේක්ෂා භංගත්වයට පත්ව තානාපති කාර්යාලයෙන් පිටවූ ඩිලන් සිත සනසා ගැනීමටත් සමඟ හොඳ ආහාර වේලකින් සප්පායම් වීමට සිතා තානාපති කාර්යාලය අසල තිබූ හෝටලයකට ගියේය.

“එය ඒ රටේ හැටියට විශාල රෙස්ටුරන්ට් එකක්. මං හිතුවා හිතේ අමාරුවටත් එක්ක රසවත් කෑම වේලක්වත් කනවා කියලා. එහෙම හිතන් ගියාට එතැන මට කන්න පුළුවන් තැනක් නෙමේ. ඩොලර් හතළිහක් පනහක් යනවා එක කෑම එකකට. ඒක මට දරන්න අමාරුයි. මං හිමින් සැරේ එළියට බැහැලා එන්න ආවා....”

එසේ වුවද සිදු වූයේ ඩිලන් නොසිතූවකි. ඔහුගේ අපූරු සයිකලය සහ ඔහුගේ පෙනුම දුටු හෝටලයේ අයිතිකරු සේවකයෙකු මඟින් ඩිලන්ට නැවතත් හෝටලයට පැමිණ කෑම කන්නට ආරාධනා කර ඇත. ඩිලන් එතැන රසවත් බොජුන් බුදිද්දී අසලට පැමිණි හෝටල් හිමිකරුවා ඔහුගෙන් කරුණු විමසා ඇත.

“අයිතිකාරයා මගෙන් ඇහැව්වා ඔයා මේ කොහේ යන ගමන්ද කියලා. මං එයාට මගේ සියලු තොරතුරුත් සමඟ මගේ වීසා ප්‍රශ්නෙ කිව්වා. මෙන්න එතකොට ඒ මනුස්සයා මට කියනවා හෙට උදේ 10 වෙනකොට එන්න තානාපති කාර්යාලයට එක්ක ගෙන ගිහින් වැඩේ කරලා දෙන්නම් කියලා. මට ඉතින් ඊට වඩා දෙයක් නැහැ. මං හොඳට කෑවා. ඒත් අයිතිකාරයා මගෙන් සල්ලි ගත්තේ නෑ. අනේ පහුවදා මෙයා මට කියපු විදිහට තිතටම වැඩේ කරලා දුන්නා.”

දේවාශිර්වාදයකින් මෙන් තමාට මේ ගමනේදී එවැනි මිනිසුන් හමු වූ බව පැවසූ ඩිලන් ඒ ගැන තමා අදත් පුදුම වන බවද පැවසීය.

අනතුරුව ඩිලන් බලා සිටියේ ඔහුට ඉතියෝපියාවේදී මුණ ගැසුණු තමා සේම යතුරුපැදියකින් ඉන්දියාව බලා ගමන් කරන ජර්මන් ජාතික සංචාරකයකු පැමි‍ණෙනතුරුය. ඔහු මාටින්ය. ඔවුහූ ජිබුටියේදී මුණ ගැසීමට එකඟවී සිටියහ.

“මාටින්ගෙයි මගෙයි කොමිනිකේෂන් අවුල් වුණා. ජිබුටියේදී මුණ ගැසෙන්න එකඟ වුණත් ඒ කොතැනදිද කියා අපි කතා වුණේ නෑ.”

එසේ මාටින් ජිබුටියට එන මඟ බලා සිටින මොහොතේ ඩිලන් දුරකථන පහසුකම් සපයන කඩයකට ගොඩ වැදුණේ ප්‍රියයන්ගෙන් වෙන්වී හුදෙකලාව මාස ගණනාවක් තිස්සේ ලෝ වටා සංචාරයෙන් හෙම්බත්ව සිටීම නිසා අන්තර්ජාල පණිවිඩ හා මුහුණු පොත පිරික්සීමටයි. එතැනදී ඔහු දෙසවනට ඇසුණේ සුර ලොවකින් ඇසෙන්නාක් බඳු වදන් ටිකකි.

“මට එකපාරටම ඇහුණා පාරේ කවුදෝ පිරිසක් සිංහල භාෂාවෙන් කතා කරමින් යනවා. මං ඉක්මනටම ගිහිල්ලා බැලුවා කවුද කියලා. මෙන්න.... සිංහල පිරිසක් ජිබුටියේ.”

ඉතියෝපියාවේදී මුණ ගැසුණු සිංහල තරුණයන් දෙදෙනාගෙන් පසු ඔහුට යළි සිංහල වදනක් අසන්නට ලැබුණේ එදිනයි. වහා එතැනට ගොස් කතාබස් කොට ඔවුන් සමඟ කුලුපග වූ ඩිලන්ට මේ ලෝක සංචාරයේදී මුල්ම වතාවට ශ්‍රී ලාංකික පිරිසකගෙන් ඉඳුම්-හිටුම් සප්පායම් විඳීමට අවස්ථාවක් ලැබුණේය. මේ අතරතුරදී මාටින්ද ඔහුට අහම්බෙන් මෙන් මුණ ගැසුණේය.

“මට ඔය ලෝක සංචාරය පුරාවටම දැනුණේ පුදුමාකාර තනිකමක්. පාළුවක්. මගේ ළඟ දුකට සැපට හිටියේ බෲස් පමණයි. මට ඉතින් හරිම සතුටුයි සිංහල වචන ටිකක් ඇහුණම. මං ගිහින් ඇහැව්වා ඔයාලා ශ්‍රී ලාංකිකද කියලා.” පසුව ජිබුටියේ ඉතාම හොඳින් ජීවිකාව ගෙවන චමින්ද, පියසිරි, නෝමන් සහ කුමුදුනි ඇතුළු පිරිස සමඟ දින කීපයක්ම ඔවුන්ගේ නිවෙස්වල කාලය ගත කළ ඩිලන් සමඟ මාටින් ද අපේ අයගේ ආගන්තුක සත්කාර විඳින්නට වාසනාව ලැබුවේය.

“ඇත්තටම ඉතින් අපේ රටේ අය ආගන්තුක සත්කාරවලට ලෝකෙම නමක් දිනලා තියෙනවානේ. කියන්න වචන නෑ ඒ අය අපි දෙන්නට පුදුම විදිහට හොඳින් සැලැකුවා. මාටින්ට අදහගන්න බෑ අපේ අයගෙ සැලකිලි ගැන.”

ඉන් කලකට පසු ඩිලන් ජර්මනියට ගිය අවස්ථාවකදී මාටින් මුණ ගැසී ඇත. එහිදී ජිබුටියේ දී අපේ අය වෙතින් ලද ආගන්තුක සත්කාර ගැන මාටින් කතා කළේ හදපිරි සතුටෙනි.

තවත් කොටසක් ලබන සතියේ ...

ඩිලන් ලබන සතියේ මෙරටට

ලෝ වටා සංචාරය කළ ස්විට්සර්ලන්තයේ වෙසෙන ඩිලන් සමරවික්‍රම මේ මස 04 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය. එහිදී ඔහු විසින් ලෝ වටා සංචාරය ගැනත්, ධනාත්මක සහ පෞරුෂ වර්ධනය අලළා දේශන මාලාවක් පැවැත්වීමට නියමිතය. ඊට ඕනෑම අයෙකුට සහභාගි විය හැකිය.

Comments