
විදුහල්පතිගේ වසර අවසාන සාදය
එක්දහස් නවසිය හැත්තෑ නවය වර්ෂයේ වයඹ පළාතේ බිංගිරිය මහා විද්‍යාලයයේ සේවය කළ රොඩ්රිගෝ විදුහල්පතිතුමා තම පාසල දියුණු කිරීමෙහිලා මහත් කැපවීමකින් කටයුතු කළ නිර්භීත ගුරුවරයෙකි. පාසලේ පරිපාලන කටයුතු ද මැනවින් ඉටුකළ එතුමා සිසුන්ගේ මෙන්ම ආචාර්ය මණ්ඩලයේ ද ආදර ගෞරවයට භාජනය වූ කාර්යක්ෂම ගුරුවරයෙක් විය.
තමා අධිපති ධුරය දරන එම විද්‍යාලයයේ අනෙකුත් ගුරු භවතුන් සමඟ ඉතා සුහදශීලීව කටයුතු කළ ඔහු සෑම වසරකම අවසානයේ තම විද්‍යාලයයේ ගුරුභවතුන් ඒකරාශී කොට දුම්මලසූරියේ තම නිවෙසට කැඳවා වසර අවසාන සාදයක් පැවැත්වීම සිදු කළේය. ඒ ගුරුභවතුනගේ වැටුප් දිනය ද ඉලක්ක කර ගනිමිනි. ගුරුභවතුන්ගේ වැටුප් බෙදා දීමෙන් පසු ඔහු දිවා ආහාරය පිළියෙල කරවා ගුරු භවතුනට සංග්‍රහ කිරීම පුරුද්දක් කොට ගත්තේය.
මෙසේ වසර ගණනාවක් නොකඩවා කරගෙන ආ මෙම වසර අවසාන සාදය එක්දහස් නවසිය අසූ පහේ වර්ෂයේ අගභාගයේ කුමක් හෝ අපහසුතාවක් හේතුකොටගෙන නොපවත්වන්නට යෙදිණි.
මේ වකවානුවේ විදුහල්පති ඇතුළු ගුරු භවතුන් එක එක්කෙනා ඉලක්ක කොටගෙන හාස්‍ය උපදවන විකට චිත්‍ර ගුරු විවේකාගාරයේ බිත්තියේ අලවනුයේ අනෙකුත් ගුරු භවතුන් ද හාස්‍යයට පත් කරවමිනි. මෙම විකට චිත්‍ර දිනපතා පාහේ නැරැඹීමට අනෙක් ගුරු භවතුන් මෙන්ම රොඩ්රිගෝ විදුහල්පතිතුමා ද දැක්වූයේ මහත් උනන්දුවකි.
එක් දිනක් විදුහල්පති තුමාගේ වසර අවසාන සාදය එම අවුරුද්දේ නොපැවැත්වෙන බැව් දැනගත් ගුරු හවුලේ ලේකම් ධර්මදාස මහතා විදුහල්පතිතුමා ඉලක්ක කොටගෙන කාටුනයක් සකස් කර ගුරු විවේකාගාරයේ බිත්තියේ අලවා තිබිණ. එය මෙසේ ය.
“මෙම වසර අවසානයේදී විදුහල්පතිතුමා විසින් ගුරුභවතුන් සඳහා පිරිනමන වසර අවසාන සාදය 1985 දෙසැම්බර් මස 20 වන දින දුම්මලසූරියේ එතුමාගේ ‘පෙම්රොක්’ නිවසේදී එදින දහවල් එකොළහට පැවැත්වේ. දෙසැම්බර් මස ගුරු වැටුප් ද මෙදින ගුරුභවතුනට ලබාදීමට ද විදුහල්පතිතුමා කටයුතු සූදානම් කර ඇත. එහෙයින් සියලුම ගුරුභවතුන් මෙදින ඊට සහභාගි වන ලෙස කාරුණිකව දැනුම් දෙමි.”
මෙයට,
.............. (අත්සන)
විදුහල්පති
මෙම දැන්වීම දුටු සියලුම ගුරුභවතුන් ඊට සහභාගි වීමට අදහස් කළ අතර මෙම දැන්වීම ධර්මදාස ගුරුතුමා විසින් සකස්කොට ගුරු විවේකාගාරයේ බිත්තියේ අලවා තිබෙන බැව් දැනගත් රොඩ්රිගෝ විදුහල්පතිතුමා ගුරු විවේකාගාරයට පැමිණ “දැන් ඉතින් මොනවා කරන්නද මේ වසරේත් සාදය පවත්වමු” යැයි කියා යන්නට ගියේය.
මෙදින මෙම සාදය පැවැත්විණ.
ළමයින්ට කොයින් ද ඕෆ් පීරියඩ් ?
විමලරත්න මහතා සබරගමුවේ ග්‍රාමීය මහ විදුහලකට විදුහල්පති වශයෙන් පත්ව ආයේ දැනට දශක එකහමාරකට පමණ පෙරය. ශිෂ්‍ය ඉගෙනුම හා ගුරුවරුන්ගේ ඉගැන්වීම පිළිබඳ මනාව සොයා බලන ඒ මහතා නිරන්තරයෙන්ම වාගේ පන්තිවල අධීක්ෂණ කාර්යයේ ද නිරත වූයේය. ඇතැම් දිනවල සමහර ගුරුවරුන් නොපැමිණි දිනවලදී, එම ගුරුවරුනට අදාළ කාලපරිච්ඡේද ආවරණය කිරීමට පැමිණි ගුරුවරුන් යොදවා ඉගැන්වීම ඵලදායි කිරීමට විදුහල්පතිතුමා වග බලා ගත්තේය.
දිනක් විමලරත්න විදුහල්පතිතුමා දහවැනි ශ්‍රේණියේ සිසුන්ගේ ඝෝෂාකාරී හඬ අසා පන්ති කාමරයට ගොඩ විය.
“කවුද පන්ති නායකයා. කතා කරනව මොකද බිරන්තට්ටු වෙලා” විදුහල්පති ඇසුවේ තරමක කේන්ති ගතියෙනි.
“මම... සර්...” සුනිමල් හෙමින් සීරුවේ නැගිට පිළිතුරු දුන්නේය.
“මොනවද දැන් තියෙන්නෙ” විදුහල්පතිතුමා විමසුවේය.
“අපට සර් ඕෆ් පීරියඩ් එකක්.” සුනිමල්ගේ පිළිතුරෙන් කෝපාවිෂ්ට වූ විදුහල්පතිතුමා,
“උඹලට කොයින්ද ඕෆ් පීරියඩ්?. උඹල එන්නෙ ඉගෙන ගන්න. ඕෆ් වෙන්ඩ නෙවෙයි. පලයන් මේ වෙලාවට මං ගුරුවරයෙක් දමල ඇති. ගිහින් එක්ක වරෙන්” යනුවෙන් උස් හඬින් පවසා ඊළඟ පන්ති කාමරයට ගියේය.
සර්ගේ බඩේ අමාරු බේත
මෙය වසර හතළිස් පහකට පමණ පෙර වූ සත්‍ය සිදුවීමකි. අපේ පාසල පිහිටියේ බදුල්ල නගරය මධ්‍යයේය. හතර පන්තියේ අපේ ඉංග්‍රීසි ගුරුවරයා වූයේ වීරකෝන් සර්ය. එතුමා වැරැදි වැඩ කරන සිසුනට දැඩි ලෙස දඬුවම් කළ ගුරුවරයෙක් විය. ඉංග්‍රීසි පීරියඩ් එකට ඔහු පන්තියට එන විට කලින් දවසේ ගෙදර වැඩට දුන් ‘හෝම් වර්ක්’ වැඩ ඉවර කළ අභ්‍යාස පොත් සියල්ල ගුරු මේසය මත තබා තිබිය යුතුය. එදා වීරකෝන් සර් අපේ පන්තියට පැමිණ අභ්‍යාස පොත් පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. හිටිහැටියේම පන්තිය කෙළවරින් ළමයෙක් දෙකට නැමී යටිබඩ අල්ලාගෙන ඇඹරෙමින් අඬන්නට විය.
“මොකද උඹ අඬන්නෙ?” වීරකෝන් සර් ළමයාගෙන් ප්‍රශ්න කළේය.
“සර් මගේ බඩ රිදෙනවා. ඉන්න බෑ අමාරුයි” යැයි ළමයා තව තවත් කෙඳිරි ගාමින් අඬන්නට විය.
“උඹ ඊයේ මම දුන්න හෝම් වර්ක් කරගෙන ආව ද?”
“මේ බඩේ කැක්කුම හින්දා හෝම් වර්ක් ඉවර කරගන්න බැරි වුණා සර්” ළමයා බයාදු ලීලාවෙන් කියා සිටියේය.
මොහොතක් වේලා කල්පනා කළ වීරකෝන් සර් තම සාක්කුවට අත දමා මුදල් පසුම්බිය අතට ගෙන ඉදිරිපෙළ සිටි ළමයෙකුට කතා කළේය.
“උඹ ගිහිල්ලා එහා පැත්තේ තියන තම්බිගේ බෙහෙත් බඩු කඩෙන් මේ සල්ලි දීල මං කිව්වා කියල සුදුලූනු බික් දෙක තුනක්, ඉඟුරු පියලි ටිකක්, ඉඟුරු කෑල්ලක්, ගම්මිරිස් ඇට ටිකක්, එනසාල් කරාබු නැටි ටිකක් ඉල්ලගෙන මෙහා පැත්තේ තියන බඩු කඩෙන් ලුණු ඇට ටිකකුත් ඉල්ලාගෙන බුලත් කොළ දෙකකුත් අරගෙන ඉක්මනට වරෙන්” යැයි ඔහු අත මාරු කාසි කිහිපයක් තබමින් වීරකෝන් සර් කීවේය.
විනාඩි කිහිපයකින් ඔහු ඒවා රැගෙනවිත් වීරකෝන් සර්ට දුන්නේය. බුලත් කොළ දෙක එකට තැබු වීරකෝන් සර් ඒ මත සුදුලූනු, ඉඟුරු, ඉඟුරු පියලි, ගම්මිරිස් ඇට, ලුණු කැට, එනසාල්, කරාබු නැටි තබා එකට ගුලි කර අත මිට මොළවාගෙන බඩේ අමාරුවෙන් අඬන ළමයාට ළඟට එන ලෙස කතා කළේය. ඔහු ද කෙඳිරි ගාමින් සර් ළඟට ආවේය. වීරකෝන් සර් තමා අත ගුලි කරගෙන සිටි බෙහෙත් පොට්ටනිය ළමයාගේ කටේ ඔබා “දැන් මේක හොඳට හපලා ඉස්ම ගිලින්න ඕන. එක බිංදුවක් අහක දමන්නෙහෙම නැහැ” යි කියා වේවැල ද අතට ගත්තේය.
පන්තියේ ළමයි මේ සිදුවෙන්න යන්නෙ කුමක්දැයි අදහාගත නොහැකිව තුෂ්නිම්භූතව බලා සිටියහ. ළමයාගේ මුහුණ පුරා දහඩිය දමා ඇත. කටේ දැවිල්ලට ඔහුට කිසිවක් කරකියා ගත නොහැක. වීරකෝන් සර් වේවැල මානාගෙන ඔහු දෙස බලා සිටියි.
මෙසේ විනාඩි දහයක් පමණ ගත විය. ළමයාගේ කටේ පිරී තිබුණ බෙහෙත් පොට්ටනිය අඩුවී ඇති බව දුටු වීරකෝන් සර්, “දැන් එළියට ගිහින් ඔය හපේ විසි කරලා වරෙන්” යැයි ළමයාට කීය.
ළමයා වහා දිව ගොස් හපේ විසිකර හායි හූයි ගාමින් පන්තියට ආවේය. “මීට පස්සේ උඹට කවදාවත්ම ආයෙත් බඩේ කැක්කුමක් හැදෙන එකක් නැහැ.” එසේ කියමින් වීරකෝන් සර් ළමයින් ගෙදර වැඩ කළ අභ්‍යාස පොත් පරීක්ෂා කිරීමට පටන් ගත්තේය.
මෙම සිද්ධියට මුහුණ පෑ ළමයාට මතක ඇති කාලෙක ඉන්පසු අපේ පාසල් ජීවිතය තුළදී බඩේ කැක්කුමක් නම් හැදුණේ නැත.!