සිව් අවුරුදු ආයෝජන සැලැස්මක්! | සිළුමිණ

සිව් අවුරුදු ආයෝජන සැලැස්මක්!

ජයසිරි මුණසිංහ

අධිවේගී මාර්ග, මංමාවත්, වරාය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ප්‍රධාන අංශ අටක් ඔස්සේ ඉදිරියට ඇදෙන 2017 – 2020 රාජ්‍ය ආයෝජන සිව් අවුරුදු සැලැස්ම රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

වසර 2020 වනවිට ර‍ෙට් ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 5797ක් දක්වා වැඩි කිරීම, දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් බිලියන 125ක් දක්වා වැඩි කර ගැනීම මේ සිවු අවුරුදු ආයෝජන සැලැස්මේ ප්‍රමුඛ බලාපොරොත්තුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එම්.එස්. සමරතුංග මහතා ‘සිළුමිණ’ ට ප්‍රකාශ කළේ ය.

රුපියල් බිලියන 3530 ක් ඉක්මවන මේ රාජ්‍ය ආයෝජන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී වැඩිම ආයෝජනයක් වන සමස්ත ආයෝජනයෙන් සියයට 42 ක් එනම් රුපියල් බිලියන 1488 ක් යටිතල පහසුකම් වැඩි දියුණුව සඳහා වෙන් කරන බව ද ආචාර්ය සමරතුංග මහතා කීය.

මානව සම්පත් සංවර්ධනය සඳහා රුපියල් බිලියන 756 ක මුදලක් වෙන් කර ඇත. එය සමස්ත ආයෝජනයෙන් සියයට 21 ක් වේ.

කර්මාන්ත හා වෙළෙඳ අංශයේ සංවර්ධනය සඳහා රුපියල් බිලියන 369.7 ක මුදලක් වැය කැරේ. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට 11 කි. රාජ්‍ය ආයෝජන සැලැස්ම යටතේ යහපාලනය ස්ථාපිත කිරීමට රුපියල් බිලියන 338.9 ක්, ප්‍රාදේශීය සංවර්ධනයට රුපියල් බිලියන 310 ක්, කෘෂිකර්ම දියුණුවට රුපියල් බිලියන 180.6 කි. පරිසර කළමනාකරණයට රුපියල් බිලියන 46.3 ක් සහ සමාජ ආරක්ෂණයට රුපියල් බිලියන 41.5 ක් වැය කරන බව ද ලේකම්වරයා කීය.

මානව සම්පත් සංවර්ධනය යටතේ අධ්‍යාපන අංශයේ දියුණුවට රුපියල් බිලියන 487 ක් ද, සෞඛ්‍ය අංශයට රුපියල් බිලියන 220 ක් වැය කරන බව කී ලේකම්වරයා, කාර්මික අපනයනවල ඵලදායිතාවය සහ තරගකාරීත්වය වැඩි දියුණු කිරීම, රජයේ ආදායම් ඉහළ නැංවීම සහ රජයේ වියදම් තාර්කික කිරීම ප්‍රධාන ඉලක්ක 07 ක් ජය ගැනීමට අරමුණු කොට ඇතැයි ද කීය. 

 

Comments