වීදි ආහාර විධිමත් කරන්න අලුත් ආයතන 100ක් | සිළුමිණ

වීදි ආහාර විධිමත් කරන්න අලුත් ආයතන 100ක්

 සෞඛ්‍ය සම්පන්න දේශීය ආහාර නිෂ්පාදන ජනප්‍රිය කරවීම පිණිස හා ආර්ථිකය සවිබල ගැන්වීම පිණිස සෞඛ්‍ය සම්පන්න ‘වීදි ආහාර’ ජනප්‍රිය කරවීම සඳහා අලුත් අවබෝධතා ගිවිසුමක් අස්සන් කර ඇත. ඒ අනුව රට පුරා නව ආහාර නිෂ්පාදනාගාර 100ක් නිපදවීමට සැලසුම් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, ගොවි භාරකාර අරමුදල, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මෙම ගිවිසුමට අත්සන් කර ඇත.

වත්මන් තත්ත්වය අනුව පාරිභෝගිකයන් අතර වීදි ආහාර ජනප්‍රිය වී ඇත. එපමණක් නොව වීදි ආහාර නිෂ්පාදකයන් ද විශාල වශයෙන් බිහිවෙමින් පවතින පසුබිමක් නිර්මාණය වීමට හේතු වී ඇත්තේ නිෂ්පාදන වියදම අවම වීමෙන් ඉහළ ලාභයක් ලබාගත හැකිවීමයි. වීදි ආහාර සඳහා පාරිභෝගික ආකර්ෂණය ඉහළ ගිය ද සෞඛ්‍යාරක්ෂිත අතින් වීදි ආහාරවල යම් අවදානමක් පවතින බව පිළිගත යුතු ය.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් දේශීය සෞඛ්‍යාරක්ෂිත ආහාර වර්ග ප්‍රචලිත කරමින්, ගුණාත්මක ලෙස ආහාර පිළියෙල කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මඟපෙන්වීම් ලබා දෙමින් ශීඝ්‍රයෙන් ඉහළ යන වීදි ආහාර කරත්ත සහ ආහාර සැකසුම් හල් වෙනුවට නිසි ප්‍රමිතියට සකස් කරන ලද නව තාවකාලික ආහාර නිෂ්පාදන ස්ථානයක් පහසු ගෙවීමේ ක්‍රමයක් ඔස්සේ ලබා දීම මඟින් නව රැකියා අවස්ථාවක් බිහි කිරීමේ ක්‍රමවේදයක් මෙම ව්‍යාපෘතියෙන් හඳුන්වා දෙයි. මෙහිදී දේශීය ආහාර වර්ග පමණක් නිෂ්පාදනය සහ අලෙවියට අවස්ථාව ලබාදෙන අතර ආරම්භයේදී නිෂ්පාදකයන්ට අවශ්‍ය දැනුම නොමිලේ ලබාදීම මාසිකව නිරීක්ෂණය කර අවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදුකිරිමක් ඊට සමගාමීව ශ්‍රේණිගත කිරීමකට ලක්කරමින් විධිමත් ක්‍රමවේදයක් යටතේ නව රැකියා අවස්ථා ඇති කරයි.

මෙම නව ආහාර නිෂ්පාදනාගාර සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් පොලී සහිත ණය මුදලක් ලබා දෙන අතර මාසිකව හෝ සතිපතා ණය ගෙවීමේ අවස්ථාව හිමි වේ. ඊට අමතරව කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් නොමිලයේ රක්ෂණ ක්‍රමයක් ද ලබාදෙයි. මෙහි නියම ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මූලික අදියර ලෙස වීදි ආහාර නිෂ්පාදන කරත්ත 100ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 

Comments