![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/07/07/coldig3149176_558562102254963_5779787_06072017_EMT_CMY.jpg?itok=nK3P_NZo)
* පළාත් පාලන ඡන්දය තවත් තුන් මසකින් කල් ගියා. ආණ්ඩුව ඡන්දෙට බය වෙලා ඡන්දෙ කල් දානවද?
ආණ්ඩුව ඡන්දෙට බය නැහැ. මෙවර කල් දැමීමක් ඇත්තටම සිදු වෙලා නැහැ. නීති අවශ්‍යතාවක් උදෙසා ගැසට් පත්‍රය නිකුත් කළා පමණයි. ඒ දිනය පටවලාගෙන ඡන්ද කල් දැමීමක් සිදු කරනවා කීමේ පදනමක් නැහැ.
* ඇයි මේ හදිසියේම ගැසට් පත්‍රයක් නිකුත් කළේ?
කිසිම හදිසියක් නැහැ. පළාත් පාලන ඡන්ද විමසීම් පනත සංශෝධන සහිතව තවම පාර්ලිමේන්තුවේ සම්මත වී නැහැ. ඒ නිසා පළාත් පාලන ආයතනවලට පත් විය යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සක්‍රියව තැබීම අවශ්‍ය නිසයි ඒ ගැසට් නිවේදනකය නිකුත් කළේ. එයින් මැතිවරණය එයට පෙර තැබීමට කිසිම නෛතික බාධාවක් නෑ. දින සංශෝධනයක් කිරීම මහ දෙයක් නෙමෙයි.
* නෛතික ගැටලුවකුත් නැත් නම්, ඇයි මේ දේශපාලන පක්ෂ අතර දැඩි දෝෂ දර්ශනයට ලක් වෙන්නේ?
ප්‍රශ්නයක් නැති අයට ප්‍රශ්නයක් මතු කර පෙන්වන එක මහ දෙයක් නෙමෙයි. ඒක කොහොමත් සමහර අයගේ දේශපාලන න්‍යායපත්‍රවල කොටසක් නේ...
* ඔබතුමාලම නේද ඒ ප්‍රශ්න නිර්මාණය කරන්නේ?
මේක අපි කරපු සිදුවීමක් නිසා ප්‍රමාද වුණු ඡන්දයක් නෙමෙයි නේ.
* එහෙනම් කවුද සීමා නිර්ණය වාර්තා නැහැ කියමින් ඡන්දෙ කල් දැමුවේ? ඒකාබද්ධ විපක්ෂයද? නැත් නම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද?
මැතිවරණ කොමිසමට හෝ එහි සභාපතිවරයාට දොස් පවරන්න බැහැ. පවත්නා නීතිරීති අනුවයි ඔහු කටයුතු කරන්නේ. මෙතන වරද කළේ සීමා නිර්ණය අල්ලාගෙන තමන්ට අවශ්‍ය කරන විදිහට බලය පාවිච්චි කරපු බැසිල් රාජපක්ෂ මහතායි.
* ඒ කියන්නේ පළාත් පාලන මැතිවරණය පමා වීමත් රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවේ වැඩක්?
ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමයි මා කරන්නෙ. බැසිල් රාජපක්ෂ මහතා සීමා නිර්ණය තමන්ට අවශ්‍ය විදිහට සකස් කිරීමට පියවර ගත් නිසා තමයි මේ තත්ත්වය ඔඩුදිව්වේ. අඩුම වශයෙන් ඒ සීමා නිර්ණයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාවකට, එහෙමත් නැත් නම් පක්ෂයේ උපදෙස් අනුව කටයුතු කළා නම් මේ ගැටලු ඇති වන්නේ නැහැ.
* එහෙම එක එක අයට ඕනෑ විදිහට සීමා නිර්ණය කරන්න පුළුවන්කමක් තියෙනවද?
බැහැයි කියපු හුඟක් දේවල් එයාල කළා නේ. රටේ හරියට නීතියක් තිබුණද? තමන්ට ඕනෑ විදිහට නීතියත් වෙනස් කරපු යුගයක්නෙ අපි පහු කළේ. නිලධාරීන් එක්ක එකතු වෙලා තමතමන්ගේ දේශපාලනය නඟාසිටුවන්නයි මැතිවරණ ව්‍යාපාරයම යොදාගෙන තිබුණේ. මේ ක්‍රමවේදයෙන් සුළු ජාතික පක්ෂවලටත් ලොකු ලොකු ගැටලු ඇති වෙනවා.
* නව ක්‍රමය නිසා ගැටලු ඇති වෙනවා නම්, ඇයි මේ තරම් උනන්දුවක් දක්වන්නේ? 'මේ ක්‍රමය හොඳයි' කියල නේ ඒ ක්‍රමය යොදාගත්තේ?
ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක කරනවා නම් ගැටලු ඇති වෙන්නේ නැහැ. දැන් අප සිදු කරන්නේ ඒ ක්‍රමවේදයයි. ඒකට ටිකක් කල් ගත වෙනවා. ඒකට මේ ක්‍රියාදාමයට කටයුතු කරද්දි තමයි ඇති වන ගැටලු නිරාකරණය කරගෙන යද්දි ඒකටත් බාධා කරනඑක තමයි දැන් ඔය ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය කරන්නේ.
* කොහොම වුණත් මේ තරම් කාලයක් මැතිවරණ ප්‍රමාද වීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ දෙයක් නෙමෙයි කියල ඔබ හිතන්නේ නැද්ද?
මැතිවරණ කල් දැමීම හොඳ දෙයක් නෙමෙයි. ඒත් මැතිවරණය පවත්වන ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන විදිහටම කියනවා නම් 'පිට්ටනිය තිබ්බට මදි, නීතිරීති මැච් එකට ඕනෑ වෙනවා.' මැතිවරණය ඉක්මන් කිරීමයි අපේ උත්සාහය. මා කිව්වා වගේ සුළුජාතික ප්‍රශ්න-ගැටලු ඇති නොවීම වැළැක්වීම වගේම පක්ෂ අතර ගැටලු ඇති නොවන පරිද්දෙන් සකස් වන මිශ්‍ර ක්‍රමය අනුව තමයි මැතිවරණය පැවැත්වෙන්නේ. සීමා නිර්ණ සියල්ල දැන් අවසන් වෙලා. සංශෝධන සිදු කළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමයි කළ යුත්තේ. එය ඉක්මනින් සිදු කරගැනීමයි අපේ අරමුණ වී ඇත්තේ.
* සියලු පළාත් පාලන ආයතන මේ වන විට අක්‍රියයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු පහුගිය දවස්වල කිව්වා මේ ඩෙංගු වර්ධනය ඇති වෙලා තියෙන්නේ පළාත් පාලන ආයතන අක්‍රිය වීම නිසා කියලා...
ඒ කියන්නෙ මේ ආණ්ඩුව එන්න කලින් ඩෙංගු රෝගය තිබුණෙ නැහැයි කියන එක වෙන්න ඇති. මේ අය කියන විදිහට කාට හරි වැසිකිළි යන්න බැරි වුණොත්, ඒකටත් පළාත් පාලන ඡන්දය හේතුවක් කරගනියි.
* කොළඹ වැනි ජනාකීර්ණ මහල් නිවාසවල වැසියන්ගේ කුණු එකතු කිරීමට නගර සභා කටයුතු කිරීම සාධාරණයි. මොකද: ඒ අයට කුණු ඉවත් කරන්න තැනක් නැති නිසා. ඒත් ගමේ එකතු වන කුණු කසළ එකතු කරගෙන යන්න ප්‍රාදේශීය සභා පියවර ගත් නිසා නේද මේ කුණු ප්‍රශ්නය පටන් ගත්තෙ?
කුණු ප්‍රශ්නය පටන් ගත්තේ ජනතාව සියලු කුණු බැහැර කිරීමට පටන් ගත් නිසයි.
* ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් තමයි මා ඇසුවේ. ඇයි ප්‍රාදේශීය සභා ගමේ ගොඩේ කුණු එකතු කිරීම ආරම්භ කළේ?
නාගරිකකරණයේ ප්‍රතිඵල විඳිය යුත්තේ නගර වැසියන් පමණක්ම නෙමෙයි. නගර වැසියන්ට වගේම අර්ධ නාගරික හා ගම්වැසියන්ටත් ඒ සේවා පළාත් පාලන ආයතන විසින් සැපයිය යුතුයි. ඒත් තමන්ගේ වත්තේ වළක් කපා දමා පොහොර කරගත හැකි අපද්‍රව්‍ය පවා බැහැර කිරීම ඇරැඹුණු නිසයි මේ තත්ත්වය මේ තරම් දුර දිග ගියේ.
* නාගරිකකරණයේ නමින් වුණත්, ඇයි ගම්බද මෙන්ම සුළු නගරවල ජනතාවගේ කුණු කර ගහගත්තෙ?
පළාත් පාලන ආයතනවල ප්‍රඥප්ති තිබෙනවා. වරිපනම් ගෙවන ජනතාවගේ අයිතීන් ඉටු කිරීම පළාත් පාලන ආයතනවල වගකීමක්.
* එහෙත් අද වෙලා තියෙන්නෙ කුණු ලොරිය එන්නෙ නැති නිසා ගේන කුණු ඔක්කොම පාර අයිනෙ තියල යන්න ජනතාව පුරුදු වෙච්ච එකයි...
ඒක ජනතාවගේ ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් නේ. තමන්ගේ වත්තේ වළලන්න පුළුවන් කුණුත් ගෙනැත් ලොරියට දාන්න පුරුදු වෙච්ච එකම සාධාරණ මෙන්ම සදාචාරවත් නැහැ. ආකල්පමය වෙනසක් ජනතාවට අවශ්‍යයි. ඒ ආකල්පමය වෙනස කුණු ප්‍රශ්නෙට විතරක් සිමා වෙන්නෙ නැහැ. ටිකක් හිතල බලන්න ‘නෑම අනතුරුදායකයි‘ කියල බෝඩ් ගහල තියෙනව පෙනි පෙනී ඒ වගේ තැන්වලදිය නාල පහුගිය උත්සව දවස්වල කී දෙනෙක් මිය ගියාද? ඒ නිසා අපේ ජතාවගේ ආකල්ප වෙනස් වී තමන් ගැනත් අනුන් ගැනත් සිතන ක්‍රමවේදයක් හැඬගස්වන්න ඕන.
* ඒ වුණත් ඕනෑතරම් ඉඩ පහසුකම් ඇති ප්‍රදේශවල පවා කුණු එකතු කිරීම නිසා ජනතා ආකල්ප ඔබ කියන පැත්තට නෙමෙයි, අනෙක් පැත්තටයි වෙනස් වෙලා තියෙන්නේ...
ආකල්පම විතරක් නෙමෙයි. මේ වෙනකොට ගම්මානවල ඉඩකඩම් පවා පුංචි වෙමින් පවතින්නේ. කුඩා කුඩා කැබැලිවලට ඉඩකඩම් වෙන් කර ලබා දීම සිදු වෙනවා. ඒ තත්ත්වයන් යටතේ බදු ගෙවන ජනතාව බලාපොරොත්තු වන සේවාවෙන් මිදෙන්න පළාත් පාලන ආයතනවලට බැහැ.
* කොහොම වුණත් ගම්බද වගේම අර්ධ නාගරික ප්‍රදේශවලත් කුණු ප්‍රශ්නය නිසා අද නාගරික ප්‍රදේශ විතරක් නෙමෙයි, ඩෙංගු උවදුර ලංකාවම ගිලගෙන තියෙන්නෙ...
ඒ තත්ත්වය වළක්වන එක රජයකට විතරක් තනියම කරන්න බෑ. සමස්ත ජනතාවම මේ ගැන අවදියෙන් ඉන්න ඕනෑ. ඩෙංගු ව්‍යාප්තිය මැඬලන්න කටයුතු කරන්න ඕනෑ.
* කොහොම වුණත් මේ කුණු ප්‍රශ්නය එන්න එන්නම කුණු වෙනවා. හැම තැනම කුණු විරෝධතා කවදාවත් විසඳුමක් නොලැබෙන හැඩයි...
අපි මේ සතියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිණිස වෙනම ආයතනයක් පිහිටෙව්වා. ඒ වගේම ජනාධිපතිතුමා පාඨලී චම්පික රණවක ඇමැතිතුමාට කුණු ප්‍රශ්නය කඩිනමින් විසඳන්න බාර දුන්නා. අපේ අමාත්‍යාංශයේ පූර්ණ සහාය එතුමාට ලබා දෙනවා.
* මීතොටමුල්ල ගැටලුව වෙනුවට මේ වෙන කොට මුතුරාජවෙල, කරදියාන ඇතුළු පළාත් රැසක විරෝධතා ගැටලු ඇති වෙලා...
ඒ සියල්ලට ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ වගේම පාඨලී ඇමැතිතුමාගේත් මැදිහත් වීම සිදු කෙරෙන මේ ක්‍රමවේදයෙන් විසඳුමක් ලැබෙයි. ඒ වුණත් සියල්ලම රජයට පවරා, තමන්ගේ වත්තේ පොහොර කරන්න පුළුවන් කුණු ගෙනැත් දැමීම සිදු කළොත් මේ කාර්යය නිසි පරිදි කරගන්න ලැබෙන්නේ නැහැ.
* කුණු ප්‍රශ්නය වගේම රටේ මේ දිනවල කියවෙන අනෙක් ප්‍රශ්නය තමයි සයිටම්. හැම තැනම අට්ටාල... තවත් තැන්වල පිකටිං...
සයිටම් පටන් ගත්තේ කවුද? අපි දැන් ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයනවා. ප්‍රශ්නය ඇති කරපු අයම සයිටම් වහන්න කියන එක නේ හිනා යන කතාව!
* මේ රජය පන්සලේ පිං කැටේටත් අත තියන්න යනවා කියල දැන් දැඩි විවේචන එල්ල වෙනවා...
පවත්නා නීති-රීති යටතේ යමක් සිදු වන කොට ඒකටත් සමහර දේශපාලනඥයන් බොරුවට කෑගහනවා. කොහොම වුණත්, අන්‍යාගමිකයකු හැටියට බුද්ධාගමට සම්බන්ධ දේ ගැන මම වැඩිය කතා කරන්න කැමැති නැහැ.
* සමහර දේශපාලනඥයන් අන්තවාදීව කටයුතු කරන බවට චෝදනා එල්ල වෙනවා. ආණ්ඩුව ඒ ගැන නිහඬයි කියලයි වැඩියෙන්ම චෝදනා එල්ල වෙන්නේ...
ආණ්ඩු වගේම මැති-ඇමැතිවරුන්ගේ දේශපාලනය තීරණය වෙන්නේ ජනතා තීරණය අනුව. කවුද හිතුවේ මහින්ද රාජපක්ෂ මහතා පරාද වෙයි කියලා. ජනතාව නියම කාලෙදි නියම පිළිතුර දෙයි. ජනතාව දන්නවා කරන්න ඕන මොකක්ද කියලා. පළාත් පාලන ඡන්දෙදි වුණත් ජනතාව ඒ තීරණයම නිවැරදි ලෙස ගන්නා බව අපට ඉතා විශ්වාසයි.
සංවාදය තාරක වික්‍රමසේකර