හොරෙන් කුණු දැමීම හා පුත්තලමේ කසළ රඳවනය | Page 4 | සිළුමිණ

හොරෙන් කුණු දැමීම හා පුත්තලමේ කසළ රඳවනය

 අද අපේ ර‍ෙට් ප්‍රධාන සෞඛ්‍ය ගැටලුව වන ඩෙංගු රෝගය තවත් වැඩි කිරීමට අනුබල දෙමින් කොළඹ හා අවට මහ මග අද්දර කුණු බෑග් දැම‍ූ අය අත්අඩංගුවට ගැනීම දැන් පොලිසිය හා හමුදාව කරගෙන යයි.

මෙලෙස බොහෝ විට කුණු බෑග් දමන්නේ වෙන් නොකරන ලද කුණු බව ඉතා පැහැදිලිය. මක් නිසා ද යත් කුණු වෙන්කර ලබාදෙන්නේ නම් ඒවා පළාත් පාලන ආයතනය රැගෙන යන බැවිනි. කම්මැළිකමින් කුණු වෙන් නොකරන අය මෙසේ කුණු කසළ තැන් තැන්වල දමති.

කොළඹ පමණක් නොව ප්‍රාදේශීය ලෙස ද පාරවල් අයිනේ කුණු පාර්සල් දැමූ අය 500 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ කුණු කසළවල ප්‍රධාන ගැටලුව ඒ කුණු කසළ ඩෙංගු මදුරුවන්ට වර්ධනයට හොඳ තෝතැන්නක් බවට පත් වීමයි. පොලිසියට හා හමුදාවට මේ කුණු කසළ දමන අය ඇල්ලීමට දිනපතාම පැය 24 පුරාම රැක සිටියද ඉතා අපහසු ය‍. ඒ වෙනුවට අලුතින් ම කළ යුත්තේ ඒ කුණු කසළ වෙන් නොකර තැන තැන දමන අයට විරුද්ධව දඬුවම් දීම සිදුකරන අතරම එහි භයානක බව පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීමයි.

මේ දැනුම්වත් කිරීම සඳහා සුදුසුම නිලධාරි සමූහය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා වින්නඹු සේවිකාවෝ ය. දැනටමත් ඒ කටයුතු ඔවුන් සිදුකරන නමුත් එය තවත් කාර්යක්ෂම විය යුතු බව අපේ අදහසයි.

මේ වැස්ස ඇති දිනවල ජලය ටිකක් ඉටි කොළ කැබැල්ලක පීල්ලක තිබූ පමණින් රුපියල් 5000 ක දඩයක් ගන්නා සංස්කෘතිය වෙනස්කර ඒ වරද යළි නොකිරීමට ඔවුන්ට ඒ වරදේ භයානක බව පිළිබඳව හොඳ අවවාදාත්මක දැනුමක් ලබාදීම අද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළයුතුව ඇත.

නමුත් එය සිදුවන්නේ ඉතා අවම ලෙස ය. ඩෙංගු වැළැක්වීමට උපදෙස් දීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනට පමණක් නොව අන් රාජ්‍ය නිලධාරීන්ට ද කළ හැකි ය. ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි යන අයට ද මේ ජනතාව ඩෙංගු හා කුණු කසළ පිළිබඳ සම්බන්ධතාව හා ගැටලුව පැහැදිලි කළ ඊට විසඳුමක් ලබා දිය හැකි ය.

‍ඩෙංගු ‍රෝගයට ප්‍රධාන හේතුවක් වන කුණු විවෘත ස්ථානවල දැමීම හා බැදුණු අනෙක් ගැටලුව කුණු ඉවත් කිරී‍මේ ගැටලුවයි. තවත් සරල ලෙස පැවසුවොත් වෙන් කළ කුණු කසළ වුවත් දමන්නට ස්ථිර තැනක් නැති කමයි.

මෙයට සුදුසු ම වැඩ සටහනක් ක්‍රියාවට නැංවීමට දැන් මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කටයුතු යොදා තිබීම ඉතා සතුටුදායකය. ඒ අනුව ගම්පහ කොළඹ හා පුත්තලම දිස්ත්‍රික්කවල එකතු වන කසළවලින් දිනකට කසළ ටොන් 1200 ක් දෛනිකව කළමනාකරණය කළ හැක. සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතියක් පුත්තලමේ ඉදිකිරීම් ලබන සැප්තැම්බර් මස සිට අරඹන බව ඇමැතිවරයා පවසා ඇත.

පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ විද්‍යාත්මක පදනමක් මත සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ඉදිවන මේ කසළ පිරවුම ඉදිකිරීම තව මාස තුනකින් ඇරඹේ. කසළ ප්‍රවාහනය කරනු ලබන්නේ දුම්රිය මගිනි. ඒ යටතේ මුලින් ම කැලණියේ පිහිටුවන කසළ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කසළ ගබඩා කරනු ලැබේ. ඊට පසු දුම්රිය මඟින් දිනකට දෙවරක් ඒ කසළ ප්‍රවාහනය කිරීම ඇරැඹේ. කැලණිය, මීගමුව, හලාවත, පුත්තලම වැනි ප්‍රදේශවලිනුත් මේ දුම්රියට කසළ දමනු ලැබේ. එක් දුම්රියකින් කසළ ටොන් 600 ක් ගෙනයනු ලැබේ.

පසුව අරුවක්කාලු කසළ රඳවනයට මේ කසළ යොමුකළ විට ඒ මඟින් කුණු කසළ පරිසරයට හානි නොවන පරිදි කළමනාකරණය කරනු ලැබේ.

පුත්තලමේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට ඩොලමයිට් ලබාගෙන අතහැර දමන ලද මීටර් 30 – 40 ක් ගැඹුරු අක්කර 64 ක් විශාල වළවල් පිරවීමටම මේ කසළ දමනු ලැබේ. ඒ යටතේ ඉංජිනේරු සැලසුම් හා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර අවසන්ය. ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර 2019 දී මෙයට කසළ දැමීම අරඹන බව ද ඇමැතිවරයා පවසා ඇත. ඒ අනුව කැළි කසළ ඝන මීටර් ලක්ෂ 47 ක් මෙහි සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පුරවනු ලැබේ. අවට පරිසරයට මෙහි කිසිම හානියක් නැති අතර කසළ පිරවූ බිම ඉහළ මට්ටමේ අලුත් හරිත උද්‍යානයක් ඇති කිරීමට ද සැලසුම් කර ඇත. මේ කටයුත්ත වනාහි මෙරට කසළ කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉහළම විසඳුමක් දුන් අවස්ථාවකි. දැන් අපේ රටේ පරිසර සංවිධාන පුත්තලම ප්‍රදේශයේ ජනතා සංවිධාන කළ යුත්තේ මේ කටයුත්ත ක්‍රියාවට නැංවීමට අත හිත දීමයි. මෙරට ඩෙංගු වසංගතය විසඳීමටත් කසළ කඳු ගැටලුවට විසඳීමටත් විද්‍යාත්මක විසඳුම් වන මෙය ක්‍රියාවට නැංවීමටයි. රජය හා පාඨලී චම්පික ඇමැතිවරයා ගෙන යන මේ වැඩපිළිවෙළට අන් ආයතන අමාත්‍යාංශ ආදියේ ද උදව් උපකාර නිරන්තරයෙන් ලැබිය යුතු ය.

ඊට අමතරව මේ අරුවක්කාලුවේ කසළ අංගණය අවට ප්‍රදේශය ජාතික සම්පත් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රදේශයේ ජනතාවට සෙතක් ලැබෙන පරිදි සංවර්ධනය කිරීමට ද යෝජිත ය. ඒ අනුව අපේ පරිසරයට හිතැති අය කළ යුත්තේ මේ වැඩසටහන ක්‍රියාවට නැංවීමට උදව් දීමයි.

මේ අතර කොළඹ පමණක් ප්‍රධාන නගරවල පාරවල් දෙපස වෙන් නොකරන ලද කුණු කසළ පාර්සල් දැමීම දැන් වැඩිවෙමින් පවතී. ඊට හේතුව නිවසේ දීම මේ කුණු කසළ වෙන් කිරීම නොකිරීමයි. එසේ වෙන් නොකළ කසළ පළාත් පාලන ආයතන මඟින් රැගෙන යන්නේ ද නැත. ඒ අනුව ඒවා ඒ ඒ තැන්වල ඩෙංගු කීටයන් වර්ධනය කිරීමට හොඳ තෝතැන්නක් වෙමින් පවතී. තම නිවාස ඉදිරිපිට පාරට තම ගෙදර කුණු ටික වෙන් නොකර විසි කළොත් තමන්ටම ඩෙංගු හැදීමට ඉඩකඩ ඇති බව මතක තබා ගත යුතු ය‍.

ඒ අනුව මේ තම ගෙදර කුණු ටික වෙන් කිරීම හරියට‍ පළාත් පාලන ආයතනවලට බාරදීම අද කාලීන පාරිසරික හා සෞඛ්‍ය ආරක්ෂිත කටයුත්තක් වී තිබේ. තමන්ගේ පවුල සුරැකීමට ද ගත යුතු වැදගත් පියවරක් වී තිබේ.

මේ අතර පළාත් පාලන අමාත්‍යාංශය මේ කුණු කසළ ප්‍රතිචක්‍රීකරණයේ අත ගසා තිබීම සතුට‍ුදායක කරුණකි. ඒ අනුව එම පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා පවසන්නේ දිස්ත්‍රික්ක 9 ක කුණු කසළ මෙට්‍රික් ටොන් 50 බැගින් අඹරා කොම්පෝස්ට් නිපදවිය හැකි කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථාන 9 ක් ඉදිකරන බවයි. ඒ අනුව ප්‍රථම කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය දැනටම මහනුවර දිස්ත්‍රික්කයේ දිගන පිහිටුවා ඇතැයි ද ලේකම් පද්මසිරි මහතා පවසයි. කුණු කසළ ගැටලුවට ද හොඳ විසඳුමකි.

මෙවැනි විවිධ සැලසුම් රජය සතුව කාලයක් තිබුණත් ඒවා ක්‍රියාත්මක වීමට තව කලක් ගතවීම කනගාටුදායකය. විය යුත්තේ මුදල් අමාත්‍යාංශය ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශය වැනි ආයතන මෙවැනි කාලීන ගැටලුවලට විසඳුම් ලබාදීමේ යෝජනා ක්‍රියාවට නැංවීමට ඉක්මනින් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමයි. එසේ නොකළහොත් ගැටලුව උඩුදුවා තව ගැටලු ඇති කරයි. මීතොටමුල්ල කුණු කන්ද පිපිරීම එවැනි අවස්ථාවකි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ ඩෙංගු හා කුණු කසළ ගැටලුව පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇත. කුණු කසළ ප්‍රවාහන කටයුතුවලටත් කුණු කසළ කළමනාකරණ කටයුතුවලටත් බාධා නොකරන ලෙස එතුමා උපදෙස් දී ඇත. ඒ පිළිබඳව ආරක්ෂක හමුදාවලට උපදෙස් දී තිබේ.

රටේ ප්‍රධාන පුරවැසියා ලෙස එතුමා මේ කසළ හා ඩෙංගු ගැටලුවකට විසඳුම් සෙවීමට ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමත් අගය කළ යුතු ය.

මේ අනුව සමස්තයක් ලෙස පැවසිය හැක්කේ මේ කුණු කසළ හා ඩෙංගු ගැටලුව තිරසර ලෙස විසඳීමට රටේ සියලු දෙනාගේ උදව් රජයට ලැබිය යුතු බව හා රජයේ සැලසුම් වහාම කාර්යක්ෂම ලෙස ක්‍රියාවට නැංවීම කාලීන අවශ්‍යතාවක් බවයි.

නිහාල් පී. අබේසිංහ

Comments

කරුණාකර මේ ගැන කල්පනා කර බලන්න. ඩෙංගු ප්‍රශ්නය ගැන අප දන්න දේ:- ✓ ශ්‍රී ලංකාව දිවයිනකි. ✓ ඩෙංගු යනු වෛරසයක් නිසා සෑදෙන රෝගයකි. ✓ ඩෙංගු වෛරසය මදුරුවෙක් මගින් පතුරුවයි. ✓ ඩෙංගු වෛරසයට විවෘත පරිසරයේ ජීවත් විය නොහැකිය. ඉහත දේ සත්‍ය නම් පහත දේත් සත්‍ය විය යුතුය:- ✓ සියලු මදුරු දශ්ට කිරීම් නතර වුවහොත් ඩෙංගු රෝගය සතියකින් දිවයිනෙන් සහමුලින් තුරන්වෙයි. ✓ සියලු ඩෙංගු රෝගීන් හට මදුරුවන් දශ්ට කිරීම නතර වුවහොත් සති පහකින් (5) ඩෙංගු රෝගය තුරන් වෙයි. ✓ සියලු ඩෙංගු රෝගීන්ගෙන් අඩක් හට මදුරුවන් දශ්ට නොකෙරුවොත් මාස හතරකින් (4) ඩෙංගු රෝගය තුරන් වෙයි. ඩෙංගු මදුරු සංහාරය ක්‍රියාවට නංවන අතර, දැන්වත් අපට හැකි සෑම ක්‍රමයකින් අඩු ගණනේ හඳුනාගත් ඩෙංගු රෝගීන් මදුරුවන් දශ්ට කිරීමෙන් ප්‍රවේසම් කෙරුවහොත්, අපට ඩෙංගු රෝගය අවම කොට, අවසානයේදී රටෙන් තුරන් කල හැකි බව අපගේ විශ්වාසයයි. කරුණාකර බලන්න: http://eradicatedengue.blogspot.com/2017/06/blog-post.html

පිටු