බුදුදහමට සම්බන්ධයක් නැති ‘පිංකැෙට්’ | Page 2 | සිළුමිණ

බුදුදහමට සම්බන්ධයක් නැති ‘පිංකැෙට්’

 ‘පිං කැටය’ සෙලවුවහොත් එහි ඇති පඬුරු හෙවත් කාසි හෙලවෙනු නිසැක ය. එහෙත් ඒ පිංකැටය රටක් හෙලවීමට සමත් වෙතැයි කිසිවකු නොසිතන්නට ඇත. දැන් ඒ දේ සිදුවෙමින් තිබේ. එල්ලෙන්නට පොටක් සොයමින් සිටින කණ්ඩායමක් පිං කැටයේ එල්ලී රට කැලඹීමේ උද්ඝෝෂණයක් දියත් කර ඇත.

හන්දියක් ගානේ බෝ ගස් යට ද පිළිම යට ද පිංකැට තැබිමේ පුරුද්දක් මෑත කාලයේ ඇති විය. මේවාට එකතු වන පඬුරු හෙවත් මුදල් කුමන කටයුතුවලට වියදම් කෙරෙනවා දැයි පිංකැටය මත වැඩ වසන පිළිම වහන්සේලාවත් නො දනිති; දන්නෝ දනිති. පිං කැට අලුතින් ඉදිකිරීම හා ඒවාට පඬුරු දැමීම ජයට ම කෙරෙන අතරේ ආණ්ඩුව පිං කැටවල සල්ලි උදුරා ගන්නට හදන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ජානිපෙ නායක විමල් වීරවංශ අතන මෙතන කියති. ඇතැම් හිමිවරු ද කලබල වී සිටිති‍. අලුත්ගම කන්දෙ විහාරයේ පිං කැට 37ක් සීල් තැබීම විවාදාපන්න මාතෘකාවක් බවට පත් විය. චෝදනා එල්ල වූයේ ආණ්ඩුවට ය; බුද්ධ ශාසන ඇමතිට ය; බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ට ය.

පිංකැට පිරුණු පසු විහාරාධිපති ඉදිරියේ එහි ඇති මුදල් විගණනය කර විහාරයට අදාළ ගිණුමක තැන්පත් කිරීමේ බලය තමාට ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවෙලගෙදර මහතා ප්‍රකාශ කළේ ය. දළදා මාලිගාව, සීනිගම දේවාලය, කන්දෙවිහාරය ඇතුළු පූජනීය ස්ථාන 257ක පිංකැටවලට එකතුවන පඬුරු මුදල් විගණනය කිරීමේ ක්‍රියාවලිය හදිසියේ පටන් ගත් එකක් නොවන බවත් දායකයන් ආගමික ස්ථාන දියුණු කිරීම සඳහා පූජා කරන මුදල් විනිවිද භාවයකින් පරිහරණය කිරීම සනාථ කිරීම සඳහා විහාර දේවාලගම් පනත යටතේ මෙය දීර්ඝ කාලයක් සිදුවූ බවත් බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැහැදිලි කළේ ය.

දඹුලු විහාරයට ලැබෙන මුදල් පිළිබඳ විමර්ශනය කරන්නට යෑම, ප්‍රශ්නකාරී තත්ත්වයක් ද නිර්මාණය කර තිබේ.

ආණ්ඩු විරෝධී පිරිස් මෙය බුද්ධාගමට එරෙහිව ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් බවට අර්ථකථනය කළෝ ය‍. මෙකී වාතාවරණය අපේ රටේ පිංකැට භාවිතය පිළිබඳ කතිකාවතකට මුල පුරයි.

‘පිංකැට’ ගැන කියන විට පිං ළිඳ, පිං හාල්, පිං කුඹුර, පිං ගොනා පිං මාළු වළ, පිං තාලිය යනාදී වශයෙන් සිංහල ජන වහරේ නාමාවලියක් සිතට නැ‍ඟෙයි. මේ සියල්ල පුණ්‍ය චේතනාව සපුරා ගැනීම සඳහා ගැමියන් විසින් යොදා ගන්නා ලද උපාය මාර්ග වෙත්.

පොදු ළිඳ සහ පිං ළිඳ අතර ද වෙනසකි. පොදු ළි‍ඳෙහි ද යම් සීමා ඇතත් පිං ළි‍‍ඳෙහි ජාති, කුල, ආගම්, උඩ, පාත රට භේද කිසිවක් නැති ව ඕනෑ ම අයකුට ස්නානය කළ හැකි ය.

පිං කුඹුරෙහි අස්වනු පන්සල වෙනුවෙනි. පිං ගොනා යනු පොදු වැඩ සඳහා නිදහස් කරන ලද ගොනා ය. පිං මාළු වළෙහි මාළු ඇල්ලීම බරපතළ වරදකි. පිං තාලිය යනු ගමන් බිමන්වලදී පවස ඇති වූ විට නිවා ගැනීම සඳහා මං සන්ධිවල තබා ඇති වතුර කළය යි. පිංහාල් යනු ගෙදර පාවිච්චියට නොගෙන දුගී මගී යාචකයන් සඳහා වෙන් කරන සහල් පංගුවයි.

පිංකැටය යනු පිං ලබා ගැනීම ඳහා පඬුරු දැමීමට වෙන් කර ඇති උපකරණය හැටියට මේ අනුව තර්ක කළ හැකි ය. මෙය ඊට වඩා තරමක් සංකීර්ණ ය. පිං කැටයක් දේවාලයක හෝ පන්සලක තැබූ විට එහි එක් රැස්වන මුදල් ස්ථානයේ දියුණුව සඳහා භාවිත කරනු ඇතැයි සැදැහැවත්හු සිතති. පිං කැටයේ භාරකරු, කපුවා, හිමිනම හෝ වෙනත් අයකු විය හැකි ය. එසේ වුව ද මුදල් යොදවන ආකාරය, ශේෂය හෝ හිඟය පිළිබඳ පඬුරු ලබා දුන් පුද්ගලයන් හට දැන ගැනීමේ මගක් නොමැත. එසේ දැන ගැනීමේ අවශ්‍යතාවක් ද නැත.

ප්‍රසිද්ධ ආගමික මධ්‍යස්ථානවලට පඬුරු වශයෙන් ලැබෙන මුදල් සම්භාරය දෙස බලන විට ඒවා අවභාවිතයෙහි යෙදවීමේ ශක්‍යතාව වැඩි බව පෙනේ. අදාළ ආගමික මධ්‍යස්ථානය වැඩි දියුණු කළ සශ්‍රීක තැනක් නම් ඉන් පසු මුදල්වලට සිදුවන්නේ කුමක් ද යන්න ගුප්ත රහසකි. පිං පඬුරු පිළිබඳ වගකීම් දරන පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය සුඛෝපභෝගී ජීවිත ගත කරනු දැක ගත හැකි ය. කෙසේ වෙතත් අදාළ ආගමික මධ්‍යස්ථානයෙහි අඩු පාඩු නැති නම් එම අරමුදල පොදුජන යහපත සඳහා යෙදවීමේ වගකීම පඬුරු භාර උදවියගෙන් ඉටු විය යුතු ය. එය ද සිදු නොවේ. සාංඝික දේපළවලට අත තැබීම වරදක්ය යන ප්‍රවාදය අනුව මේවාට අත තබනවාට සමහරු අකැමැති වෙත්.

කළුතර බෝධිය අවට ඇති පිං කැටවලට දිනපතා එකතු වන ධනය වීල් බැරෝවල ආධාරයෙන් ගොඩ ගසනු අප නිරීක්ෂණය කර ඇත.

මීට වසර විස්සකට පමණ පෙර රට පුරා කාසි හිඟයක් ඇති විය. නිශ්චිත ස්ථානයක කාසි ඒකරාශි වී තිබෙන බව නිරීක්ෂණය කළ හැකි විය. මීවැල්ලෑවේ හාමුදුරුවන් කාසි ගෝණියකට යට වී රෝහල් ගත වීමෙන් සත්‍යය අනාවරණය විය. දිවයින පුරා බැතිමතුන් මීවැල්ලෑවේ බෝගසකින් බුදු හිමියන් ප්‍රාදුර්භූත වනු දකින්නට ගොස් පොළොවේ පස් කමින් පූජා කළ පඬුරු කාසි ගෝණිවල අසුරා පන්සලේ ගොඩ ගසා තිබිණ.

ඉන් පසු කාලයේ දොළුකන්දේ අනුහස් දකින්නට ගිය ජනතාව ගැට ගැසූ පඬුරු එකතු කරන්නට කුලියට ගත් පිරිස් යොදවා තිබිණ‍.

බස් වල මගීන් හා කොන්දොස්තරවරුන් අතර ‍ ගැටුමකට මුල් වී ඇති කාසි හිඟය සහ පිංකැට අතර ඇති සම්බන්ධය ගැටුමේ දෙපාර්ශ්වය ම නො දනිති. කොන්දොස්තර ද ගමනාරම්භයේ දී පිං පෙට්ටි‍යට පඬුරු දමයි. බුදුන් වහන්සේ හින්දු දේව වාදය ප්‍රතික්ෂේප කළ හ. එනිසා මැවුම්කරුවකු පිළිබඳ අදහසට බුදුදහමෙහි ඉඩක් නැත. දෙවියන් සතුටු කිරීමෙන් ප්‍රතිලාභ ද කුපිත කිරීමෙන් සතුරන්ට හිරිහැර ද ඇති කරවීම හින්දු දේව වාදීන්ගේ ස්වරූපයයි.

බුදුපිළිම යටින් පිංකැටයක් තැබීම බෞද්ධ පිළිවෙත් අනුව අශිෂ්ට ක්‍රියාවකි; මිථ්‍යා ඇදහීමකි. කැටයට පඬුරු දමා බුදුන්ගෙන් පිහිට පැතීමේ චාරිත්‍රය ගැළපෙන්නේ බෞද්ධයන්ට නොව මිථ්‍යා දෘෂ්ටිකයන්ට ය.

බුදුන් වහන්සේ යනු අද්භූත බලයක් ඇති දෙවියෙක් නො වේ; උත්තර මනුෂ්‍යයෙකි. මනුෂ්‍යත්වය කරා යන මාර්ගය උන්වහන්සේ පහදා දුන් හ. ඒ ම‍ඟෙහි යෑම සඳහා උත්සාහ දැරීම බෞද්ධයන්ගේ පිළිවෙත ය. බුදු පිළිමයට හෝ බෝගසකට පඬුරු දමා පිහිට පැතීම එක්තරා ගනුදෙනුවකි. තමන් පැතූ දෙය ඉටු නොවුණ හොත් බුදුන් වහන්සේ පිළිබඳ ඔවුන් සිත්හි ඇති වන හැඟීම් කවරේ ද?

“ආනන්දයෙනි, සර්පයා දුටුවාද? යනුවෙන් බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ගෙන් වරක් විමසූ බව බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන් ය.

ප‍ුජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ පිංකැටය සහ පඬුරු පිළිබඳ කරුණු දැක්වීමේ ප්‍රවේශය ගත් හ.

“බුදු හාමුදුරුවෝ එසේ සඳහන් කළේ මසුරන් පොදියක් ගැනයි. අද මසුරන් වෙ‍නුවට මුදල් භාවිත කරනවා. දේපළ අත්හළ පිරිසක් හැටියට සංඝයා වහන්සේලාට ධනය අවශ්‍ය නැහැ. එමෙන් ම පිං කැට විගණනයට දේශපාලන අර්ථ කථන දෙන එකත් සම්පූර්ණයෙන් ම වැරදියි. එහෙත් අද ඇතැම් භික්ෂූන් පවා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දේවල්, නිදන් සහ මුදල් පිළිබඳ උනන්දුවීම අශෝබන කරුණක්. පිංකැටයක් බුදුරුව හෝ බෝධිය ළඟින් තැබීම සම්පූර්ණයෙන් ම වැරදියි‍. බුදුදහමට අනුව පහත් ක්‍රියාවක්. සමහර පන්සල්වල පිං කැටවලට විශාල ධනයක් ලැබෙනවා. පන්සලේ අඩුපාඩු තිබේ නම් ඒවා සම්පූර්ණ කර ගැනීමේ වරදක් නෑ. එහෙත් ධනය ගොඩ ගහගන සිටීම වැරදියි. දුප්පත් ළමයින්ට දුප්පත් පාසල්වලට උදව් කරනවා නම් කොච්චර හොඳ ද? පිංකැටයයි බුදු දහමයි අතර කිසිම සම්බන්ධයක් නෑ” රඹුකන සිද්ධාර්ථ හිමියන් පවසන පරිදි බෞද්ධ පිළිවෙත් වරදවා වටහා ගැනීම පිංකැටයේ අර්බුදයට හේතු වී තිබේ.

පිංකැටවල පඬුරු සහ නොඑකුත් පරිත්‍යාග මඟින් ලැබෙන මුදල් නියාමනය අධීක්ෂණ සහ විගණනය කිරීම හැමතින් ම යුක්ති යුක්ත ය. එය බුදු දහමට තර්ජනයක් යැයි කියන්නෝ බුදු දහම අඩයාළමක් කර ගනිමින් සමාජ හා දේශපාලන බලය තහවුරු කර ගන්නෝ වෙති.

විවිධ දුෂ්කරතා මැද පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර වහන්සේලාගේ ගැටලු පිළිබඳ සොයා නොබලන, දාන වේල හරිහැටි නොලබන වැඩිහිටි භික්ෂුන් පිළිබඳ සොයා නොබලන විසල් මන්දිරවල දිවිගෙවන ඇතැම් භික්ෂූන්ගේ විරෝධතා අලුයම ලූ කෙළ පිඬක් මෙන් ඉවත දැමීම රට කරවන්නන්ගේ වගකීම විය යුතු ය.

තිඹිරියාගම බංඩාර

Comments