
පුරාවිද්‍යාවට දැන් යළි දු හොඳ කලක් ලබන්නා සේ ය. කලක් තිස‍්සේ ම ඇකිළී වියැළී කේඬැරි වැ ගොස් තුබූ පුරාවිද්‍යාව දැන් දැන් මඳක් පණ ගසන්නාක් මෙන් දැනේ. හොඳ ලකුණෙකි. දැන් වත් ඉතිරි වැ ඇති පුරාවස්තු ස්වල්පය හෝ රැකගත හොත් මැනැවි.
සිට් තුමෝ වනාහි හවුරුදු ගණනක් ම එ තැන මෙ තැන කැණීම් කරමින් කඹුට, ඒ සියලු කල්හි නොනෑ නෑමක් අවසනට කළුදිය පෙකුණින් නා ගෙන සම්පූර්ණ ආයුෂය නො විඳ ම ගෙදර ගිය හ. පරාවිද්‍යාවේ වේ වා, වෙනත් විජ්ජාවෙක වේ වා, තැන රැකගැන්මට නම් කළ යුතු බොහෝ දේ ඇත්තේ ය . ඒ නොදන්නේ නම් විෂය ඥානයෙන් යුක්ත වුව ද පැවැත්ම තිර නො වේ.
ගිය හකුර අත හරිමු. සිටුනා තුමෝ වනාහි පුරාවිද්‍යා ආඥා පනත මැනැවින් දන්නෝ ය. අකුරක් නෑර දන්නෝ ය. එව උගන්වන්නෝ ය. එ හෙයින් එය ක්‍රියාවං නැංවීම ද ඔවුනට නොහැක්කේ නො වේ. වුව මනා වන්නේ උනන්දුව පමණෙකි. ඇවැසි නම් නිදන් හෑරිලා දාගබ්, පිළිම බිඳිලි සියල්ල සතියෙකින් නැවැත්විය හැකි ය. පහත එ තරම් බලවත් ය. කවරකුට වුව ද එරෙහි වැ ක්‍රියාත්මක කළ හැක්කේ ය.
ගිය තුමන් යන්නට කලින් සකස් කළ පනත වඩාත් බලවත් ය. අහෝ! කළු දිය පොකුණේ නෑ මේ පව නිසා ම එය නීතිගත වන තෙක් වන් ඉන්නට බැරි වූ සැටි! පුරාවිද්‍යාව වනාහි අනෙක් විද්‍යා මෙන් නො ව ජාතියේ අතීත උරුමය හා බැඳී ඇත්තේ ය.
එ හෙයින් ජාතියේ අනන්‍යතාව දක්වන කැටපතක් ද වන්නේ ය. එ හෙයින් එ බඳු විශේෂ බලයක් පුරාවිද්‍යා පනතට අවශ්‍ය ම ය. වරද නම් කො තෙක් බලතල තුබුණ ද එයින් වැඩක් නොගැන්ම යි. දැන් වත් නිසි ලෙස එ බලතල යෙදැවුවහොත් ගොනා නැත දු නඟුට වත් රැකගත හැකි වෙයි.
අර කොටි හටන් කාලයේ වැනැසුණු පුරාවස්තු, ශිලාලේඛන ආදිය කො තරම් ද? අපේ උදාර අතීත මහිමය මුළු ලොවට හඬ ගා කිය හැකි කො තෙක් දේ එ කල මේ මිහිමතින් තුරන් වී දැ යි කවුරු නම් නිවැරැදි වැ දනිත් ද? දැන් මේ සංහිඳියාව රජයන යහපාලන කාලයෙහි එ බඳු දෑ සිහි කිරීමත් වරදක් විය හැකි නො? එ හෙයින් ඒ හකුරත් හැර දමා තිබෙන හකුර ගැන පමණක් ම සිතමු.
දැන් නම් පුරා විද්‍යාවත් බොහෝ දෙනකුට හකුරු වී ඇති බව සැබෑවෙකි. එ වුව ද ඒ පුරාවිද්‍යාවේ ම පිනෙකින් නම් නො වේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුහසිනි කලින් පුරාවිද්‍යාව දෙස හැරී බැලමක් හෝ නො කළ බොහෝ දෙනා - බොහෝ විද්වතුන් - කාන්දමට යකඩය මෙන් එ දෙසට ඇදී එන්නට වූයේ එය පිහිටුවීමෙන් පසු ය. අරමුදල එ තරම් ම පොහොසත් ය. නිශ්ශරණාධ්‍යාශයෙන් ම ශාස්ත්‍රීය සේවාවෙහි යෙදී සිටුනා ශාස්ත්‍රවන්තයනුදු තමා වෙත ඉබේ ඇදගන්නා තරමට ම පොහොසත් ය. එහි මහ පුටුව, දෙස්පලු පෙරැළියෙකින් පසු රජයේ පාට අනුව පිරැවිය යුත්තක් බවට පත් කැරලන තරම් පොහොසත් ය.
හැයි, ලංකාවේ හිඟන බැතිමතුන් ගෙන් නො ව, සද්ගුණවත් සංචාරක උතුමන් ගෙන් ලැබෙන මුදල්! ‘යුනෙස්කෝවෙන්’ ලැබෙන මුදල්! තවත් නොයෙක් අතින් ලැබෙන මුදල්! ඉතින් අර මකුළු දැල් බැඳුණු පුරාවිද්‍යාවට වඩා කරුණාවත් මෛත්‍රියත් මේ අරමුදල වෙනුයෙන් කා තුළත් පහළ වීම පුදුමයක් ද? වේ වා! කන දෙයක් හවුලේ කෑමට අරමුදල් ඇත්තන් පුරුදු වුව හොත් වඩා මැනැවි. එ නැත හොත් දඹුල්ලේ දී මෙන් අමංගල අද්දැකීම්වලට අන් තන්හි දී ද මේ අරමුදල් කරුවනට මුහුණ දීමට සිදු වනු ඒකාන්ත ය.
අහෝ! දඹුලු සිතුවම් මැකී යන්නට වන් කල, සදා නො වියැළෙති යි කියන දිය බිඳුව පවා වියැළී යන්නට වන් කල, ලෝක උරුම ලේඛනයෙන් දඹුල්ල කපාදමන බව කියන කල දඹුල්ල ගැන මෙ බඳු උනන්දුවක් දක්වන්නට කිසිවකු නොවූ සැටි!
පුරාවිද්‍යාව එ කල්හි මෙන් මෙ කල්හි රටට බරක් නො වේ. හොඳට මුදල් සොයා දෙන විෂයයෙකි. සීගිරි අප්සරාවන් පෙන්වා දිනකට කො තරම් නම් මුදලක් ලබමු ද? කිසි කටයුතු සැලැස්මක් ඇත හොත් තවත් කො තරම් මුදල් සෙවිය හැකි ද? ඉතින් රතු තොලින් නැඟෙන සිනාවක් මෙන් පුරාවිද්‍යාව තවත් ගැලවිජ්ජාවක් නො වී දියුණු වුවොත් කො තරම් මැනැවි ද?
- හිත මිතුරා