සිසුන් පස් දෙනාගේ ඉස්කෝලේ | සිළුමිණ

සිසුන් පස් දෙනාගේ ඉස්කෝලේ

කිරිඇල්ලේ සිට හාන්දුකන්ද ගමට යන අතරමඟදී හමුවන කොඩිතුවක්කු කන්ද ප්‍රාථමික පාසල පසුකර ඉදිරියට ගිය අපි එසැණින් යළිත් හැරි ආපස්සට ආවෙමු.

“ඇයි?”

ඡායාරූප ශිල්පී රුවන් මදෙස බැලුවේ ප්‍රශ්නයකිනි.

“වෙනදට මේ ඉස්කෝලේ ළඟින් යන විට ළමයින්ගේ කෑගැසිල්ලෙ ඉවරයක් නැහැ. අද එහෙම නැහැනේ. ඉස්කෝලේ වහලද දන්නෑ.”

අපි පාසල් භූමියට ඇතුළු වීමු.

“කවුරුවත් නැද්ද මාමා”

අපට ගේට්ටුව හැර දුන් වයෝවෘද්ධ පුද්ගලයාගෙන් විමසුවෙමු.

“ලොකු නෝනා ඉන්නවා”

“කවුද?”

ගුරුවරියක් දොරකින් එබී ඇසුවාය.

අපි කිසිත් නොකියා පාසල අවට බලන්නට වීමු. මීට වසර කිහිපයකට පෙර පාසලේ පන්ති කාමරවල බොහෝ දරුවෝ ඉගෙනුම ලැබූහ. දරුවන්ගේ කැකුළු සිනා හඬින් පළාතම පිබිදුණේය.

“අහෝ! මෙදා පන්ති කාමරයේ සිටියේ සිසුන් හතර දෙනෙකු පමණි.

“මෙච්චර ද ළමයි ඉන්නෙ”

පාසලේ සිටි ගුරුවරියන් දෙදෙනාගෙන් අපි විමසුවෙමු.

“නැහැ තව එක්කෙනෙක් ඉන්නවා. අද එයා ඇවිත් නැහැ. මේ අවුරුද්දේ බාලාංශ පන්තියට ළමයි ඇතුළත් වුණේ නැහැ.”

තුනේ පන්තියේ ළමයි තුන්දෙනෙක් ඉන්නවා. දෙකේ පන්තියේ එක ළමයයි පහේ පන්තියේ එක ළමයයි ඉන්නේ. මම මේ පාසලේ අවුරුදු එකොළහක් තිස්සේ වැඩ කරනවා. මුළු පාසලටම ඉන්නේ ළමයි පස්දෙනයි. එයිනුත් ළමයි දෙන්නෙක් දෙමළ අය.”

වැඩ බලන විදුහල්පතිනිය වන ලක්මාලි පවසන්නේ පාසලේ දරුවන් ගැන කනගාටුවෙනි. ඇය පවසන පරිදි මෙම දරුවන්ගෙන් ඇතැමෙක් දක්ෂය. මේ දරුවෝ කැලයේම පිපී කැලයේම පරව යන මල් බඳුය.

දෙමළ දරුවන් දෙදෙනාට සිංහල ලිවීම අමාරුය. නමුදු අනෙක් දරුවන්ට එසේ නැත. කොඩිතුවක්කු කන්ද ප්‍රාථමික විද්‍යාලයේ කටකාර කෙලි පොඩිත්තිය අප එහි ගිය මොහොතේ සිට අප සිත සොරා ගත්තේය.

“ඔයා මොනවට ද කැමැති?”

‘චිත්‍ර අඳින්න.’ දැරිය කඩිමුඩියේම චිත්‍ර පොත ගෙන පිට‍ුවෙන් පිටුව පෙරළා පෙන්වන්නට වූවාය. ඇගේ අකුරු පැහැදිලිය. රවුම් අකුරු ලියන්නීය. ‘අසා ලිවීම’ නිවැරැදිය.

“මේ දරුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්. අපි ඇයට උගන්වනවා. මේ දැරියට වෙනත් පාසලකට යන්න පුළුවන් නම් මීට වඩා හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒත් ඇය බොහෝම ආර්ථික දුෂ්කරතා මැද්දේ ජීවත්වෙන්නෙ.” ගුරුවරිය දැරිය පිළිබඳ පවසන්නට වූවාය.

“ඔයා කැමැති ද මේ ඉස්කෝලෙන් වෙන ඉස්කෝලෙකට යන්න.”

“ඔව්”

“ඇයි ඒ”

“කන්ද නාය යනවා කියනවනේ. අපිට ඉස්කෝලේ ඉන්න බයයි. මගෙ සීයා උදේට මා ඉස්කෝලේ එක්කගෙන ආවාම හවසට ගෙදර යන්නෙ.” දැරිය සුරතල් හඬින් කියන්නීය.

‘කෝ ඔයාගේ සපත්තු’ සුදු ගවුම හැඳ ටයි පටිය විතරක් පැලඳ සිටින ඇයගෙන් ඇසීමි.

“සපත්තු දෙක තෙමිලා. අපේ ගේ තෙමෙනවනේ. ඊයේ රෑ වැස්සට ඒක තෙමිලා”

දැරිය ලැජ්ජාවෙන් පවසන්නට වූවාය.

‘අම්මා මොකද කරන්නෙ?’

අම්මා මල්ලි බලා ගන්නවා. අප්පච්චි ගල් වළේ වැඩට යනවා... අපේ ගෙදර එනව ද? අම්මා තේ හදලා දෙයි. දැරිය හිස ඇල කරමින් සුරතල් හඬින් අසන්නීය.

“අපි එන ගමන් එන්නම්”

හාන්දු කන්ද ගමට යන අතරමඟදී අප කතා වූයේ කොඩිතුවක්කු කන්ද ප්‍රාථමික පාසලට අද උදාවී ඇති තත්ත්වය ගැනය. 1962 වසරේදී නැදුන් රජමහා විහාරයේ මූලිකත්වයෙන් ඇරැඹි පාසලෙන් ගමට විශාල සේවයක් සිදු විය. නමුදු අද වන විට පාසල වැසෙන තත්ත්වයට පත්වී ඇත්තේය. මුළු පාසලට ම ඇත්තේ එක් ගොඩනැඟිල්ලක් පමණි. යම් දිනෙක පාසල වසා දැමුවහොත් ආර්ථික දුෂ්කරතා නිසා වෙනත් පාසල්වලට යෑමට හැකියාවක් නැති මේ දරුවෝ අසරණ වෙති. එසේ වුවහොත් මේ දරුවන්ට කුමක් වන්නේ ද? පිළිතුරක් පෙනෙන මානයක නැත.

හාන්දු කන්ද කබරගල අවට ගම්මානයේ සැරිසැරු අපට දවස ගෙ‍ෙවනවා නොදැනිණි. යළිත් කොළඹ බලා එන්නට අපි පිටත් වුණෙමු. වේලාව සවස තුන පසු වී තිබෙන්නට ඇත. කොඩිතුවක්කු කන්ද ප්‍රාථමික පාසල පසුකරන්න වූවා පමණි.

‘අන්න අර දරුවා දුවගෙන එනවා’

රුවන් පෙන්වන්නට වූයේ වාහනය ඉදිරියට දිව එන අට හැවිරිදි දිල්මි නිම්සරා දැරියයි. දැරියට පිටුපසින් ඇගේ පොත් මල්ල ද උස්සාගෙන සීයා ද දිව එයි.

“මං නැන්දලා එනතුරු බලන් හිටියේ. අපේ ගෙදර යමු.”

දැන් ඉතිං කොළඹ එන ගමන තවත් පමා වනු ඇත.

“වැන් එක හරවගන්න එක තමයි ප්‍රශ්නෙ...” රියැදුරා නෝක්කාඩු හඬින් පැවැසීය.

“මෙතනින් තමයි ගෙදර යන්නෙ”

දැරිය තේ ගස් අතරින් ඇති අඩි පාරක් පෙන්වමින් අපි සෙමෙන් ගල් නඟින අතර ඒ මගේ දිව ගියාය. බැරි අමාරුවෙන් ඒ මගේ ගිය අපි නිවෙස ඉදිරියේ නතර වීමු. සුසුමක් නැඟුණේ ඉබේටමය.

වරිච්චි බිත්තියෙන් තැනු ඒ නිවෙස බිම වැටෙන්නට ඔන්න මෙන්නය. මොවුන්ගෙන් ඉතින් නම් කිසිවක් ඇසිය යුතු නොවේ.

දැරියගේ මව තම කුඩා පුතු ද වඩාගෙන අප ඉදිරියට ආවේ සිනාසීගෙනය.

දැරිය තම මවට ඉදිරියෙන් අපට මැදිව සිටගත්තේ වීර චාරිකාවක් පැමිණි ලෙසිනි.

“දුව කිව්වා සිළුමිණ පත්තරෙන් ඇවිල්ලා කියලා” මව පැවසුවාය.

“යමු... මගේ කාමරේ පෙන්වන්න...” දැරිය අප කැඳවූවාය.

ගෙබිම තෙතබරිතය. නැත මුළු ගේ තුළම ඇත්තේ තෙතබරිත බවකි. මේ පුංචි පවුල කොහොම මේකේ ඉන්නවද මන්දා... ඇතුළට ගිය මට එසේ සිතිණි.

දැරියගේ කාමරයේ අබලන් ඇඳකි. පොත් පාඩම් කිරීමට ඇත්තේ අබලන් පුටුවක් හා මේසයකි. ඇඳුම් දැමීමට ඇත්තේ අබලන් කාඩ්බෝඩ් පෙට්ටියකි. මුළුතැන්ගෙය ද අබලන්ය.

“ගේ හදාගන්න කියලා බැරි අමාරුවෙන් අත්තිවාරම දැම්මා. ඒත් ගෙයක් කියන්නේ හීනයක්... මගෙ දුව ඉගෙන ගන්න දක්ෂයි. එයා ටවුමේ ඉස්කෝලෙකට දාගන්න අපිට බැහැ.” නිම්සරාගේ මව දිලිනි මධුරිකා දියණියගේ හිස අතගාමින් පවසන්නට වූවාය.

“මං ආසයි ඉගෙන ගෙන හමුදාවට බැ‍ඳෙන්න. රට රැකගන්න. ලොකු ඉස්කෝලෙකට යන්න ආසයි...”

දැරිය මා අතේ එල්ලී පවසන්නීය.

ඒ පුංචි හිතේ තමන්ට කියා හීනයක් ඇත. ඒ තමන්ටම කියා නොතෙමෙන ගෙයක සිටින්නට ඇති ආශාවය.

ඇතැම් දරුවන් ඕනැවටත් වඩා සම්පත් විඳින යුගයක මේ දැරියගේ ලෝකය ඊට හාත්පසින්ම වෙනස්ය. රූපවාහිනියෙන් හෝ වෙනත් සන්නිවේදනයන්ගෙන් දූෂණය නොවූ නිම්සරාගේ ළමා ලෝකය තවමත් සුන්දරය. ඇගේ අනාගතය මීටත් වඩා සුන්දර කිරීමට නිම්සරාලාට හිසට සෙවණක් ලබාදීමට යම් අයෙකුට ඉදිරිපත් විය හැකිනම් එය මහඟු පින්කමක් වනු ඇත.

සිත්මල්යාය පාඨකයිනි, මේ කාරුණික ආරාධනය ඔබටයි... අමතන්න. 0112429265.

Comments