
එදා හොඳින් ඉර පෑයූ දිනයකි. සුමනේ බුදු මැඳුරේ බුදු රුව ඔප දමමින් සිටියි. ටිකක් වැඩ කොට මඳක් පිටුපසට ගොස් යළිත් ඒ දෙස බලා නැවත ඉදිරියට ගොස් අඩුපාඩු සකස් කරයි. නෙළා ඇති පිළිමයේ අඩුපාඩු ඔහුම හිතින් නිශ්චය කොට තවත් සකස් විය යුතු තැන් තීරණය කළේ ඔහුමය. බුලත් විටක්ද සපමින් ඔහු සමාධියට සම වැදුණාක් මෙන් පිළිමය දෙස බලා සිට මඳක් පස්සට ගොස් යළිත් පිළිමයේ අඩු තැන් සකස් කර කපරාදු කරයි.
“සුමනේ, තේ එකක් බීලා එමු ද?”
“දැන්ම එපා. මම ඕන වෙනකොට ගුරු නිවාසෙට එන්නම්.”
ඔහු යළිත් බුදු පිළිමයේ වැඩ කටයුතු කතාවකින් තොර ව කරගෙන යයි.
සුමන බණ්ඩාර නාගහවත්ත මා විදුහල්පති ලෙස සේවය කළ හරන්ගල විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු සහජ හැකියා ඇති කැපී පෙනුණු අයෙකි. ඉගෙනුම ලබද්දී ඔහු වඩාත් දස්කම් පෑවේ චිත්‍ර කලාවටයි. ධර්මානුකූල ජීවිතයක් ගත කළ ඔහුට තරුණ විය ඉක්මවීමට පෙර දේව බැල්ම හා ආශිර්වාදය ලැබී ඇත. රාත්‍රී සිහිනෙන් අද්භූත බලවේගයක් දුන් උපදෙස් අනුව කතරගම බලා ගිය ඔහුට කතරගම කපු මහතා දහසක් සෙනඟ මැද ඔහු ඉදිරියට කැඳවා ත්‍රිශූලයක් ලබා දී ඇත. ඔහුගේ ඉදිරි ජීවිතයට පාර වැටුණේ එයිනි. ඔහු දෙතුන් වරක් තමා ගුප්ත ජීවිතයට වැටුණු අයුරු මා වෙත විස්තර කළේය.
“සුමාන දෙකතුනකට සැරයක් සුදු ඇඳගෙන රැවුළ වවාගත්තු තාපස කෙනෙක් හීනෙන් මට කතා කරලා ආශිර්වාද කරනවා. උඹේ ඉදිරි ජීවිතය පාර කැපිලයි තියෙන්නේ. උඹ පින්වන්තයෙක්. පෙර ආත්මයේ පින් කළ කෙනෙක්. උඹට උදවු වෙන්නයි මේ ආවේ. අපි දෙන උපදෙස් පිළිපැද්දම දියුණුව ලබයි. කතරගම ගියහම සෙනඟ මැද්දෙන් දරුවා ඉදිරියට කැඳවලා ත්‍රිශූලයක් ලැබුණා නේද? තව ටික දවසකින් දරුවට මල්ලන්ද හින්දු කෝවිලේ වැඩ කරන්න පුළුවන්. දේව ආශිර්වාදය ලැබෙනවා. ටික කාලයක් ගියාම උඹට තමන්ගේම දේවාලයක් හදාගන්න පුළුවන්. එතකල් මේ ලැබුණු දායාදය සාධාරණව මැදිහත්ව මුදල් ගැන හොයන්නේ නැතිව පාවිච්චි කරන්න ඕනෑ.”
ඔහු තම අතීත කතාවේ බොහෝ ගුප්ත තැන් මා සමඟ හෙළි කරයි. ටිකෙන් ටික ඔහුගේ කීර්තිය පැතිර යයි. දිනකට මහත් පිරිසක් ඔහු සොයා ඇදී එයි. ඒ අතර චාම් ගැමියකු ලෙස නිහඬව ගමේ ජීවත් වෙයි. පාසලේ - බුදුමැදුරේ වැඩ ඔහු බාර ගත්තේ තනි තීරණයෙනි. ඉඩ ලැබෙන විට වැඩ නිමවා දෙන පොරොන්දුවෙනි.
ගුරු නිවසට එන ඔහු තේ කෝප්පය තොල ගාමින් මා සමඟ කතාවට වැටෙයි.
“අද, මම සර්ට ලස්සන කතාවක් කියන්නම්. ගිය සතියේ මම පුත්තලම පැත්තේ ඈත ගමනක් ගියා. කෝවිලට ආපු කීපදෙනෙකුගේ ඉල්ලීමට. තරමක් ධනවත් පවුලක්. ඒ පවුලේ හිටියා උපදිසාපතිවරයෙක්. එයාගේ නංගී බැඳලා හිටියේ පාසල් ගුරුවරයෙක්. මේ අය බොහොම සන්තෝෂයෙන් ජීවත්වුණේ. ඒත් ඒ අයගේ තාත්තා නිතරම ලෙඩ ඇඳේ. අවුරුදු ගානක් බේත්හේත් - යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරනවා. කිසිම හොඳක් නෑ. මම එහාට ගියේ ඒ අයගේ ඉල්ලීමට. මේ අයගේ ලෙඩේ සනීප වෙන්නේ නැත්තේ ඇයි කියලා දැනගන්ට. හවස ඇඟපත හෝදාගෙන ඕනෑ පුදපූජා ද්‍රව්‍ය ලෑස්ති කරගෙන දේවාරූඪය ගත්තා. ගෙදර අය මගෙන් ප්‍රශ්න කරලා තොරතුරු දැනගත්තා. පස්සේ හොඳ සිහිය ආවම ඒ අය කිව්‍වේ ලේ නෑයෙක් දේපළ ආශාවට නපුරු කොඩිවිනයක් කරලා වත්තේ වතුර බොන ළිඳ පතුලේ පණ තියෙන ඉබ්බෙක් අල්ලලා ජීවම් කරලා ළිං පතුලේ බැඳ දාලා ඉන්නවා කියලයි. ඉතින් පහුවදා බොහොම රහසිගතව ඒ බන්ධනය ඉවත් කිරීමට අවශ්‍ය දේ ඒ අය සූදානම් කළා. මේ අය පදිංචි වෙලා හිටපු ඉඩම අද්දරම ඒ අයගේ බාප්පා හිටියා. ඒ කියන්නේ ලෙඩාගේ බාල සහෝදරයා. එයා නිතර මේ ගෙදරට යනවා. එනවා. හොඳට හිතවත්. ගෙදරින් කනවා. බොනවා. පොඩි පොඩි වැඩට උදවු වෙනවා. ලෙඩාට සාත්තු කරනවා. ලෙඩා කිව්වේ එයාගේම අයියා.”
සුමනේ කතාව නවතා මා දෙස බලයි.
“ඉතින්, මොකද වුණේ?”
“මම බොහොම රහසේ අවශ්‍ය පුදපූජා ලෑස්ති කරලා රෑට කෑම කාලා බොහොම පිරිසිදුව දේව භක්තිය ඇතිව ඉතිරි වැඩ පටන්ගත්තා.
රෑ පැය දෙක තුනක් යනකොට එළියේ ළිඳ පැත්තේ ලොකු සද්දයක් ආවා. ඒත් කලබලයක් වුණේ නෑ. මම දිගට ම පූජා තිබ්බා. පාන්දර එළිය වැටෙන්න කිට්ටුයි. ළිඳ කැලැම්බිලා. මහා සද්දයක් පිටවුණා. අර ගෙදර අය ළිඳ ළඟට ගිහින් බලනකොට ළිඳ පතුලේ අවුරුදු ගානක් හිර කරලා බැඳලා හිටපු ඉබ්බා දම්වැලත් කඩාගෙන වතුරත් එක්ක උඩට මතුවෙලා. ඉබ්බා කොරපොතු ගැලවිලා කට්ටයි හමයි විතරයි. හොඳටම දිරාපත් වෙලා. ඒත් පණ තියෙනවා. බැඳලා හිටිය දම්වැල කඩාගෙන ඌ අමුතු ජවයකින් පීනාගෙන ළිඳ ළඟ ලන්දට රිංගාගෙන ගියා. මට ලොකු සතුටක් දැනුණා.
අවුරුදු ගානක් වැහැරිලා ඇඳේ ම හිටපු ලෙඩා ඇඳෙන් නැගිටලා මූණ කට හෝදාගෙන ඇඳේ ඉඳගෙන හිනාවෙවි තේ බොනවා. ඉහෙන් බහින රෝගයක් තිබුණේ නෑ වගේ. ටික වේලාවකට පස්සේ පළාත දෙවනත් කරන්න විලාප හඬක් ඇහුණා.
මං හිටිය ගෙදර අයත් එළියට පැනලා විපරම් කළා. අර ඉබ්බා ළිඳ පතුළට දාලා හූනියම් කරපු ඒ පවුලේ බාප්පා ගෙදරින් අතුරුදන් වෙලා ඉබාගාතේ ගිහින් රෑ ඒ ළිඳට ම පැනලා ළිඳේ වතුර උඩට මිනිය මතුවෙලා. මම කතාවක් බහක් නැතිව කුස්සියට යනකොට ගෙදර අය මූණ කට හෝදන්න වතුර උණු කරලා උදේ කෑම ලෑස්ති කරනවා. දේපළ තණ්හාවට පවුලේ තමන්ගේ සහෝදරයට කරපු හූනියම එයාට ජීවිතෙන් වන්දි ගෙවන්න වුණා. ඒක මගේ හපන්කමක්ම නෙමෙයි. වරද කරපු අයට මං මැදිහත් වෙලා ලබා දීපු දේව දඬුවමක්.” ඔහු කතාව නවතා මා දෙස බලයි.
මම නිහඬව ඔහු දෙස බලා සිටියෙමි. ගලා එන අන්ධකාරය මැද තාපසයෙකු මෙන් ඔහු මට දිස්වෙයි. සුමන බණ්ඩාර කලකට පෙර මිය ගියේය.