මං මේ ලෝකෙ මට ම කියා කාත් කවු­රුත් නැති කෙනෙක් | සිළුමිණ

මං මේ ලෝකෙ මට ම කියා කාත් කවු­රුත් නැති කෙනෙක්

නින්ද නොනින්ද අතර අතිශයින් පීඩාකාරී ලෙස අපහසුවෙන් ගෙවා ගත් දීර්ඝ රාත්‍රිය නිමා වෙන පනිවුඩය දෙමින් අජන්තා ගැහැනිය උදෑසන පහ පැමිණ ඇතැයි සන්නිවේදන කළේ සිහින් මියුරු ඩිං ඩොං හඬක් නංවමිනි. ඔහුට යහනින් නැගිටීමට සිතක් ඇති ව‍ූයේ නැත. ගත වූ රාත්‍රියේ සිතා අවසන් කරන්නට නොහැකි වූ අතීතය යළිත් ඔහු සිතට පිවිසුණේ රුක්නාද් සහ ප්‍රියදෝණී ද කැටිවය.

රුක්නාද් ගේ ජනතා ජනාවාස සහ ප්‍රියදෝණිගේ මිනිස් ජනාවාස අතර සහ සම්බන්ධතාවක් තිබෙන බව මතු පිටින් පෙනුණත් ඒ න්‍යායාත්මක පිළිගැනීම ප්‍රායෝගිකව මහා වෙනසක් මතු කිරීමට ඇති අවකාශ අල්ප නැත.

ප්‍රියදෝණිගේ මිනිස් ජනාවාසය සිහිනයක් වුණත් එහි පදිංචිකරුවන් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජාතිකත්වයන් ගලවා මිනිස්කම පමණක් ගෙන යෑමට එකඟවන සුවිශේෂී මිනිස් සමූහයකි. රුක්නාද් ගේ ජනතා ජනාවාස ජාතිකත්වය පදනම් කරගත් ජනානුපාත ක්‍රමයක් විය යුතු යැයි විචාරකයින් අර්ථ ගැන්වීමක් ආරම්භ කරන්නට ඇති ඉඩ අවකාශ වැඩිය.

රුක්නාද්ගේ ජනතා ජනපද පිළිබඳව දකුණට වඩා හඬක් නැංවිය යුත්තේ උතුරේදී බව නේෂන් වෛද්‍යවරයාගේ ද අදහසයි. දුෂ්කර කාර්යයන් වුවද කොතැනකින් හෝ ආරම්භ කළ යුතුව ඇත.

ජාතීන් අතර සහජීවනය යනු විද්යුත් මාධ්‍ය සාකච්ඡාවක් හෝ පුවත්පතක ප්‍රශ්නවලට පිළිතුරු දීමක් හෝ වේදිකාවක හඬ ගෑමක් නොව සාමාන්‍ය රටවැසියාට මරණ බයකින් තොරව, උනුන් කෙරෙහි විශ්වාසයක් හා ගෞරවයක් ඇතිව ජීවත් වීමට මං සාදා දෙන්නකි. ප්‍රියදෝණි මහමායා ද මෙවන් මානව හිතවාදී අදහස් සමාජගත කිරීමට උත්සාහ ගත්තේ ඉතිහාසයෙන් උදව් උපකාර සොයා ගනිමිනි. න‍ෙර්න්ද්‍ර යළිත් ඒ අතීතයට ගියේය.

“මං එයාගෙ අදහස්වලට මුලින් මුලින් ඇහුම්කන් දෙන්න උත්සාහ කළා. ඒත් අපි අතර මොකක්දෝ හිතාගන්න බැරි සමීප බැඳීමක් ඇති වෙන කොට එයාගෙ අදහස් හරියි කියන එක මට දැනුණෙ, මට මඳිකමක් විදිහට. අනේ මගෙ වස්තුවේ, උඹ අද ජීවතුන් අතර හිටියා නම් අම්මා තාත්තා නැති රුක්නාද් කිසිම සැකයක් අවිශ්වාසයක් නැහැ ඇත්තෙන් ම උඹට අම්මා කෙනෙකුට වගේ සලකාවි. අම්මා නැති රෝජා උඹට දුවෙක් වෙලා ළඟ ඉඳීවි. ඔව්. එයා මට තර්ජනය කළා උඹ ජීවත්වෙලා ඉන්නවා නම් උඹට කතා කරන්නෙ අම්මා කියලලු. මනෝහාරි රවිහාරි රාජඍෂි රාහුල උඹ ළඟ දරුවො වගේ හුරතල් වේවි. මං වගේ නෙමේ උන් ලෝකය හඳුනගත්ත, මනුස්සකම්වල වටිනාකම් දන්න හොඳ ළමයි. ඒ වගෙ ළමයින්ට උඹ වගේ අම්මා කෙනෙක් ඉන්න ඕන කාලයක් මේ. නෑ. ඒ කාටවත් නෙමේ. මට උඹ ඕන වෙලාවක් මේ. උඹ කවදාවත් මානව අයිතිවාසිකම් ඉල්ලන සංවිධානවල බලපෑමට, උන්ගෙ සල්ලිවලට උන්ගෙ පුරාජේරුකතාවලට යටත් වුණේ නැහැ. උඹ කතා කළේ මිනිස් නිදහස වෙනුවෙන්. උඹ කියනවා ජීවිතයේ යථාර්ථය නිදහස කියලා. උන්ට ඒක තේරුණේ නැතිවා වෙන්න පුළුවන්. උන්ට තියා මට තේරුණෙත් නැහැ. නිදහස තුළ මිනිසාගේ විවෘත භාවය තියෙන්නෙ ඕන. ඒ සේරට ම වැඩිය ආදරය තියෙන්න ඕන. උඹේ අර්ථ දැක්වීමට අනුව ආදරය කියන්නෙ බැඳීමක් ම නෙමේ. එකිනෙකා කෙරෙහි දක්වන පරාර්ථකාමී ළෙන්ගතුකමට. සෙනෙහසට. උඹ මාත් එක්ක පැටලෙනවා ළෙන්ගතුකමට සෙනෙහසට මගේ හිතේ පුංචි ඉඩක් වෙන් කරන්න. ඒත් අන්තිමට මොකද වුණේ? මේ ජීවිතයේ මං අගය කරපු එකම ගෑනි, ඒ ගෑනි ගැන මගෙ හිතේ තිබුණ ආදරය ගඟට කපපු සඳුන් ඉන්නක් කරලා යන්න ගියා. මං වෙනුවෙන් ඉවසුවෙ නැහැ. නෑ මං වැරදියි. ඉවසලා ඉවසලා බැරි ම තැන උඹ ගියා. මගේ පව්වල වන්දිය මට ම ගෙවන්න ඉඩ දීලා. මේ වයසෙදිත් මං මේ විඳවන්නෙ මොන පාපවල විපාකද?

ප්‍රියදෝණි උඹ මැරිලා නැහැ. උඹ මහ පොළවට පස්වෙලා නැහැ. උඹ අළු වෙලා නැහැ. ඉන්න තැනකින් ඇවිත් උඹේ හීන හැබෑ කරන්න රුක්නාද්ලට මනෝහාර්ලට රෝජා කෙල්ලට උදව් කරපන්. මං උඹ ළඟට ඇවිත් ආයෙත් උඹගෙ හිත රිද්දන්නෙ නැහැ. ඈත ඉඳන් බලාගෙන ඉන්නම්. මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි. මං පිළිගන්නවා. මං හොඳ මිනිහෙක් නෙමේ. ගෑනු ආවා ගියා. උන් ගියෙ මං පයින් ගහපු උන්ගෙ ආත්මත් අරන්. උඹ උඹේ ආත්මගත ආදරය මගේ හිතේ නිධන් කරලා ගියා. ධාතුසේන රජ්ජුරුවො කලාවැවේ වතුර දෝතක් පෙන්නලා කිව්වලු මේ තමා මගේ වස්තුව කියලා. කවුරු හරි මගෙන් ඇහුවොත් ඔබේ ජීවිතයේ වටිනා ම වස්තුව මොකක්ද කියලා. මං කියන්නෙ ප්‍රියදෝණි මහමායා කියලා මායාකාරියක් හිටියා. මායාකාරියො හරි ම බලවත්නෙ. එයා තමා මගේ වටිනා ම වස්තුව කියලා. නෑ. නෑ. උඹ මායාකාරියෙක් නෙමේ. මොකද මට වෙලා තියෙන්නෙ? උඹ රෝජා කෙල්ලට ආවේශ වෙලා.”

“නරේන් මං මේ ලෝකෙ මගෙම කියලා කාත් කවුරුවත් නැති කෙනෙක්. ඒ නිසා මං දිහා කරුණාවෙන් බලන්න. මගෙ හිත රිද්දන්න එපා. පව්. මං මිනිස්සුන්ට ආදරෙයි නරේන්. මිනිස්සු මට ආදරය කරන එකත් මට ලොකු සතුටක්. රිද්දන්න එපා මට.”

උඹ මගෙන් ඉල්ලුවෙ එච්චරයි. ඉතින් කොහොමද උඹ මායාකාරියෙක් වෙන්නෙ? මිනිහෙක් ගෑනියෙක්ගෙ හැබෑ වටිනාකම හඳුනා නොගැනීම තරම් දුක්දෙන පාපයක් තවත් නැහැ. මං බුද්ධාගම්කාරයෙක් වුණේ දෙමව්පියො බෞද්ධ හින්දා. බෞද්ධ පොත්පත් කියෙව්වා. පිළිගන්නෙ නැහැ. දහම්පාසල් යනකොට පරාභව සූත්‍රය ඉගෙන ගත්තා. යම් මිනිහෙක් ස්ත්‍රියට, සුරාවට සහ සූදුවට ලැබෙන ලැබෙන දේ විනාශ කරනවා නම් පිරිහෙනවා කියන බුද්ධ වචනය පොතෙන් ඉගනගත්තට දහමින් ජීවිතයෙන් සමාජයෙන් ඉගෙන ගත්තෙ නැහැ.”

සිතට කිසිදු විවේකයක් නොදෙමින් ගතවූ රාත්‍රියේ අතීත මතකයන් විසින් සිතට ගෙන දුන් වේදනා, උදා වූ අලුත් දිනය ද කළඹවමින් පණ ලබා ගෙන ඇතැයි නරේන්ද්‍ර තමා කෙරෙහි ම කෝපයෙන් ගැහෙන්නට විය.

“මං මහ මෝඩයෙක්. නැත්නම් පිස්සෙක්. මනෝ විකාරකාරයෙක් වගේ ජීවිතය කුරුටු ගානවා. හාරනවා. මේ ක්‍රෑර ගෑනි ශාපයක් වගේ මගෙ පස්සෙන් පන්නනවා. නෑ. නෑ. එයා කිසිමදාක අනුන්ට ශාප කරන, වෛර කරන, ඊර්ෂ්‍යාකරන ගෑනියෙක් නෙමේ. රෝජා කෙල්ලට වගේ ම ඒ අසරණීට තිබුණෙත් විවෘත හිතක්. අනුන්ට දුක් නොදෙන හිතක්. තෘෂ්ණාව වංචාව ගෑවිලාවත් නැහැ. ඒත් හිත ශක්තිමත්.”

ගැහෙන කෝපය අතර ප්‍රියදෝණි මහමායා බරැති පියවර තබමින් යළි යළිත් තම හදවත තුළ සක්මන් කරන්නාසේ නරේන්ද්‍රට දැනෙන්නට විය.

ඔහු සියල්ල අමතක කර දමන්නට මෙන් යහනින් නැගී සිටියේය. අජන්තා ස්ත්‍රිය උදෑසන හත උදාවී ඇතැයි හඟවන සංඥා හඬ නිකුත් කරන්නට විය. නිෂ්ඵල යයි කිසිසේත් සිත නොපිළිගන්නා සිතුවිලි සඳහා හෝරා දෙකක කාලයක් ගතවී ඇත.

“කමක් නැහැ. අද නිවාඩු දවසක් නෙ” ඔහු තීරණයක් ගත්තේය.

කිසිවෙක් දොරට තට්ටු කරන හඬක් ඇසෙන්නට විය. ඒ බන්දුල හෝ නිලන්ත විය හැක. නරේන්ද්‍ර නැගිට දොර වෙත ගියේය. යළිත් දොරට තට්ටු කරන හඬ මතු විය.

“මොකද මේ දොර කඩන්න හදන්නෙ?”

ඔහු ඇසුවේ දොර අරමිනි.

“නරේන් මාමා කවදාවත් නැතිව තාම නිදි?”

දොර අසල සිටියේ මනෝහාරි දියණියයි. ඇය ඔහුගේ දීර්ඝ නින්ද ගැන පුදුමය පළ කළාය. ඇය අත ඔහුගේ උදෑසන තේ බඳුන විය.

“මාමාගෙ ඇස් දෙක ඉදිමිලා වගේ? ඇයි? සනීප නැද්ද?”

“නෑ... මනෝ... ඊයෙ ටිකක් නිදි මැරුවා. හැත්ත දෙකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියෙව්වා. අද රෑ මට රූපවාහිනි සාකච්ඡාවක් තියෙනවා.”

ම‍නෝහාරි නරේන්ද්‍ර විශ්වාස කළාය. ඉහත දිනක ජාතික පුවත්පතක් සමඟ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව හැර ඔහු මාධ්‍ය ඉදිරියේ ගරු සරු ඇතිව කතා කරන්නෙකි. හැසිරෙන්නෙකි. නරේන්ද්‍ර අතට තේ බඳුන දුන් ඇය ඔහුගේ යහන සකස් කරන්නට ගියේ ඔහු වෛද්‍ය උපදේශ නොතකා නිදි මැරීම පුරුද්දක් කර ගෙන දැයි සිතමිනි.

බන්දුලගේ රහස් දැනුම්දීම්වලට අනුව නරේන්මාමා මේ දිනවල බොහෝ කාර්ය බහුලව සිටී. සංකීර්ණ දේශපාලන ගැටලු විසඳීමට උත්තර පත්‍ර සකස් කරනවා හෝ යමක් ලිවීමේ කාර්යයෙහි යෙදෙමින් හෝ සිටින්නේ බෙහෙවින් නිහඬවය. ගෙදර ඉන්නේ නම් රාත්‍රී එකොළහ දොළහ වෙනතුරු පුස්තකාල කාමරයට වී දොරද වසාගෙන ලියන්නේ මොනවාදැයි දැන ගැනීමට බන්දුල සිත උනන්දුවක් ඇතත් මෙතෙක් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණ බව ඔහු ම‍නෝහාරිට කීවේ මින් මොහොතකට පෙරය.

“මනෝ ඔය ඇඳ හදන එක නිලන්තගෙ රාජකාරියක්. ඔය බෙඩ් ෂීට් කොට් උර මාරු කරන දවස අද. අපි යමු පහළට.” නරේන්ද්‍ර මනෝහාරිට බාධා කළේ ජනෙල් පියන් විවෘත කර දෙපසට තල්ලු කරමිනි.

“නරේන් මාමා මුණ ගැහෙන්න අද රුක්නාද් එනවා කියලා මාමා දන්නවද?”

“ඔව්. නේෂන් දොස්තර මහත්තයා ඔහොම කතාවක් කිව්වා. ඊයේ රුක්නාද්ගෙ පණිවිඩයක් අරන් නේෂන් දොස්තර මෙහෙ ආවා. රෝජා අපිට කෑම හදාගෙන ඇවිත් තිබුණා. රාජඍෂිට තරහ ගිහින්.”

“ඇයි එයා තරහ වෙන්නෙ?”

“මං එයාවයි ඔයාල දෙන්නවයි අමතක කළා කියලා.”

“එයාගෙ හැටි එහෙමනෙ. විකාර. තාම පොඩි ළමයෙක් වගේ. මාමා ජීවත් වෙන්න ඕන අපිට ඕන විදිහට නෙමේ. මාමා කාගෙවත් හිරකාරයෙකුත් නෙමේනෙ. ඔය රාජඍෂියා පුංචි කාලෙත් මහා ඊර්ෂ්‍යාකාරයා. තාම ඒක අඩු වෙලා නැහැ. හැබැයි එයා මාමාට හරි ආදරෙයි. අනේ අපිටත් පුදුම ළෙන්ගතුකමක් තියෙන්නෙ.”

රාජඍෂිගේ කෝපය සාධාරණ කිරීමට ඔහුගේ වැඩිමහල් ඥාති සොහොයුරිය උත්සාහ කරන්නේ යයි සිතූ නරේන්ද්‍රට සිනා පහළ විය. ඔව්හු සෙමින් පිය ගැට පෙළ බසින්නට වූයේ රාජඍෂිගේ ළමා ඊර්ෂ්‍යාව දැන් තරුණ වී ඇතැයි කවට බස් කියමිනි.

“සර් රුක්නාද් මන්ත්‍රීතුමා ඇවිත්. පළාත් සභා මන්ත්‍රීලා දෙන්නෙකුත් ඇවිත්. තරුණ කාන්තා සංවිධානෙ නියෝජිතවරියො තුන් හතර දෙනෙකුත් ඇවිත්.”

නරේන්ද්‍රගේ ලේකම්වරයා දවසේ ආරම්භයේ කාර්ය බහුල බව දිග අරින්නට විය.

“කලින් වෙලාව ගත්ත අය ද? ඒත් මෙච්චර උදෙන්? අද නිවාඩු නේද?”

“රුක්නාද් මන්ත්‍රිතුමා වෙලාවක් අරන් නැහැ.”

“සිරිමෙවන් ද අනිත් අයට වෙලාව දුන්නෙ?”

“සර්ගෙන් අහලා වෙලාව වෙන් කළේ. මමත් උදේ ම ආවෙ ඒකනෙ.”

“මනුස්සයො දැන් තමුන්නාන්සේ මං ළඟට ඇවිත් අවුරුදු කීයක් ද? දහයක් පහළොවක් විස්සක්? ඊටත් වැඩිද? තාම තේරුම් ගත්තෙ නැහැනෙ. මන්ත්‍රි කෙනෙක් කියන්නෙ රොබෝවෙක් නෙමේ කියලා. මගෙන් ඇහුවත් නැතත්, මං කිව්වත් නැතත්, තමුන් තේරුම් ගන්න ඕන නේද විවේකය කියන එක, යාළුවො නෑදෑයො ආස්සරේ කරන එක මන්ත්‍රී කියන මනුෂ්‍යයගෙත් මූලික අයිතිවාසිකමක් කියලා. බැහැ. බැහැ. මේ වැඩ මෙහෙම කරන්න. මං සිරිමෙවන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. එහෙම නැත්නම් ජිනිවා යනවා.”

නරේන්ද්‍ර ලේකම්වරයාට ව්‍යාජ තර්ජනයක් එල්ල කළේ වේදිකා නළුවෙකුගේ අධි රංගන විලාශයකට ආරූඪ වෙමිනි. මනෝහාරීට සිනාව නවතා ගත නොහැකි විය. සිරිමෙවන් නිහඬ සිනාවක් තුළ ගුලිවී සිටියේ විසි වසරක් පුරා මන්ත්‍රිවරයාට කරන සේවයේ අත්දැකීම් තුළ සරදමට උපහාසයට විහිළුවට වැදගත් තැනක් හිමිවන බව දන්නා නිසාවෙනි.

“සර්... රුක්නාද් මන්ත්‍රිතුමාට මොකද කියන්නෙ? අනිත් අය නම් ඔෆීස් එකේ වාඩිවෙලා ඉන්නවා.”

“එයාව මෙහාට එක්ක එන්න. මනෝ දුව අපිට උදේ කෑමට මොනවද තියෙන්නෙ බලන්න. බන්දුලගෙන් අහන්නකො. සිරිමෙවන් අපි යමු ඔෆීස් එකට.”

නිවසේ සිට මඳක් ඈතින් වූ මන්ත්‍රි කාර්යාලය අලුතෙන් ගොඩ නැඟූවකි. දවස පුරා නිවසේ රැඳී සිටින විවිධ තරාතිරම්වල ඡන්ද දායකයෝ නිවස නිසා ම වරක මහත් අපහසුතාවයකට පත් වනු දුටු විට නරේන්ද්‍ර සිතුවේ ඔවුන්ට සැනසිල්ලේ අසුන් ගෙන සිටීමට ශාලාවක් කාර්යාල කාමරයක් අවශ්‍ය බවයි.

 

Comments