ගඩො­ළින් ගඩොළ තබා හිමි­න­මක දෑතින් ඉදිවූ ‘රණ­විරු සෑය’ | සිළුමිණ

ගඩො­ළින් ගඩොළ තබා හිමි­න­මක දෑතින් ඉදිවූ ‘රණ­විරු සෑය’

ලංකාවේ විහාර කර්මාන්තය ආරම්භ වූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟය. එදවස පටන් මෙදවස දක්වා තවමත් ගමින් ගමට විහාර ආරාම ගොඩනැගෙන්නේය. මේ සියලු පහසුකම් ගොඩනැඟීමට මුල්වන්නේ භික්ෂූන් වහන්සේ වීම විශේෂය. තමන් සුඛ විහරණයේ නොසිට තම ගම්වාසින් වෙනුවෙන් රට වෙනුවෙන් රට බේරා ගැනිමට මුල්වූ රණවිරුවන්ට කෘත ගුණ සැලකීමක් ලෙස තම දෑතින් ඉදිකළ සෑය ‘රණවිරු සෑය’ නමින් නම් කළ භික්ෂූන් වහන්සේ නමක අපට පසුගියදා හමුවූයේය.

ඒ අම්පාර පන්නල්ගම මලියතැන්න ජයබෝධියාරාම විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කරන දොඩම්ගොඩ මහින්දා නන්ද හිමියෝය. වයස අවුරුදු දහනවයේදී පැවිදි දිවියට එළැඹි උන්වහන්සේ මෙම ස්ථානයට වැඩම කරන්නේ දෙදහස් දාසය වසරේදීය. ජීවිතයේ සරල දිවිපෙවෙතකට හුරුවූ වයසක මවුපිය යුවළක් උන්වහන්සේට තම නිවෙස හා කුඹුර පින්තකා පරිත්‍යාග කරන්නාහ. ඉන්පසුව එම ස්ථානය වැඩි දියුණු කිරී‍ෙම් කාර්යයට උරදෙන දොඩම්ගොඩ මහින්දානන්ද හිමියෝ තම දෑතේ ශක්තියෙන් වෙහෙර සෑදීමට පටන් ගත්හ. අපි එහි යන විට ද උන්වහන්සේ මේසන් හැන්ද, බදාම ගෙන ධර්ම ශාලාව ගොඩ නංවමින් සිටියහ.

“බාස් උන්නැහේ මඟදි දාලා ගියා. ඊට පස්සේ මම චෛත්‍ය බඳින්න ගත්තා. අද ධර්මශාලාවේ වැඩට කට්ටිය අඩුයි. මමත් වැඩ කරනවා. මේ චෛත්‍ය මම රණවිරු සෑය නමින් නම් කරල තියෙන්නේ. ඒකට හේතුව තමයි රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කළ ත්‍රිවිධ හමුදා විරුවන් නිරන්තරව ම අපි සිහිපත් කළ යුතුයි. මේ රටේ යම් ව්‍යසනයක් වෙච්ච ඕනෑ ම වෙලාවක පෙරට එන්නෙ ත්‍රිවිධ හමුදාව. පහුගිය දවස්වලත් දැක්කනේ. ඉතිං මම හිතුවා මේ චෛත්‍ය රණවිරුසෑය නමින් නම් කිරීමට.”

භික්ෂූන් වහන්සේ තම කාර්යයේ නිරත වන අතරේ ම පවසන්නාහ. පරිත්‍යාග ශීලීන්ගේ දායකත්වයෙන් දැන් දැන් විහාරස්ථානය ක්‍රමයෙන් ගොඩ නැ‍ඟෙන්නේය. ඉකුත් දිනෙක ‘රණවිරු සෑය” චෛත්‍යයේ ධාතු නිදන් කිරීමේ උත්සවය පැවැත්විණි. මෙහි ධාතු නිදන් කරනු ලැබුවේ නීත්ත යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි රුවන් දෙහිගල මහතා ය. පිංකමට සහභාගි වූ සැමට ආහාර සපයන ලද්දේ නීත්ත යුද හමුදා කඳවුර විසිනි.

තම දරුවන්ට යුතුකම් කළ පන්සලට ඉඩම, නිවෙස හා කුඹුර පරිත්‍යාග කළ මා පිය යුවළ දැන් සිටින්නේ මැටියෙන් තැනූ කුඩා නිවෙසකය.

“පන්සලට පූජා කළ ඉඩමේ අපි මුලින් පදිංචි වී සිටියේ. මට හිතුණා ඒ ඉඩමේ පුංචියට චෛත්‍යක් ඉදිකරන්න. මං ඒකට ගල් වැලි සිමෙන්ති ගෙනාවා. ඒ ගෙනා ද්‍රව්‍යවලින් පුංචි චෛත්‍ය ඉදිකිරීමට පුළුවන්කම තිබුණා. නමුත් පසුව බලද්දි බාස්උන්නැහේ ඒ ගෙනා බඩුවලින් ලොකු චෛත්‍යයට අත්තිවාරමක් දාලා. මං ඇහුවා කොහොමද බාසුන්නැහේ මේක හදලා ඉවර කරන්නේ කියලා. එතකොට බාස්සුන්නැහේ කිව්වා කලබල වෙන්න එපා ඒක සක්‍රයා හදලා දේවි කියලා. යම් අයගේ උදව් උපකාරයෙන් මේ විහාරස්ථානය ගොඩනැගෙනවා දුටුවම අපට පුදුමාකාර සතුටක් දැනෙනවා.” කුමන පදිංචි ජයමාන්න යුවළ පැවසීය. 

Comments