
පෘතුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සුර්යයා වටේ යන ගමනේදී අංශක 23 ඇලයකින් යුතුව කරකැවෙන නිසා, අක්ෂයට ලම්භකව යන මනඃ කල්පිත වෘතයත්, එනම් ‘සමකයත්’, (The celestial equator) පෘතුවියේ හිරු වටා යන ගමනේදී හැදෙන වෘතයත්, එනම් ‘අහස් සමකයත්’ අතර කැපීම සැම විටම සිදුවේ. එහෙත් අවුරුද්දට දෙදිනක් මේව්ජේදනය වන අවස්ථාව, පෘතුවිය ගමන් කරන ඉලිප්සාකාර මාර්ඝය සමාන අඩ දෙකකට කැපීමක් සහ දහවල සහ රාත්‍රි කාල එම දිනයේ සමාන වීමත් පෙනේ. මෙය වෙන විදියකින් කිව හොත්, පොළොවේ සිට බලන්නෙකුට. හිරු අවුරුද්දක් තුළ පෘතුවියේ නිරක්ෂය දෙවතාවක් කපන බව පෙනේ. මේ අතර එම දින දෙකෙන් නැති අවස්ථාවක රාශි තරු පද්ධතිය තරමක් විස්ථාපනය වී ඇති බව පෙනේ. කෙනෙක් සමකයට ඉහළින් සිටින්නේ නම්, හිරු දකුණු දෙස ට බරව මෙන්ම, වම් පසටද බරව පායමින් මෙන්ම බහිමින් චලනය වන බව අවුරුද්ද පුරා දැක ගත හැක. එනම් අවුරුද්දේ භාගයක් සමකයට (Equator) ඉහලින්ද, අනෙක් භාගය පහළින්ද ලෙස වේ.
පෘතුවියේ සිට අහස දෙස බලන්නකුට, සුර්යා නැගෙනහිර සිට බටහිරට ගමන් කරන මාර්ගයේ එනම් ක්‍රාන්ති වෘත්තයේ අංශක 8 පමණ තීරුවක නැත්නම් පටියක අනෙක් ග්‍රහයන් සුර්යයා වටේ නොනැවතී යනවා වගේ පෙනේ. එහෙත් ප්ලූටෝ ග්‍රහයා පමණක් ක්‍රාන්ති වෘතයෙන් පිටට පනී. නිරක්ෂ ඇති තලය අහසට දික් කල විට එමගින් ක්‍රාන්ති වෘතය ස්ථාන දෙකකදී කැපේ...
ඉහත කී දින දෙක තුළ දහවල සහ රාත්‍රිය සමවන දින වලට විෂුවයක් ලෙස (Equinoxes) කියයි. මේ ඉංග්‍රීසි වචනය වන Equinoxes යන්න ඇත්තටම ඉංග්‍රීසි වචනයක් නොවේ. එය ලතින් භාෂාවෙන් ‘සම රාත්‍රිය’ යන්නට කියන වචනයයි. මේ ‘සම රාත්‍රිය’ සිදුවන්නේ මාර්තු සහ සැප්තැම්බර් මාස වලය. දළ වශයෙන් මාර්තු 20 සහ සැප්තම්බර් 23 දින වේ. සූර්යයා සමකයෙන් උතුරු දෙස හැසිර ඇතිවන දිනයට ‘වසන්ත විෂුවය’ (Vernal equinox) ලෙසද, (සමහර අවස්ථා වලදී, ‘ Spring equinox ‘ කියාද ව්‍යවහාර වේ.)
සූර්යයා සමකයෙන් දකුණු දෙස හැසිර ඇතිවන දිනය, ‘සරත් විෂුව’ හෙවත් ‘Autumnal equinox’ ලෙසද කියයි. මෙහිදී ’ Vernal equinox’ යන ස්ථානය තරු වල ඛණ්ඩාංක සඳහා මුල හෙවත් අංශක 0 ලෙස සායන ක්‍රමයේදී ගන්නේය. මේ විෂුවයන් සිදුවන වන අවස්ථාවල් සහ දිනය අවුරුද්දේ එකම දින නොවේ. මෙයට හේතුවක් ඇත.
අවුරුද්දකට දින 365.25ක් ඇති බව දනිමු. එසේ හෙයින්, පහසුව තකා අවුරුදු හතරකට වතාවක් මෙම දින 0.25 එකතු කර අධික අවුරුද්දක් ලෙස ගනී. මේ හේතුව නිසා විෂුවයන් වන අවස්ථාවල් වෙනස් වේ. මේ චක්‍රය සෑම ශත වර්ෂ 4 කටම සැරයක් අධික අවුරුද්දක් ඇතිවන විට දෝලනය වේ. කෙසේ හෝ මෙම දින දෙකේද රාත්‍රී කාලය සහ දහවල් කාලය එක හා ඉතා නිරවද්‍ය වශයෙන් සම නොවේ. මෙයට හේතුන් ඇත. එකක් නම්, හිරු ගේ ප්‍රථම රශ්මියේ කදම්භය වැටෙන්නේ හිරු සම්පුර්ණයෙන්ම ක්ෂිතිජයෙන් ඉහළටම එන්නට පෙරය. එනම් හිරුගේ පෘෂ්ටයේ ආලෝකය පෘතුවිය මුලින්ම ලැබීමය. දෙවැන්න නම්, හිරු කිරණ වාතය හරහා වර්තනය වීම සිදුවීමය. තෙවැන්න නම්, ‘සම රාත්‍රී පූර්ව ගමන’ වන අවස්ථාව නිරීක්ෂණය කරන්නා සිටින තැන හෙවත් ඔහු සිටින අක්ෂාංශකය සහ දේශාංශකය අනුව එය තීරණය වීමය.
එහෙත් පරීක්ෂණාගාර තත්ත්ව යටතේ මැනීම් කරන විට, මේ විෂුවයන්, උදාහරණයක් ලෙස ‘වසන්ත විෂුව’ ඉතා සෙමෙන් පසුපසට ගමන් කරයි. වසන්ත විෂුවෙන් පසු ඊළඟ අවුරුද්දේ ඇතිවන වසන්ත විෂුවයට සුර්යයා පැමිණෙන්නේ විකලා 50.3ක් පූර්වයෙනි. මේ සංසිද්ධියට ‘සම රාත්‍රී පූර්ව ගමන’ ලෙස කියයි. මේ වක්‍ර චලිතය හරියට රාහුගේ ගමන මෙනි. රාහුට එක් රාශියක් පසු කරන්නට වුරුදු එක හමාරක් යයි. එහෙත් විෂුව එක් රාශියක් පසු කරන්නට අවුරුදු 2160 ක් ගනී.
ඉහත වක්‍ර ගමනට හේතුව කුමක්දැයි බලමු. දින 365.25 ක් ගෙවෙන අවුරුද්දක් අතරේ, සුර්යයා තරු පන්ති (Zodiac) අතරේ චලනය වෙනවා මෙන් අපට පෙනේ. ඇත්තටම සිදු වන්නේ සූර්යයා වටේ පෘතුවිය ඉලිප්සාකාර ගමනකින් යෑමයි. මේ ඉලිප්සයේ තලයට ලම්භකව ශුද්ධ වූ උතුරු දකුණු රේඛාව ඇත. උතුරු දෙසට වන්නට ‘පොලාරිස්’ නම් වූ තරුව, එනම් ‘උතුරු තරුව’ ලෙස හඳුන්වන උර්සා මයිනර් හෙවත් ‘කුඩා වළහා’ යන තරු පන්තියේ තරුවක් පවතී. එයින් උතුරු දෙස පෙන්වයි. එහෙත් බමරයක් කරකැවෙන විට, එම බමරයේ අක්ෂයේ ඇතිවන සෙලවීම (Wobble) මෙන් පොලාරිස් තාරකාවද සෙලවෙනවා (Wobble) මෙන් පෙනේ. එහෙත් එහි කාලාවර්ථය නම් අවුරුදු 25,920 කි. අද දින උතුරේ ඇතිවා මෙන් පෙනෙන පොලාරිස් හෙවත් උතුරු තරුව, තව අවුරුදු 3200 ක් යනවිට එතන අන්තිව, ‘ගැමා සේපී’ නම් තරුව එතෙනට එනු ඇත. ඒ සම්පුර්ණ වටයකට ‘Precession of the equinoxes’ යයි කියන්නේය. ඇත්තටම සිදු වන්නේ කුමක්ද? පෘතුවිය තමාගේ අක්ෂය වටා කරකැවෙන අතරේ එම කක්ෂයත් රවුමට කරකැවීමය. එහෙත් ඒ එසේ එක රවුමක් යන්නට (Wobbling) අවුරුදු 25,920 ක් යයි.
මෙම සිද්ධාන්තය ‘අයන භේද ප්‍රශ්නයට’ තුඩු දුන් ප්‍රධානම කාරණය වේ. ගර්ග, පරාශර, ජෛමිනී, වරහමිහිර ආදී මහා ජ්‍යොතිශාස්ත්‍රඥයෝ ඔවුන්ගේ සියලුම නීති රීති ප්‍රකාශ කළේ ස්ථිර රාශි චක්‍රයක් පදනම් කරගෙනය. සූර්ය සිද්ධාන්තය ඉතා පරෙස්සමෙන් බැලුවත්, එහි කිසිම තැනක අයන, නිරයන, සායන ලෙස බෙදීමක් කර නැත. පෙරදිග ආචාරීහු විෂුවය ආපසු යන බව දැන සිටියද ඒ ගැන විශේෂ සැලකීමක් නොකළේ ජ්‍යොතිශය සම්බන්දව එයින් ඇති වැඩක් නැති නිසාය. එය උදාහරණයකින් පෙන්වුවහොත්, ඔබ ඉඳ ගෙන සිටින පුටුව කාමරේ ඇත. කාමරය ගේ ඇතුලේ ඇත. ගේ නොසෙල්වේ. ඒ නිසා පුටුවේ ඉඳගෙන ඇති ඔබද නොසෙල්වේ. මේ පරාමිතික ජ්‍යෝතිෂයේ යෙදෙන පරාමිතික වැනිය. එනම් ගේ පෘතුවියේ තබා ඇති වුනත්, පෘතුවියේ ගමන අමතක කලොත් ඔබ නොසෙල්වෙනවා වැනිය.
බටහිර තාරකා ශාෂ්ත්‍රඥයෝ විෂුවය වක්‍ර ගමනින් යන බව දැන ගත්තේ ක්‍රිස්තු පූර්ව 133 දීය. 12 වන ශත වර්ෂයේ භාෂ්කරචාර්ය II විසින් මේ විෂුවයේ වක්‍ර ගමන, ඉන් පෙර ග්‍රන්ථ කරණය කරන ලද පොත් වලින් කරන ලද ‘විෂුවයේ පසු ගමන’ ගැන ලියා ඇත. හිපාකුස් ගේ ක්‍රමය අනුව වසන්ත විෂුව ආරම්භ වන ස්ථානයේ සිට රාශි චක්‍රය බෙදීම බටහිර තාරකා ශාෂ්ත්‍රඥයෝ කළහ. මෙය ආසියාතික ක්‍රමයට වඩා වෙනස් වේ.
කෙසේ වුවද, මධ්‍යයෙහි හෙලන මේඛලාවෙන් නොහොත්, නිරක්ෂ රේඛාවෙන් (Equator) යම් යම් රටවල් ප්‍රමාණය ඈත්වූ ප්‍රමාණය පරිද්දෙන් ඒ ඒ රටවල් වලට උදාවන රාශි ප්‍රමාණයද වෙනස් වේ. මෙසේ රාශින්ගේ ප්‍රමාන වෙනස් වීමට ‘භගන පෙරළිය’ යයි කියයි.
යම් කලක පිළියෙළ කරන රාශිවල පැය ප්‍රමාණය, ‘භගන පෙරළිය’ කරන කොට ගෙන සෑදෙන ‘සංවත්සර අයනය’ නිසා වර්ෂයෙන් වර්ෂයට වෙනස් කරන්නට අවශ්‍ය හෙයින්, ශාස්ත්‍රඥයන් විසින් රාශි චක්‍රය යන ශුන්‍ය වූ ස්ථානයක පටන් දොළොස් රාශියේ නම් වලින්ම ලග්න දොළසකට බෙදා, ඒවායේ කාල ප්‍රමාණය දන්වා තිබේ. එසේ දක්වන ලග්න ප්‍රමාණය ‘භගන පෙරළිය’ මත වෙනස් නොවේ. උදාහරණයක් ලෙස ක්‍රිස්තු වර්ෂ 1895 ජනවාරි මස මේෂ රාශිය පටන් ගන්නේ ත්‍රිශාංශක 22 කට පමණ එහායින් යයි සමහරුන්ගේ මතයයි. මීට සංවත්සර අයනය යයි කියයි. වර්ෂයකට විකලා 50 ¼ ප්‍රමාණයක පමණ අයනය වැඩේ. මේ අනුව නිරයන ස්ඵුට සහ සායන ස්ඵුට අර්ථ දැක්වේ. උදාහරණයක් ලෙස රාශි පිළිවෙලේ ස්ඵුටවලට නිරායන යයිද, ලග්න පිළිවෙලේ ස්ඵුටවලට ‘සායන’ යයිද කියනු ලැබේ. ‘නිරායන ස්ඵුටයකට’ සංවත්සර අයනය එකතු කලවිට ‘සායන ස්ඵුටය’ ලැබේ.
මෙය කුමක්දැයි සිතිය යුතුය. ජ්‍යෝතිෂවේදීහු දෙපළකට බෙදී ඇත. අයනවාදියෝ නැතහොත් නිරයනවාදියෝ ලෙසය. එනම්;
1. ස්ථිර, අචල නැකත් පද්ධතියක් උපයෝගී කර බෙදාගත් ස්ථාවර රාශි චක්‍රයක් ( Fixed zodiac) පදනම් කර ගන්නා අය. මේ අය නිරායන වාදීන්ය. (Siderealists). මෙහිදී සූර්ය වර්ෂයේ ආරම්භය අප්‍රියෙල් 13 හෝ 14 ය.
2. චලනය වන්නාවූ ‘වසන්ත විෂුව’ මුල් කරගෙන ඒ අනුව චලනය වන්නාවූ රාශි චක්‍රයක් (Moving zodiac) පදනම් කරන්නෝ. එම චලනය වන රාශි චක්‍රයට නිවර්තන චක්‍රය යයි (Tropical zodiac) යයි කියයි. මොවුන් සායන වාදීන්ය. ඔවුන් ගේ මතය අනුව වර්ෂ ආරම්භය මාර්තු 21 වේ.
අපි මෙය තවත් කාලීන උදාහරණයකින් ගනිමු. 1977 මාර්තු 20 දින ඔරලෝසු වේලාවෙන් පැය 23 විනාඩි 12 ට වසන්ත විෂුවය විය. එම මොහොතේ සුර්යයා ‘සායන මේෂ රාශියට’ පැමිණියේය. ලහිරිගේ ඉන්දියානු ලිත අනුව සුර්යයා ‘නිරායන මේෂ රාශියට’ ඇතුළු වුයේ 1977 අප්‍රියෙල් මස් 20 විනාඩි 00 ටය. මෙම ‘සායන මේෂ රාශියේ’ අංශක 0 ත්, ‘නිරායන මේෂ රාශියේ’ අංශක 0ත් අතර ඇති කෝණමය වෙනසට ‘අයනය’ යයි කියන්නේය.
මෙම අයන ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වේ. වර්තමාන නිරායන ලිත් සකස් කර ඇත්තේ ග්‍රහයකුගේ සායන ස්ඵුටයෙන් අයන ප්‍රමාණය අඩු කිරීමෙනි. එනම්, සායන අගයෙන්, අයනාම්ශය අඩු කල විට නිරයන අගය ලැබේ. තවත් අයුරකින් මෙය පෙන්විය හැක. වසන්ත විෂුව දෙකක් අතර ඇති කාල පරතරය දින 365, පැය 5 විනාඩි 48 යි තත්පර 46 කි. එහෙත් සුර්යයා වටේ පෘතුවිය යෑමට දින 365 යි, පැය 6 යි විනාඩි 09 යි තත්පර 9.5 ක් යයි. එවිට වෙනස වන්නේ විනාඩි 20ක් සහ තත්පර 24 ½ කි. එනම් සුර්යයා එම කාලය යන්නට ගන්නා චාප දුර හෙවත් විකලා 50.3 අයනය වේ.
වසන්ත විෂුවයක් පාසා මෙසේ විකලා 50.3 බැගින් අවුරුද්දක් පාසා සුර්යයා පසුබා යයි. සුර්යයා රාශි චක්‍රයේ මුලින් සිටි තැන තැබීමට මෙම අංශක ප්‍රමාණය එකතු කල යුතුය. අයනාම්ශය හෙවත් අයනාංශය යන්න, මෙසේ වර්ෂයක් පාසා එක් කරන අංශක ප්‍රමාණයයි.