
ලංකාවට විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳ ව්‍යවස්ථාදායක සභාව තුළ 1884 දී පමණ කතාබහට ලක් වූ බවත්, එහෙත් එය 20 වන සියවස ආරම්භය තෙක් සිදු නොවීය.
1906 දී ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම් මහතාගේ මූලිකත්වයෙන් බිහිවූ ලංකා විශ්ව විද්‍යාල සංගමය ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Ceylon University Collage ආරම්භ වීමට මුලික පදනම හා බලපෑම විය. 1921 ජනවාරි 01 දින කොළඹ තර්ස්ටන් පාරේ වර්තමාන කුමාරතුංග මුනිදාස මාවතේ “රෙජිනා වලව්ව” යනුවෙන් හඳුන්වනු ලැබු මන්දිරයේ මෙම කොලිජිය ආරම්භ විය. මෙය පසුව කොලේජ් හවුස් (College House) ලෙස නම් කෙරිණි. මේ කෝලේජ් හවුස් ආයතනය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක් වූ අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර කලා නීති හා විද්‍යා උපාධි සඳහා ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා විය. ආචාර්ය රොබට් මාර්ස් මහතා මේ අධ්‍යාපන ආයතනයේ ප්‍රථම විදුහල්පති විය.
1938 දී ශ්‍රිමත් අයිවෝ ජෙනින්ග්ස් එහි විදුහල්පති වශයෙන් පත්විය. විදුහල්පතිගේ පරිපාලන සහායට කොලේජ් කවුන්සිල් නම් වූ සභාවක් පත් කරන ලදී.
විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ස්ථානයක් හඳුනාගෙන එය ආරම්භ කිරීම සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් 1928 දී කමිටුවක් (University Site Commity) පත්කරන ලදී. පිහිටුවනු ලබන විශ්වවිද්‍යාලය ස්වාධීන (Autonomous), ඒකීය (Unitary) සහ නේවාසික (Recidensial) විය යුතු බවට එම කමිටුවත් රාජ්‍ය මන්ත්‍රණ සභාවත් පිළිගන්නා ලදී. නව විශ්වවිද්‍යාලය සඳහා ව්‍යවස්ථාව එවක බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිටුවේ සභාපති වූ සහ ලංකා විශ්වවිද්‍යාල කොමිසමේ ශ්‍රීමත් වෝල්ටර් බුචනන් රිඩෙල් (Sir Walter Buchannan Riddell) විසින් කෙටුම්පත් කරන ලදී. එම ව්‍යවස්ථාව හොංකොං විශ්වවිද්‍යාල ව්‍යවස්ථාව ආදර්ශ කොටගෙන සාදන ලද අතර එය බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් හා බර්මින්හැම් විශ්වවිද්‍යාල පරිපාලන අකෘතියට ද සමාන වු බව සඳහන් වේ. විශ්වවිද්‍යාල ව්‍යවස්ථා ආඥා පනත 1930 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙවන වරටත් කියවන ලද නමුත්, දෙවන මහා ලෝක සංග්‍රාමය හා මැලේරියා වසංගතය නිසා එය සම්මත වීම ප්‍රමාද විය. පසුව එය 1942 අංක 20 දරණ විශ්වවිද්‍යාල ආඥා පනත ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් සම්මත කරන ලදී. වෛද්‍ය ඇන්ඩ්‍රිස් නෙල් සහ වෛද්‍ය ඩී. සී. පෝල් මහතුන් විශ්වවිද්‍යාලය සඳහා පේරාදෙනියෙන් ඉඩම් අත්කර ගැනීම සඳහා වන වැඩසටහන සකසා ඉදිරිපත් කරන ලදී. ආරම්භයේ අක්කර 700ක් පවරා ගත් අතර ඉන් පසු අක්කර 1700ක් ද සම්පූර්ණයෙන් පසුව අක්කර 2400 දක්වා භූමි ප්‍රමාණය වැඩි කරන ලදී.
විශ්වවිද්‍යාලය ඉඳිකිරීමේ සැලසුම සැකසීම හා ක්‍රියාත්මක කිරීම 1941 දී විදුලි සංදේශ සහ රජයේ වැඩ ඇමති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාට පැවරුණු අතර විශ්වවිද්‍යාලය ඉඳිකිරීමේ යෝජනා ක්‍රමයේ ප්‍රධානියා වූයේ ෂර්ලි ද අල්විස් මහතාය. 1942 ජූලි 01 දින ලංකා වෛද්‍ය විද්‍යාලය සහ සිලෝන් යුනිවර්සිටි කොලිජිය ඒකාබද්ධ කර ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලදී.
අරුණාචලම් ශාලාව 1950 දී ද, ජයතිලක ශාලාව, මාස් ශාලාව, ජේම්ස් පීරිස් ශාලාව සහ හිල්ඩා ඔබේසේකර යන ශාලා 1952 දී ද සංඝමිත්තා ශාලාව 1953 දී ද, රාමනාදන් ශාලාව 1954 ජූනි මස දී ද විවෘත කර පවත්වාගෙන යන ලදී.
මේ විශ්වවිද්‍යාලය පරිපාලන ස්වාධීනත්වයකින්, ඒකීය හා නේවාසික සහිත විශ්වවිද්‍යාලයක් විය යුතු බව මෙය ආරම්භ කළ පුරෝගාමීන්ගේ ස්ථාවරය වූ බව සඳහන් වේ. ශ්‍රීමත් අයිවෝ ජෙනින්ස් (Sir Ivor Jenings) එහි ප්‍රථම උපකුලපතිවරයා විය.
මේ ලංකා විශ්වවිද්‍යාල 1942-1950 කාලය තුළ කොළඹ පවත්වන ලද අතර 1950 දී, ලංකා විශ්වවිද්‍යාලය (University of Ceylon) පේරාදෙණියේ විශ්වවිද්‍යාල ගොඩනැගිලි, දේශන ශාලා, පුස්තකාල නේවාසිකාගාර, ක්‍රීඩාගාර, ක්‍රිඩා පිටි හා අනෙක් පහසුකම් ආරම්භ වූ පසු සම්පූර්ණයෙන්ම 1952 දී එම විශ්වවිද්‍යාලය නිල වශයෙන් ලංකා විශ්වවිද්‍යාලය ලෙස පේරාදෙණියේ ස්ථාපිත වුයේ 1952 ඔක්තොම්බර් 06 වන දින දීය.
විශ්වවිද්‍යාල ඉදිකිරීම් යෝජනා ක්‍රමයේ පාලනය ප්‍රධාන නිර්මාණ ඉංජිනේරු ඩී. ඒ. පීරිස් (MBE) මහතාට පැවරුණු නමුත් ගෘහ නිර්මාණ ශිල්පි මණ්ඩලය කොළඹ දී කටයුතු කළ අතර එය වින් ජෝන්ස් (Wynne Jones - CMG, GBE) මහතා යටතේ ක්‍රියාත්මක විය. ඔහු ෂර්ලි ද අල්විස් මහතාගේ අභාවයෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස සේවය කළේය.
1952-1972 කාලය අතර ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ පවත්වාගෙන ගිය අතර 1967 දී කොළඹ විශ්වවිද්‍යාලය වෙන්වු විශ්වවිද්‍යාලයක් ලෙස කොළඹදී ඇරැඹිණි. 1952 දී කොළඹ සිට පේරාදෙණියට ගෙන එන ලද ලංකා විශ්වවිද්‍යාලය 1952 ඔක්තොම්බර් 06 වන දින නිල වශයෙන් විවෘත කිරීමට තිබුණත් බ්‍රිතාන්‍යයේ VI වන ජෝර්ජ් රජුගේ අභාවය නිසා එලිසබත් මහ රැජින හා එඩිම්බරෝ ආදිපාදවරයාගේ සහභාගිත්වයෙන් උත්සවත්ශ්‍රියෙන් එය විවෘත වූ යේ 1954 අප්‍රේල් මස 20 වන දිනදීය.
එදින විශ්වවිද්‍යාලය විවෘත කිරීමේ උත්සවයේදී සභාව අමතා කථා කළ එඩිම්බරෝ ආදිපාදවරයා “විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පහසු දෙයක් නොවන බවත් එය ආරම්භ කරනු ලැබු පසු එය විවෘතව පවත්වාගෙන යා යුතු බවත් එය හරියටම දෙවන ලෝක මහා යුද්ධ සමයේ ගුවන් ප්‍රහාර හා බෝම්බ වැටුණත් ලන්ඩන් නුවර කඩ සාප්පු විවෘත කර ගෙන සිටි ව්‍යාපාරිකයින් මෙන් විවෘතව පැවතිය යුතු බවත්” ප්‍රකාශ කළේය. ඒ අනුව මේ ස්ථානය “සාමාන්‍යයෙන් පවතින තත්ත්වයටත් වඩා විවෘතව පැවතිය යුතු බවත්” පවසා තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආරම්භයේ සිට මේ දක්වා කාලය ගැන පසු විපරම් කර බලන විට එකී එඩිම්බරෝ ආදිපාදවරයා පළ කළ අදහස් ඉතාමත් ප්‍රායෝගික වුද යථර්ථවාදි වුද කියමනකි. වර්තමානයේ එය විශ්වවිද්‍යාල බලධාරීන්ගේ මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේද විශේෂ අවධානයට යොමු විය යුත්තකි. මේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේදී ආප්තය වූයේ “සියලු දේ දැක්මට දැනුම” යන්නයි. එය සංස්කෘත භාෂාවෙන් සාර්වස්ව ලෝකනාම් ශස්ත්‍රම් යනුවෙන් ද අර්ථ දක්වයි.
1972 අංක 1 දරණ විශ්වවිද්‍යාල පනතට පසු ලංකාවේ එවක පැවැති සියලු විශ්වවිද්‍යාල ශ්‍රි ලංකා විශ්වවිද්‍යාලය යනුවෙන් නම් කළ අතර ඒ යටතට ගැනුණු පේරාදෙණිය මණ්ඩපය ලෙස ලංකා විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන ලදී. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතට අනුව ලංකාවේ එවක පැවැති විශ්වවිද්‍යාල වෙන් වූ විශ්වවිද්‍යාල ලෙස නැවත ස්ථාපනය කරන ලද අතර 1979 සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලය (University of Peradeniya) ලෙස නම් කර මේ දක්වා පවත්වාගෙන යනු ලැබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාල ගොඩනැගිලි, දේශන ශාලා, නේවාසිකාගාර, පන්ති කාමර, පුස්තකාල, උද්‍යාන, ජල, පොකුණු, විල් ආදී සමස්ත සැලසුම් අධ්‍යයනය කළ ප්‍රථම කුලපති ආචාර්ය වෛද්‍ය අයිවෝ ජෙනින්ස් විශ්වවිද්‍යාලය ඉදිකිරීම අධීක්‍ෂණය කළ තැනැත්තා විය. විශ්වවිද්‍යාලය සැලසුම් අධ්‍යයනය කළ ඔහු ප්‍රකාශ කර ඇත්තේ “මෙවැනි සැලැස්මක් සහිත විශ්වවිද්‍යාලයක් ලෝකයේ කිසිදු තැනක නොමැති බවය”. (No University in the world have a such a setting)
විශ්වවිද්‍යාල පිහිටුවිම සඳහා යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉදිරිපත් කළ පසු සර් ජෝන් කොතලාවල මහතා විශ්වවිද්‍යාලය ඉඳිකිරීම පිළිබඳව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විසින් පත්කළ කමිටුවේ සභාපති විය. විශ්වවිද්‍යාල පිහිටුවිම සඳහා යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ පසු සර් ජෝන් කොතලාවල මහතා විශ්වවිද්‍යාලය ඉඳිකිරීම පිළිබඳ ව රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් පත්කළ කමිටුවේ සභාපති විය.
එසේම මේ විශ්වවිද්‍යාලය ගොඩනැගීම සඳහා මුදලින් හා පොත්පත් ප්‍රධානය කරමින් දායක වූ අයගේ නාමාවලියක් “විශ්වවිද්‍යාලය විවෘත කිරීමේ උලෙළ” වෙනුවෙන් 1954 අප්‍රේල් 20 වන දින නිකුත් කළ සමරු කලඹේ සහ 1992 නිකුත් කළ සමරු කලඹේ සඳහන් කර ඇත. මේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ පුරෝගාමීන් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්. ටී. අක්බාර්, ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු, ශ්‍රීමත් බාරොන් ජයතිලක, ආචාර්ය රොබට් මාර්ස්, ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ඩී. එස්. සේනානායක සහ ඩී. ආර්. විජයවර්ධන මහතුන් ය.
එවක අප රටේ දේශපාලනයේ නියැළී සිටි පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්, ඩී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, විල්මට් ඒ. පෙරේරා වැනි අයද වෘත්තිකයන් වූ හා බුද්ධිමතුන් අතර රොබට් මාර්ස්, වෛද්‍ය ඇන්ඩ්‍රිස් නෙල් ආදීන් ද ව්‍යාපාරිකයන් හා එවක ප්‍රභූන් වූ ඩී. ආර්. විජයවර්ධන මහතා, හිල්ඩා ඔබේසේකර මහත්මිය, කාන් බහඩුර් සියාඩ් අබුබකර් මවුලානා මහතා, වෛද්‍ය පී. ආර්. ත්‍යාගරාජා, වෛද්‍ය පී. විග්නරාජා, ශ්‍රීමත් තෝමස් විලියර්ස් (හපුතලේ ඇඩිසම් බංගලාව සෑදූ බ්‍රිතාන්‍ය ජාතික) වෛද්‍ය ඒ. සී. එම්. සුලේමන්, ශ්‍රීමත් මොහොමඩ් මාකර්, ශ්‍රීමත් නිකලස් ආටිගල වැනි විවිධ ජාතීන්ද තමන්ගේ පෞද්ගලික ධනය පරිත්‍යාග කිරීමෙන් පෙනී යන්නේ මේ විද්‍යාල බිහිවීම මඟින් ජාතීන් අතර එක්සත්භාවය හා සමඟිය පිළිබිඹු කරන බවයි. එසේම පිටරට ඉගෙනීමට යාමට නොහැකි ප්‍රභූ දරු දැරියන් ගැන සිතා එදා මේ විද්‍යාලය ආරම්භ කරන ලදී. එහෙත් පසු කාලයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව දක්ෂතාවය මත කිසිදු භේදයකින් තොරව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට පොදු ජනතාවට අවස්ථාව උදා විය.
මේ විශ්වවිද්‍යාලය බිහි කිරීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, පෘතුගීසි, ඉංග්‍රීසි ජාතිකයින් මෙන්ම ලංකා වෛද්‍ය විද්‍යාලය, සිලෝන් යුනිවර්සිටි කොලේජ්, කල්කටා ආට් සොසයිටි, කොළඹ රොටරි සමාජය, අන්තර්ජාතික නීතිය සඳහා වූ කානගී ආයතනය, ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ සිලෝන් ටර්ෆ් ක්ලබ් ආදී සංවිධාන මූල්‍යමය සහ ද්‍රව්‍යමය දායකත්වය ලබා දී ඇත. මෙයින් පෙනී යන්නේ එවක අප රටේ පැවැති ජාතීන් අතර පැවති එක්සත් භාවය සහ සහජීවනයයි නිසා බිහිවූ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බවයි.
1950 ගණන්වල විශ්වවිද්‍යාලයට සර් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, පිටර් කෙනමන් ආදී දේශපාලඥයන් පැමිණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දේශන පවත්වන ලද බව සඳහන් වේ. එසේම පී. බී. අල්විස් පෙරේරා වැනි කවියන්ද දේශන පවත්වා ශිෂය ශිෂ්‍යාවන්ගේ දැනුම දියුණු කිරීම කටයුතු කළ බව සඳහන් වේ. තවද ඉන්දීය නළු නිළි රාජ් කපූර් හා නර්ගීස් ද එවක එක්සත් ජාතින්ගේ සංගමයේ සභාපතිනිය වූ පණ්ඩිත් විජය ලක්‍ෂ්මි මැතිනිය ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ ශිෂ්‍යයන් හමුවී සාකච්ඡා කළ බව සඳහන් වේ.
මූලාශ්‍ර - අන්තර් ජාලය , 1954 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය මඟින් නිල විවෘත කිරීම හා පසුව 1992 නිකුත් කළ සමරු කලඹයන් හා විද්‍යාර්තයින්ගෙන් ලබාගත් තොරතුරු ආශ්‍රයෙනි.
නීතිඥ ජයන්ත දොළවත්ත
සහකාර ලේකම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින්ගේ සංගමය : (කොළඹ ශාඛාව)