සෙනග එකතු කරන දේශපාලන විරෝධය | Page 2 | සිළුමිණ

සෙනග එකතු කරන දේශපාලන විරෝධය

 පසුගිය බදාදා බණ්ඩාරවෙල නගරය ගිගුම් දෙමින් විශාල සෙනගක් එකතු කරගනිමින් ඌවේ මහා ව්‍යාපෘතිය වන උමා ඔය ව්‍යාපාරයෙන් සිදුව ඇති මහත් විනාශයට එරෙහිව ජනහඬක් නැඟිණි. ඒ ව්‍යාපාරය පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ ජන විරෝධයක් පැවති අතර, එහි මූලිකත්වය ගැනීමේ ගෞරවය ජනතා විමුක්ති පෙරමුණේ ආකර්ෂණීය නායකයකු වන සමන්ත විද්‍යාරත්නට හිමි විය යුතුය. දිගින් දිගටම එල්ල වූ ඒ ජන විරෝධය කූටප්‍රාප්තියට ඒමේ අවස්ථාව පසුගිය බදාදා විශාල විරෝධය විය හැකිය.

උමා ඔය හරස් කරමින් පහළ ඌව සංවර්ධනය සඳහා ජලය ගෙනයෑමේ ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ රෙජීමයේ විශාල ව්‍යාපෘතියකි. ඉරාන රජයේ සහාය මත ආරම්භ කළ මේ ව්‍යාපෘතිය නිසා මේ වන විට බණ්ඩාරවෙල ප්‍රදේශයේ විශාල පාරිසරික විනාශයක් ඇති වී තිබේ. ඉදිකිරීම් ආරම්භයේ එවකට ආණ්ඩුවේ බලධාරීන් ජන විරෝධය එතරම් නොසැලකූ අතර ඔවුන්ගේ එකම අරමුණ වූයේ පහළ ඌවට ජලය ගෙන යෑමයි.

1978න් පසු බිහි වූ ධනපති ආණ්ඩු රාජ්‍ය පාලනයේදී ජන විරෝධයන් එතරම් සැලකිල්ලට ගන්නේ නැත. එම ආණ්ඩුවල එකම අරමුණ සංවර්ධන ව්‍යාපෘතීන් කොක්කෙන් හෝ කෙක්කෙන් ක්‍රියාත්මක කිරීමයි. එම සංවර්ධන ව්‍යාපෘතීන් බොහෝ විට ජාතික දේශපාලනයේ අවශ්‍යතා නොවන අතර ඒ පිළිබඳ තීන්දු තීරණ ගන්නේද ජාතික තලයේ දේශපාලනය තුළ නොවේ. බොහෝ විට මේ ව්‍යාපෘති සියල්ල අන්තර්ජාතික සැලසුමක කොටස්ය. හොඳම උදාහරණය වන්නේ ශ්‍රී ලංකාව තුළ අධිවේගී මාර්ග ඉදි කිරීමේ ව්‍යාපෘතිය වන අතර මේ මාර්ග ව්‍යාපෘතිය ජාතික තලයේ ගත් තීන්දු තීරණවල ප්‍රතිඵලයක් නොවන බව භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇති ජාතික භෞතික සැලසුම අනුව පැහැදිලි වන්නකි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බලයට පත් වන ආණ්ඩු කරන්නේ අන්තර්ජාතික තලයේ ධනේශ්වර සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික දේශපාලනය කළමනාකරණය කිරීමයැයි කීවොත් වඩා නිවැරදිය. ඒ අනුව ප්‍රාග්ධනය ගෝලීයව සංසරණය වීමට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීමත් ඒවායේ බාධාවන් කළමනාකරණය කිරීමත් 1978න් පසු බිහි වන ආණ්ඩුවල ප්‍රධාන ඉලක්කයයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බිහි වූ විශිෂ්ටතම භූවිද්‍යාඥයකු වූ මහාචාර්ය පී.ඩබ්ලිව් විතානගේ ඒ කාලයේම මෙම විශාල ව්‍යාපෘතීන්ට බරපතළ විරෝධයක් දැක්වීය. ශ්‍රී ලංකාවට භූචලනයන්ගේ විශාල අත්දැකීම් නැතත් භූතැටිවල පිහිටීම අනුව කන්ද උඩරට විශාල ජලාශ ඉදි කර අධික ජල ස්කන්ධයක් ඒකරාශි කිරීම අනතුරුදායක බව ඔහුගේ මතය විය. ගාල්ල සිට බළන්ගොඩ හරහා මඩකලපුව දෙසට භූතැටි සකස් වී පවතින ආකාරය අනුවත් කන්ද උඩරට ප්‍රදේශයේ භූතැටි සකස් වී ඇති ආකාරයත් මතු පිට මානව ක්‍රියාකාරකම් සඳහා නිදහස් පරිසරයක් නිර්මාණය කරන්නේ නැත. එහෙත් මේ කිසිම අනතුරු ඇඟවීමක් දේශපාලකයන් සැලකිල්ලට ගත්තේ නැත. අද කන්ද උඩරට නිතර සිදුවන භූගර්භයේ හා මතුපිට භූස්තරයන්ගේ චලනයන්ට හා ඒ ආශ්‍රිත මහත් විනාශයන්ට වගකියන්නට කෙනෙක් නැත.

උමා ඔය හරස් කරමින් පහළ ඌවට ජලය ගෙන යන්නට සිදු කරන මහා ව්‍යාපෘතියෙන්ද සිදුව ඇත්තේ එවැන්නකි. ගිලාබැසීම් හා මතුපිට ස්තරයේ භූගත ජලය සිදීම බරපතළ පාරිසරික විනාශයකි. ඊට බලපා ඇත්තේ භූගත ජල මාර්ගයක් ඉදි කිරීමයි. සමහරු මෙය ගොඩගත නොහැකි විශාල හානියක් ලෙස අර්ථ දක්වන අතර සමහරු පවසන්නේ ව්‍යාපෘතිය අවසන් කර භූගත ජල මාර්ගයේ ජලය පිරුණු පසුව පොළොව මතු පිට දැනට පවතින ස්වභාවය වෙනස් වන බවයි. ඒ අනුව හිඳුණු ළිං නැවත පිරෙන බවත් මතු පිට ජලය නැවත වර්ධනය වන බවත් කියවේ.

කෙසේ වෙතත් මේ මහා සංවර්ධන ව්‍යාපෘතීන්ගේ පාරිසරික විනාශයට එරෙහිව සෙනග එකතු කිරීම අර්ථාන්විත නොවේ. සෙනග යනු දේශපාලන මත හා දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ප්‍රබල හා තීරණාත්මක සාධකයක් නොවන බව 1978න් පසුව මේ පොළොව මතුපිටම ඔප්පු කර ඇති වාර ගණන බොහෝය. ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස හා විනාශකාරි ලෙස රාජ්‍ය පාලනය කළ කිසිම ආණ්ඩුවක් බලයෙන් පහ කර දැමීමට මූලිකත්වය ගෙන ඇත්තේ සෙනග නොවේ. සෙනග ආණ්ඩු විරෝධය වටා එක් වූයේ ආණ්ඩුවේ බල සාධකය කිසියම් හෝ බරපතළ බලවේගයක් විසින් අභියෝගයට ලක් වී ආණ්ඩුව කඩාවැටෙන බව පෙනෙන්නට තිබූ විටය. 17 වසරක යූඑන්පී පාලනයට 1994දී තිත තබන්නට ලාංකික සමාජයට හැකි වූයේ 1991දී ලලිත් ගාමිණී කණ්ඩායම ප්‍රේමදාස රෙජීමයෙන් ඉවත් වී ආණ්ඩුවේ බරපතළ පිපිරවීමක් ඇති කළ පසුය. එහෙත් ඒකාබද්ධ විපක්ෂයට ලැබුණේ එක් වැඩි ඡන්දයකි.

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් ඌව වෙල්ලස්සටම සිදු කර ඇත්තේ මහත් විනාශයකි. මේ විනාශය ආ පිට හරවන්නට සෙනග එකතු කර ගනිමින් කරන්නා වූ දේශපාලනික විරෝධයන්ට නොහැකිය. මේ දේශපාලන අපරාධ සිදු කරන විටත් ඔය සෙනග ඒවා ගැන සවිඥානකව සිටියහ. එහෙත් දේශපාලන වරදානවලට යට වී ඒවා නුදුටු නෙතින් නෑසූ සවනින් සිටියහ. සෙනග අද කලබලයට පත්ව ඇත්තේ විනාශයේ මුවවිටට ඒමත් සමඟය. එහෙත් ලක්ෂ දෙක-තුනක වන්දියකින් හෝ වෙනත් ප්‍රදේශයකින් ලබාදෙන ඉඩම් කැබැල්ලකින් හෝ ඔය සෙනග නිෂ්ක්‍රිය වේ.

කළ යුත්තේ බරපතළ විනාශයෙන් ගොඩ එන්නට උපරිම විසඳුම් සෙවීමය. එය කළ යුත්තේ විෂයය පිළිබඳ ප්‍රවීණයන් සමඟය. සිදුව ඇති විනාශයට විකල්පයත් අලුත් විනාශයන් නොවන්නට වැඩ පිළිවෙලකුත් සකස් කළ යුත්තේ විශේෂඥයන් සමගිනි. එහෙත් ඒ විශේෂඥයන්ට නායකත්වය දිය යුත්තේ විකල්ප දේශපාලන ව්‍යාපාරයකිනි. ඒ සඳහා වූ ප්‍රඥප්ති හෙජමොනික දේශපාලන අවබෝධයක් ඇති දේශපාලන ව්‍යාපාරයන් දක්නට නැති වීම කනගාටුවට කරුණකි.

- අබරන් 

Comments