යාල කැලේ පලු වාරේ වලස් මවගෙ ආදරේ | සිළුමිණ

යාල කැලේ පලු වාරේ වලස් මවගෙ ආදරේ

මේ ගෙවී යන්නේ පලු වාරයයි. වනපෙත පුරාවට මහා වනස්පතීන් හා සමව සැමත විසිරුණු යෝධ පලු ගස් සියල්ලක්ම පාහේ කසා වතින් සැරසී හමාරය. පලු ගස් යට තණ බිස්සේ ඇත්තේද බිමට වැටුණු ඉදුණු පලු ගෙඩිය. පලු හට ගනුයේ බිම් මට්ටමෙන් බොහෝ ඉහළට වන්නට පිහිටි අතු කිණිති අග්ගිස්සට වන්නටය. ඒවා කඩා ගැනීමටනම් පලු ගසටම ගොඩ විය යුතුය. පලු වාරය බක් මහෙන් ආරම්භ වී පොසොන් මාසය අවසානය අතර දිව යන අතර එසමයට වියළි කලාපයීය වනපෙත් ආශ්‍රීතව දිවි ගෙවන ඵල භක්ෂක වනසතුන් කාර්ය බහුලවන සමයක් වශයෙන්ද හැඳින් විය හැකිය.

පලු සමයේදී වලසුන් හිතේ හැටියට බලා ගැනීමට හැකි ය. වනපෙතේ පලු මණ්ඩිවලට කඩා වැදෙමින් පලු බුදින සෙසු වනසතුන් පන්නා දමමින් කළහකාරීව හැසිරීමට වලසුන් පෙලඹෙනුයේ පලු රසින් මත්වෙමින්ය. පලු වාරයේදී වලස්සු ඒ තරමටම ආක්‍රමණකාරී වෙති. පලු සමයේදී වලසුන්ගේ හැසිරීම් රටාවේ ඇතිවන විවිධත්වය පිළිබඳ යාල ජාතික උද්‍යානය ආශ්‍රිතව සිදු කළ අධ්‍යයනයක් අතරතුරදී මට අපූරු අත්දැකීමකට මුහුණ දීමේ අවස්ථාවක් පසුගිය දිනෙක උදා විය.

අප එදින යාල මහ වනයට පිවිසුණේ වලසුන් පිළිබඳ සකස් කිරීමට නියමිත වාර්තාමය වැඩ සටහනකට අදාළව සිදු කළ රූගත කිරීම් සඳහාය. දින කීපයක් යාල ජාතික උද්‍යානයේ ගත කළ අප කණ්ඩායමට ඒ කා‍ලයේ ඇති තරම් වලසුන් දැක ගැනීමේ භාග්‍යය උදාවිය. ඒ සෑම අස්ථාවකදීම අප දුටුවේ පලු ගස් යටට වී හුදෙකලාවේ පලු රස විඳිනා තනි වලසුන්ය. යාල වනපෙත තුළ හිතේ හැටියට බුක්ති විඳීමට තරමේ පලු අස්වැන්නක් තිබීම හේතුවෙන් උන් අතර තරගයක් නොවීය. එසේම වනපෙතේ අහුමුලු සියල්ලක්ම ඇද හාරා අවුස්සන රහස් පරීක්ෂකයන් මෙන් රිලා වඳුරු රැළද නිරන්තරවම පලු ගස් ආක්‍රමණය කරමින් පලු කෑම නිසා ගස් යට තණ බිස්ස මත පලු ගෙඩි පතිතව ඇත්තේ පලසක් මෙනි. ගස් නැගීමේ හැකියාවක් තිබුණද වලස්සු අලස ලෙස පලු ගස් යට ගැවසෙමින් පලු බුදිති. එලෙස වලසුන් පලු බුදින දර්ශන අපමණවත් ආකාස චෛත්‍යය, කොරවක් වැව, ඌරණිය වැව, බුතව වැව, ගෝන ගල වැව, දර්ශන වැව, කටගමුව වැව, දිගම් වල, පරණ තොටුපළ, මෙනට් වැව, රකින වල සහ ඩෙන්ගල ආදී ප්‍රදේශයන්හි නිරන්තරයෙන් දැකිය හැකි විය.

අපේ අරමුණ වූයේ ඉන් ඔබ්බට නිශාචර සත්ව ලෝකයේදී වලසුන්ගේ හැසිරීම් රටා කෙබඳුද යන්න අධ්‍යයනය කිරීමය. ඒ අනුව වනජිවී අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එස්. කේ. පතිරත්න මහතාගේ අවසරය මත යාල උද්‍යාන බාරකරු ඩිශාන්ත ප්‍රදීප් සිහාසිංහ මහතාගේ උපදෙස් අනුව සූදානම් වු අප කණ්ඩායමට සාමාජිකයෝ පස් දෙනෙක් අයත් වූහ. රාත්‍රී කාලයේ වනසතුන්ගේ දසුන් උන්ගේ නිදහසට බාධාවක් නොවන අයුරින් කැමරාගත කර ගැනීම අපගේ උත්සාහය විය. ඒ සඳහා අවශ්‍ය නවීන තාක්ෂණයෙන් සමන්විත කැමරා උපකරණද රැගත් අපි පලටුපාන වනජීවී කාර්ය මණ්ඩල සංචාරක නිවහනින් ගොම්මන් අඳුරේම නික්ම ගෝන ලැහැබ මැද පාර ඔස්සේ පළවෙනි වළ ළඟට පැමිණියෙමු. එතැන වතුර වළ සමීපයේ සිටි කොටියෙක් දිය පානය කර ඉන් නික්මි ගුරු පාර මාරු වන අපැහැදිලි දසුනක් අඳුර අතරින් දුටුයෙන් මෙම ස්ථානයේම ස්ථාන ගත වීමට අපි තීරණය කළෙමු.

වතුර වළ සමීපයේ රැඳී සිටි අප සැමගේ නෙත් එක්වනම ඒ සමීපයෙන් වූ ගුරු පාර දෙසට යොමු වූයේ අදිසි මෙහෙයවීමකින්දැයි නොදනිමු.

“අර” නිහැඬියාව බිඳිමින් අඳුරේම යම් නිශ්චිත ඉලක්කයක් වෙත අප නෙත් යොමු වූයේ නිතැතිනි.

“සූස් .... සූස් ....” හඬින් සුසුම්ලමින් වතුර වළ දෙසට ඇදෙනුයේ කළු පැහැති විසල් බෝලයකි. අඳුර අතරින් මතුවූ ඒ බෝලය නොපහැදිලිව අපට දිස් වූයේ ගුරු පාර දිගේ රෝල් වන කාල වර්ණැති ගෝලයක් හා සමවය. දිය වළට සමීප වූ මේ නන්නාඳුනන සත්වයා මොකෙක්දැයි පියවි ඇසට පැහැදිලිව හසු නොවූයෙන් මම අප කණ්ඩායමේ කැමරාව හසුරුවන්නන් දෙසට සමීප වීමී. රාත්‍රී දර්ශන පරිසරයෙන් කළු සුදු වර්ණ රටාවෙන් උකහා ගැනීමට සමත් තාක්ෂණයෙන් යුතු කැමරාවේ දිස් වුයේ පියවි ඇසින් දුටු දෙයට හාත් පසින්ම වෙනස් වූ දසුනකි. දිය වළෙන් දිය බොනුයේ වැලහින්නකි. ඇය වැලහින්නකැයි මම සඳහන් කළේ ඇගේ පිටෙහි සිටි කුඩා වලස් පැටවුන් දෙදෙනා ද හොඳින් දර්ශනය වූ බැවිනි.

සැබැවින්ම කැමරාව නොවන්නට මෙම දුර්ලභ දසුන් පෙළ අපගෙන් සැඟව යෑමට බොහෝ ඉඩ තිබුණි. රාත්‍රී දසුන් නැරැඹිය හැකි දුර දක්නයක් ලබා ගත් මම මේ දසුන් පෙළ හොඳින් නීරීක්ෂණය කළෙමි. මිනිසුන් හා සමව මේ රුදුරු වැලහින්නද මවු සෙනෙහසින් ඔද වැඩී ඇති බව ඇය පැටවුන් අභිමුව කරනා කියනා දෙයින් මනාව පසක් විය. කලෙකින් පළාතට වැසි ලැබී නොතිබුණෙන් වන සත්තු ද සා පිපාසාවෙන් පෙළෙති. සැදෑ අඳුර වනපෙත ගිල ගනිද්දී මේ වැලහින්නද තම දරු දෙදෙනා පිට මත හොවා ගෙන හැල්මේ දිව ආයේ දිය වළ සොයාය. පැටවුන් දෙදෙන පිට මතින් බිමට හොවා ඔවුන්ට දිය පිපාසාව සංසිඳවා ගන්නට සැලැස්වූ ඇය අවට පිළිබඳ විමසිලිමත් වූවාය.

මේ වෙද්දී වැලහින්න දෙසම බලා සිටි මට ඇයගේ යම් අස්වාභාවික වූ තැති ගැන්මක් නීරීක්ෂණය විය. වලස් මව අනතුරු අඟවමින් හීන් ගෙරවිලි හඬක් නඟත්ම පැටවුන් දිය බීම පසෙක තබා මවගේ පිට මතට පැන දෑතින් සහ පාවලින් මවගේ පිට සිර වෙන්නට අල්ලා ගනිත්ම වැලහින්න දිය වළ සමීපයේ තිබූ යෝධ පලු ගස මතට අඩියට දෙකට දිගු පියවර තබමින් නැග ගත්තේ අප සියල්ලන්ම විස්මයට පත් කරමිනි. පහළ දිය වළ කෙරෙහි විනා ඉන් ඔබ්බේ කිසිවක් අපගේ අවධානයේ නොවූයේ වැලහින්න සහ පැටවුන් දෙදෙනා ගැනම සිත යොමුව තිබූ බැවිනි.

කොටියෙකුගේ බිහිසුණු ගෙරවීමක් පලු ගස මුදුනින් නැගිණි. එයට වලස් හූවක් සහ ගොරොද්දයක්ද එක්විය. වහා ක්‍රියාත්මක වූ අප අඳුරේම අත පතගාමින් හඬ ආ දෙසට කැමරාවත් දුර දක්නයත් මෑනූවත් අපට දැක ගත හැකිවූ යමක් නොවීය. ඒ අවස්ථාවේ අප සියල්ලන්ම පාහේ තැති ගෙන සහ කලබලයට පත් ව සිටියේ මේ දුර්ලභ අවස්ථාව අපගෙන් දුරස්ව ගියොතින් යන බියද සමඟිනි. වනාන්තරයේ මෙවැනි වූ අත්දැකීම් ලැබෙනුයේ කීයෙන් කී දෙනාටද?

අවසානයේ සිද්ධිය අපට නිරීක්ෂණය විය. අප සිතා සිටියා වැරැදිය. පලු ගසෙහි සිටියේ තනි කොටියකු නොව කොටින් දෙදෙනෙකි. එකෙක් වැඩුණු එකෙක් බවත් අනෙකා ඌට සාපේක්ෂව මදක් කුඩා බවත් බැලු බැල්මටම පෙනේ. ගස් දෙබලක ඉහළ අතු දෙකක මේ හයිකාරයන් දෙදෙනාද සිටිනුයේ බයෙන් බිරාන්තවය. වැලහින්න ද ගස් දෙබලට වී කොටි දෙදෙනාට වැරෙන් දෙඅතින් පහර දෙන්නීය. ඉන් බේරීමට දෝ කොටි දෙදෙනා ලැග සිටින අත්තේ ආවරණය සොයති. ඒ අතරේ වලස් නිය පහරද වදියි. කොටි ගොරවනවා විනා පෙරළා වලස් මවට පහර දීමට උත්සාහ නොකරති. ඇගේ පහරදීමෙන් බේරීමට උත්සාහ දරනවා පමණකි.

මේ අරගලය අතරතුරදී මා නීරීක්ෂණය කළේ පුංචි වලස් පැටවුන්ගේ හැසිරීමය. උන්ද මවගේ රුදුරු බවේ ප්‍රතිමූර්තිය. මවගේ එකදු සෙලවීමකිනිදු නොසෙල්වී සීටීමට උන් සමත්ය. පලු ගස මත රැඳෙමින් කොටින් හා අරගලයක් කළ වැලහින්න පසුව ගසෙන් බැස යළිත් වතුර වළ කරා විත් පැටවුන් දෙනො බිමට බස්සවා දිය බී යළිත් පැටවුන් පිට මත හොවා ගෙන ඒ සමීපයේ තිබූ වෙනත් පලු ගසකට නැඟ පැටවුන් සමඟම පලු කන්නට වූවාය. හිතේ හැටියට පලු කෑමෙන් පසු ගස මත දෙබලකට වී කුඩාවුන් පිට මතින් බස්සවා උන්ට පලු ගසට නගින අයුරු පිළිබඳ කෙටි අභ්‍යාසයක්ද ලබා දෙන අයුරු මම දුටුවෙමි. වැලහින්න කොටි දෙදෙනා ගැන කිසිදු හෝ බයක් නොමැති බව ඇයගේ හැසිරීමෙන් පෙනිණි. මේ සියල්ල මෙසේ සිදු වෙද්දී කොටි දෙනොගෙන් එකෙකු හෝ ලැග සිටි පලු ගසෙන් බිමට බැසීමට නොසිතුවේ මන්ද? ඒ මේ සාමාන්‍ය වැලහින්නක නොව පැටවුන් දෙදෙනෙකු සහිත වැලහින්නක නිසා විය යුතුය. ඇය වනපෙතේ භයංකරත්වය කැටි කර ගෙන සිටිනවා විය යුතුය.

උතුම්වූ මාතෘත්වයේ ශක්තියට වනයද ගරු කරයි. නැතිනම් කොටින් දෙදෙනා එක් වූ කල මේ වැලහින්නත් පැටවුන් දෙදෙනාත් මෙල්ල කරන්නට නොහැකි වන්නේද? මා සිත ප්‍රශ්න කරයි. මෙතැන වූයේ තනි වලසකු නම් තත්ත්වය හාත්පසින්ම වෙනස් වන්නට ඉඩ තිබිණ. 

Comments