
යුදෙව්වකු වූ කාර්ල් මාක්ස් ලොව ප්‍රථම වරට සමාජවාදය නම් වූ දේශපාලන දහම ඉදිරිපත් කෙළේ ය. ඔහු ලියූ ‘ප්‍රාග්ධනය’ හෙවත් ‘දාස් කැපිටාල්’ කෘතිය මාක්ස්වාදයේ බයිබලය ලෙස හැඳින්විය හැකි ය. කාර්ල් මාක්ස්ගේ මේ මාක්ස්වාදී දහමට අනුව ලොව ප්‍රථම මාක්ස්වාදී ආණ්ඩුව පිහිටුවන ලද්දේ රුසියාවේ ය. රුසියානු සමාජවාදී ආණ්ඩුව ආසන්නයේ වූ සෙසු කුඩා රටවල් ද තම අණසකට ගෙන සෝවියට් දේශය යෝධ රාජ්‍යයක් බවට පත් විය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකාව සමඟ කරට කර සිටින්නට රුසියාව සමත් විය. ධනවාදී ඇමෙරිකාව රුසියාවේ මෙම නැගිටීම දැක්කේ ධනවාදයට එරෙහිව නැගී එන නොනැවතිය හැකි මහා බලවේගයක් ලෙස ය.
රුසියාව සමාජවාදී රටක් වීමත් සමඟ ම එරට සිටි ජනයාට විදේශ ගමන් බිමන් ද සීමා කෙරිණි. ධනවාදී රටවලින් රුසියාවට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව ද සීමා කළේ ය. මේ නිසා රුසියාවේ සිදුවන්නේ කුමක්ද කියා ලෝකයේ බොහෝ රටවල බලවත්හු පවා දැන නොසිටියහ.
ධනපති ඇමෙරිකාවේ සිදුවන හැමකුදු මහත් සිදුවීමක් ම ලොව පුරා ප්‍රචාරය වුව ද රුසියාවේ පැවතියේ තද බල ප්‍රවෘත්ති පාලනයකි. කෙසේ වුව ද කලකට පසු ඇමෙරිකානු පුවත්පත් කලාවේදීන් කිහිප දෙනෙකු රුසියාවට සංචාරයක් සඳහා යැවීමට ඇමෙරිකාව සමත් විය. බියෙන් හා සැකයෙන් වුව ද සිනා මුසු මුහුණින් යුතුව ඇමෙරිකන් පුවත්පත් කලාවේදීන් රුසියාවට පා තැබුවේ සෝවියට් සමූහාණ්ඩුවේ පූර්ණ අවසරය ඇතිව ය. රටට ඇතුළු වූ මේ අමුත්තන්ට පළමුව කිසිදු වෙනසකින් තොරව ආගන්තුක සත්කාර පිරිනැමුණි. ඉන් පසුව ඔවුන්ට සමාජවාදී රුසියාව ලබා ඇති දියුණුව පෙන්නා දෙන්නට ක්ෂේත්‍ර චාරිකාවක් පිළියෙල කෙරිණි.
සංචාරයෙහි නිරත වූ ඇමෙරිකානු පුවත්පත් කලාවේදීන්ට තම තීක්ෂණ ඥානයෙන් දැන ගන්නට හැකිවූයේ තමන් වටා කේ.පී.බී. ඔත්තු සේවයේ නිලධාරීන් ගැවසෙන බවයි. කොටින් ම මෙම පත්තර කලාවේදීන් ගමන් කළ රථයේ රියැදුරා පවා කේ.පී.බී. ඔත්තු සේවයේ චර පුරුෂයෙක් විය. එහෙත් ඇමෙරිකන් පුවත්පත් කලාවේදීහු මේ සියල්ල නොදන්නා සේ රුසියාව පුරා සංචාරය කළහ. ඒ අතර තුරදී මහ මඟ ඈතින් දිස්වූ අලංකාර මල් උයනක් දැක එය නැරඹිය හැකි දැයි තමන්ට මඟ පෙන්වන නිලධාරීනියගෙන් ඔවුහු විමසූහ. ඇය ද මෙම ඇමෙරිකානු පත්තරකාරයින්ගේ අහිංසක ඉල්ලීමට එකඟ වී එම ස්ථානයට ඔවුන් කැඳවාගෙන ගියා ය. සැබවින් ම එය මල්වත්තක් නොවීය. පැරැණි සුසාන භූමියකි. එහෙත් මල් වත්තක් තරමට දර්ශනීය ලෙස සකසා තිබිණි. මෙම අපූරු භූමියට පා තැබූ ඇමෙරිකන් පත්තර කලාවේදීන් ඒ මේ අත යමින් එහිවූ සොහොන් කොත්වල විස්තර ගන්නටත් මිහිදන් කැර ඇති තැනැත්තන් ගැන එය බාරව සිටි සොහොන් පල්ලාගෙන් පින්තූර විමසන්නටත් වූහ.
මහලු සොහොන් පල්ලා වසර හැටකටත් වැඩි කාලයක් තිස්සේ මෙම සොෙහාන් බිමෙහි රැකියාව කළ අයෙකි. පත්තර කලාවේදීහු ඔහුගෙන් විවිධ දේ විමසූහ. ඒ හැම විටෙකම ඔහු පිළිතුරු දුන්නේ ඉතාමත් ප්‍රවේශමෙන් වචන තෝරා බේරා ගනිමින් ය. ඇමෙරිකානු පත්‍ර වාර්තාකරුවෙක් සොහොන් පිටිය පුරා ඇවිද සොහොන් පල්ලා සමඟ අදහස් හුවමාරු කර ගන්නට විය.
“ඔබ මේ රස්සාවට ආවේ කොයි කාලෙද?” සොහොන් පල්ලාගෙන් පත්‍ර වාර්තාකරු ප්‍රශ්න කළේ ය.
“මම සාර් පාලන කාලයේදීයි මේ සුසාන භූමියේ මිනී වළවල් හාරන්න පැමිණියේ...” ඔහු සිය අතීතය මෙනෙහි කරමින් කියා සිටියේ ය.
“හොඳයි... එදා ඉඳලා අද වනවිට ඔබේ රස්සාව කෙතරම් දුරකට දියුණුවෙලා තියෙනවද...?” පත්‍ර වාර්තාකරු යළි විමසී ය.
“ඒ කාලේ ඒ... කියන්නේ සාර් පාලනය තිබුණු කාලේ අපි ජීවත් වුණේ හරිම අමාරුවෙන්. මිනී වළක් කපන්නට සිදු වූයේ එහෙමත් කලාතුරකින්. රුසියාව කොමියුනිස්ට් වුණාට පස්සෙ තත්වෙ වෙනස් වුණා. වැඩ වැඩි වුණා. අන්තිමට මගේ සහායට තවත් කම්කරුවො රැසක් ම ආණ්ඩුවෙන් සපයලා මාව මෙහි ප්‍රධානියා කළා. දැන් මට සෑහෙන වැටුපක් ලැබෙනවා. මම දැන් ඉන්න තත්ත්වය අනුව මුදල් අතින් තෘප්තිමත් කෙනෙක්.”
මහලු සොහොන් පල්ලා මහත් අපහසුවෙන් වචන ඉතා ප්‍රවේශමෙන් තෝරා බේරා ගනිමින් කතා කළේ ය.
“බලන්න මේ සොහොන් කොත් දිහා.... ඒ සොහොන් කොත් අයිති මිය ගියවුන් ඇත්ත කියයි...”
ඇමෙරිකානුවෝ සොහොන් කොත් සියල්ල යළි පරීක්ෂා කරන්නට වූහ. මහලු සොහොන් පල්ලා ව්‍යාංගයෙන් කී කතාව ඇත්ත ය. සාර් පාලන කාලයේ මම සුසාන භූමියේ මිහිදන් කෙරුණේ විය පත් වූවන් හා රෝගීන් ගේ මළ සිරුරු පමණි. ඒ බව සොහොන් කොත්වල සටහන් වූ උපත හා විපත පිළිබඳ වූ සටහන්වලින් පැහැදිලි ය. ඒත් රුසියාව සමාජවාදී වීමත් සමඟම මෙහි වැඩිපුර මිහිදන් කර ඇත්තේ වියපත් වූවන් නොව තරුණයින් ය. මේ සියල්ල නිර්මාණය කළ ඇමෙරිකානු පත්තර කලාවේදීහු තවත් අහිංසක ප්‍රශ්නයක් සොහොන් පල්ලාගෙන් විමසූහ.
“ඔබ සාර් යුගයේදී කළ රස්සාවට වඩා දැන් කරන රස්සාව ගැන සැබවින් ම තෘප්තිමත් ද?”
මහලු සොහොන් පල්ලා මඳක් කල්පනා කර හැඟුම්බර ලෙසින් පැවසුවේ අපූරු විස්තරයකි.
“දන්නවනේ ඔබ... මේ සුසාන භූමියේ මිනිසුන් වළලා තියෙන හැටි. ඒ කාලේ සාර් පාලනේ තියන කොට මට හරි හැටි ආදායමක් නැති වුණාට විවේකය තිබුණා. අද ආදායම වැඩි වුණත් විවේකය නෑ. ඒ නිසා මම පරණ ක්‍රමයට කැමැතියි.”
කේ.ජී.බී. ඔත්තු සේවයේ නිලධාරීන් පිරිවරා සිටියදී වුව ද සොහොන් පල්ලා සමාජවාදී රුසියාවේ අතොරක් නැතිව සිදුවූ මිනිස් ඝාතන ගැන කියාපෑවේ එසේ ය. ඔහුගේ කටින් එම විස්තර අසා දැනගන්නට ඇමෙරිකානුවන් ප්‍රශ්න ඇසුවේ ද උපක්‍රමශීලීවය.