අන්‍යත්වය හා ස්වීයත්වය විමලරත්න කුමාරගමගේ කවි | Page 4 | සිළුමිණ

අන්‍යත්වය හා ස්වීයත්වය විමලරත්න කුමාරගමගේ කවි

කොළඹ යුගයේ කවීන් අතර විමලරත්න කුමාරගමයන්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. කොළඹ යුගයේ කවීන්ට පොදු වූ ඌනතා හා සීමා රැසක් ඔහුගේ පද්‍ය රචනාවල ද දක්නට ලැබේ. මානව සාරාර්ථවලින් පිරිපුන් අත්දැකීම් පදනම් කර ගැනීමට අපොහොසත් වීම, ප්‍රේමය හෝ කටුක සමාජ සංසිද්ධි සාහිත්‍යගත කිරීමේදී හෝ සිය අනුභූතින් ගැඹුරු ලෙස විවරනය නොකිරීම, වාර්තාමය භාෂාවක් උපයෝගී කර ගැනීම මෙම ඌනතා අතර මුල් තැනක් ගනියි. කුමාරගමගේ බොහෝ පද්‍ය නිර්මාණවල මෙම දුර්වලතාව විද්‍යමාන වන නමුදු, ඔහු ඇතැම් විට මෙම සීමා ඉක්මවා යමින් දුර්ලභ ගණයේ ප්‍රතිභා ශක්තියක් පළ කරන පද්‍ය රචනා නිර්මාණය කළේය.

මීට දශක කිහිපයකට ඉහතදී මා විසින් සම්පාදනය කරන ලද නව කවි සරණයෙහි මම මෙසේ ප්‍රකාශ කළෙමි ‘කොළඹ යුගයේ කවීන් ගේ අත්දැකීම්වල පවා ව්‍යාජත්වයක් දක්නට ලැබිණ. මේ අතින් වෙනස් මුහුණුවරක් දරන්නේ විමලරත්න කුමාරගමගේ රචනා ය. වන්නිකරයේ දුප්පත් ගැමියන් හා කටුක පරිසරය අතර සම්බන්ධය ඔහු මානව දයාවකින් යුතුව නිරූපණය කළේය. මෙම විනිශ්චය මම අද ද පිළිගනිමි. ගැමියන් කෙරෙහි භෞතික පරිස්ථිතිය බලපාන අයුරුත්, ඔවුන්ගේ සාධනීය ලක්ෂණ මෙන් ම නිෂේධනීය ලක්ෂණත් නිරූපණය කිරීමට කුමාරගමයෝ සමත් වූහ.

විමලරත්න කුමාරගම කවියාගේ ඇතැම් පදවල කොළඹ යුගයේ කවීන්ට පොදු වූ දුර්වලතා දක්නට ලැබෙන බවත් ඇතැම් පද්‍ය එම සීමාවන් අතික්‍රමණය කොට සාර්ථකත්වයක් ලබා ඇති බවත් පැවසුවෙමි. අපි නිදර්ශනයක් දෙකක් ගෙන බලමු.

‘සපුමලී’ කවි කතාවකි. කථා වස්තුව ගතානුගතික එකකි. උපයුක්ත භාෂා මාධ්‍යයෙහි කොළඹ යුගයේ රචනාවල බහුල ලෙස දක්නට ලැබෙන ආවේගාතිශය වාගුක්ති ඇතුළත්ව තිබේ. ‘පපු ඇට පෙළට හදවත පැන පැන දුන්නා’. ‘හදවත උණුව ආ සෝකී සුසුම් හෙළා’ වැනි යෙදුම් එහි ඇත. අනෙක් අතට ‘කවුද ගෙදර’ වැනි කවි කතාවක වන්නිකරයේ දුගී දුප්පත් ගැමියන්ගේ කර්කශ ජීවිතය මානව දයාවකින් යුතුව නිරූපණය කොට ඇත. සුන්දරහාමි නමැති ගොවියා ජීවත්වන පරිසරය කවියා සිතුවම් කරන්නේ මෙසේ ය.

තැති ගත් කිරල වැලපුම වැව දෙසින් ඇහේ
දෙනුවන් පිනන දෙය නැත බැලු නමුදු කොහේ
ගින්නෙන් දා විනාසව ගොස් නිකිණි මහේ
නිල් තණ පතක සේයාවක් නොමැත මෙෙහ්

සෙවණැලි පවා මැලි ගතියෙන් පොළොව මත
වැතිරී තිබේ - අද ගී අමතක ව ඇත
ඉදිරියෙ අවට මිරිඟුව ඇත වසන නෙත
ඉදලක් සැලෙන තරමට සුළඟකුදු නැත

 

ගැමියන් හා වන සතුන් ඇතුළත් වන්නි ලෝකය මුල් කොට ගෙන විමලරත්න කුමාරගම කවියා අගනා පද්‍ය කාව්‍ය ගණනාවක් නිර්මාණය කළේය. මේවා අතර ‘අයියනායක’ ‘හේරත්හාමි’ ‘ආරච්චි රාළ’ ‘වලස් දඩයම’ ‘සිරගෙය’ ‘ගමේ වැව’ ‘වන්නියේ දොස්තර’ වැනි පද්‍ය රචනා විශේෂයෙන් සඳහන් කළ මනා ය. මෙවැනි සාහිත්‍ය නිර්මාණ පාදක කොටගෙන විමලරත්න කුමාරගම කිවිඳුන්ගේ කවි කලාව පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කිරීම මගේ අභිප්‍රායයි.

මෙම කවියාගේ පෑනින් බිහි වූ පද්‍ය රචනා අතර ‘අයියනායක’ යන්න මගේ ප්‍රියතම එකකි. එය විසිවැනි සියවසෙහි සිංහල සාහිත්‍යයට එක්වුණු විශිෂ්ට නිර්මාණයකි.

වනපෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ‍ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇත

 

මෙම පද්‍යයෙහි අපූරු පද සංඝටනයක් දක්නට ලැබේ. රූපකාර්ථයන්ට මුල් තැනක් දෙමින් කවියා සිය වින්දන ක්ෂේත්‍රය බිහි කොට ඇත. කොළඹ යුගයේ කවීන්ගේ රචනාවල බහුල ලෙස දක්නට ලැබෙන වාර්තාමය භාෂා මාධ්‍යය වෙනුවට ප්‍රබල කාව්‍යෝක්ති මත ගොඩනැඟුණු භාෂා මාධ්‍යයක් නිර්මාණය කිරීමට කවියා සමත්ව ඇත. මෙම පද්‍යයෙහි ස්නායු කේන්ද්‍රය බුද්ධියක්, භක්තියක් අතර ගැටුමයි. දුකින් පරිපීඩිත ගැමියෝ දැඩි භක්තියකින් යුතුව අයියනායක දෙවියන් වඳිති; පුදති. මෙය බුද්ධිමතුන්ගේ අප්‍රසාදයට ලක් වන්නකි. බුද්ධියත්, භක්තියත් අතර ද්විත්වතාව ඉක්මවා යමින් සාම්ප්‍රදායික විඥානයක් වෙත කවියා පාඨක අවධානය යොමු කරවයි. මෙම කාව්‍යමය පරිශ්‍රමය අගනා විවරණයකට භාජනය කිරීමට විසංයෝජනවාදී විචාරකයන් සමත්වනු ඇතැයි සිතමි.

‘අයියනායක’ කාව්‍යයෙහි තේමාව උද්දීපනය කිරීමට එහි භාෂාව බෙහෙවින් උපකාරි වේ. ගනදුර, ගස් සෙවණ, පාළුව, පරිසරය නිර්මාණය කරන අතර ගැමියන් විශ්වාස කරන ගූඪ ලෝකය ද මූර්තිමත් කරයි. ‘හිරු එළිය’ ‘ආ‍ලෝකයෙහි නෙත’ වැනි යෙදුම් බුද්ධි බලය සිහියට නඟයි. මෙම කවෙහි ඇත්තේ බුද්ධියත්, භක්තියත් අතර ගැටුමකි.

ඉතලෝ කැල්විනෝ (ITALO CALVINO) නමැති සුප්‍රකට පශ්චාත් නව්‍යවාදී නවකථාකරුවා හා විචාරකයා සස් සාහිත්‍ය නිර්මාණයන්හි දක්නට ලැබෙන සාහිත්යික සාරධර්ම සයක් දැක්වූයේය. ඉන් එකක් නම් සුතථ්‍යතාවයි. (EXACTITUDE). ඔහු පවසන පරිදි උසස් සාහිත්‍යකරුවා භාෂාවෙහි සීමාව ඉක්මවා යමින් එක්වර නිශ්චිත වූත් රහස්‍ය වූත් අර්ථ දනවන්නට වෑයම් කරයි. ‘අයියනායක’ පද්‍යයෙහි බස් වහරේ මෙම ප්‍රශස්ත ගුණාංගය දක්නට ලැබේ.

මෙම පද්‍ය ඇතුළු කුමාරගමයන්ගේ වෙනත් ප්‍රබන්ධවල දක්නට ලැබෙන ද්විත්වතාවක් නම් දෘශ්‍යත්වය හා අදෘශ්‍යත්වයයි. වර්තමාන යුගය නිරූපණය කරන විශිෂ්ට චිත්තකයෙකු ලෙස ප්‍රංස ජාතික ජැක් රන්සියේර් (JACQUES RANCIERE) පෙරබිමට පැමිණ ඇත. ඔහුගේ දර්ශනයෙහි එක් මූල ස්තම්භයක් නම් දෘශ්‍යත්වයයි. විමලරත්න කුමාරගමගේ පද්‍ය නව ව්‍යාඛ්‍යානමය රාමුවක ස්ථානගත කිරීම සඳහා අපට මෙම සංකල්පය ඵලදායී ලෙස උපයෝගී කර ගත හැකිය. මෙය බහුමානික සංකල්පයකි. විමලරත්න කුමාරගම හේරත්හාමි, සුන්දරහාමි, ආරච්චි රාළ වැනි නාමික චරිත තුළින් හා ඇතැම් නිර්නාමික චරිත තුළින් බොහෝ විට දෘශ්‍යත්වයක් නොලබා ඇති පුද්ගලයන්ට දෘශ්‍යත්වයක් ලබා දෙයි. ඔහුගේ පද්‍යවල දෘශ්‍යත්වය යන සංකල්පය තවත් ආකාරයකින් ද වැදගත් වේ. කුමාරගම විෂය ලෝකය හා අතීන්ද්‍රිය ලෝකය එකිනෙකට ගටා දක්වයි.

අන්‍යත්වය (OTHERNESS) හා ස්වීයත්වය අතර සංඝට්ටනය විමලරත්න කුමාරගමයන්ගේ බොහෝ නිර්මාණවල දක්නට ලැබෙන තවත් ද්විත්වතාවකි. ඔහු රජයේ පරිපාලකවරයෙකු වශයෙන් වන්නිකරයේ සේවය කළේය. වන්නිකරයේ ගැමියන් හා ඔහු අතර පරතරයක් විය. එම ගැමියෝ ඔහුගේ අන්‍යයෝ වූහ. ඔවුන්ගේ අන්‍යත්වය තුළින් සිය පුද්ගලත්වය නැතහොත් ස්වීයත්වයත් වශයෙන් ඔහුගේ බොහෝ නිර්මාණ ආත්ම ගවේෂණාත්මක, පාපෝච්චාරණාත්මක ස්වරූපයක් ගනියි. මෙය මානවවාදී තුලනාත්මක දෘෂ්ටියකට මඟ පාදමින් සදාචාර විඥානයක් මතු කරයි. මෙවැනි පද්‍යයකින් ඒ බව අනාවරණය වෙයි.

අලියා වැටුණු වැව සිටි හේරත් හාමි
මා වැන්නෙකු වුව ද මම වැදගත් වීමි
මිනී කපන මුත් ඒ හේරත් හාමි
ඔහු මට වඩා විසිතිස් ගුණයෙන් දෑමි

විමලරත්න කුමාරගමගේ සාර්ථක පද්‍ය රචනාවල දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් නම් සමාජ සත්තාවෙන් කාව්‍යමය සත්තාවටත්, කාව්‍යමය සත්තාවෙන් පාරභෞතික සත්තාවටත් සංක්‍රමණය වන අයුරු සටහන්ව තිබීමයි. උදාහරණයක් වශයෙන් ‘අයියනායක’ පද්‍ය රචනය ගෙන බලමු. වන්නිකරයේ සමාජ සත්තාවත් මීට මූලාශ්‍රය වී ඇත. සාහිත්යික රච‍නෝපක්‍රමවල බල මහිමයත් කවියා එම සමාජ සත්තාව කාව්‍යමය සත්තාවක් බවට පරිවර්තනය කරයි. එම කාව්‍යමය සත්තාව ජීවිතය - මරණය - බුද්ධිය - භක්තිය - කාලය වැනි මූල සංකල්ප කෙරෙහි පාඨකයාගේ අවධානය යොමු කරවමින් ඔහු හෝ ඇය පාරභෞතික ලෝකයකට ප්‍රවිෂ්ට කරයි.

විමලරත්න කුමාරගමගේ බොහෝ පද්‍ය රචනාවල විස්තර වර්ණනා වෙනුවට සංසිද්ධි නිරූපණයට මුල් තැනක් දී ඇත. හේරත්හාමි, ආරච්චි රාළ, සිරගෙය - වලස් දඩයම වැනි නිර්මාණ විමසීමෙන් මෙය වටහාගත හැකිය. ඔහුගේ අරමුණ විවිධ සංසිද්ධි පද සංවිධානය තුළින් කාව්‍යගත කිරීමය. මෙම ප්‍රයත්නය ඇතැම් විට අසාර්ථකව ඇත්තේ ඔහු වාර්තාමය භාෂාවෙන් ඉවත්වීමට අපොහොසත් වීම නිසා ය. පාඨකයා නිරූපිත සංසිද්ධියෙහි චරිතයක් බවට පත් කිරීමට කවියා සමත් වෙයි.

කුමාරගම සිය කාව්‍ය රචනා තුළින් නඟන ප්‍රශ්නය වන්නිකරයේ දුක්බර ජීවිතය කුමක් ද යන්න නොව එම ජීවිතය ගැන සිතන්නටත් හඟින්නටත් හැක්කේ කෙසේද යන්නය. මෙම කාර්ය සාධනයේදී කවියා පාරභෞතික ලෝක වෙත ද එළියක් විහිදුවා ඇත. ජිල් ඩෙලූස් (DELEUZE) නමැති ශ්‍රේෂ්ඨ චින්තකයා අතින්ද්‍රීය ආනුභවිකත්වය (TRANSCENDENTAL EMPIRICISM) යන විරෝධෝක්තිමය සංකල්පය පරිචලනයකට පත් කළේය. මෙම සංකල්පය කුමාරගමයන්ගේ මෙවැනි පද්‍ය යථායෝග්‍ය ලෙස වටහා ගැනීමට වහල් කොටගත හැකිය.

සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
මළ කා කළුව ගිය ආයුද කැබලි පෙනේ
දෙවියෙක් නැති ද මෙහි බලයක් තිබෙනු දැනේ

විමලරත්න කුමාරගම සිය කවි පළ කළේ මීට දශක සතකට පමණ පෙර ය. එහෙත් ඔහු අද දක්වාත් සිංහල සාහිත්‍ය පරිකල්පනයෙහි ජීව බලයක් සේ රැඳී සිටියි. උදේනී සරත්චන්ද්‍ර වැනි වර්තමාන කවීහු කුමාරගම ගේ රචනා අර්චනීය ආකෘති ලෙස සලකති.

විමලරත්න කුමාරගමයන්ගේ බොහෝ පද්‍යවල දක්නට ලැබෙන තවත් සුවිශේෂ ලක්ෂණයක් නම් සෙසු කවීන් ලෝකය මැද මිනිසා තැන්පත් කරන අතර කුමාරගම මිනිසා මැද ලෝකය තැන්පත් කිරීමයි. මෙවැනි චින්තන පථ ඔස්සේ යමින් කුමාරගම කවියාගේ නිර්මාණ ප්‍රතිවිවරණය කිරීම අප සතු යුතුකමකි.

Comments

Wimalaratne Kumaragama was one of the greatest poet that we have had ever because his poems are unique in that he used a very few simple words that could be understood by anyone. His poems are centred around the ups and downs of the lives of simple villagers who still preserve our culture in its pristine purity. To support my claim, I quote two lines from one of his famous poems called the beauty of the countryside. "Kussiya kiyana Gawa maduwehi Lipa Matte. Kasayak dekak mona dawaseda Netthe?" I may not be good at translating poems. However, in English, it should read something similar to what is stated below. Any error in translating these lines into English is regretted. "On the hearth erected in the kitchen very much akin to a cow-shed. Is there a single day where one cannot find a pot or two of decoctions lying on the hearth?"

පිටු