ගුරු භූමිකාවේ සුසමාදර්ශයක් | සිළුමිණ

ගුරු භූමිකාවේ සුසමාදර්ශයක්

කියැවීමෙන් බොහෝදුරට බැහැර ව ඇත්තේ යැයි කියන තරුණ පරපුරට මෙන් ම වැඩිහිටියනට ද පොත් කියවීමේ උත්තේජනය ලබා දෙන අතරේ ආනන්දයත් ප්‍රඥාවත් සම-සම ව බෙදා දෙන ජපන් කෙටිකතා එකතුවක සිංහල පරිවර්තනයක් වශයෙන් ‘මිදි පොකුර’ කෙටිකතා සංග්‍රහය හැඳින්වීමට හැකිය. (2017 වසරේදී දෙවන මුද්‍රණය වශයෙන් එළිදු ටු මෙය මුලින් ම ප්‍රකාශයට පත්වී ඇත්තේ 2008 වසරේදීය)

ජපානයේ පාසල්වල ඉහළ පන්ති සඳහා නිර්දිෂ්ට ග්‍රන්ථවල අඩංගු මේ කෙටිකතා, නූතන ජපන් සාහිත්‍යය ඉගැන්වීමේලා බෙහෙවින් උපයෝගි වන්නේ යැයි මෙහි එන කෙටිකතා පහක් සිංහලට පරිවර්තනය කළ මහාචාර්ය ආරිය රාජකරුණා පොතේ හැඳින්වීම ඔස්සේ අවධාරණය කරයි. (මිදි පොකුරේ එන ‘ලබු කැටය’ නම් වූ කෙටිකතාව පමණක් සිංහල භාෂාවට නඟා ඇත්තේ මහාචාර්ය රෝහිණී පරණවිතානයි)

ජපානයේ සිසු-සිසුවියන්ගේ මෙන් ම ශ්‍රී ලාංකේය සිසු පරපුරේත් කියවීමේ රුචිය වර්ධනය කිරීමේලා විශාල දායකත්වයක් සපයනු ඇතැයි හැඟෙන ‘මිදි පොකුර’ කෙටිකතා සංග්‍රහයේ ඇතුළත් ව ඇති ‘බළලෙකුගේ කතන්දරය’, ‘දොඩම්’, ‘මිදි පොකුර’, ‘සර්කස් අශ්වයා’ සහ ‘ලබු කැටය’ යන කතා මීට පෙර විවිධ අවස්ථාවන්හිදී ප්‍රකාශයට පත් ව තිබුණ ද ‘බෝනික්කා’ නම් වූ කෙටිකතාව මහාචාර්ය ආරිය රාජකරුණා විසින් මේ කෘතිය සඳහා අලුතින් ම පරිවර්තනය කරන ලද්දකි.

මේ කෙටිකතා පරිස්සමින් කියවාගෙන යද්දී මා තුළ යළි-යළිත් තහවුරු වූ සිතුවිල්ල වූයේ ‘සත්‍යය’ මෙන් ම ‘හොඳ හා නරක’ යන මේ සියල්ලේ ම පවත්නා සාපේක්ෂ ස්වභාවයයි. මේ හැඟීම මා තුළට ගැඹුරින් ම කාවැද්දූ කතා දෙක වන්නේ ‘බෝනික්කා’ හා ‘මිදි පොකුර’ යි. කතා ද්වයෙන් ම සාකච්ඡාවට භාජනය වන්නේ ‘සොරකම’ පිළිබඳවයි. වරදක්, පාපයක් මෙන් ම දඬුවම් ලැබිය යුතු අපරාධයක් වශයෙනුත් අප දැන සිටින (සම්මතය විසින් අපට උගන්වා ඇති) සොරකම, සෑම අවස්ථාවකදීම එසේ වන්නේ ද සියලු සොරකම් එකම මාපකයකින්, කෝණමානවලින් කිරා මැණ බැලීම යුක්තිසහගත ද යන ප්‍රශ්නය මේවා කියවන පාඨකයා තුළට නිරායාසයෙන් ම පිවිසෙයි. සම්මතය ප්‍රශ්න කිරීමට අවකාශයක් විවර කර දෙන එය, මිනිසා විනිවිද දැකීමට ද අප පොලඹවන සුලු ය.

ඔගව මිමෙයි නම් වූ ජපන් ලේඛකයා විසින් රචනා කරන ලද ‘බෝනික්කා’ කෙටිකතාවේ ප්‍රධාන චරිතයක් වන්නේ මහ මන්දිරයක දෙමවුපියන් සෙවණේ සුවසේ ඇතිදැඩිවන දසහැවිරිදි දැරියකි. උපන්දින තෑග්ගක් වශයෙන් ලැබුණු අලංකාර, විශාල ප්‍රමාණයේ බෝනික්කෙක් ද මේ දැරිය සතුව තිබේ. දැරිය මේ බෝනික්කාට පණට මෙන් ආදරය කරයි. ඇය බෝනික්කා දකින්නේ ද සජීවි දරුවකු සේ ය. දිනක් ඉස්තෝප්පුවේ බෝනික්කා නිදිකර තබන දැරිය ගෙතුළට යන්නේ ‘මම ඔයාට හොඳ කෑමවේලක් හදල දෙන්නම්කෝ’ යි කියමිනි. මේ අවස්ථාවේදී පාරේ යන හිඟන දැරියක් යමක් ඉල්ලා ගැනීම සඳහා මේ නිවෙසට ගොඩවදින අතර පැදුරක් මත වැතිර නිදන බෝනික්කා දකියි. හිඟන දැරිය තුළ මහත් දුකක් හටගන්නේ ජීවිතයේ කිසිම දවසක තමාට එබඳු බෝනික්කකු සමඟ සෙල්ලම් කිරීමට හැකිනොවන බව මතක් වීමෙනි. ‘මම පෝසත් පවුලක ඉපදුණෙ නැත්තෙ ඇයි?’ යි ඈ කනගාටුවෙන් සිතයි. බෝනික්කා සමඟ සුරතල් සංවාදයක යෙදෙන හිඟන දැරියට මේ අපූරු වස්තුව අතහැර යන්නට සිත් දෙන්නේ නැත. එහෙයින් ඇය බෝනික්කා ද රැගෙන පාරදිගේ දිවයයි.

බෝනික්කාට කෑම වේල පිළියෙල කරගෙන ආ ධනවත් දැරිය අන්දමන්ද වන්නේ බෝනික්කා අතුරුදන්ව ඇති බව දුටු විටදී ය. ඇය මහත්සේ වේදනාවටත් කෝපයටත් පත් ව මේ අවනඩුව කියා සිටින්නට කිසිවකු ගැන කල්පනා කරයි. අවසානයේ ඇය එය සැලකර සිටින්නේ පාසලේ ගුරුතුමියට ය.

“බෝනික්කා! කව්ද ඔය ළමයගේ බෝනික්කා හොරකම්කර ගත්තේ?”

“අවුරුදු හත අටක් විතර වයස හිඟන කෙල්ලක්.”

ගුරුතුමිය ටික වේලාවක් කල්පනාවෙහි නිරතව සිට මෙසේ ප්‍රශ්න කළා ය. “හිඟන කෙල්ල ගැන පොලිසියට පැමිණිලි කරනව ද එහෙමත් නැත්නම් හිඟන කෙල්ලට අනුකම්පා කරල හොරකම අමතක කරල දානව ද? ඔය දෙකෙන් වඩාත් හොඳ මොකක් කියල ද ඔය ළමය හිතන්නෙ?”

ඈ ගුරුතුමියගේ මුහුණ දෙස බලාගත් ගමන් සිටියා ය. ඈ අවසානයේ දී මෙසේ පිළිතුරු දුන්නාය. “හිඟන කෙල්ලට අනුකම්පා කරල හොරකම අමතක කරල දාන එක වඩාත් හොඳයි කියල මට හිතෙනව.”

ඇගේ පිළිතුරින් උද්දාමයට පත් ගුරුතුමිය “ඔය ළමයා හරි. ඔය ළමයා හරියටම හරි. හිඟන කෙල්ලට අනුකම්පා කරල හොරකම අමතක කරල දාන එක තමයි වඩාත්ම හොඳ” යැයි පවසා කාරුණික ලෙස ඇගේ හිස දකුණතින් පිරිමැද්දාය.

(මිදි පොකුර - ආරිය රාජකරුණා - 24 පිටුව)

සිතන්නට බොහෝ දේ ඉතිරි කර තබන්නේ මේ කතාවේ කූටප්‍රාප්තියයි. ඒ රාත්‍රියේ නින්දට යන ධනවත් දැරිය සිහිනයෙන් දකින්නේ පිදුරු සෙවිලි කළ පැල්පතක් තුළ, කඩමාලු පැදුරක් මත බෝනික්කා තුරුලු කරගෙන නිදන දිළිඳු දැරියගේ දර්ශනයකි. ඒ දෙදෙනා වසා පෙරවීම සඳහා ධනවත් දරිය අගනා කම්බිලියක් ගෙන යයි. කම්බිලිය පොරවන ඇසිල්ලේ ම ඇය අවදි වෙයි. ප්‍රකෘතියට දෑස් විවර වූ සැණින් ඇයට හිතෙන්නේ ‘තව ටික වේලාවක් වත් සිහිනය දැක දැක ඉන්නට අවස්ථාවක් ලැබුණි නම් කොතරම් වාසනාවක් ද?’ කියා ය.

කුඩා දැරියකට බෝනික්කකු අහිමිවීම කොතරම් නම් හද සසල කරවන කරුණක් ද යන්න පාඨකයාට හැඟී දැනී යන්නේ මෙවැනි අපූරු නිර්මාණයක් කියවූ විට ය. මේ කතාව කියවද්දී මගේ මතකයට නැගුණේ පුනරුත්ථාපන කඳවුරක ජීවත් වූ අනාථ දැරියක පිළිබඳව මා කියවා තිබූ සැබෑ පුවතකි. සරණාගතයන් සඳහා ආධාර බෙදාදීමට ඒ කඳවුර වෙත ගිය එක්තරා සමාජ සේවිකාවක් ‘ඔයාට බෝනික්කෙක් ඕන ද?’ යි කුඩා දැරියකගෙන් අසා තිබේ. දැරිය ඊට පිළිතුරු දී ඇත්තේ ද ප්‍රශ්නයකිනි.

‘බෝනික්කෙක් කියන්නෙ මොකක්ද?’

අරිෂිම තකෙඔ නම් වූ ජපන් ලේඛකයා විසින් ලියන ලද ‘මිදි පොකුර’ කතාවෙන් ද ප්‍රශ්න කෙරෙන්නේ සොරකම හා දඬුවමයි. එය සාරාංශගත කළ හැක්කේ මෙසේ ය.

චිත්‍ර ඇඳීමෙහි මනා හැකියාවක් හා ආශාවක් ඇති කුඩා පාසල් දරුවෙක් මුහුද, අහස හා අවට පරිසරය දර්ශනීය ලෙස සිතුවමට නගයි. තමාගේ චිත්‍රය වඩා ස්වාභාවික ලෙස නිමකිරීමට අත්‍යවශ්‍ය වන පාටක් තමාගේ පාට පෙට්ටියේ නොවන බව ද ඒ සමඟම ඔහුට සිහිවේ. ඒ වර්ණය ඇත්තේ පිටරටින් ගෙනා පාට පෙට්ටියකට හිමිකම් කියන ජිම් නම් වූ ඔහුගේ පාසල් මිතුරා වෙත ය. මේ දෙදෙනාම අධ්‍යාපනය ලබන්නේ විදේශිකයන් බහුලව වෙසෙන යොකොහම ප්‍රදේශයේ පාසලක ය. එහි ගුරුවරු ද විදේශිකයෝ ය.

සිතුවම පරිපූර්ණ ලෙස නිම කිරීමේ ආශාවෙන් පෙළෙන දරුවා ජිම්ගේ පෙට්ටියේ ඇති නිල්, රතු පාට කැබලි දෙකක් සොරාගනී. පාට කෑලි සාක්කුවේ ලාගන්නා දරුවා තුළ මහත් තැතිගැන්මක් නැගෙයි. ජිම් හා තවත් මිතුරකු මේ සොරකම ගැන ප්‍රශ්න කරද්දී දරුවාගේ දෑසින් කඳුළු කඩාවැටේ.

සිය සාක්කුවේ වූ පාට කැබලි මිතුරන් විසින් පිටතට ගනු ලැබූ අවස්ථාවේ පටන් දරුවා පසුවන්නේ මහත් වූ වික්ෂිප්තභාවයකිනි. මේ ප්‍රශ්නය ඉතා දූරදර්ශීව හා කාරුණිකව විසඳන්නට ඉදිරිපත් වන්නේ පන්තිභාර ගුරුතුමියයි.

ගුරුතුමිය ටික වේලාවක් මා දෙස බලා ගෙන හුන්නා ය. ඉක්බිති අනික් ළමයින් දෙසට හැරී “දැන් ඉතින් ගියාට කමක් නෑ” යි සන්සුන් ලෙස කීවාය. ඔවුන් එතරම් සෑහීමකට පත් නුවූ බවක් පෙනිණි. ඔවුහු ශබ්ද නගමින් පහළ තට්ටුවට බැස ගියහ.

ඈ ටික වේලාවක් යන තුරු වචනයක්වත් නොදොඩා මා දෙසටවත් නොහැරී තම නියපොතු දෙස බලාගත් ගමන් සිටියාය. අන්තිමේ දී ඈ සන්සුන් ලෙස නැගිට මා ළඟට අවුත් මාව වැලඳ ගැනීමට මෙන් මගේ උරහිස් මත දෑත තබාගෙන සිටියාය. “පාට කෑලි ආපසු දුන්නා දැ” යි සිහින් හඬින් විචාළාය. පාට කැබලි ආපසු දුන් බව නිශ්චය වශයෙන් ඇයට ඇඟවීම පිණිස මම හිස සැලීමි.

“ඔය ළමයා කරපු වැෙඩ් වැරදියි කියල දන්නව නේ දැ” යි ඈ නැවත වරක් සන්සුන් ලෙස මගෙන් ප්‍රශ්න කළාය. මම වෙවුලන්නට වීමි. මම දෙතොල හපාගෙන සිටියෙමි. එතකුදු වුවත් මගේ මුවින් ඇඬුම් හඬ නික්මිණි. මගේ දෙනෙතින් කඳුළු ධාරා ඇද හැලෙන්නට විය. ඇය මගේ උරහිස් දෙකින් අල්ලා ගත් ගමන්ම මාව මිය යනවා නම් යෙහෙකියි සිතුණි.

“අඬන්ඩ එපා. හොඳින් තේරුම් ගත්ත නම් ඒ ඇති. තවත් අඬන්ඩ එපා. ඊළඟ පන්තියට නාවට කමක් නෑ. කලබල කරන්නෙ නැතුව මේ කාමරේටම වෙලා ඉන් න. හොඳ ද?” යැයි කියූ ඈ මාව හාන්සි පුටුවක වාඩිකෙරෙව්වාය. එවිටම වාගේ පන්තිය පටන් ගැනීමේ සීනුව නද දිනි. ඈ මේසය උඩ තිබූ පොත් ටික අතට ගෙන මා දෙස බලා ගෙන හුන්නාය; උඩු මහලේ පිහිටි කාමරයේ කවුළුව තෙක් උසට වැටී තිබූ මිදි වැලෙන් මිදි පොකුරක් කඩා ගත්තාය; එය සිහින් හඬින් වැලපෙමින් හුන් මගේ උකුළ උඩ තබා සන්සුන් ලෙස එතැනින් නික්ම ගියාය.

(මිදි පොකුර - ආරිය රාජකරුණා - 15-16 පිටු)

කෙසේ වුව ද දරුවාගේ විළිලැජ්ජාව එතෙකිනුදු පහවන්නේ නැත. පසුදා පාසල් යන්නට දරුවාට සිත් නොදෙන්නේ ඒ නිසා ය. බඩේ අමාරුවක් හෝ හිසේ රුදාවක් ගැන කියා නිවසේ රැඳීසිටීමට දරුවාට ඕනෑ වෙයි. කෙසේ වුව ද අදිමදි කරමින් නිවසින් පිටවන දරුවා පාසල් වත්තේ දී මුහුණපාන්නේ නොසිතූවිරූ අවස්ථාවකට ය.

එවිට සිදු වූයේ කුමක් ද? ජිම් මා එන තුරු බලාගෙන සිටියාක් මෙන් වහාම දුවගෙන අවුත් මගේ අතින් අල්ලා ගත්තේය. පෙර දින සිදු වූ දෙය අමතක කොට දැමූ අයුරින් ඔහු කාරුණික ලෙස හැසිරුණේය. කලබලයට පත් වී සිටි මගේ අතින් ඇදගෙන ඔහු ගුරුතුමියගේ කාමරය දෙසට ගමන් කෙළේ ය. හේතුව කුමක් දැයි මට එක්වරටම වටහා ගත නොහැකි විය. පාසලට ගිය විට සියලු දෙනාම ඈත සිට මා දෙස බලා “අන්න බලාපන්, හොරකම් කරන, බොරු කියන ජපන් ළමයා ආවා” යැයි මට දෝෂාරෝපණය කරනු ඇතැයි සිතා ගෙන සිටියෙමි. එබැවින් මෙකී හැසිරීම මා තුළ මහත් අසහනයක් ඇති කිරීමට හේතුවිණි.

අප දෙදෙනාගේ අඩි ශබ්ද ඇසී දෝ ජිම් දොරට තට්ටු කිරීමටත් පෙර ගුරුතුමිය දොර විවෘත කළාය. අපි දෙදෙනාම කාමරයට ඇතුළු වීමු.

“ජිම්, ඔයා හොඳ ළමයෙක්. මං කියාපු කාරණය හොඳින් තේරුම් ගත්තා. ජිම් කියනවා ඔය ළමයා සමාව ඉල්ලුවේ නැතුවට කමක් නෑයි කියලා. ඔය දෙන්නා මීට පස්සේ හොඳ යාළුවෝ වාගේ ඉන්ඩ ඕනෑ. හා, දෙන්න ම අතට අත දෙන්ඩ.”

ඈ මෙසේ කියා සිනාසෙමින් අප දෙදෙනා එකිනෙකාට කිට්ටු කළා ය. මා ආත්මාර්ථකාමීයෙකි යි මට සිතිණි. එබැවින් ඔහුට අත දීමට මම ඇලිමැලි කරමින් සිටියෙමි. එවිට ජිම්, පහතට එල්ලෙමින් තිබූ මගේ අත ඉමහත් ප්‍රීතියෙන් ඩැහැගෙන තදින් මිරිකා ගෙන සිටියේය. මගේ සතුට කෙසේ ප්‍රකාශ කරම් දැයි නොදනිමි. මම ලැජ්ජාවෙන් සිනාසෙන්නට වීමි. ජිම් ද ප්‍රසන්න ලෙස සිනාසෙමින් සිටියේය. ගුරුතුමිය ද මුහුණට සිනහවක් නගා ගනිමින් “ඊයේ දුන්න මිදි රහ දැ” යි මගෙන් ප්‍රශ්න කළාය.

(මිදි පොකුර - ආරිය රාජකරුණා - 18 පිටුව)

ගුරුතුමිය යළි යළිත් සිනාසෙමින් ‘එහෙනම් ආයිත් මිදි පොකුරක් දෙන්නම්’ කියා කවුළුවෙන් එළියට නැමී මිදි වැලෙන් මිදි පොකුරක් කඩාගනී. අනතුරුව රිදීපාට කතුරක් රැගෙන මිදි පොකුර හරි මැදින් දෙකට කපා ජිම්ටත් යහළුවාටත් පිරිනමයි.

මෙවැනි කෙටිකතා පාසල් දරුවන්ට මෙන් ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත් වනු ඇතැයි සිතෙන්නේ ගැටලු නිරාකරණය පිළිබඳ අලුත් ම දහමක්, අලුත් ම පාඩමක් මේ අපූරු නිර්මාණ ඔස්සේ හඳුනාගැනීමට හැකිවන නිසා ය. මේ කතාව කියවාගෙන යන අතරතුර තවත් වරකදී මට මතක් වූයේ අනෙකකුගේ ජංගම දුරකතනයක් ළඟ තබාගැනීම නිසා ලද නින්දා පරිභව හේතුවෙන් මෑතකදී දිවි හානිකරගැනීමට යොමු වූ අපේ රටේ පාසල් දැරිය පිළිබඳ පුවත්පත් වාර්තා සමූහයයි. ඇගේ ගුරුවරුන් මේ කෙටිකතාව කියවා තිබුණේ නම් තත්ත්වය කොතරම් නම් යහපත් අතට හැරෙනු ඇද්දැයි මම නිකමට වාගේ උපකල්පනය කළෙමි. කෙසේ වුව ද මිනිසා තුළ සැඟව ඇති මනුෂ්‍යත්වයේ උදාරත්වය පිළිබඳ දිදුළනසුලු කල්පනා අවදි කරවීමට මේ කතාවලින් ඉඩ සැලසෙන හෙයින් මිනිසා සාහිත්‍යයෙන් බැහැරවීම කොතරම් නම් ඛේදවාචකයක් දැයි යළි-යළිත් සිතා බලන්නට ද මේ කතාසංග්‍රහයෙන් විවර වන්නේ මහඟු අවකාශයකි.

Comments