උරුමය රැක ගන්න කරුමය ගෙවන්නෝ | Page 2 | සිළුමිණ

උරුමය රැක ගන්න කරුමය ගෙවන්නෝ

 දරුවන් හය දෙනෙක්‌ ඇති දැඩි කළ තරුණ
මම දැන් නාකියෙකි ලෙඩ ගාණක්‌ තිබෙන
රජයෙන් ලැබෙන විට දේපොළ වල සහන
මිහිදන් කරපු තැන බඳිනට හැක සොහොන

මේ කවි පදය අපට හමුවන්නේ පැරැණි පද්‍ය ග්‍රන්ථයකින් නම් නොවේ. තමා උපන් ගම් බිමේ උරුමය රැක ගන්නට තවමත් දිවා රෑ නොබලා කටයුතු කරනු ලබන 85 හැවිරිදි වයෝවෘද්ධයකුගේ සටහනකිනි. පසුගිය රජය කාලයේ දිගින් දිගටම ඉල්ලීම් කළත් තවමත් එම ඉල්ලීම් සියල්ල සඟවා ගෙන සිටින රජයේ නිලධාරීන් නිසා ජීවිතයේ සැඳෑ සමයේ පවා ඉන්න හිටින්නට තැනක් නොමැතිව දිවි ගෙවන්නට මොවුන්ට සිදු වී තිබෙනවා. යුද්ධය අවසන් වී වසර 8ක් ගෙවී ගොස් ඇතත් මඩකළපුව එරාවුර්හි දිවි ගෙවූ සිංහල ජනයාගේ පාරම්පරික වාස භූමි හෝ අනෙත් ඉඩකඩම් හෝ ඔවුන්ට තවමත් හිමිව නැති නිසා ඔවුන්ට සිදුව ඇත්තේ අව්වට වැස්සට ශාප කරමින් දිවි ගෙවන්නට පමණකි.

‘ඔය කවිය ලිව්වේ අපේ ලොකු තාත්තා ඇත්තෙන්ම මේ කවිය ආණ්ඩුවට විරුද්ධව ලියපු කවියක් නෙමෙයි රජයේ නිලධාරීන්ගේ අකර්මන්‍යතාව වගේම සමහර අයගේ පාක්ෂික භාවය ගැන කියන්නයි තාත්තා ලිව්වේ. ‘ඒ එරාවුර්හි දැනට පදිංචිව සිටින එකම සිංහල පවුලේ සාමාජිකාවක වන අනෝමා වල්ගමය.

අනෝමා සහ ඇගේ මව වන මැගිලින් වෙල්ගමත් අනෝමාගේ ලොකු තාත්තා වන ඇල්ම්ස් වෙල්ගමත් ඔවුන්ගේ දුක්මුසු ජීවිත කතාව අප වෙත දිග හැරියා. ඒ ගැන අප වඩාත් විමසිලිමත්ව සොයා බැලුවා. අපි අතීතයට ගොස් එදා සිට අද දක්වා ඔවුන්ගේ ජීවිත කතාව දිග හැර ගත්තා.

ඒ ඉතිහාසය වර්ෂ 1920 දක්වා ඇදී යනවා. සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම එක්ව දිවි ගෙවූ නගරයක් ලෙස එරාවුර් නගරය හඳුන්වා දෙන්න පුළුවන්. අපේ රටට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබුණු 1948 වසර වන විට එරාවුර් චෙංකලාඩි වැනි නැඟෙනහිර නගර සිංහල වෙළෙඳුන්ගෙන් පිරී ගොස් තිබුණා.

ඒ වෙළෙන්ඳන් තම දරු පවුල් සමඟ සාමයෙන් සමඟියෙන් කල් ගත කළා. විශේෂයෙන්ම ඒරාවුර් නගර මධ්‍යයේ තිබුණු පොදු පොළ නැඟෙනහිර පළාතේම ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්‌ථානයක් වුණා. එම වෙළෙඳ පොළේ කඩ කාමර 72 ක්‌ ඉදි කර තිබුණා. එයින් කඩකාමර 52ක් සිංහල ජාතික ව්‍යාපාරිකයින්ටත් 19 ක්‌ මුස්‌ලිම් ජනයාටත් 01 දෙමළ අයෙකුටත් අයත් වුණා. ඒ කඩකාමර සින්නක්කර ලෙසින් ලබා දී ඇත්තේ කට වචනයෙන් හෝ කුඩා කොළ කැබැල්ලක් ලියා හෝ නොවේ. හැන්සාඩ් වාර්තාවේ පවා ඒ සින්නක්කර අයිතීන් සඳහන් කරමින්. අයිතිකරුවන් මෙන්ම ඔවුන්ගේ සියලු විස්තර මේ හැන්සාඩ් වාර්තාවේ සඳහන් වෙනවා.

සතුටින් සමඟියෙන් මේ පිරිස් කොතරම් සමඟිව දිවි ගෙව්වාද යන කරුණ තේරුම් ගත හැකි වන්නේ වෙසක්, පොසොන් තොරණ සියලු ජාතිකයන් විසින් එක්ව ඉදි කිරීම තුළිනුයි. ඒ වගේම මුස්ලිම් ආගමික දිනවලදී මෙන්ම තෛපොන්ගල් මහ ශිව රාතී ඇතුළු අනෙකුත් හින්දු ආගමික දිනවලදී සිංහල ජාතිකයන්ද මේ සියලු කාර්යයන්ට දායක වී කටයුතු කළා. ඒ අනුව තමයි 1960 වසරේදී එරාවුර් තරුණ බෞද්ධ සංගමය ආරම්භ වුණේ. ඒ තරුණ බෞද්ධ සංගමය සියලු ජනතාවගේ සහායෙන් 1963 අවුරුද්දේ ‘බුදුරැස්‘ නමින් වෙසක් උත්සවයක් පැවැත්වුවා. එදා ඉඳල වෙසක් පොසොන් උත්සව දවස් එරාවුර්වල ජාතීන් අතර ජාතික වශයෙන් වැදගත් දවස් බවට පත් වුණා.

මේ විදිහට අවුරුදු 15ක් 20ක් විතර තවත් කාලයක් ගත වුණා. 80 දශකයේ ත්‍රස්වාදීන් උතුරේ වෙනම රාජ්‍යයක් ඉල්ලමින් සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාවන් ක්‍රමයෙන් නැඟෙහිරටත් ව්‍යාප්ත වුණා. ඒ අනුව 1986 වසරේදී එරාවුර් පුළිමතලා විහාරස්ථානයේ වැඩ සිටි හික්කඩුවේ සුමනසිරි හිමියන් ඝාතනයත් සමඟ එරාවුර් නගරයේ තිබූ සමඟිය සිඳී බිඳී ගියා. එහ වසරේදීම මහභාගේ සුමනමිරි හිමි වැඩ සිටි සිප්පිමඩුව විහාරස්ථානය ත්‍රස්තවාදීන් විසින් ගිනි තබා බෝධීන් වහන්සේද විනාශ කරා.

මේ විදිහට ඇවිළුණු නැඟෙනහිර ගින්නේ උග්‍රතම අවස්ථාව උදා වූයේ 1987 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඔක්තෝබර් මස 05 වැනිදා පුණ්ණකුඩා ධීවර ගම්මාන වරාය පිහිටි අධිෂ්ඨානපුර සිංහල ගම්මානය ගිනි තබා විනාශ කළ කොටි ත්‍රස්තවාදීන් ධීවර ජනතාව සතුව තිබූ ධීවර බෝට්ටු ඇතුළු සියලු ආම්පන්න විනාශ කළා. පසු දින එනම් ඔන්තෝබර් 06 වැනිදා එරාවුර් නගරයේ සිංහල ජනතාව සතු සියල්ල විනාශ කළ ත්‍රස්තවාදීන් එරාවුර් පොදු වෙළෙඳ පොළ ආක්‍රමණය කළා.

එතැනින් පසුව සිදු වුණු දේ ගැන ඇල්ම්ස් වෙල්ගම මහතා පෙන්වා දුන්නා.

'එදා ඉඳල අපට යන්න එන්න තැනක් තිබුණෙ නැහැ. සමඟිය බිඳිල තිබුණටත් වඩා ත්‍රස්තවාදීන්ට ඇති බය නිසා අපට උදවු වෙන්න කිසිම දෙමළ මුස්ලිම් කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. එහෙම නැතිව ඒ කිසි කෙනෙක් අපට වුණු දේ අනුමත කෙළේ නැහැ. අපි එරාවුර් පොලිසියට ගියා. එතැන සිංහල අය 1200ක් විතර හිටියා. ඒ බොහෝ දෙනෙක් ඇඳිවත පිටින් ඇවිත් හිටියේ. අපි පාසලක සරණාගත කඳවුරක හිටියා. එතැන කිසිම පහසුකමක් තිබුණෙ නැහැ. මේ නිසා බොහොමයක් දෙනා තම තමන්ගේ ඥාතීන්ගේ ගෙවල් වලට ගියා. ඉතිරි වුණේ 50ක් 60ක් වගේ පිරිසක්. උපන් බිමේ අයිතිය රැක ගන්න අපි හිටියේ. ඒ වුණත් 1989 අවුරුද්ද වෙනකොට අපිටත් යන්න සිද්ධ වුණා. මම හබරණට ඇවිත් පදිංචි වුණා. එදා ඉඳල අද වෙනකම් අවුරුදු 28ක් හබරණ පදිංචි වෙලා ඉන්නෙ.

2009 අවුරුද්දෙ යුද්දෙ ඉවර වුණා. අපි බොහොම සන්තෝසෙන් අපේ කඩකාමර ‍වලට ගියා. ඒවයෙ ඉබි යතුරු සොයා ගන්නත් නෑ. තිබුණු ඒවත් ඇර ගන්න බෑ. මලකඩ කාලා? අපි ඉබ්බන් කඩල අපේ කඩකාමරවලට ගියා.

දැන් අපිට එරාවුර් නගර සභාව නීති මඟින් කටයුතු කරනවා අනවසරයෙන් කඩකාමර වලට ඇතුළු වුණා කියලා. දෙයියනේ අපේ කඩකාමරවලටයි අපි ගියේ. අපේ දේ කඩල හරි බිඳල හරි ගියහම එයාලට මොකක්ද තියෙන අමාරුව. නිකම් නෙමෙයි අපිට ගැසට් කරල. හැන්සාඩ් වාර්තාවෙත් අඩංගු කරල තමයි මේ කඩකාමර දීල තියෙන්නෙ.

මම ආපහු හබරණට ආවා. ඒ වුණත් මගෙ ලොකු ‍දුවක් එයාගෙ අම්මත් එක්ක එහේ ඉන්නවා.'

අපි මුලින් සඳහන් කළ ඇය අනෝමා ‍මල්ගමයි.

' මම ඉපදිලා තියෙන්නෙත් එරාවුර්වල. අපේ ලොකු තාත්තගෙ තාත්තල මෙහේ පදිංචි වෙලා තියෙන්නෙ කොළඹ - මඩකළපුව රේල් පාර හදන්නත් කලින්. කඩකාමර 74කින් 52ක් සිංහල අයට තිබුණ කියන එකෙන්ම පේනව අපේ උරුමය ගැන. අපි මේ ඉන්න කඩේ විදුලිය බලයත් කපා දැම්ම. විදුලි බල ඇමැතිතුමා කිව්වත් ආපහු දුන්නෙ නැහැ. ජනාධිපතිතුමාට මේ ගැන විස්තර දැන්වුවා. එතුමා පත් කරපු කණ්ඩායමක් මේ ගැන සොයා බලල පහුගිය 06 වැනිදා අපට ලයිට් දුන්නා. දැන් යන්තම් අපට එළිය වැටුණා‍. මගේ මල්ලි කෙනෙක් ත්‍රස්තවාදීන් ඝාතනය කළා. තව මල්ලි කෙනෙක් ඉන්නවා. මමයි අම්මයි තමයි මේඋරුමය රැක ගන්න ඉන්නෙ.

ලොකු තාත්තට දැන් යන්න එන්නත් අමාරුයි. ඒත් එයා තාමත් අපේ මේ උරුමය රැක ගන්න දුව පැන ඇවිදිනවා. කඩකාමර වල අයිතිය තියෙන අනිත් අයත් වරින් වර ඇවිත් යනවා. අපි කඩකාමරයක් කරගෙන ඉන්නවා. වෙළෙඳාමත් තියෙනවා. ඒත් අපේ මේ උරුමයට හරස් කපන නිලධාරීන් ඉන්න එක ලොකුම කරුමයක්. ඒක නිසා තමයි අපිට මේ කිසි දෙයක් කර ගන්න හැකියාවක් නැත්තෙ. අවුරුදු 85ක් වෙන ලොකු තාත්ත විඳින දුක දැකල හරි ආණ්ඩුවේ ඇමැතිවරු හරි මැදිහත්වෙලා අපට සාධාරණයක් කරල දෙන්න කියල අපි ඉල්ලා හිටිනවා. හැමෝටම වන්දි ගෙව්වා. ඒත් අපිට වන්දි තියා තවම ඉන්න හිටින තැන්වත් හදා ගන්න දෙන්නෙ නැහැ. මේ නිලධාරීන් කිසිම වගකීමකින් නෙමෙයි වැඩ කරන්නෙ'

එරාවුර් පොලිස් ස්ථානයේ සේවය කරන සිංහල නිලධාරීන් මේ වාරැදි සිදු කරන කාර්යයයේ එක් කොටසක් බව අපට පෙනී ගියා. අනවසර ලෙසින් විදුලිය බලය රැගෙන සිටින වෙළෙද සංකීර්ණයේ කඩකාමරයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට පොලිසිය කටයුතු කර ඇත්තේ දේශපාලන බලපැමක් නිසා‍නොව යම් කිසි කුට්ටියක් අත තැබීම නිසා බව අපට පැහැදිලි වුණා. එසේම මඩකළපුව හා අවට විදුලිය බල නිලධාරීන්ගේ ක්‍රියා කලාපයද මේ ආාකරයෙන්ම බවත් අපට පෙනී ගියා. ජනතාව නොව ජරාව යන්න ඔවුන්ගේ මුල් තැන් ගත් ක්‍රියාදමය බවයි අපට පැහැදිලි වූයේ.

' මම ඉස්කෝලෙ ගියේ වට්ටාරමුල්ල පාසලට. ඒ නම තමයි දැන් වන්දාරමුල්ල කියල හදාගෙන නැඟෙනහිර විශ්වවිද්‍යාලය ස්ථාපිත කරල තියෙන්නෙ. මම 1950 ගණන්වල ඒ ඉස්කෝලෙට ගියේ. අපට තවම කිසිම වන්දියක් ලැබිල නැහැ. නැවත පදිංචි කිරීම් තියෙනවා. ඒවත් අපට කිසි දෙවක් නොලැබෙන්නේ මේ නිලධාරීන් නිසයි.

මම මේ සේරම කවි පොතක ලියල තියෙන්නෙ. ඒ කවි පොත දැන් සම්පූර්ණයි. අගෝස්තු මාසෙ 06 වැනිදා ගාල්ලෙදි එළි දක්වන්න කටයුතු කරල තියෙනවා. අපේ ජිවිතේම ඒ කවි පොතේ තියෙනවා. අවුරුදු 85ක් වෙන මම තවමත් අපේ උරුමය වෙනුවෙන් දුවනවා පනිනවා. මට ඔපරේෂන් තුනක් කරල තියන්නේ‍, බයිපාස් එකකුත් කරල තියෙනවා. ඒත් මේ නිලධාරීන් මහා පාපකාරීන් විදිහට තමයි කටයුතු කරන්නේ.

මොන වැඩේ කරගන්න ගියත් අපව රස්තියාදු කරනවා. අපට කියන්න කෙනෙකුත් නැහැ.

හැන්සාඩ් වාර්තාවේ පවා පැහැදිලිව සඳහන්ව ඇති එරාවුර් වෙළෙඳ පොළ අයිතිකරුවන්ගෙන් පැහැර ගෙන සිදු කරන්නට යන මේ ක්‍රියාව නිසා සිංහල දෙමළ මුස්ලිම් සමඟිය නැති විමටද බොහෝ ඉඩ කඩ තිබෙනවා. අගමැතිවරයා විසින් පවා පැහැදිව ප්‍රකාශ කර ඇත්තේ ජාතීන් අතර එකමුතුකම් නැති කරන ප්‍රකාශයක් හෝ සිදු කරුණු ලබන අයට විරුද්ධව කටයුතු කරන ලෙසයි. නීතිය එක හා සමාන ලෙස විය යුතුයි. තමන් උපන් බිම තමන් ජීවනෝපාය සිදු කරනු ලබන බිමෙන් ජනතාව එළවා දමා හැන්සාඩ් වාර්තාවෙ පවා තිබෙන දේ නොසලකා හරින්නට යම් අයකු හෝ පිරිසක් උත්සාහ කරනවානම් එයින් සිදුවන්නේ දිගින් දිගටම ගැටලු ඇතිවීම පමණකි.

එපමණක්ද නොවේ. මේ වන විට එම වෙළෙ ඳ පොළ වෙනුවට වෙනත් වෙළෙඳ පොළක් රුපියල් මිලියන 1900කින් ගොඩ නංවන්නට මේ වන විට පියවර ගෙන තිබීමද ගැටලු සහගතය. එක නගර සභාව තුළ වෙළෙඳ සංගම් දෙකක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න අපට මෙහිදී මතුවන ගැටලුවකි. මේ ක්‍රියාදාමට මුල පුරන නිලධාරින් මෙන්ම දේශපාලඥයන් හෝ වෙත්නම් දැන්වගකීම විය යුත්තේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි. මන්ද කිසිවකුට හෝ අසාධාරණයක් සිදු නොවන ආකාරයෙන් සියලු කටයුතු සිදු විය යුතු නිසයි. එහෙත් එවැන්නක් පෙනෙන මානයක හෝ නොමැති බව මේ සිදුවීම් දෙස බැලීමෙන් අපට නම් පෙනෙනවා.

ජනාධිපතිවරයාගේ මැදිහත් විමෙන් විදුලිය බලය ලබා ගැන්මට හැකි වුවත් අනෝමා වෙල්ගම ඇතුළු පිරිස පමණක් නොව අනෙක් අයටද ඉදිරියේදී තම අයිතිය ලබා දීමට කටයුතු කළ යුතුය.

(මඩකළපුවේ සංචාරයකින් පසු)
තාරක වික්‍රමසේකර
සේයාරූ - රුක්මාල් ගමගේ

Comments