වැස්සට දලු දැමූ මානව ප්‍රේමය | සිළුමිණ

වැස්සට දලු දැමූ මානව ප්‍රේමය

 කුරුල්ලා කල්පනා කරන්න පටන් ගත්තා, වැස්ස මොනතරම් විස්මිතද? වෙලාවකට පොළොව උඩට වැටෙන වැහි බින්දු තාලෙට නටන්න පටන් ගන්නවා:

"ඒත් එක්කම නැවුම් සුවඳක් සුළඟට මුසු වෙලා හැම පැත්තටම හමනවා. ගහ කොළවලට වැටෙන වැහි බිංදුවලින් ගස්වල දූවිලි හෝදලා දානවා. පොළොවේ තියෙන හැම දේකම බලාපොරොත්තු ලියලනවා. ඒත්...! තවත් විටක, ඒ වැහි බින්දුම වලාකුළු තුළින් මහා වේගයෙන් පොළොව හාරාගෙන ඇදහැලෙන්න ගන්නවා. පොළොවේ රිද්මයකට තාලයකට තිබුණු හැම දේම වැහි වතුර කටුගාලා දානවා. කුරුල්ලාට ඉකිගැහුණා.

විනාඩියෙන් විනාඩිය, තත්පරෙන් තත්පරේ, පැයෙන් පැය, වතුර ගලන වේගේ වැඩි වුණා. බොර දිය ගෙවල් යට කරන්න පටන් ගත්තේ මහා රෑ දොගෙඩහරියෙදී. ඒ වෙන කොට හැම ගෙදරකම මිනිස්සු හොඳටම නිදි. සමහර ගෙවල්වලට වතුර දැම්මේ උදේ පාන්දර දෙකට විතර, එතනින් පස්සේ එක දිගටම ගෙවල් යට කරන් වතුර වේගෙන් ගලන්න පටන් ගත්තා. සමහර ගෙවල් යට උටණේ දවල් වරුවේ. තවත් සමහර ගෙවල් හවස් වරුවේදී යට වුණා. රෑ වෙන්න රෑ වෙන්න, ගම්මානත්, නගරත්, දිස්ත්‍රක්කත්, පළාතුත් යට කරගෙන වතුර ගලන්න පටන් ගත්තා.

සාමාජීක, දේශපාලනික, ආර්ථික, ආගමික, සංස්කෘතික ජීවන රටාවකට හුරු වුණු විවිධ මිනිසුන් ඒ හැම බිමකම ජීවත් වුණා. ඒ හැම මනුස්සයෙක්ම මානව කාලය ගෙවා දමමින්, ගොඩනගාගත් සියලු දෑ යට කරන් වතුර ගලන්න පටන් ගත්තා. වැස්ස ඇවිත් මිනිස්සුන්ව තෙමන කොට ජීවිත බේරගන්න මිනිස්සු දුවනවා, කුරුල්ලා දැක්කා. සමහර මිනිස්සු පණ බේරාගන්න දිව්වා. සමහරු දුවන්නැතුව වෙන්නේ මොකක්ද කියලා හිතාගන්නවත් බැරුව බලාගත් අත බලා හිටියා. වැස්සෙන් පණ බේරගන්න දුවන මිනිස්සු කෑගහනවා කුරුල්ලට ඇහුණා. කුඩා දරුවන්, වයසක මහල්ලන්, රෝගීන්, ආබාධිතයන්, මේ හැමෝම මහා වැස්සෙන් පීඩාවට පත් වෙලා වේදනාවෙන් ඉන්නවා කුරුල්ලා දැක්කා. මිනිස්සු කොටු ගහලා වෙන් කරගත්ත තාප්ප පුපුරවා දමමින්, ගේට්ටු කඩා බිඳ දමමින්, ගල් වැටි සීමා මකා දමා, ඉනි වැටවල් උගුල්ලා ගෙන, කම්බි වැටවල් පසු කරමින් බොර වතුර උස් උස්ව ගලනවා. වැස්ස හැම තැනම සුළඟත් එක්ක එකතු වෙලා හමාගෙන හමාගෙන යනවා. හැම අවකාශයක්ම තෙමලා දාලා සීතල කරනවා. ඉතා කුඩා සිදුරු තුළිනුත්, මහා විශාල භූමි මතත් හැඩි දැඩිව, සැඬ රළුව වතුර ගලාගෙන ගලාගෙන ගියා. ඒ හැම දේම මැද්දේ කුරුල්ලාට මිනිස් හඬ ඇහුණා.

චුට්ටේ: “කඩදාසිවල ඉරි ඇඳ ඇඳ ඉන්නේ නැතිව වතුරට බැහැලා බලන්න සර්. මම කියන්නේ බේගල් ද කියලා. මං ළමයි තුන් දෙනෙකුගේ තාත්තා කෙනෙක්. උන්ගෙන් දෙන්නෙක් මැරුණේ එකම දවසේ නිවුමෝනියාව හැදිලා. ඔය ඉතුරු වෙලා ඉන්නේ බාල කොලුවා සරණපාල මං හදාවඩා ගත්තේ කීරි කොටුවේ නෙවෙයි. නෑ ගෙදරක හිටෝලා. නැත්තං මෙලහකටත් ඌ මැරිලා. අපි නරකාදියක ජීවත් වෙන්නේ සර්. අතපය දිග ඇරල වැටිලා ඉන්න තැනක් නෑ. දොට්ට පිලට යන්න තැනක් නෑ. ඇයි සර් අපි ගැන අනුකම්පා කරන් නැත්තේ.”

(ආර්ආර් සමරකෝන්, කැලණි පාලම නාට්‍යය ,1978, 59 පිටුව)

හැම අවුරුද්දෙම ගඟ ගලලා වතුර ඇවිත් ගෙවල් විතරක් නෙමෙයි, මිනිස්සුන්ගේ ආශාවනුත්, බලාපොරොත්තුත්, වතුරට ගහගෙන ගිහින් තිබුණා. හැම අවුරුද්දෙම වැස්ස වැටෙනවා මිනිස්සු තෙමෙනවා, ගෙවල් වතුරෙන් යට වෙනවා. ජීවිත කාලයක් මහන්සියෙන් ගොඩනගාගත් සියලු දෑ යට කරන් ගංවතුර ගලනවා. ඒ හැම දෙයක් නිසාම මිනිස්සුන්ගේ හිත් ඇවිළෙන්න පටන් ගත්තා. ඒ රස්නෙන් කුරුල්ලාත් පිච්චෙනවා වගේ දැණුනා.

කුරුල්ලා දැක්කා සමහර තැන්වල ගෙවල් වතුරෙන් යට වෙලා මිනිස්සු වහල උඩ ඉඳන් බේරගන්න කියලා ගහනවා. තවත් තැනක සැඬ පාරට අහුවෙලා ගහගෙන යන මිනිස්සුන්ව තවත් මිනිස්සු පීනලා ගිහින් බේරගන්නවා. සමහර තැනක ඔරුව වතුරට ගහගෙන ගිහින් ඔරුවේ හිටි‍ය මිනිස්සු ගස්වල එල්ලිලා කෑගහනවා, එක පාරටම කුරුල්ලා දැක්කා මිනිස්සු වට වෙලා කලබලෙන් එහෙමෙහෙ දුවනවා.

මේරී අම්මා ඔළුව බදාගෙන කෑගහනවා. එයාගේ මහත්තය යි, පුතයි දෙන්නම වතුරෙ ගහගෙන ගිහින්, පාර්වතී දකින දකින හැම මනුස්සයෙක්ගෙන්ම අහනවා එයාගේ දුව දැක්කද කියලා. රාණි අක්කා හැම ගෙදරකටම ගිහින් එයාගේ පුතාලව හොයනවා. තව තැනක මිනිස්සු කලබලයෙන් කෑගහනවා කුරුල්ලාට ඇහුණා.

“ළමයෙක් වතුරේ ගහගෙන ඇවිත්, මිනිස්සු පීනලා ළමයව බේරගෙන...”

කුරුල්ලා මිනිස්සුන්ව දැක්කා. මිනිස්සු මිනිස්සුන්ට ආදරේ කරන්න පටන් අරන් තියෙනවා කුරුල්ලා ආශාවෙන් බලන් හිටියා. ඔවුන්ගේ භාෂාව වුණේ, හදවතේ උපදින හැඟීම් විතරයි. ඔවුන් අනෙකාව බේරගන්න සිය ජීවිතේ පවා වතුරට බිලි දුන්නා. ඔවුන් සියලු දෙනා ඇදහුවේ මනුෂ්‍යත්වය, ඒ හැම දෙනාම වැඩ කළේ මිනිස්සුන්ගේ ජීවිත බේරා ගන්න හැම මොහොතක්ම වැය කරන්න.‍ ඒ මැද්දෙන් මානව ප්‍රේමය දලුලන්න පටන් අරන් තිබුණා. මිනිස්සු බොහොමයක් දෙනා මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් සැබෑවටම වැඩ කරනවා කුරුල්ලා බලා හිටිය. කුරුල්ලාට මතක් වෙන්න පටන් ගත්තා, මේ භූමියේ ජීවත් වෙන විවිධ ආගම් අදහන හැම මනුස්සයෙක්ම තමන් අදහන ආගමේ නාමයෙන් වැස්ස වෙනුවෙන් යාග හෝම පුද පුජා පවත් වනවා. වැහි නැති කාලෙකට වැස්ස වැටෙන්න කියලාත්, වැස්ස වැඩි වෙලා වතුරින් සියල්ල යට වන වෙලාවට වැස්ස නතර කරන්නත් මිනිස්සු තමන් අදහන ආගමේ නාමයෙන් වැස්ස වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ හැම ප්‍රාර්ථනාවක් එක්කම කුරුල්ලා දෙයක් දැක්කා.

ඇයි? මේතරම් වහින්නේ, ඇයි? මෙතරම් වතුර පොළොවට වැටෙන්නේ... කුරුල්ලාට ඕනි වුණා මිනිස්සුන්ට පෙන්නලා දෙන්න ඇත්ත. ඒ තමයි, තෙත් බිම් ගොඩකරලා ඒ බිම්වල මිනිස්සු ගෙවල් හදලා. කැලෑ කපලා හෝටල් හදලා. කර්මාන්ත ශාලාවලින් පිටවෙන අහිතකර විෂ වායු පරිසරයට එක්කරන්නත්, නොදිරන ඝන අපද්‍රව්‍ය ගංගා ඇළ දොළවලට එකතු කරන්නත් පටන් ගෙන. වැහි වතුර ගලාගෙන යන්න විදිහක් නෑ.මේ පොළොව හඳුනානොගත් මිනිසුන් වතුරට ගලන්නවත්, පොළොවට වැඩෙන්නවත්, ඉඩක් නොතියා හැම දේම වෙනස් කරලා. ඒ හැම තැනකම මිනිස්සුන්ගේ ඛේදය ලියලා වැඩෙන හැටි කුරුල්ලට පෙනුණා. කුරුල්ලාට හැම පැත්තකින්ම කවියෙකුගේ හඬක් දෝංකාර දෙනවා ඇහුණා

“වෘක්ෂයෝ යනු මිහිමත අඳින ලද කාව්‍යයෝ ය. අපි ඒවා කඩාබිඳදමා කඩදාසි තනන්නෙමු. අපේ හිස් බවේ සලකුණු තබනු වස්”

-කලීල් ගිබ්රන්

කුරුල්ලා මොහොතක් කල්පනා කරන්න පටන් ගත්තා

“ස්වභාවධර්මය මිනිස්සුන්ට ආශීර්වාදයක්, මිනිස්සු ස්වභාවධර්මයට ආශිර්වාදයක්. ඒත්... එසේ නොවන විට, ස්වභාවධර්මය මිනිසාව යටපත් කර නැගී සිටින්නත්, මිනිස්සු ස්වභාවධර්මය යටපත් කරන් නැගී සිටින්නත් උස්සාහ දරනවා. ඒ හැම උස්සාහයකම තියෙන්නේ කවදාකවත් අවසානයක් නොවන අරගලයක් විතරයි. මේ අරගලය මිනිසාත් ස්වභාවධර්මයත් විනාශය කරා මෙහෙයවනවා. ස්වභාවධර්මයේ කොටසක් විතරක් වෙච්ච මිනිස්සු ස්වභාවධර්මය ආදරයෙන් රැක ගැනීමට පටන් ගත් පළමු මොහොතේ සිට විනාශය නැති වෙලා යනවා. ස්වභාවධර්මය මිනිස්සුන් ආරක්ෂා කරන්න පටන් ගන්නවා.

කුරුල්ලා දැක්කා මිනිස්සු ගැන මහා පොළොවේ සංවාදයක් ඇති වෙලා තියෙනවා. මිනිස්සු විසින් ගොඩනගාගත් නිලතල, බලතල, ජාති භේද, ආගම් භේද, කුල භේද, දුප්පත් පොහොසත් භේද, වතුරට අහුවෙලා දියවෙලා ගසා ගෙන යන හැටි මිනිස්සු බලා හිටියා. මිනිස්සුම ගොඩනගාගත් නීති රීති, නියාමන, රෙගුලාසි මේ හැම දෙයක්ම වැස්ස මකලා දාලා. වැස්ස මිනිස්සුන්ව එකතු කළා. මානව ප්‍රේමය ගැන පාඩමක් ඉගැන්නුවා ස්වභාවධර්මයේ ඇති විශ්මයත්, ආශ්වර්යත් දැවැන්ත බවත් පිළිබඳ මිනිස්සුන්ට හිතන්න වැස්ස ඉගැන්නුවා. කුරුල්ලට සැක හිතුණා. වැස්ස පායලා, වතුර බැහැලා ගියහම මිනිස්සුන්ට හැමදේම අමතක වෙලා යයි කියලා. මිනිස්සු ආයෙත් ස්වභාවධර්මයත්, මිනිසාත් විනාශ කරන්න පටන් ගනී කියලා කුරුල්ලා බය වුණෙ.

මහා පොළොව මත යුද්ධයත්, වැස්සත් එකම විදිහට සෙවණැලි ඇඳලා තිබෙනවා කුරුල්ලා දැක්කා. දහස් ගණන් දෙමව්පියන්ට සිය දරුවන් අහිමි වෙලා තිබුණා. දහස් ගණන් දරුවන්ට දෙමවුපියන් අහිමි වෙලා හිටියා. සිය ස්වාමියා අහිමි වුණු බිරින්දෑවරු ද, බිරිය අහිමි ස්වාමිවරු ද දහස් ගණනින් මේ පොළොව මත ජීවිතේ හොයනවා කුරුල්ලා දැක්කා. ආදරණීයම ගමන් සගයන් මිහිදන් වුණු වතුර කඳ නිසොල්මනේ මහ මුහුදට ගලා ගිහින්. කඳුළත් සුසුමත්, අහිමි වීමත්, පිළිබඳ ඡායාමාත්‍රයක සටහන් මිනිස් හදවත් තුළ ඉතිරි කර ඉර පායන්න පටන් ගත්තා.

ඩිලූෂා නදීකමාලී 

Comments