නසාර් විල තර­ණ­යේදී කෑ පරි­ප්පුව | සිළුමිණ

නසාර් විල තර­ණ­යේදී කෑ පරි­ප්පුව

ක්‍රිස්තු පූර්ව 1200 සමයේ ඊජිප්තුව පාලනය කළ දෙවැනි රැමේසිස් පාලන සමයේ ඉදිවූ අබුසිම්බල් සිද්ධස්ථානය තනි කළු ගලෙන් ඉදි වූවකි. පසුව නසාර් විල නිර්මාණය කිරීම සඳහා ඉපැරැණි අබුසිම්බල් සිද්ධස්ථානය වර්තමානයේ ස්ථාපිත ස්ථානයට රැගෙන ගොස් තිබේ. යුනෙස්කෝ ආයතනය විසින් 1967 වසරේදී එම පිළිම කෑලිවලට කපාගෙන ගොස් ඩොලර් මිලියන 40ක වියදමින් වර්තමාන ස්ථානයේ නිර්මාණය කර ඇත.

“ඇත්තෙන්ම ඒක විස්මිත නිර්මාණයක්. ඒ කෑලි නැවත පාස්සා තියෙන හැටි දැක්කම අදහාගන්න බෑ. එම පෑස්සුම් පියවි ඇසට නොපෙනෙන තරම්. ඒ වගේමයි වර්තමාන ස්ථානයේ දිස්වන්නේත් අවුරුදු දහස් ගාණක ඉපැරැණි අතීතයක්මයි.” එහෙත් අපේ රටේනම් එවන් සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් ඓතිහාසික පුදබිමක් වෙනත් ස්ථානයක නිර්මාණය කිරීමට ගියහොත් සිදුවන්නේ කුමක් ද යන්න ඩිලන්ට මෙන්ම මට ද සිතා ගත නොහැකිය. එසේම එම දින කීපයේදී අස්වාන්හි තිබෙන තවත් ඓතිහාසික ස්ථානයක් වන පිලයි පූජා භූමියද දැකබලා ගැනීමට ඩිලන්ට අවස්ථාව සැලැසිණි.

ලෝ වටා සංචාරය මතකයට නැ‍ඟෙන විට රසවත් යැයි පවසමින් නසාර් විල තරණයේදී කෑ ‘පරිප්පුව’ ගැන ඩිලන් කීවේ මෙසේය.

“මං ඉතින් ඊළඟ සඳුදා අස්වාන් වේල්ලේ නැ‍ඟෙනහිර දිසාවේ පිහිටි තොටුපළෙන් සුඩානයේ වඩිහල්ෆා වෙත යන යාත්‍රාවට නැග්ගා. බෲස් සමඟ මගේ ලට්ට-ලොට්ට ටික පැටෙව්වා බඩු යාත්‍රාවට. සාමාන්‍යයෙන් ඒ ගමනට පැය 18ත් 24ත් අතර කාලයක් යනවා. ලෝගු ඇඳගත්තු, වේල් පොටවලින් මූණු වහගත්තු ගැහැනු-පිරිමින්ගෙන් අඩියක් ගහන්න බැරි තරමට සෙනඟ. ලොකු ලොකු බෑග්-පෙට්ටි හැමතැනම. මාත් ඉතින් පෙට්ටි ගොඩක් තිබුණු තැනක පොඩි ඉඩකට රිංගගත්තා. සුව පහසු ගමනකට ඉඩක් ලැබෙන්නේ තමාටම කියලා කැබින් කාමරයක් වෙන්කරගත්තොත් පමණයි. මට කොයින්ද ඉතින් එච්චර මුදල්?”

“ඒ වගේමයි තවත් දෙයක් කිව යුතුයි... තමාගේම වාහනයක්ද රැගෙන යන අයට නීති කෝටියයි. බෝට්ටුව පිටත්වන දින උදේ නවයට ඒ අය රේගු නිලධාරීන් වෙත වාර්තා කළ යුතුයි. මාත් සමඟ එදා පහළොස් දෙනෙක් සිටියා එවැනි අය. හුඟ දෙනෙක් මං වගේම යුරෝපයේ ඉඳලා අප්‍රිකාවේ පහළට කුමක් හෝ වාහනයකින් සවාරි යන අය. අපිට දුන්නා පනහක් පමණ ආකෘති පත්‍ර. ඒ සියල්ලම අරාබි භාෂාවෙන් පුරවලා නිවැරැදි අනුපිළිවෙළට ලිපිකරුවන් පනස් දෙනා ලවාම මුද්‍රා තබාගත්තට පස්සෙයි අපිට ඊජිප්තුවට ඇතුළු වීමේදී ලබාදුන් දේශීය ලියාපදිංචි අංක තහඩුව නැවත බාරදිය හැකි වන්නේ. අන්තිමට අපි ඊජිප්තුව තුළ රැඳී සිටි කාලයේ ඒ රටේ නීතිය සමඟ කිසිදු ගැටුමක් ඇතිකර නොගත් වගට ඊජිප්තු විනිසුරුවරයකුගෙන් ගත් සහතිකයක් ද ඉදිරිපත් කළ යුතුයි. ඔය ඔක්කොම කරගන්න පැය පහක පමණ කාලයක් එදත් ගියා.” එවැනි කරුණුවලින් ඩිලන්ගේ සංචාරයේ තිබෙන දුෂ්කරත්වය මනාව ගම්‍ය වේ.

“ඊළඟට යාත්‍රාවේ යුද්ධය. දහදිය වැක්කෙරනවා, එහෙන් මිනිස්සුන්ගේ කච-බචේ. මෙතනදි වෙන්නෙ මෙහෙම දෙයක්. ඊජිප්තුවේ ඉඳලා සුඩානයට යන්න තමයි සෙනඟ වැඩි. මේ සුඩාන වැසියෝ බොහෝ දෙනෙක් උතුරු සුඩානයේ අගනගරය වන කාර්ටොවුම් සිට අස්වාන් වෙත එන්නෙ ගුවනින්. ඉන්පසුව වෙළෙඳාමට බඩු-මුට්ටු අරගෙන නැවත යන්නෙ මේ යාත්‍රාවෙන් තමයි. ඒ අඩු වියදමකින් යන්න පුළුවන් නිසා.”

එසේ යාත්‍රාවට ගොඩවීමෙන් අනතුරුව මොහොතකින් ඩිලන් නොසිතූ-නොපැතූ අලකලංචියට මුහුණ දුන්නේය.

“මේ යාත්‍රාවේ මඟක් යනකොට සුඩාන ආගමන නිලධාරීන් ගමන් බලපත්‍ර එකතු කරන්න ආවා. මං ඉතින් සාක්කුවට අත දාලා ගමන් බලපත්‍රය දෙන්න සෙව්වා. තිබුණේ නෑ. පස්සෙ මං ළඟ තිබුණ බෑග් බැලුවා. ඒත් නෑ. මට දැන් දෙලෝ රත්වෙලා. ඒ වගේම මට මං ගැනම කේන්තියි මේක කොහේ දැම්මද කියලා. අන්තිමට නිලධාරීන්ට හොඳටම තරහා ගිහින්. මට මතක් වුණා ෂුවර් එකටම බඩු යාත්‍රාවට පටවපු මගේ ලට්ට-ලොට්ට ගොඩේ තමයි ඕක තියෙන්නෙ කියලා. මං ඒ බව නිලධාරීන්ට පැවැසුවා. ඒත් ඒ අය මට කිසිම සමාවක් දුන්නෙ නෑ. ඔවුන් පැවසුවා බඩු යාත්‍රාව පැමි‍ණීමෙන් පසුව ගමන් බලපත්‍රය දෙනකල් සුඩානයට පය තබන්න බෑ කියලා.”

ඉන් හැඟවූයේ ඔහුට මඟී යාත්‍රාවේම සිටීමට සිදුවන බවකි. ඉන්පසු දිනයේ දහවල් කාලයේ වඩි හල්ෆා වෙත ළංවූ යාත්‍රාවෙන් බැසීමට ඩිලන්ට අවසරයක් නැත. ඒ බඩු යාත්‍රාව පැමිණෙන තෙක් ඔහුට සුඩානයට පය තැබීමට අවසර නැති බැවිනි. අනෙත් සියලුම මගීන් යාත්‍රාවෙන් නික්ම ගොස් හමාරය. එහෙත් ඩිලන් යාත්‍රාවේය. එසේ ඔහු යාත්‍රාවට වී පැය පහකට ආසන්න කාලයක් ගත කළත් බඩු යාත්‍රාව පේන තෙක් මානයක නොවීය. මේ වෙද්දී ඔහු පැමිණි මගී යාත්‍රාව ආපසු අස්වාන් බලා යාත්‍රා කිරීමට සෙනඟ රැස් කිරීමද ආරම්භ කර ඇත්තේය. එහෙත් ඩිලන් තවමත් යාත්‍රාවේය.

“මගේ අවාසනාව කියන්නෙ. බඩු යාත්‍රාව තවමත් නෑ. එතැන ඉන්න අය කියනවා, ‘කවදාවත්ම කිසි කෙනෙකුට වෙලා නැති දෙයක් තමයි අද ඔයාට වෙලා තියෙන්නෙ’ කියලා. මොකද වෙනදට මඟී යාත්‍රාව ඇවිල්ලා උපරීම පැය දෙක තුනක් යනකොට බඩු යාත්‍රාවත් එනවලු. වැඩේ කියන්නෙ එදා පැය පහක් ගිහිල්ලත් ආවේ නෑනේ. දැන් මගී යාත්‍රාව පිටත්වන්න හදන්නෙ. දැන් මට ආයෙත් යාත්‍රාවෙන් ඊජිප්තුවට යනවා හැරෙන්න වෙන කිසිදු විසඳුමක් නෑ. මං ගිහින් යාත්‍රාවේ කපිත්තට කිව්වා බඩු යාත්‍රාව මඟදි හමුවන ඉසව්වකින් යමු කියලා. මොකද නසාර් විල කියන්නෙ මහ මුහුද වගේ එකක්. ඔහු මං ඒ කියපු දේ සත පහකටවත් ගණන් ගත්තෙ නෑ. ඒ රටවල ඉන්න සමහරු හරිම දරදඬු-මුරණ්ඩු මිනිස්සු. කිව්වොත් කිව්වමයි. මං හිතන් හිටියෙ එහෙම ළඟින් ගියානම් වතුරට පැනලා පීනලා ගිහින් බඩු යාත්‍රාවට ගොඩවන්න. ඒකත් නුවණට හුරු දෙයක් නොවේ. කොහේද ඉතින් ඒකත් අවුල් වුණා. දැන් මට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. එහෙන් බඩු යාත්‍රාව වඩි හල්ෆාවලට ගියාට පස්සෙ බෲස්ට කුමක් වේද?”

එසේ සිතමින් නැවතත් ඊජිප්තුවේ අස්වාන් බලා පිටත් වූ යාත්‍රාවේ සිටියදී ඩිලන්ට කරීන් නමැති රූමත් තරුණියක මුණ ගැසේ. ඇය ඩිලන්ගේ ප්‍රශ්නාර්ථවලට පිළිතුරු සොයා දුන්නේය.

“ඇයත් ස්විස් රටෙන් ටැන්සානියාවේ ව්‍යාපෘතියක ස්වෙච්ඡා නිලධාරිනියක ලෙස සේවය කොට නැවතත් ස්විස් යන ගමන් හිටියේ. ඇය මං ඉන්න අසරණ තත්ත්වය තේරුම් ගත්තා. ඇය කිව්වා, “යාත්‍රාවට නඟින්න ඉන්න අතරේ වරාය බඩු නිෂ්කාශන නියෝජිතයකුගේ බිරියක් හඳුනාගන්නට ලැබුණා. මං ඇයට කියන්නම් ඔයාගේ යතුරුපැදිය ඔයා වඩි හල්ෆාවලට එනකල් එයාගේ බාරයේ තියාගන්න කියලා’. මං ඒකට එකඟ වුණා. කරීන් ඒ වෙලාවෙම එම කාන්තාවට දුරකථන ඇමැතුමක් ගත්තා. බෲස් මගේ පණ වගේනේ. මං ඉතින් ඇයට ආයාචනා කළා සතියක් විතර එක තැන දූවිලි කාන්තාරේ සයිකලේ තියෙද්දි මොනව වෙයිද දන්නෙ නෑනේ, ‘අනේ පුළුවන්නම් ඇයට කියන්න ඉටිකොළේකින් හරි මොකකින්හරි බෲස් පොඩ්ඩක් වහල තියන්න’ කියලා. මං කිව්ව සැණින් කරින් ඒ පණිවිඩෙත් ඇයට කිව්වා. දැන් නැවතත් ඊජිප්තු බලධාරින්ගේ වදේ. ඔවුන් ගමන් බලපත්‍ර එකතු කරනවා. මං ඉතින් කාරණය කිව්වා. ඔවුනුත් කියනවා බලපත්‍රය නැතිව යාත්‍රාවෙන් එළියට බහින්න බෑ කියලා. මට දැන් පුදුම තරහක්. මොකද ආයිත් යාත්‍රාව සුඩානයට යන්නෙ ඊළඟ සඳුදා. එතකල් කොහොමද මේකේ ඉන්නෙ කියලා මං ප්‍රශ්න කළා.”

ස්විස් තරුණිය ඒ අවස්ථාවේ යළි තම පිහිටට ආ බව ඩිලන් පැවසීය. අප්‍රිකාවේ වසර කීපයක සේවයෙන් ලත් අත්දැකීම් අනුව ඇය එම මුරණ්ඩු චරිත සමඟ ගැටෙන අයුරු ඉතාම හොඳින් අධ්‍යයනය කර තිබුණාය. කරීන්, ඇයගේ සුරූපි බවෙන් සහ කතා විලාසයෙන් ඔවුන් මෙල්ල කරගැනීමට සමත් වූවාය. ඉන්පසුව ඔහුගේ සේයාරුවක් සහිත අරාබි බසෙන් නම ලියූ ඩොලර් 15ක් ගෙවා ලබාගත් කුඩා කාඩ්බෝඩ් කැබැල්ලක් ඩිලන්ගේ තාවකාලික හැඳුනුම්පත වී ඇත. ඒ අනුව යාත්‍රාවෙන් බැසීමට ඔහුට අවසර ලැබිණ. ඒ අවසරයෙන් අස්වාන්හි කරක් ගැසූ ඩිලන් ඊළඟ සඳුදා දිනයේ නැවතත් මගී යාත්‍රාවට ගොඩ වූයේ ගතේ මෙන්ම සිතේද දැඩි විඩාවකිනි. එදිනද නැවතත් සුපුරුදු පරිදි සුඩාන බලධාරීන්ගෙන් පැරැණි කන්දොස්කිරියාවට මුහුණ දීමට ඔහුට සිදුවිය.

“ඔවුන් ම‍ගේ අලකලංචිය දැන දැනත් ගමන් බලපත්‍රය ඉල්ලනවා.” එය ඔවුන්ගේ තිබෙන සැබෑ මුරණ්ඩු ස්වරූපය බව පවසන ඩිලන්,

“මාත් ඒ වෙලාවෙනම් ඇරියෙ නෑ. ඕන දෙයක් වෙච්චදෙන් කියලා කියන්න ඕන ටික ජර්මන් භාෂාවෙන්ම කියලා දැම්මා. අනේ වඩි හල්ෆා ජැටියට යාත්‍රාව ළංවනකොටම අර කරීන් හඳුන්වා දුන් කාන්තාව ජැටිය අසලටම පැමිණ සිටියා. මං ක්ෂණයෙන් බෲස්ගේ යතුර දුන්නා ගමන් බලපත්‍රය අරන් එන්න කියලා. මට හරිම සතුටුයි බෲස් තිබූ හැටි දැක්කම. ඇය, කරීන්ට මා කිවු විදිහටම බෲස් හොඳින් ඉ‍ටිකොළෙකින් වහලා ලස්සනට තිබුණා. හිතන්න මොනතරම් හොඳ මනුස්සයොද?” එසේ තමා කෑ රසවත් පරිප්පුව ගැන පවසන ඩිලන් එවන් අලකලංචියක් වූ පළමු පුද්ගලයා තමායැයි පසුව නෞකාවේ කපිතාන් පැවැසූ බව ද කීවේය.

එහෙත් ඩිලන් පවසන්නේ කෙතරම් නපුරු මිනිසුන් අතර වුවද හොඳ ගතිගුණ තිබෙන පිරිස්ද සිටින බව සක්සුදක් සේ ඔප්පු වූ බවයි. 

Comments