
නාපු සිසුන්
රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි දුෂ්කර ප්‍රාථමික විද්‍යාලයක සිදු වූවකි. පාසලේ ශිෂ්‍ය පැමිණීම දිනපතාම වාගේ පන්ති බාර ගුරු මහත්ම මහත්මීන් විසින් සොයා බැලීම පුරුද්දක් ලෙස කරගෙන ගියේ ශිෂ්‍ය පැමිණීම ඉතාමත් දුර්වල හෙයිනි.
එක් දිනක් විදුහලේ හතර වැනි ශ්‍රේණියේ පන්ති භාර ගුරුතුමිය ශිෂ්‍ය නාම ලේඛනය පියවා පෙර දින පාසලට නොපැමිණි සිසුන් පිළිබඳ විපරම් කළාය.
“කෝ... බලන්න ඊයෙ නාපු අය කවුද කියල. අත් උස්සන්ඩ බලන්ඩ” ගුරුතුමිය කීවාය. සිසුහු දෙදෙනෙක් අත ඉස්සූහ. ගුරුතුමිය එක් අයෙකුගෙන් හේතු විමසුවාය.
“ටීචර් ඊයෙ ටිකක් වැස්ස තිබුණනෙ. මට හෙම්බිරිස්සාව කැස්ස ගතිය හැදෙයි කියල අම්ම කිව්ව නාන්ඩ එපා කියල.” සිසුවා පිළිතුරු දුන්නේය. මෙවිට ඊළඟ සිසුවා ද පිළිතුරු දෙමින්,
“මටත් එහෙමයි ටීචර්. අම්ම කිව්වනෙ නාන්න එපා කියලා” ඔහුගේ පිළිතුර විය.
ගුරුතුමිය කාරණය තේරුම් ගත්තාය. ඇසූ ප්‍රශ්නයෙහි අර්ථය තේරුම් කර දුන් ගුරුතුමිය පාඩම දෙසට අවධානය යොමු කළාය.
මියුලැසියා
ඩී. සී. ද සිල්වා
විශ්‍රාමලත් විදුහල්පති
ලොකු ඉස්කෝලේ මහත්තයාගේ ගෙදර කවදත් ගැමියන් අතර ඇසුරට පත් තැනකි. දිනපතා ‘දිනමිණ’ සතිපතා ‘සිළුමිණ’ සහ අනෙක් ඉරිදා පත්තර ද සත තුනේ මුද්දරයක් අලවන ලද ‘සිංහල බෞද්ධයා’ පත්තරේද තැපෑලෙන් එයි. මාසිකව ‘රසවාහිනි’, ‘නවයුගය’ සඟරා ද එහි ඇත. මේ නිසා ඒ ගෙදරට යන කාටත් පත්තරයක් සඟරාවක් බලන්නට හැකිය. පුස්තකාල නොමැති ඒ දිනවල මේ ගෙදරත් පන්සලත් හා ශාස්ත්‍රීය නිකේතනයක් බඳු විය.
පනස් හයේ බුද්ධ ජයන්තියට ලොකු ඉස්කෝලෙ මහතා රේඩියෝවක් ද ගෙනාවේ. රේඩියෝව ගුරු ගෙදර අවට වාසීන් අතර ද ජනප්‍රිය විය.
ලොකු මහත්තයා සෙත් පිරිත්වලින් පටන්ගෙන රාත්‍රී ශාස්ත්‍රීය ගී, භජන් ගී, නෘත්‍ය ගී දක්වාම සුදුසු වැඩ සටහන් අවට වාසින් සමඟ සවන් දෙයි. විශේෂයෙන් රේඩියෝවේ බණ කියන වෙලාවට ගැමියෝ පැදුරුවල වාඩි වී බණ අසති. ගුරුතුමා ඒවා දිනය, වෙලාව, මාතෘකාව, දේශක ස්වාමින් වහන්සේගේ නම යනුවෙන් ලියා සාරාංශයක් සකස් කරයි.
ලොකු මහත්තයා ක්‍රිකට් මැච්, මාසික රැඟුම, වාසනාව උදාව, රේඩියෝ රඟමඬල ග්‍රාමීය සන්ධ්‍යාව, කුරුලු බැද්ද වරදින්නේ නැතුවම අසයි. ඔහු සමඟ ගැමියෝ ද එක් වෙති. පද්‍යාවලිය ප්‍රචාරය වන හැමදාම චිත්‍රානන්ද අබේසේකර ඔහු අත පොත් තැබූ මූලික අධ්‍යාපනය ගමේ පාසලෙන් ලත් අයකු බව ද කියනවාමය.
එතුමා සංගීතය ද ප්‍රිය කරන බැවින් සමහර ගීත අසමින් පිටපත් කරයි.
ගෙදරට කවුරුහරි ආවොත් රේඩියෝ අසන්නේ නම් හාන්සි පුටුව ඉදිරියෙන් සාලයේ වාඩි වීමට කියයි. තේ බොන වෙලාවක නම් තේ එකක් දී බුලත් විටක් ද දෙයි. රේඩියෝවේ වැඩසටහනට අදාළ වැඩිමනත් දෙයක් වූවොත් එතැන සිටින අයට පහදා දෙමින් ප්‍රශ්න කරමින් පාඩම් උගන්වන අයුරින් කියා දෙයි.
එක් දිනක් ලොකු මහත්තයාලෙගේ ගෙදරට එස්. එස්. සී. පන්තියේ ඉගෙනුම ලබන ළමයෙක් පැමිණියේය. ලොකු මහත්තයා සරල ගී වැඩ සටහනක් අසයි. ඔහුට ද වාඩිවෙන්නට කියා තොරතුරු අසයි.
“මොකද ඔය ළමයා ආවේ”
“නැන්දා හම්බ වෙන්න” නැන්දා යනු ගුරුතුමාගේ බිරියයි.
“හම්බ වුණා ද?”
“ටිකක් ඉන්න කිව්වා, ඒවා හොයා දෙනකන්”
“දැන් මොන පන්තියේද ඉගෙන ගන්නෙ”
“ජ්‍යෙෂ්ඨ පන්තියේ”
ඔය අතරතුර ගීතයක් වාදනය විය.
“රටක් වටින කොමල හිනාවෙන් මා හා හිනා වුණා
කාගෙ කවුරුදෝ නොදනිමි ඒ මියුලැසියා”
“හොඳයි, තමුන්ට ඇහුණද ඒ සිංදුව”
“ඔව්”
“මියුලැසියයි කියන්නේ කාට ද?”
“අපේ පුංචි අම්මාට”
“මොනවා”
“ඇයි... අපේ පුංචි අම්මගෙ නම මියුලැසින්, ඒ වුණාට හැමෝම කියන්නේ මියුලැසියා” කියලයි.
මහත් ලොකු හිනාවක් ගිය ලොකු මහත්තයා සිසුවාට එහි තේරුම කියා දී දැනුම වැඩි කරගන්නට ඉඳහිට ඇවිත් පත්තර සඟරා කියවන්නට යැයි උපදෙස් දුන්නේය. නමුත් සිසුවා ඉන්පසු හතර මායිමටවත් ආවේ නැත්තේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි නිසාය.
අපේ මහත්තයගෙ ලෙඩේ
ගුරු විවේකාගාරය තුළ දී විවිධ රසකතා අනන්තවත් අපට ඒ කාලයේ ඇසුණි. එදා ගුරුවරුන්ට විවේකය සඳහා නිදහස් කාලඡේද තිබුණේ ඉතා අඩු වශයෙනි.
ගුරු විවේකාගාරයේ දී විවිධ විහිළු තහළු කිරීම, තොරතුරු කතා කිරීම, පාසලේ විවිධ ගැටලු ගැන විසඳුම් සෙවීම, අනියම් පරිදි ගුරු අත්දැකීම් ලබමින් ගුරු අධ්‍යාපනය ලැබීමට ද අවස්ථාව ඇත.
සමහර දාට යම් යම් කාලීන ප්‍රශ්න ද සාකච්ඡා කරති. එක් දිනක් ගුරුවරියක් කීවේ තම මෝටර් රථය ගරාජයේ නිසා මහත්තයට අද විවේකී බවයි.
‘අනේ... ඔව් අපේ මහත්තයටත් ඔය වදේ තමයි තියෙන්නෙ, එකක් හදනකොට තව එකක් කැඩෙනවා.
මේ කියන ගුරුතුමියට කවුරු මොනවා කීවත් ඊට සාපේක්ෂව සිද්ධියක් ඇත.
‘අපේ බබාට තරමක් උණ අද ඉස්කෝලෙ ඇරිල ගිය ගමන් ඩොක්ටර් ළඟට යන්න ඕනේ’
‘ඔව් අනේ අපේ පුතාටත් උණ. ඇයි, කියන දේ අහන්නෙ නෑනෙ. වතුරෙම දඟලනවා. මමත් අද හවස ඩොක්ට ළඟට යන්න ඕනෙ.’
‘හරි වැඩේ වුණේ... ඊයෙ අපේ ගෙදරට ‘පිරමිඩ්’කාරයෙක් ආවනෙ.’
‘කවුද අනේ පිරමිඩ්කාරයයි කියන්නෙ’
‘දන්නෙ නැද්ද අර බොරු ජාවාරම්කාරයෝ, මහ බැංකුවෙන් මේ අයට රැවටෙන්න එපා කියා කියල තියෙනවා.’
‘හා... හා... හරි හරි අපේ මහත්තයටත් එක්කෙනෙක් ඔහොම කියල තියෙනවා. මං කිව්ව ඔය පිරමීඩ පාරාවෝ ළඟ තියාගන්න අපි පාඩුවේ ඉඳිමු කියල’
කවුරුත් සිනාසුණේ ඒ කතාවටය.
දිනක් එක් ගුරුවරියක් තම බල්ලාගේ ලෙඩක් කීවාය. හොඳ පශු වෛද්‍යවරයකු හමු වී බෙහෙත් ගෙන සනීප වූ බව ද කීවාය.
අර ගුරුවරිය පැමිණෙන විට මේ කතා කළේ කුමක්දැයි නොදනී. ඇය අනෙක් ගුරුවරියට මෙහෙම කීවාය.
“කවුද අනේ ඔය හොඳ දොස්තර... මටත් අපේ මහත්තයට බේත් ගන්න ඕනේ සෙමට.” ගුරුවරිය කීවාය.