කව­දා­වත් නැතිව අද වෙස් පෙර­ළිලා ‍ඇයි? | සිළුමිණ

කව­දා­වත් නැතිව අද වෙස් පෙර­ළිලා ‍ඇයි?

පියාත් දියණියත් නික්ම ගිය පසු නරේන්ද්‍ර රාජඍෂි ගැන සැලකිලිමත් විය. රාජඍෂිගේ මුහුණ වසා ගත් අඳුරක් නරේන්ද්‍රට පෙනෙන්නට තිබිණි. මින් පෙර තම නිවසට පැමිණෙන ඕනෑම අවස්ථාවකදී රාජඍෂි බන්දුල හෝ නිලන්ත සොයා ගියේ බඩගින්නට නොව ආදරයට කුමන හෝ ආහාරයක් සොයා ගෙනය.

කුඩා කල සිටම පැවති ඒ පුරුද්ද නරේන් මාමාගේ සිත සතුටු කරන්නටය. නරේන්ද්‍ර එය දනී.

“ඍෂි, ඇයි ළමයො අච්චර කෑම බීම තියෙද්දි කන්නෙ නැතිව හිටියෙ?”

“එපා හින්දනෙ”

“අර ගෑනු ළමයා මොනවා හිතුවද දන්නෙ නැහැ.”

“මොනවා හිතන්නද? එයා මොනවා හිතුවත් මට මොකද? මේ ගෙදරට අඩිය ගහපු වෙලේ ඉඳන් ම කාපන්. කාපන්. කාපන්. හරියට මං ඉතියෝපියාවෙ සූඩානෙ ඉඳලා ආවා වගේ. ඉතුරු වෙච්ච කෑම ටිකක් තියෙනවලු. අහක දාන්න හොඳ නැති ලු. කාපන් ලු.”

රාජඍෂි නරේන්ද්‍ර නිසා උපන් අමනාපය සඟවා ගත්තේ නැත. ඔහු නේෂන් වෛද්‍යවරයා කෙරෙහි බැති සිත් ඇත්තේ තමා මරණයෙන් ගලවා ගැනීම නිසා විය හැක. එහෙත් ගෑනු ළමයා වෙනුවෙන් මෙතරම් උත්තර බැඳීම අවශය නැත.

“නරේන් මාමාට දැන් මගේ අක්කලා දෙන්නා ගැනත් මතකයක් නැහැ වගේ. මොන හේතුවකට ඇවිත් ගියත් දොස්තරගෙයි දුවගෙයි ගමන දැන ගත්ත ම ඒ දෙන්නට මොනවා හිතෙයිද?”

“ඍෂි ඔයා තොත්ත බබෙක් වුණාට ඒ කෙල්ලො දෙන්නා සමාජය ගැන හොඳට දන්නවා. බලාගෙන යන කොට ඔයා මහ ඊර්ෂ්‍යාකාරයෙක්නෙ.”

“ඔව්. මම ඊර්ෂ්‍යාකාරයෙක්”

නරේන්ද්‍ර නිහඬව රාජඍෂි දෙස බලා සිටින්නට විය. කුඩා ක‍ාලයේදිත් ඔහු තමාට මාමාගෙන් සොහොයුරියන්ට වැඩි ආදරයක් සැලකිල්ලක් බලාපොරොත්තු විය.

අධ්‍යාපනයෙහි ලා කාර්ය බහුල වීමත් සමඟම ඔවුන් වැඩිහිටියන් වීමෙන් ඒ සිතුවිලි ලිහිල් වී ගියේ ය.

නරේන් මාමාගේ ආදරයේ අඩු සැලකිලි ගැන මනෝහාරි කලබල වන්නේ නැත.

“ඍෂි කෑවා නොකෑවා මට ඔයත් එක්ක ලොකු කතාවක් තියෙනවා. එනවා මාත් එක්ක.”

“අද බෑ. මං හෙට එන්නම්.”

“ආවෙ ඇයි?”

“ගමනක් ගිහින් මෙතනින් යන ‍කොට ගෙදරට ගොඩ වෙලා යන්න එපා ද?”

“හරි හරි. ඒත් මොකද කවදාවත් නැතිව අමුතු වෙස් පෙරළියක් අද?”

රාජඍෂි පිළිතුරු දුන්නේ නැත. මනෝහාරි දැඩිව කියා සිටින්නේ නේෂන් වෛද්‍යවරයා සහ දියණිය නරේන් මාමා ඇසුරු කිරීම මවත් ලොකු අම්මාත් කෝප කරවන්නක්ව ඇති බවයි. ම‍නෝහාරි සහ රුක්නාද් සම්බන්ද කොට “ෆේස්බුක්” මත පැවති සංදර්ශනකාමී අවියත් පුවත්වලට මඟ පෑදුණේ නරේන් මාමා රුක්නාද්, රෝජා, නේෂන් ගෙට ගැනීම නිසා යැයි රාජනී පවසන්නේ කම්පා වූ හෘදයෙනි. එහෙත් රාජනී රාජඍෂි සම්බන්ධයෙන් කෙවිට අතට ගත් න්‍යාය දෙස මාධවී බලන්නේ තරමක් උපහාසයෙනි.

“මේ අලි ඉලන්දාරි කෙල්ලො කොල්ලො මට්ටු කරන්න අපිට බැහැ. නිදහස අයුතු විදියට පහත් විදියට පාවිච්චි කරන්න ඉ‍ඩ නොදෙන එක විතරයි අපිට කරන්න පුළුවන්.”

මාධවී පුංචි අම්මා කොතෙක් කියා සිටියත් මව ඊට එරෙහිව ෆේස් බුක් පුවත් නැවත මතක් කර දෙමින් මනෝහාරි ගේ සිත නොසන්සුන් කිරීමටත් රිදවීමටත් ගත් උත්සාහයට මාධවී පුංචි අම්මාටත් වඩා එරෙහි වූයේ රවිහාරිය.

“මාධවී ඔයත් ලජ්ජාවක් තියෙන ගෑනියෙක් නෙමේ. තමන්ගෙ ස්වාමියා අමු අමුවෙ මරා දාපු එවුන් එක්ක මොන නෑදෑකමක් ද?”

ඇය අසන විට තමා බලා සිටියේ ම‍නෝහාරිගේ අසරණ දෙනෙත් දෙස බව රාජඍෂිගේ මතකයට නැගිණි.

“මෙතන නෑදෑකම් කතා නැහැ.”

රවිහාරි කෑ ගැසුවාය.

“මනුස්සකමක් හැරෙන්න රුක්නාද් එක්ක දීග යන්න අක්කා හිතලා නැහැ. බොරු චෝදනා නින්දා අපවාද කැතයි. ලොකු අම්මා ලජ්ජා වෙන්න ඕන මේ කතා මගෙ අක්කා ඉස්සරහ කියනවට. රාජඍෂි මල්ලී අනේ ඔයාගෙ අම්මාට කියන්න මේ බාල කතා නතර කරන්න.”

රවිහාරි ඉල්ලා සිටියේ කෝපයෙන් වෙව්ලමිනි. රාජඍෂි මව ඉවතට රැගෙන ගියේය.

මවගේ ඒ විරෝධතාවන් තුළ සැඟවුණු සත්‍යයක් සහ අර්ථයක් ඇතැයි දැන් දැන් තමාට හැ‍ඟෙන්නේ මන්දැයි රාජඍෂි තමාගෙන් ම අසන්නට විය. රෝජා සඳපාණි පියා සමඟ සොහොයුරා වසන මහ ගෙදරට යෑම් ඊම් කිරීම මවට රුස්සන්නේ නැත. තමා තුළද එවන් ගමන්වලට විරෝධයක් හට ගන්නට පටන් ගෙනය.

“මනෝහරි මට කී සැරයක් කිව්වද රෝජා මෙහාට එන එක නතර කරන්න. පව් අහිංසක ගෑනු ළමයා. අපරාධෙ අපවාද අහනවා. එයාට තියෙන්නෙ නිදහස් පිරිසුදු හිතක්. ඒ වගෙ ම අවංකයි. අපිට නැත්තෙම අවංක පිරිසුදු නිදහස් හිත්. අපි ජීවිතේ විඳවනවා එක එක ප්‍රශ්න පටලවාගෙන. පටලවා ගන්න ප්‍රශ්නවල අර්ථයක් නැහැ. වංචනිකයි. අපිරිසුදුයි. විවෘත නැහැ....”

තරුණ ඥාති පුත්‍රයා කල්පනා කරමින් සිටින්නේ කුමක් පිළිබඳවදැයි අසන්නට සිතුණත් නරේන්ද්‍ර ඉක්මන් වූයේ නැත. සමහරවිට ඔහුට නොදන්වා තරුණිය පියා සමඟ මෙහි ඒම ඔහු කෝප කරවන්නට ඇත. එසේ කෝපවීම සාධාරණ යයි ඔහුට සිතෙනවා ද?

නරේන්ද්‍ර ගේ සිත උපන්නේ මහා පටැලැවිලි ගොන්නකි. ඒ පටැලැවිලි අතරින් සිතට තවමත් නිදහසක් නොදෙන ප්‍රියදෝණි මහමායා ගැහැනිය හස ඔසවන්නට වූවාය.

ඇය නදීප් නම් හමුදා කර්නල්වරයාගේ මිතුරියකව සිටීමේ පුවත මුල් කර ගෙන කොතරම් නම් ඇයට රිදවා තමා සතුටු වූවාද තෘප්තියක් ලැබුවා දැයි සිතීම පවා දැන් මහා අකුසල කර්මයක විපාකයක් වී හදවතෙහි දුක දල්වන සැටි දරා ගැනීම අපහසුය.

සැබවින් ම රාජඍෂි රෝජාසඳපාණි කෙරෙහි ප්‍රේමයෙන් නම් ඔහුගේ කෝපයට හේතුවක් ඇතැයි පිළිගත යුතුව ඇත. නරේන්ද්‍ර දිග සුසුමක් හෙළුවේය.

“ඍෂි”

නරේන්ද්‍ර රූපවාහිනි තිරය දෙස බලා සිටින රාජඍෂි ඇමතුවේ කිසියම් අපහසු තාවයකින් පෙළෙන බවක් හඟවමිනි.

“පුතා අද ‍මෙහෙ නතර වෙනවද? යනවද?”

“මං යනවා. හෙට මං එන්නම් රුක්නාද් ගැන කතා කරන්න.”

“මගෙ ඔළුව රිදෙනවා පුතා. මට නිදා ගන්න ඕන.”

“මාත් යනවා. නරේන් මාමා තාම බෙහෙත් බිව්වෙ නැද්ද? බෙහෙත් ටික බීලා නිදා ගන්න.”

රාජඍෂි බිමට නැඹුරු කර ගත් මුහුණින් රථය වෙතට ගියේය. බන්දුල ඔහු පසුපසින් ගියද තරුණයාට එය ‍නොදැනුණ සේ විය. තරුණයාත් වියපත් මිනිසාත් දෙදෙනා ම විඩාපත් මුහුණිනි. සොහොයුරියන්ට සහ තමාට ඇරයුමක් නැති ආහාර, වර්ජනය කිරීමට තරම් තරුණ ස්වාමියා සිරිත් විරිත් ආරක්ෂා කරන්නේදැයි බන්දුල තමාගෙන් ම අසා බැලුවේය.

“පුංචි සර් කැමති නැතිව ඇති රෝජා මැඩම් මෙහෙට එනවට. ඇයි ඉතින් රාජිනි මැඩම් ලොකු සර්ට කතා කර කර හැමවෙලේ ම බණිනවනෙ කලවම් මිනිස්සු ගෙට ගන්න එපා කියලා. මිනිස්සු හඳටත් එහා අඟහරු ලෝකෙටත් යන්න ළඟයි. අපි තාමත් ජාතිය ආගම වංශෙ කුලේ කබල් ගානවා. රෝජා මැඩම් පව්. අහිංසක ළමයෙක්.”

බන්දුල බොහෝ දේ සිතමින් මුළුතැන්ගෙයි වැඩ නිමා කළේ ය. අනතුරුව ඔහු උඩු මහලට ගොස් නරේන්ද්‍රගේ කාමරය ඉදිරියේ සිට ගත්තේය. දොරට දොරගුළු ලා තිබුණ ද නරේන්ද්‍ර අවදියෙන් බව ඔහු සිතුවේ නොනිවූ විදුලි පහන නිසාය. ඔහු ආපසු හැරුණේය.

“පුංචි සර් සැරෙන් කතා කළාම ලොකු සර්ගෙ හිත රිදෙන්න ඇති. ඇයි අද පුංචි සර් අමුතු වෙලා.”

බන්දුලගේ තරුණ සිතට විසඳා ගත යුතු ගැටලු සහ ප්‍රශ්න එකිනෙක ආවේ මුහුදේ තරංග මාලා මෙනි. සියලු ගැටලු ප්‍රශ්න වෙර‍ළේ හැපී බිඳී යන රළ සේ අතුරුදහන් වීමද සිදු වූයේ ඔහුටත් නොදැනීය.

********

විදුලි පහන් නොනිවා යහනෙහි වැතිරුණ නරේන්ද්‍ර නේෂන් විසින් රැගෙන ආ රුක්නාද් ගේ යෝජනාවක අගමුල විමසන්නට විය.

ඔහු පවසන පරිදි සැබෑ සංහිඳියාවක් ඇති කර ගැනීමට නම් දකුණ උතුර දිනා ගත යුතුය. උතුර ද දකුණ දිනා ගැනීමට ඇප කැප විය යුතුය. එසේ නොකර පොදු ජනතාවගේ ප්‍රායෝගික ජීවිතයේ කඩ ඉම් සොයා නොබලා සංහිඳියාව ගැන කතා කිරීමෙන් ඵල නෙළා ගැනීම දුෂ්කරය. සංහිඳියාව න්‍යායාත්මක වීම තුළ ප්‍රායෝගික ජන ජීවිතයට අරුතක් දෙන්නේ නැත. රුක්නාද් මන්ත්‍රිවරයා නැවත නැවතත් කියන සැටියට ප්‍රායෝගික සංහිඳියාවේ වටිනාකම, ජාතියක් නොව රටක් යන අර්ථය සමාජගත කළ හැකි ඵලදායි පණිවිඩයක් වීමය.

නරේන්ද්‍රට වෙහෙසක් දැනෙන්නට විය. වෛද්‍යවරු කියන්නේ හදවත් ශල්‍යකර්මවලට ලක්වූ මිනිසුන්ට දිනපතා ම ප්‍රමාණවත් නින්දක් අත්‍යවශ්‍ය බවයි. ක්‍රියාකාරී දේශපාලනයේ නියුතු මහජන නියෝජිතයෙකුට සුව නින්දක් ලබා ගැන්මට වෙන් කළ හැකි කාලය පැය ගණනින් කොපමණ විය හැකි ද?

මෙදින තමාට නිදි නැති රාත්‍රියක් ළඟා වී ඇත්තේ දේශපාලන කාර්යයක නිරතව සිටීම නිසා නොවේ යැයි සිතූ නරේන්ද්‍ර වෙතින් දීර්ඝ සුසුමක් උපන්නේය.

නොනිදන්නාට රාත්‍රිය දිගු යැයි බුදුන් වදාළ ධර්මතාව එදා සමාජයට වඩා අද සමාජයට වඩාත් ගැළපේ යයි සිතුවිල්ලක්, මෑත කාලයක සිට සෑම රාත්‍රියක ම ඔහුට අභියෝග කරන්නට සූදානම් වෙමිනි.

රාත්‍රියේ නිදි යහනේදී පමණක් නොව දවස පුරා වරින් වර සිතෙහි හොල්මන් කරන අතීත මතකයන් කටුකය. ඒ කටුක මතකයන් විසින් රාත්‍රි නින්ද පලවා හැරීම, ව්‍යාධියක්ව ඇත. නින්ද සහ මතකයන් අතර ඇති සටනින් තැලී පොඩිවී පරාජිතව අසරණව සුසුම් හෙළන්නේ තමා වීම නරේන්ද්‍රට දරා ගැනීම අපහසුව පවතී.

අනාගතයේ යම් දිනක තමාට මෙවන් අභාග්‍යයකට මුහුණ දෙන්නට සිදුවීම නියත යයි අනතුරු හැඟවූ ගැහැනිය ඔහුගේ හදවත තුළ නිබඳ සක්මනක යෙදී සිටින්නීය.

“මනුස්සකමට දුක් දෙන්න එපා නරේන්. ඒවා පාප කර්ම නෙමේ අකුසල් කර්ම. අනිවාර්යයෙන් ම විපාක දෙනවා. පාප කර්ම අහෝසි කර්ම වුණත්, අකුසලකර්ම අහෝසි වෙනවද කියලා ඔයාම හිතලා බලන්න.”

තම ජීවිතයේ කුදු මහත් නුගුණ දෙස දයාවෙන් බැලූ අතීත ගැහැනිය නෙතු අග කඳුළක් ඇඟිලි තුඬින් පිස ගනිමින් තමාට කී සැටි තමා ඇයට ප්‍රති උත්තර දුන් සැටි ඔහුගේ මතකය සසල කරවන්නට විය.

“අකුසල කර්ම පාප කර්ම මහ සෝන් යකාට දාලා ජීවිතයේ හොඳ පැත්ත ගැනත් ටිකක් හිතනවකො. මං වගේ මනුෂ්‍යයෙක් ආස්සරේ කරන එකත් පෙර පිනක් කියලා හිතනවකො.”

“ඒකත් නියෝගයක් අණ කිරීමක්? නපුරුකම නැත්නම් නිවන් දකින ජාති දක්වා ම ඔයා ඇසුරට හොඳ මනුෂ්‍යයෙක්.”

“ඔව් මං ප්‍රදේශාධිපතියෙක්. මගේ ප්‍රදේශයේ හැම මිනිහෙක් ම ගෑනියෙක් ම මගේ අණට කීකරු වෙන්න ඕන. හොඳ නරක ‍මොකක් වුණත් ඒක තමා නීතිය.”

“එහෙම නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනවද? මහජන මනාපෙන් ගිහින් අහිංසක මහජනයාට අහංකාරකම් පාන්න එපා. පාලකයින්ට බැහැ ජනතාවට ලොකුකම් පාන්න.”

“ඇයි? ඒකත් අකුසල කර්මයක් ද?”

“දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න.”

ඇය ඉන් නිහඬ වූවාය. එහෙත් නරේන්ද්‍ර නිහඬ වූයේ නැත. ඔහු එකල පාප කර්මයක සහ අකුසල කර්මයක වෙනස දැන නොසිටි නිසා හොඳින් දන්නා හඳුනන භික්ෂූන් වහන්සේ නමකට ප්‍රශ්නය යොමු කළේ දුර කථනයෙනි.

“මං බණකට වඩින්න ලෑස්තිවෙලා ඉන්නෙ. පස්සෙ හොඳට විස්තර කරලා දෙන්නම්. දැනට මෙහෙම මතක තියා ගන්නකො. පාප කර්මවලට මුල් වෙන්නෙ ශරීරයයි වචනයි. අකුසල කර්මවලට මුල් වෙන්නෙ හිත.”

ඉන් පසු පව් පින් කුසල් අකුසල් පිළිබඳව සොයා බැලීමට න‍රේන්ද්‍ර පෙලඹුණේ නැත. තම සුඛෝපභෝගි ප්‍රදේශාධිපතිකම ඉහළට ඔසවා තබා ගැනීමේ උත්සාහයන් තුළ ප්‍රියදෝණි මහමායා කොතැනක සිටියා දැයි නරේන්ද්‍ර සිතන්නට විය.

ජාතීන් අතර සංහිඳියාව ඇති කරනු වස් එක් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ පාසල් ළමුන් අතර පැවති රචනා තරගයක තෑගි සහතික බෙදා දීමේ උත්සවයකට යළිත් ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරැයුම් ලබා ඇය පැමිණෙන බව ඔහුට කීවේ සැබවින් ම අතිශයින් සමීප පෞද්ගලික මිතුරියක විසිනි. ඇය ඊර්ෂ්‍යාවෙන් දැවෙමින් ඉල්ලා සිටියේ ඔහුගේ බල ප්‍රදේශයට ඇයගේ පැමිණීමට විරුද්ධ වන ලෙසය.

“තමුසෙ කට වහගෙන ඉන්නවා නම් හොඳයි. මහමායා මැතිනිය එන්නෙ ජාතික සංහිඳියා සිංහල අපට හුරු පුරුදු ගුණයක් ප්‍රතිපත්තියක් බව ඉතිහාසය ඇසුරෙන් ළමයින්ට කියලා දෙන්න. ඇයි ඒකට මං හරස් කපන්නෙ? ගෑනියෙ කුහක වෙන්න එපා. ඊර්ෂ්‍යාවෙත් සීමාවක් තියෙන්න ඕන.”

නරේන්ද්‍ර මිතුරියට සැර කළේ සැබවින් ම කෝපයෙනි.

“එයා උත්තම ගනයේ මැතිනියක්. අපි නිකන් ම නිකන් ගෑනු?”

“නිකන් ම නිකන් ගෑනු නෙමේ වල් ගෑනු. දානයක් දෙන්නා වගේ ශරීර කූඩුව විවෘත කරලා තමන්ට ඕන ඕන වැඩ කරවා ගන්නවා. දැන් එනවා නම්බුව හොයන්න. කටවහගෙන ඔෆිස් එකෙන් එළියට බහිනවද? දැන් නායක ස්වාමීන් වහන්සේ දෙනමක් මාව මුණ ගැහෙන්න එනවා.”

මිතුරිය ඉවත්ව ගියාය. වැඩම කරන්නට නියමිත භික්ෂූන් දෙනමක් නැත. ඇය මුසාවාදයකින් පලවා හැරීම ජයග්‍රහණයකි. 

 

Comments