සයිබර් ලොවට ඇබ්බැහි වෙලා නම් විද්යුත් පොතක්වත් කියවන්න! | Page 9 | සිළුමිණ

සයිබර් ලොවට ඇබ්බැහි වෙලා නම් විද්යුත් පොතක්වත් කියවන්න!

කුසුම්සිරි විජයවර්ධන ජාතික පුවත්පත් කීපයකම කර්තෘ මණ්ඩලවල කටයුතු කරමින් ලෙන්දොර හැරීම, පාරාදීසයට ගමනක්, වන් මේ අරණේ, ගිරි දුර්ග ඔස්සේ... ආදි චාරිකා සටහන් දහයක‍ට අධික සංඛ්‍යාවක් ග්‍රන්ථ ස්වරූපයෙන් පාඨකයන්ට දායාද කර තිබේ. එමෙන්ම පින පෑදූ දා, උතුරු ඉන්දියානු ජන කත‍ා වැනි පරිවර්තනද, පුවත්පත් ප්‍රචාරණයේ වෙනස්වීම් රටා, මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක වැනි පර්යේෂණ හා ගවේෂණ කෘති මෙන්ම කොම්පියුටර් ළමයි, දිරිමත් පණ්ඩුකාභය, තැනිතලාවේ කොටි දඩයම වැනි යොවුන් ප්‍රබන්ධ ඇතුළු ග්‍රන්ථ රැසක් සම්පාදනය කර ඇති ඔහු මෙලෙස අදහස් දැක්වූයේ වත්මන් සාහිත්‍ය කලාව සහ තම නවතම නිර්මාණය වන 'කුසල් සහ කුමාරයා' යොවුන් නවකතාව පිළිබඳ ව ය.

• සිංහල සාහිත්‍යයෙන් යොවුන් නවකතාව බැහැරව ඇත්තේ ඇයි?

මේ රටේ 1947 වගේ කාලේ ඉතාම ජනප්‍රිය වූ යොවුන් නවකතාව හැටියට සැලකෙන්නේ මඩොල් දූව. ඒ කාලේ හැටියට එය ඉතා ඉහළ මට්ටමක තිබුණු බව පිළිගැනෙනවා. ඊට පසු බිහි වූ සාහිත්‍යකරුවන් මේ පිළිබඳ එතරම් ගණන් ගැනීමක් තිබුණු බවක් පේන්නේ නෑ. සමහරවිට විශ්ව සාහිත්‍යයේ බලපෑම නැති වූ නිසා හෝ ඒකභාෂික නිසා වෙන්න පුළුවන්. ඊට පස්සේ ජී.බී. සේනානායක පර්වර්තනයක් කළා ‘රණරාළ‘ කියලා. එය බොහෝ ජනප්‍රිය වුණා. ඒත් ඉන් පසු බිහි වූ ඒ යුගයේ ලේඛකයන් වන කේ. ජයතිලක, මඩවල එස්. රත්නායක, කරුණාසේන ජයලත් මෙන්ම මාර්ටින් වික්‍රමසිංහ පවා යොවුන් නවකතාව ගැන අවධානයක් යොමු කළේ නෑ. ඒත් මේ කතාවලට විශාල ඉල්ලුමක් තිබෙනවා. මඩොල් දූව මුද්‍රණ වාර වැඩිම ගණනකට යොමු වූ යොවුන් නවකතාවක්. මෙයට හේතුව සමහර විට නවකතාව තරම් කැපීපෙනෙන තත්ත්වයක් නැති නිසා වෙන්නත් පුළුවන්.

• යොවුන් නවකතාවලින් රටක සාහිත්‍යයට කෙරෙන බලපෑම කොයි වගේද?

විශාල බලපෑමක් කෙරෙනවා. සාමාන්‍ය පෙළ, උසස්පෙළ වගේ වයස්වල ළමයින් මුලින්ම අතට ගන්නේ මේ යොවුන් නවකතා. එයින් ලැබෙන ආභාසය තමයි ඉන් පසු හොඳ නවකතාවලට පොලඹවන්නේ. එහෙම යොවුන් නවකතා ලංකාවේ බහුලව නැති නිසා, බොහෝ දෙනෙක් සරල පෙම් කතා වගේ වල්පල් කියවන්න පටන් ගන්නවා. ඉන් පසු සාහිත්‍යයෙන් ඈත් වෙලා ෆේස් බුක් වගේ දේවලට යොමු වන්නේ යොවුන් සාහිත්‍යයක මූලාරම්භය ලැබෙන්නේ නැති නිසයි.

• නවකතා හා යොවුන් නවකතා අතර කැපීපෙනෙන වෙනස ලෙස ඔබ දකින්නේ මොනවාද?

නවකතා සරලව හිතන්නේ වැඩිහිටියන්ට ලියන කතා කියලා. ඒවායේ සංකීර්ණ මානසික ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, කුටුම්භ ප්‍රශ්න අදිය විග්‍රහ කෙරෙනවා. යොවුන් නවකතා ඊට වඩා සරල විය යුතුයි. ඒවා කියවන දරුවන්ගේ මනස දිරිමත් කරන ආකාරයෙන් විය යුතුයි කියලා අදහසක් තිබෙනවා. ඔවුන් මානසික වශයෙන් ශක්තිමත් කරන, පෞරුෂය වර්ධනය වන අයුරින් විය යුතු බවයි අදහස.

• ඔබ වර්තමාන සිදුවීමකට වඩා විමලධර්මසූරිය රජකාලේ කතාවක් තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

මම ඉතිහාසයට කැමැති නිසා ‘මන්දාරම්පුර පුවත‘ නම් පොත කියවීමේදී රාජකීය භාණ්ඩාගාරයක් තිබුණු බවට ඇති තොරතුර කෘතියකට ගෙන කුතූහලය ඇති වන විදිහට ඉදිරියට ගෙනයන්නේ කොහොමද කියලා හිත අස්සේ කැකෑරෙමින් තිබුණා. එය වර්තමානය සහ අතීතය සම්මිශ්‍රණය කරමින් ගියොත් වඩා සාර්ථක වෙයි කියලා හිතුණ නිසා ‘කුසල්‘ නම් වර්තමාන නව යොවුන් චරිතය සමඟ ගැළපෙන ආකෘතියක ‘කුසල් සහ කුමාරයා‘ කතාව ගොඩනැඟුවා.

• මෙහි සියලු තොරතුරු අතීතය ගවේෂණයෙන් ගත් ඒවාද? නැත් නම් ඔබේ පරිකල්පනීය කොටස් අතීත කතාව හා මිශ්‍ර කරමින් ගොඩනැඟුණක්ද?

මූලික තොරතුරු සියල්ල සත්‍යයි. විමලධර්මසූරිය රජු සහ ඔහුගේ පුතුන් දෙදෙනා පිළිබඳ තොරතුරු වගේම ඔහුගේ මිය යෑමෙන් පසු සෙනරත් රජු කුසුමාසන දේවිය සරණපාවාගැනීම සහ දරුවන්ට නොසලකා හැරීම නිසා ඇය අසරණ බවට පත් වීම, කුමාරවරුන් හඟුරන්කෙත ජීවත් වූ බව වැනි කරුණු සත්‍යයි. ඒ වගේම මෙවැනි භාණ්ඩාගාරයක් පිළිබඳ තොරතුරත් ඉතිහාස පොත්වල තිබෙනවා. ඒ හැරුණු කොට එන කොටස් මගේ පරිකල්පනය මත ගොඩනැඟු දේවල්.

• මේ කතාවේ ‘කුසල්‘ නම් පාසල් සිසුවා පුරාවිද්‍යාත්මක කරුණු සොයාගැනීම නිසා බොහෝ ජනප්‍රිය වන බව ඔබ පෙන්වා දෙනවා. එමඟින් ඔබ අරමුණු කළේ යොවුන් පාඨකයන් තුළ ඉතිහාසය කෙරෙහි උනන්දුවක් ඇති කිරීම ද?

මට හිතුණා බොහෝ විට ළමයින් ජනප්‍රියත්වයට කැමතියි කියලා. ඒ නිසා කැපීපෙනෙන තත්ත්වයක් ඇති කළොත් ඔවුන් ඉතිහාසය ගැන සෙවීම වැනි දේට යොමු වෙයි කියා සිතුවා. ඒ වගේම මාධ්‍යවල වුණත් මේ දේවල් පිළිබඳ විශාල උනන්දුවක් තිබෙන බව කියන්න තමයි එවැනි කොටස් කතාවට ඇතුළත් කළේ.

• මෙරට සාහිත්‍යය සමස්තයක් ලෙස ගත් විට බොහෝ දෙනා නවකතාවටම යොමු වී ති‍බෙන්නේ ඇයි?

කැපිලා පේන්න ඕනෑ නම් ලිවිය යුත්තේ නවකතා තමයි. අපට වුණත් ප්‍රකාශකයන් කියන්නේ නව කතා ලියන්න කියලා. අනෙක සමහරුන්ට තිබෙනවා ‘කොහොම හරි නවකතාවක් ගොඩදාගත්තොත් හරි!‘ කියන අදහස. ඒ නිසයි කවියන් පවා නව කතා ලියන්න යොමු වෙන්නේ.‍ ‘සාහිත්‍යය ලෝකයේ සුපර් ස්ටාර්ලා වෙන්න නව කතා ලීවාම හරි!‘ කියන සිතිවිල්ලයි සමහර අයට තිබෙන්ෙන්්.

• ලෝක සාහිත්‍යය සමඟ ගත් විට අපේ සාහිත්‍යය වෙත තරුණ පිරිස් යොමු වීම පිළිබඳ මොක ද හිතන්නේ?

බොහෝ විට එය පාසලේ සිට ම විය යුතු දෙයක් ලෙසයි මම හිතන්නේ‍. විශ්වවිද්‍යාල ගත්තත් පශ්චාත් උපාධි සහිත ගුරුවරුන් පවා පොත් කියවනවා ද යන්න ප්‍රශ්නයක්. ඔවුන් පවා දැන් ඉන්නේ මුහුණු පොතේ‍. එවිට ළමයින්ට පෙනෙන්නේ නෑ, ගුරුවරයකු පොතක් අතේ තබාගෙන යන-එන ආකාරයවත්. අපේ කාලේ අපි පුස්තකාලයෙන් හොඳ පොතක් අරගෙන තියෙනවා දැක්කොත් ගුරුවරුන් පවා එය කියවන්න ඉල්ලා ගන්නවා. ඔවුන්ගේ හොඳ පොත් අපට දෙනවා. පාසල්වල ළමයි මේ අයුරින් විශ්වවිද්‍යාලවලට ගියාම තත්ත්වය දිගට ම ඒ ආකාරයෙන් ගමන් කරනවා.

• ඔබ කියන්නේ සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය අපේ සාහිත්‍යයට ‍විශාල ලෙස අයහපත් බලපෑමක් ඇති කරනවා කියලා ද?

බොහෝ විට ලංකාවේ හැම දෙයක් ම පාහේ ගන්නේ වැරැදියට නේ. ජංගම දූරකථනය පවා වැඩකට‍ නැති දේට තමයි අපි භාවිත කරන්නේ. පිටරටවල එය තමන්ගේ වැඩ පහසු කරගන්නයි යොදාගන්නේ.

• ටෙලි නාට්‍ය ආදියත් මේ ආකාරයේ බලපෑමක් කරනවා ද?

හැමෝම රෑට ටෙලි නාට්‍ය ඉදිරියේ ඉඳගත්තා ම ළමයිනුත් එයට ඇබ්බැහි වෙනවා. පොතක් පතක් කියවන වෙලාව තමයි එයින් නාස්ති වෙන්නේ. ඉස්සර වගේ දැන් ගෙවලට පත්තර ගන්නෙත් නෑ නේ.

• ඉතිහාසය පිළිබඳ දැනුම ජාතියකට රටකට කොතරම් දුරට වටිනවා ද?

එය විශාල වටිනාකමක් අැති විෂයයක්. ඉතිහාසයක් නැති රටවල් තමයි මේ වටිනාකම හොඳටම දන්නේ. ඇමෙරිකාව, ස්වීඩනය වගේ කෙටි ඉතිහාස ඇති රටවල් මේ පිළිබඳ හරි උනන්දුයි. ඒත් දිගු ඉතිහාස සහිත අපි වගේ රටවල් මේ ගැන කිසිම වටිනාකමක් ගැන හිතන්නේ නෑ. අද ළමයෙක් මහාවංශයක් අතින්වත් අල්ලනවා දකින්නවත් ලැබෙනවා ද? සමාජයට උපදෙස් දිය යුතු මට්ටමේ අයට මේ පිළිබඳ උනන්දුවක් නැති වුණා ම අනෙක් අයත් අයාලේ යනවා.

• මේ කතාව තුළ යම් දේශපාලනයක් දිවෙන බව පේනවා? ඔබේ ඉලක්ක කණ්ඩායමට මෙය අවබෝධ වෙයි ද?

සාහිත්‍ය ඇසුරක් ඇති අයට තේරුම්ගන්න පුළුවන් වෙයි කියා හිතනවා. මොක ද: සමහර ළමයි ඉතිහාසය මෙන් ම දේශපාලනය පිළිබඳවත් බොහෝ උනන්දුයි. අනෙක: මේ පොත් යොවුන් නවකතා කීවාට මේවා වැඩිහිටියනුත් කියවනවා නේ. ඔවුන් ගැනත් හිතලා තමයි ඒ කොටස් වරින් වර ඇතුළත් කළේ. ඒ වගේ ම අපි මොනවා කීවත් දැන් තිබෙන සමාජයත් එදා සමාජයත් ගත් විට දේශපාලනය අතින් එක සමානයි කීමටත් මට ඕනෑ වුණා.

• ඔබ තරුණ පිරිසට දෙන්න කැමැති පණිවිඩය කුමක් ද?

අපේ යොවුන් පරපුර කියවීමට යොමු කිරීමේ වගකීම තිබෙන්නේ වැඩිහිටියන් අතේ. එනිසා ළමයින් හොඳ සාහිත්‍යයකට යොමු කිරීමේ වගකීම වැඩිහිටියන් බාරගත යුතුයි. ඒ සඳහා සයිබර් මාධ්‍යයෙන් මිදී මුද්‍රිත මාධ්‍ය පිළිබඳවත් උනන්දු විය යුතුයි. තමන් සයිබර් මාධ්‍ය වෙත වැඩිපුර නැඹුරු වී තිබෙනවා නම් ‘ඊ-බුක්ස්‘ කියවීමට හෝ හුරු වීම වඩාත් වටිනවා.

Comments

පිටු