
සාලාව ආනන්දගමට හැරෙන හන්දියේ තනි තට්ටුවේ කඩ කාමර වෙනුවට දැන් ගොඩනැඟෙමින් ඇත්තේ තෙමහල් කඩකාමර පන්ති බව අපේ කැමරා කාචයට හසු වුණා. එපමණක් නොව, සාලාවේ උළු කැටයක් පමණක් බිඳුණු හා නිවෙසේ ගේට්ටුවට සුළු හානි වූ නිවැසියන් නිවෙසකට යාබදව ආපනශාලා පවා ඉදි කර ඇති බවද අපට මෙහිදී පෙනී ගියා. මේ වන්දි ප්‍රමාණවත් නොවූයේ නම් එවන් දියුණුවක් ලබන්නට හැකි වූයේ කෙසේද යන්න අපට නම් ගැටලුවකි.
"අම්මගෙ අසනීපෙට බේත්තෙල් වගයක් ග-ගා හිටපු මට එකපාරටම චීනපටස් පුපුරනව වගේ සද්දයක් ඇහුණ නිසා ගෙයින් එළියට බැහැලා බැලුවා.
'ආමි කෑම්ප්-එකට කොටි ගහල ආයුධ ගබඩාව ඉවරයි! පණ බේරාගෙන දුවපල්ලා...!' කවුදෝ පාර දිගේ කෑගහගෙන දිව්වා.
'කොටි ගහල...? දැන් කොයින්ද කොටි...?' මට කියාගන්න ලැබුණෙ එච්චරයි. මගේ ගේ ඉස්සරහින් කන් අඩි පුපුරන සද්දෙන් මොකක්ද වැටුණා. ඒ ගිනි ජාලාවකුත් පිට කරමින්.
ඒ හරියටම මීටර පහක්-හයක් විතර දුර පාරෙ මැදින්. මගේ කකුලකුයි අතකුයි දෙකම පිච්චුණා. මම පොඩි දරුවකුගේ උදවුවෙන් අම්මත් උස්සගෙන දිව්වා පන්සලට. එතකොට තමයි දැනගන්න ලැබුණෙ සාලාව කෑම්ප්-එකේ ආයුධ ගබඩාවට ගිනි අරගෙන කියලා. අර බෙලිගහ යට නිදාගෙන හිටපු හාවා බෙලිගෙඩිය වැටුණාම ලෝකෙ පෙරළෙනවා කියලා දිව්ව වගේ තමයි කවුද හාදයෙක් කොටි ගහනවා කියල දිව්වෙ."
තමා වසරකට පෙර මුහුණ දුන් ඒ බිහිසුණු අත්දැකීම අපට පැවසුවේ සාලාව යුද හමුදා කඳවුරට සමීප දුරකින් වෙසෙන අත්තම්ගම පදිංචි 56 හැවිරිදි සුසිල් ඇන්ටන් මහතායි.
"දවස් 14ක් අපි පන්සල්වල හිටියේ. ළඟ තියෙන පන්සලට ගියාට පස්සෙ ඒක අනාරක්ෂිත බව තේරුණ නිසා අපි ත්‍රීවීලර්-එකකින් ගියා පූගොඩ පන්සලකට. විශ්වාස කරන්න: අපි ඔක්කොම 11 දෙනෙක් ගියා ඒ ත්‍රීවීලර්-එකේ! බෝම්බ පුපුරන සද්දෙට ත්‍රීවීලර්-එක වතුරේ යන බෝට්ටුවක් වගේ හෙල්ලෙන්න ගත්තා. පූගොඩ පන්සලේ ටික දවසක් ඉඳල අපි පසුව ගියා පැපිලියවල පන්සලකට. සති දෙකකට පස්සෙ තමයි ආපහු ආවේ. ඒ එනකොට වෙන්න ඕන සේරම හරිය වෙලා ඉවරයි. ගෙදර මුදුන් යට ලීය පුපුරල, දොරවල් කැඩිල බිඳිල ගිහින්. බිත්ති හැමතැනම පුපුරල. අලුතින්ම ගෙවල් හදාගන්න තත්ත්වයක් තමයි උදා වෙලා තිබුණෙ.
මේ ගැන ග්‍රාම සේවක මහත්තයට කිව්වා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. අන්තිමට මට ලැබුණෙ රුපියල් 6500යි. ඒකත් දෙපාරටයි ලැබුණෙ. 6500 ගන්නත් පුදුම දුකක් විඳින්න වුණා. බැංකු පොතක් ඕන කිව්වා. මගේ පින්තූර ඕන කිව්වා. ඒ සේරම දුන්නා. පින්තූර හරි නෑ කිව්වහම ආයිත් ගෙනත් දුන්නා. මගේ කකුලකුයි අතකුයි දෙකම පිච්චිලා තියෙන්නේ. මේසන් වැඩ කරපු මට ඒ කිසි දෙයක් කරගන්න විදිහක් නැහැ. අඩුම ගානේ කුඹුරක් කරන්න වතුරටවත් බහින්න විදිහක් නැහැ, කකුලේ තුවාලය හින්ද. ඇත්තෙන්ම මේ විපතෙන් අසරණ වුණේ, අසාධාරණයට ලක් වුණේ අපි වගේ කිප දෙනෙකුට විතරයි. හුඟක් දෙනෙකුට ස්වීප්-එකක් ඇදුණ වගේ මේ නස්පැත්තිය! අපි සති දෙකකින් එද්දි සේරම තක්සේරු කරගෙන ගිහින්. අපිට මෙහෙම වුණාට මේ විපත හුඟක් අයට සැපතක් වුණා. මේකට හුඟක් අය කියන්නෙ 'පින් බෝම්බ' කියලා."
අවුරුද්දකට පෙර කොස්ගම සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යෑම නිසා සිදු වූ විනාශයෙන් බැට කෑ අයකු අපට පැවසූ කතාවකි ඒ. මේ විපත බොහෝ අයට සැපතක් වූ බව ඉතා පැහැදිලි බව අපට පසක් වූයේ කොස්ගම සාලාව ප්‍රදේශයේ කළ සංචාරයකදීය. වෙනදා දක්නට නොතිබූ සුවිසල් ගොඩනැඟිලි මෙන්ම දෙමහල් තෙමහල් ගොඩනැඟිලි ඉදි කෙරමින් පවතින බව අපට පෙනිණි. එපමණක් නොව, සෑම නිවෙසකටම පාහේ නවීන විදුලි උපකරණ මෙන්ම නවීන රථ වාහන පවා පැමිණ තිබිණි. සාලාවේ බෝම්බ පිපිරීමට 'පින් බෝම්බ' යැයි කියන්නට බොහෝ දෙනා පුරුදුව ඇත්තේ එහෙයිනි. එහෙත් කිහිප දෙනකුට පමණක් තමන්ට වූ හානියට සරිලන වන්දියක් ලැබී නැති බවද ඒ අය පවසනවා. අපි ඒ අය කිහිප දෙනකුගේද අදහස් විමසා සිටියා. ආනන්දගම පදිංචි එම්. පද්මිණීද එවැනි එක් අයෙක්.
"මේ පිපිරීම නිසා අපේ ගෙදරටත් ගොඩක් හානි වුණා. ඒ වුණත් අපට ලැබුණෙ රුපියල් 50000ක් විතරයි. මේ ගෙදර දුවගෙ දරුවොත් එක්ක දරුවො හත් දෙනෙක් ඉන්නවා. අපේ ගෙදර වහලෙ හදල දෙනව කියල සීට්, උළු, තහඩු සේරම කලවම් කරල දාල තියෙන්නෙ. අනිත් එක ගෙදර ඇඳේ මැද ලොකු පොල්ලත් අරගෙන වහලට ගහල. දැන් අභියාචනයක් දාන්න කියල සමහරු කියනවා. ඒත් තවත් සමහර අය කිව්වා, ඕව කරන්න ගිහින් තියෙන එකත් නැති වෙයි කියලා. ඒක නිසා අපි ලැබුණු දේ අරගෙන නිහඬව සිටිය. මගෙ මහත්තයත් මේසන් වැඩ කරන්නෙ. ඕවට දුවන්න පනින්න කතා කරන්න අපට හයියක් දැනුමක් නැහැ. අපිට කොළඹ යන්න කියනව. ගිහින් කොහේ යන්නද මොනව කරන්නද කියල අපි දන්නෙ නැහැ. අපි අවංකව කටයුතු කරපු නිසා තමයි අපට හරි හමන් විදිහට වන්දියක්වත් ලැබුණෙ නැත්තෙ. කට්ටිය ඇවිත් සේරම ලියාගෙන ගියා. ඒත් රුපියල් 50000ට අමතරව භාණ්ඩ හානි කියල රුපියල් 29500ක් ලැබුණා, එච්චරයි. පාර අයිනේ කඩවලට නම් මේක ස්වීප්-එකක් ඇදුණ වගේ. තනි තට්ටුවට තිබුණු කඩ දැන් තට්ටු 3ට හදනවා. බයික්-එකේ ගිය අය දැන් අලුත් කාර්වල යන්නෙ.
ආනන්දගම පදිංදි ඩබ්. නන්දන මහතා පවසන්නේද බොහෝ අය තමන් ළඟ නොතිබූ දේ පෙන්වමින් අතිවිශාල මුදල් ලබාගත් බවයි.
"පුළුවන් තරම් බොරු කියල ගන්න පුළුවන් උපරිමය ගොඩක් අය ගත්තා. සමහර ගෙවල්වල ටීවී 4ක්-5ක් තිබුණ කියලත් අරගෙන තියෙනවා. ඒ සේරටම ගෙවල තියෙනවා. ඒ වුණත් අපිට නම් සාධාරණයක් වුණේ නැහැ. මේ පැත්තෙ හිටපු ග්‍රාමසේවක මහත්තයත් ඒ සේරටම වග කියන්න ඕක. මේ සිද්ධිවලින් පස්සෙ එයාව මාරු කළා. එයාගෙ රාජකාරියෙ තරම ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන්නෙ!"
රන්මුතුගම ශ්‍රී සුගත නාගරුක්ඛාරාමාධිකාරි අතුරුගිරියේ අරියසීල හිමියන්ද පවසන්නේ තම විහාරස්ථානයට සිදු වූ හානි සම්බන්ධයෙන් සැලකිය යුතු වන්දියක් තක්සේරු නොකළ නිසා දුන් වන්දි මුදල පවා බාර නොගත් බවයි.
"අට විසි බුදු මැඳුරට හානි වුණා; සිවිලිම් කඩාගෙන වැටුණා; දෙමහල් ශාලාවේ උඩට ගොඩක් හානි වුණා. මම හමුදාවට කියල බිත්ති කැඩුණු ඒව හදවගත්ත. අන්තිමට වන්දිය තක්සෙරු වුණේ රුපියල් 45000යි. හමුදාව වැඩ කළා කියල ඒකෙනුත් රුපියල් 21000ක් අඩු කළා! දෙමහල් ශාලාවෙ වීදුරුව විතරක් රුපියල් 50000ක් විතර වෙනවා. අනේ මම ඒ තුට්ටු දෙක ගත්තෙ නැහැ. මට කියනව මහා භාරකාර දෙපාර්තමේන්තුවට ගිහින් ඒ හරහා ගන්න කියල. මම බුද්ධ පුත්‍රයෙක්. අපිට බොරු කරන්න බැහැ. මම දවස් 15ක්ම මේ පන්සලේ දානෙත් නැතුව වතුරත් නැතුව හිටිය. ඒත් මම පන්සලෙන් ගියේ නැහැ. කොහොම වුණත් මේ පිපිරීමෙන් ලොකු ලොකු දේවල් කරගත්ත අය නම් ගොඩක් ඉන්නවා. ඒකට කමක් නැහැ කියමු. ඒත් සාධාරණයක් නොවුණු අයට සාධාරණයක් වෙන්න එපැයි? මේ සේරම වැරැදි, නිලධාරීන්ගේ. එයාල දැනදැනයි මේ වගේ තත්ත්වයක් උදා වුණේ."
සීතාවක ප්‍රාදේශීය ලේකම් අමල් එදිරිසූරිය මහතා පවසන්නේ මේ විපතින් හානියට පත් වූ සියලු ජනතාවට උපරිමයෙන් වන්දි ලබා දීමට රජය කටයුතු කළ බවයි.
"බොහෝ දෙනාට මේ පිපිරීම ජීවිතේ අවුරුදු ගානක් ඉස්සරහට උස්සල තිබ්බ කිව්වොත් ඒක නිවැරැදියි. ගෙවල් 1954කට පමණ වන්දි ගෙවල තියෙනවා. රුපියල් මිලියන 765ක් දැනටමත් ගෙවල තියෙන්නේ. දේපළ හානිවලට මිලියන 660ක් ගෙවලා තියෙනවා. ලයිට්-එකක් කැඩුණු සමහර අයත් රුපියල් 6000ක් 7000ක් අරගෙන තියෙනවා. තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇවිත් හැම ගෙදරකටම තුන් පාරක් ගිහින් තක්සේරු කරගෙන ගියා. පළමු පාර අඩුපාඩුවක් වෙන්න පුළුවන්. දෙවැනි පාරත් එහෙම වෙන්න පුළුවන්. ඒත් තුන් පාරක් තක්සේරු කරලත් එහෙම අඩුවක් වෙන්න පුළුවන්කමක් නැහැ. අනිත් කරුණ: ගෙවල්වල විස්තර ගත්තෙ ගෙවල්වල හිමිකරුවන්නේ. ඒ අය දීපු විස්තර අනුව තමයි වන්දි තක්සේරු කළේ. සමහර ගෙවල්වල වොෂින් මැෂින් 5ක්-6ක් තිබිල තියෙන බව එයාල කියල තියෙනව... සමහරු වර්ග අඩි 400ක-500ක ගෙවල්වල වර්ග අඩි 1000ක විතර බඩු විස්තර දීල තිබුණා... මානුෂික ක්‍රමවේදයක් විදිහට මේ සේරම හිමිකරුවන්ගේ ප්‍රකාශ සත්‍ය ලෙස සලකලයි වන්දි ගෙවල තියෙන්නේ. රසපරීක්ෂක ඇවිත් මේවා පරීක්ෂා කළේ නැහැ. ඒ සේරටම වන්දි ගෙවල තියෙනව.
මේ ජනතාවට අවශ්‍ය උප්පැන්න, විභාග සහතික පිටපත්, වාහන ලියාපදිංචි ලේඛන, හැඳුනුම්පත්... මේ සියල්ල සකස් කර දීල තියෙන්නෙ.
මෙතන අපට පේන ගැටලුව තමයි තමන්ගේ නිවැරදි විස්තර දීපු අය වැඩියෙන් වන්දි ගත්ත අය දිහා බලල වන්දි වැඩියෙන් ඉල්ලන-එක. සාලාව අවට ප්‍රදේශයේ අලුත් ඉදිකිරීම් බැලුවොත් මේ තත්ත්වය හොඳට තේරුම් ගන්න පුළුවන්. යම් යම් ගැටලු තිබුණු තැන් තිබුණා. ඉඩම් අයිතීන්, බෙදුම් නඩු වගේ ප්‍රශ්න තිබෙන ස්ථානවලට වන්දි ගෙවීමේ ගැටලු තිබුණා. ඒ ක්‍රියාදාමය තරමක් සංකීර්ණයි. ඒ වගේම තවත් සමහරු වන්දි අරගෙන ගෙවල් හදල නැහැ. අපට බලෙන් ගෙවල් හදවන්න බැහැ. ඒ වගේම යුද හමුදාවෙන් ගොඩක් ගෙවල් හදල දුන්න. නමුත් අපි හමුදාවේ ඒ ක්‍රියාදාමයට කිසිදු මුදලක් අඩු කළේ නෑ; සම්පූර්ණ වන්දියම ගෙව්වා."
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසන්නේද සාලාවේ වූ පිපිරීම සම්බන්ධයෙන් යුද හමුදාව උපරිම ශක්තියෙන් කටයුතු කළ බවයි.
"අර්ධ හානි සිදු වූ නිවාස 992ක් හා සුළු හානි සිදු වූ නිවාස 50ක් යුද හමුදාවෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර දුන්නා. ඒ වගේම රණවිරුවන් දිවි ගෙවන සාලාව රණවිරුගම ආනන්දගම නිවාස 104කට සුළු හා අර්ධ හානි වී තිබුණා. ඒ වගේම ගෙවල් 4කට පූර්ණ හානි සිදු වී තිබුණා. ඒ සියල්ලත් අපි සාදා දුන්නා. ඒ අනුව සම්පූර්ණයෙන් නිවාස 1150ක් යුද හමුදා ශ්‍රමයෙන් හා භාණ්ඩ දායකත්වයෙන් මුළුමනින්ම සකස් කර දී තිබෙනවා. එසේම පාසල් දරුවන් 898 දෙනකුට සම්පූර්ණයෙන්ම නිල ඇඳුම් ලබා දුන්නා. පාසල් දරුවන් 1799 දෙනකුට සියලු පාසල් උපකරණ දුන්නා. විහාරස්ථානවල සිටි පවුල් 230කට සලාක මලු ලබා දුන්නා. පවුල් 50කට ගෑස් ළිප් ලබා දුන්නා. මීට අමතරව බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ මූලිකත්වයෙන් අක්කර 245ක කුඹුරු යායක් සම්පූර්ණයෙන්ම බිම් සකස් කර ජල පහසුකම් ඇති කර වගාව සඳහා සකස් කර දී තිබෙනවා. එසේම යුද හමුදා කඳවුරට අයත් භූමිභාගයෙන් ඉදිරි මීටර් 500ක් භූමි කොටසක් කඩකාමර 35ක් සදාගැනීම සඳහා නිදහස් කර තිබෙනවා."
මේ කරුණු සියල්ල සලකා බැලූ විට මෙන්ම සාලාවේ සංචාරයකදී අපට පෙනී ගියේ සාලාව පිපිරීම බොහෝ දෙනාට වාසනාව ගෙන ආ බවයි. කුමන හෝ හේතුවකින් කිහිප දෙනකුට වන්දි ප්‍රමාණවත් නොවන බවද අපට පෙනී ගියා. එසේ වුවත් අධික වන්දි මුදල් ලබා ගත් කිසිවකු මාධ්‍යයට ප්‍රකාශ ලබා දීමට ඉදිරිපත් නොවීමද මෙහිදී විශේෂයෙන්ම කිව යුතුයි. සාලාව ආනන්දගමට හැරෙන හන්දියේ තනි තට්ටුවේ කඩ කාමර වෙනුවට දැන් ගොඩනැඟෙමින් ඇත්තේ තෙමහල් කඩකාමර පන්ති බව අපේ කැමරා කාචයට හසු වුණා. එපමණක් නොව, සාලාවේ උළු කැටයක් පමණක් බිඳුණු හා නිවෙසේ ගේට්ටුවට සුළු හානි වූ නිවැසියන් නිවෙසකට යාබදව ආපනශාලා පවා ඉදි කර ඇති බවද අපට මෙහිදී පෙනී ගියා. මේ වන්දි ප්‍රමාණවත් නොවූයේ නම් එවන් දියුණුවක් ලබන්නට හැකි වූයේ කෙසේද යන්න අපට නම් ගැටලුවකි. ඇතැම් ග්‍රාමනිලධාරීන්ගේ හෝ වෙනත් නිලධාරීන්ගේ වරදින් යම් යම් අඩුපාඩු සිදු වන්නට ඇති නමුත් මේ සාලාව විසාලාවක් නොවූ බව නම් අපට පසක් වුණා.
උතුරේ යුද්ධයේදී මානුෂීය මෙහෙයුම් සිදු කළ හමුදාවට මේ පවුල් සුළු ගණනකට අවශ්‍ය පහසුකම් සැපයීම එතරම් ප්‍රශ්නයක් නොවූ බවත් අපට පැවසුවේ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතායි. හුඟක් වෙලාවට මාධ්‍යටත් බොහෝ දේවල් නොපෙනෙන බවද, යම් බේබදු අයකු සාලවේ කෑගසමින් සිටිය හොත් එය උද්ඝෝෂණයක් ලෙස පෙන්වීමට පවා ඇතැම් මාධ්‍ය කටයුතු කළත් අතිවිශාල වෙහෙසක් දරා සිදු කළ වප්මඟුල සම්බන්ධයෙන් මාධ්‍ය මුනිවත රැකි බවද ඒ මහතා පැවසුවා.
සාලාවේ විනාශයට මේ වන විට වසරක් ගෙවී අවසන්. අපට නම් පෙනෙන්නේ මේ විනාශය හෙතුවෙන් රජයට, ආරක්ෂක හමුදාවට විශාල බරපැනක් දරන්නට වුවත් ඇතැම් ගම්වාසීන්ට නම් ඇදුණු ලොතරැයියක් බවයි.
රංජිත් අසංක