නැලිගම අපි මිතුරන්ෙගන් ගමට සෙතක් රටට ආදර්ශයක් | Page 2 | සිළුමිණ

නැලිගම අපි මිතුරන්ෙගන් ගමට සෙතක් රටට ආදර්ශයක්

 යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් මිය යන්නේ මහ පාරේ සිදුවන අනතුරුවලින් බව පහුගිය අවුරුදු 15ක ඉඳන් අපේ රටේ වාර්තා දෙස බැලූ විට පෙනී යනවා. යුද්ධය ඉවර වෙලා නම් දැන් අවුරුදු 8කුත් පහුවෙලා. මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාවට කිට්ටුවෙන් යන සාධකයක් සොයා ගැනීම දැන් තරමක් අසීරු වුණත් මේ යන විදිහට තව ටික කාලයක් ගියොත් මේ සියලු සාධක අභිභවා නැඟී සිටින්නට ඩෙංගු මදුරුවාට පුළුවන් වෙයි වගේ.

කොයිතරම් දැනුවත් කිරීම් කළත් අපේ රටේ හැමෝටම වගේ ඒ සියල්ල මතක තියෙන්නේ දවසයි නැත්නම් දෙකයි. වැස්සත් නැතත් ඩෙංගු මදුරුවාට හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙන නිසා මේ මාරාන්තික තත්ත්වය දවසින් දවසම උග්‍ර වෙනවා.

මේ මාරාන්තික උවදුර දුරු කරන්න ජනාධිපති බළකායක් පවා පිහිටුවන්න වුණා. ඒ තරමට මේ උවදුර සාපයක් වෙලා තියෙන්නෙ. ඒත් ර‍ටේ හැමෝම එකතු වුණේ නැත්නම් මේ වසංගතය දුරු කරන්න බැහැ කියන එක බොහෝ දෙනා අවබෝධ කර ගෙන නැහැ.

ඩෙංගු ශ්‍රමදාන තියනවා. ‍‍‍‍ඩෙංගු පිළිබඳ දැනුවත් කිරීම් වැඩ සටහන් තියෙනවා. මේ කොයි දේත් කලින් කිව්වා වගේ දවසයි දෙකයි. සමහර වෙලාවට ඩෙංගු ශ්‍රමදාන ඉවර කරල යන්නෙ බීම බීපු ප්ලාස්ටික් කෝප්පයි, වතුර රැදෙන කෑම පාර්සල් පැකට් ටිකයි තැන් තැන්වල දාලා. මේ අපේ රටේ හැටි!

ඒ නිසා තමයි ඩෙංගු මදුරුවාට මේ තරම් හයියක් ලැබුණෙ. ‍ඩෙංගු මර්දන බළකායත් කරන්නෙ ඩෙංගු කීටයෙක් හමුවුණොත් නිවැසියන් බිය වද්දලා දඩ ගැසීම් තමයි. මේ උවදුර ප්‍රායෝගිකව නසන්න තියෙන ව්‍යාපෘති හරිම අඩුයි.

මේ ඩෙංගු මර්දනයට අපිට කරන්න පුළුවන් මොනවද කියන එක ගැන හිත හිතා ඉන්නෙ නැතිව ගමම එකතු කරගෙන කරන්න පුළුවන් කාර්යයක් ගැන පහුගිය දවසක ගමක තරුණ පිරිසක් මුල් කර ගත්ත සංවිධානයක් කටයුතු කළා‍.

මේ අය පළමුවෙන්ම කෙළේ දැනුවත් කිරීමක්. ඒ දැනුවත් කිරීම හරහා කළේ ගමේ සියලු දෙනාම එකතු කරගෙකඩෙංගු මර්දනයට අවශ්‍ය පියවර ගැනීමයි. 'නැලිගම අපි මිතුරෝ' කියන මේ සංවිධානයේ පිරිස කෙළේ ගමේම පිරිසෙන් වැඩි පිරිසක් එකතු කරගෙන ගමම සුද්ධ කිරීමයි. ලොරි තියෙන කට්ටිය ඒ අංශයෙන් දායකත්වය සැපයුවා. තමන්ට පුළු පුළුවන් විදිහට ගමේම ඉන්න සියලුම දෙනා ‍මේ කාර්යයට සම්බන්ධ වුණා. මහර නැලිගම ශෛලාසන්නාරාම විහාරස්ථානය මුල් කරගෙන පිහිටුවා ගෙන ඇති 'නැලිගම අපි මිතුරෝ' සංවිධානය මේ කටයුත්ත කෙළේ තමන් ආදර්ශවත් වෙමින්. මේ සංවිධානයට අයත් රටේ ඉහළ පෙළැන්තියේ කියන අය පවා මේ ක්‍රියාදාමයේදී එළියට ආවා. ඇත්තෙන්ම එළියට ආවා නෙමෙයි මේ සංවිධානයේ දක්ෂකමින් සියලු දෙනා අවදි කරා.

වෛද්‍යවරුන්, බැංකු කළමනාකරුවන් පෞද්ගලික ආයතකවල කළමනාකරුවන් ඇතුළු සියලුම විධායක ශ්‍රේණිවල අයිති අයත් අනෙකුත් සාමාන්‍ය හා සුළු රැකියා කරන අයත් ඉරිදා නිවාඩු දවසක් නිසා එදා වෙන් කරගෙන මේ කාර්යයට අත ගැහුවා.

අපි හැමෝටම බලපාන පොදු ප්‍රශ්නයකදී මේ විදිහට තමන්ගේ තරාතිරම තනතුරු අමතක කරලා කටයුතු කරන්න ගමක් මෙහෙයවන්න මේ සංවිධානය ගත්ත ක්‍රියාමාර්ගය ගැන අප පැසසුම් කටයුතු පුදන්න ඕන.

හැමෝම එක පෙළට උදේ වත්ත පිටි මාර්ග සුද්ධ කරන්න වැඩට බැස්සා. දවල් වෙන‍ොකට ලොරි 15ක කුණු එකතු කරගත්ත මේ අය ඒ කුණු වලින් පුළුවන් හැම දෙයක්ම පළමුව වෙන් කළා. එයින් පුච්චලා දාන්න පුළුවන් හැම දෙයම පුච්චලා දැම්මා. ප්ලාස්ටික් පොලිතින් සියල්ල වෙන් කළා. වීදුරු බෝතල් ඇතුළු අනෙකුත් වීදුරු දේ වෙනම වෙන්කළා. යකඩ වෙනමම වෙන් කළා.

ඔබ විශ්වාස කරනවද මේ යකඩ එදාම යකඩ කටේට විකුණලා රුපියල් 10000.00ක්ම මේ අය උපයා ගත්තා. බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා මීකුණක් විකුණලා ධනවත් වෙච්ච අය ගැන කතාවක්. මේ උපයා ගැනීමත් ඊට දෙවැනි නෑ.

ඒ මුදල් ඒ අය අරගෙන තියාගෙන ඉන්නවා සංවිධානයට ශබ්ද විකාශන යන්ත්‍රයක් ගන්න. නැලිගම ශෛලාසන්නාරාධිපති බස්නාහිර පළාත් අධිකරණ සංඝනායක මාකුරේ පියනන්ද හිමියන් මේ සංවිධානයේ ක්‍රියාවලිය ගැන බොහොම පැසසුම් කටයුතු ලෙසින් කතා කළා.

'මේ වගේ පිරිස් ලංකාවේම ඉන්නවනම් ‍ඩෙංගු විතරක් නෙමෙයි අනිකුත් සියලුම කරදර බාධක දුරු කර ගන්න පුළුවන්. නැලිගම අපි මිතුරෝ කියන්නෙ සැබැවින්ම මිතුරන් පිරිසක් බුදු දහමේත් පැහැදිලිව කියලා තියෙනවා කල්‍යාණ මිත්‍ර සේවනයේ වැදගත්කම ගැන. මේ පිරිසත් සැබෑම කල්‍යාණ මිත්‍රයන් පිරිසක්. මේ විදිහට ආදර්ශවත් ලෙස කටයුතු කළොත් ගම විතරක් නෙමෙයි රටම මේ උවදුරෙන් ගලව ගන්න පුළුවන්'.

ඇත්තෙන්ම මේ නැලිගම අපි මිතුරන් තම තමන්ගේ තනතුරු උස් මිටි කම් අමතක කරමින් සිදු කරන ලද මේ කාර්යය ගමට විශාල සෙතක් කළා. රටටම ආදර්ශයක් ලබා දුන්නා. දැන් ඒ පළාතේ ඩෙංගු රෝගයෙන් බරපතළ පීඩා විඳපු අය දකින්නත් නැහැ. මේ ආදර්ශය නැලිගම ගමට සීමා නොකර රටේම අය ආදර්ශයක් ලෙස ගන්නවානම් ඒක ලොකු පිනක් විිතරක් නෙමෙයි තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමක් වේවි.

තාරක

Comments