
පොසොන් පොහෝය උදාවීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ශ්‍රී ලංකාවේ මුල්ම බුද්ධරාජ්‍යය ඇරැඹියේ යැයි සැලකෙන අනුරාධපුරයේ මිහින්තලා පුදබිම උතුම් පොසොන් මංගල්‍යය සැමරීම සඳහා සූදානම් වන අයුරු සොයා බැලීමට ඉකුත් දිනෙක අපි එහි ගියෙමු. ඒ මද්දහන් වෙලාවයි. අවට ගහකොළ තිබුණ ද හමන සුළඟ උණුසුම්ය. ගස් අතු අතරින් බැස ගල්තලාවන් දිගේ දිව එන රිළා නඩ වන්දනාවේ පැමිණෙන කවුරුන් හෝ පලතුරු කෑල්ලක් විස්කෝතුවක් විසිකරනතුරු බලාසිටින්නේ නොඉවසිල්ලෙනි. පසෙක ආරාධනාගලය, පසෙක සේලචෛත්‍යයය.
ඉහළ කඳු මුදුනක මහා සෑයය. අනෙක් පස ගල්තලාව මත පිහිටි සමාධි පිළිම වහන්සේය. මේ සියලු පූජනීය ස්ථාන වැඳ නමස්කාර කිරීමට නම් මැද මළුවේ සිට ඉහළට යායුතුය. දෙපස සුදෝ සුදු මල් පිරුණු අරලියා ගස් හෙවණ යටින් අපි ගල්පඩි නගින්නට වීමු. ඒ ගමන යා යුත්තේ ප්‍රවේසමෙනි. හේතුව ඉහළ සිට වන්දනාකරුවන් පහළට පැමිණෙන අතර ම අභිනවයෙන් ඉදිකරනු ලබන තෙමහල් ධර්ම ශාලාවටත්, ඒ අවට බිම සැකසීමටත් ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් පස් පිරවූ උර කරතබාගෙන ඉහළ නගින බැවිනි. මැදමළුවේ කණ්ඩායමක් පස් උරවලට පුරවති. ඒ අතර ගල්පඩි පෙළේ තැනින් තැන හිඳින සොල්දාදුවෝ කරින් කර මාරු කර ගනිමින් පස් උර උඩට ගෙන යන්නාහ.
“අපිත් ගන්නද එකක්”
වන්දනාවේ පැමිණි මවක තරුණ සෙබළුකුගෙන් විමසුවේ කරුණාවෙනි.
“අම්මලාට ගෙනියන්න බැහැ මේවා හරි බරයි.”
සෙබළා පෝරඋරදෙක තුනක් ම කර පටවාගෙන ගල් පඩි නගින්නට වූයේය. කවදත් පොසොන් පොහොයට සති කිහිපයක් තිබියදී මිහින්තලා පුදබිම ඊට සූදානම් වන්නේය. පොසොන් පොහොය කී සැණින් සිහියට නැඟෙන්නේ මිහින්තලා පුදබිමය. මිහින්තලා පුදබිම යැයි කී විට කාට කාටත් ලේක්හවුස් ආයතනය සිහිපත් වන‍්නේ නිරන්තරයෙනි. හේතුව නම් වසරක් දෙකක් නොව වසර පනස් හතරක් තිස්සේ පොසොන් පුර පෝදාට සහ ඊට පසු දෙදින මිහින්තලා පුදබිමම විදුලි එළියෙන් ආලෝකවත් කරන “මිහින්තලා ආලෝක පූජාව” පවත්වනු ලබන්නේ පත්තර මහගෙදර වන ලේක්හවුස් ආයතනය වීමය.
කාලය විසින් කලක් වනගහනයෙන් පැවැති මිහින්තලා පුදබිම එක්දහස් නවසිය ගණන්වල මුල්කාලයේ සිටම පැවැතියේ අඳුරේය. නමුදු ඒ අඳුරු යුගය නිමා කරමින් එක්දහස් නවසිය හැට ගණන්වල මුල් කාලයේ වෙසක් පොහෝ දිනට මිහින්තලා පුදබිම ආලෝකවත් වන්නට වූයේය. නමුදු විදුලි එළිනොතිබුණ පොසොන් පොහෝ දිනට ගම්මුන් මිහින්තලාව අඳුරේ නොතැබූහ.
එකල මිහින්තලා පුදබිම අවට මෙන් ම ඈත එපිට සිටි ගම්මුන් මී ඇට එකතු කර තෙල් සිඳින්නේ මාස ගණනක සිටය. ඉන්පසු ඔවුහු පොසොන් පොහොයට පෙර දිනයේ කරත්තවලින් වන්දනාවේ එන්නාහ. එසේ පැමිණ පොහෝදින මී තෙල් වලින් පහන් දල්වා මහත් බැතියෙන් ආලෝක පූජා පවත්වන්නාහ. අතීතය එසේය. අද කරත්ත නැතද ට්‍රැක්ටර් ලොරි මෙන් ම බස්රථවල නැගි වන්දනා නඩ මිහින්තලේට පැමිණෙන්නාහ. ඒ අතීතය පිළිබඳව අපි තොරතුරු සෙවුවෙමු.
මෙහිදි අපට මුලින් හමුවූයේ ජී.එස්. හේමසිංහ මහතාය. ඔහු දැන් අසූහත් හැවිරිදිය. කන් ඇසීම මෙන්ම පෙනීමද බෙහෙවින් දුර්වලය. නමුදු ඔහුට අතීතය හොඳ හැටි මතකය.
“මම ඉගෙන ගත්තේ මිහින්තලේ ඉස්කෝලේ. ඒ කාලේ ඉස්කෝලේ පොල්අතු මඩුවක්. ඒ කාලේ මේ පැත්තට විදුලි ආලෝකය නැහැ. එක්දහස් නවසිය හැත්තෑ හතෙන් පස්සේ. ඒ කාලේ වන්දනා නඩ ඇවිල්ලා අනුරාධපුර ස්ටේෂමේ තමයි නතර වෙන්නේ. ඒ කිට්ටුව ශාලාවක් තිබුණා. එතන නැවතිලා උයාගෙන කාලා තමයි ගමන පටන් ගන්නේ. මේ දැන් වාගේ නිතරම කෝච්චි නැහැ. කෑම කඩ තේවතුර කඩ නැහැ. ඒ කාලේ බොහෝම කලාතුරකින් තමයි දන්සලක් එහෙම තිබුණේ. ඒ කාලේ අපේ ගම්වල මිනිස්සු එකට එකතු වෙලා තමයි මිහින්තලේ වඳින්න යන්නේ. අපි කුඩා කාලයේ දුටුව විදිහටම තමයි තවමත් ගල්පඩි එහෙම තියෙන්නේ. අවට කැලෑව තිබුණා.”
හේමසිංහ මාමා පවසන්නේ තමන් බාලවියේදි, යොවුන් වියේදි දුටු මිහින්තලය පිළිබඳය.
මිහින්තලා පුදබිමට අද වන විට රටේ සිවුදිගින් වන්දනාකරුවෝ පැමිණෙන්නාහ. මේ කාලයට පුදබිම අවට දන්සල් දෙන්නෝ බොහෝය. නමුදු අතීතය ඊට හාත්පසින් වෙනස්ය. ඒ වෙනස්කම කියන්නට දන්නේ අතීතයේ සිට තොරතුරු දන්නා ඇත්තෝය. තොරතුරු දන්නා මිනිසුන් සොයා යෑමට අපට උදව් කළේ සිරිපාල මාමාය. කුරුදන්කුලමේ පදිංචි අසූහය හැවිරිදි නන්දසේන මාමා තමන් දන්නා අතීතය සිහිපත් කළේය.
“ඒ කාලේ මේ පැත්තේ මිනිස්සු බොහෝ ම හිඟයි. අපි ඉන්නා හරියේ හිටියේ පවුල් හතරයි. අනුරාධපුරේ ඉඳලා පයින් තමයි මිනිස්සු වන්දනාවේ එන්නේ. මේ පාරට කියන්නේ මාතලේ පාර කියලා. ඒ කාලේ හැන්දෑවේ හතරෙන් පස්සේ මිනිස්සු පාරේ යන්නේ නැහැ. මට මතකයි එක්දහස් නවසිය හැත්තෑ හතේ නුවරවැවේ වතුර කඳුළක් නැතිව හිඳුණා. මිනිස්සු වැවේ ළිං හාරලා තමයි වතුර ගත්තේ. ඊට කලින් 1957 මහා විශාල ගංවතුරක් ආවා. ඒ කාලේ මාස හයක් වහිනවා. මාස හයක් පායනවා. දැන් හැමදේම වෙනස්වෙලා. මම තරුණකාලේ පෝය හතක් සිල්ගන්න උත්සාහ කළා එක දිගට. නමුත් හත්වෙනි පෝය දවසෙ ගෙදර හැමෝටම නින්ද ගියා. මම එදා ඉඳලා සිල්ගන්න එක අතහැරියා. ඒ කාලේ සිල් සමාදන් වෙන්න උඩමළුවට යනවා වගේම මිහින්තලේටත් යනවා. නමුත් දැන් නම් කියන්න ලැජ්ජයි, වන්දනාවේ එන මිනිස්සු බොහෝම අශෝභන විදිහට තමයි ඇඳුම් ඇඳගෙන එන්නේ... හැසිරෙන්නේ... රටකට ගිය කලක්....”
නන්දසේන මහතා පවසන්නේ කනගාටුවෙනි.
ගමේ කවුරුත් කළුබණ්ඩා අක්කා නමින් හඳුන්වන ඩබ්ලිව්. ඒ. ප්‍රේමාවතී අම්මා දැන් අසූහැවිරිදිය. දරුවන් දීග දීමෙන් පසුව තම නිවෙසේ තනිවම දිවිගෙවන ඇය දැන් කාලය වැය කරන්නේ පින්දහම් කිරීමටය.
“මට දරුවෝ හත්දෙනෙක් ඉන්නවා. එක දුවක් මැරුණා. තාමත් මම සිල්සමාදන් වෙන්න යනවා. තරුණ කාලේ මහත්තයට දරුවෝ දීලා මම උඩමළුවට සිල්සමාදන් වෙන්න යනවා. දැන් නම් සිල්සමාදන් වෙන්න යන්නේ මිහින්තලේට. අපි තරුණ කාලේ මගෙ තාත්තා, අයියා හැමෝම සිල් සමාදන් වෙන්න යනවා. අපි කරත්තවලින් යන්නේ. ඒ කාලේ මිහින්තලේ රෑට කළුවරයි. පහන් පත්තු කරගෙන ඉන්නේ. නමුත් ලේක්හවුස් ආයතනයෙන් විදුලිය දුන්නට පස්සේ රෑට හරිම ලස්සනයි. ඒ කාලේ දැන් වගේ පන්සලට දානේ ලැබෙන්නේ නෑ. එක වෑංජනයක් එක්ක බත් උයාගෙන වතුර අරගෙන තමයි සිල්සමාදන් වෙන්න යන්නේ. මහ රෑ පන්දම් පත්තු කරගෙන ලාම්පු පත්තු කරගෙන අපි උදේට සිල් සමාදන් වෙන්න යන්නේ. පන්සලේ රෑට බණ කියනවා. භාවනා කරනවා. අපි පෝයට පහුවදා තමා ආයෙමත් ගෙදර එන්නේ. දැන් නම් ඉතිං ඒ වගේ අපහසුකම් නැහැනේ.”
ප්‍රේමාවති අම්මා පවසන්නේ සවස බුදුන් වැඳීමට මල් නෙළන අතරේය.
සියලු අඩුපාඩුකම් සම්පූර්ණ කරමින් පෝය දිනයට සූදානම් වන මිහින්තලා රජමහා විහාරය දැන් කාර්ය බහුලය. පන්සලේ පිරිසුදුකිරීම් කටයුතු මෙන්ම ඉදිකිරීම් කටයුතු කරනු ලබන්නේ වැලිඔය, වවුනියාව, මන්නාරම යුද හමුදා කඳවුරුවලින් පැමිණි සෙබළුන් හා නිලධාරින් විසිනි. දෙසිය පනහක පමණ හමුදා සාමාජිකයෝ මේ කටයුතුවල නියැළෙන්නාහ.
ලේක්හවුස් ආයතනයේ බැතිබර දායකත්වයෙන් සේල චෛත්‍යය, මහාසෑය හුණු පිරියම් කටයුතු කැරුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙනි.
මිහින්තලා පුදබිම වන්දනාමාන කරගෙන පැමිණෙන ජනතාව අතර විදේශිකයෝ බොහෝ වූහ. මිහින්තලා ආලෝක පූජාවට අනුග්‍රහය දක්වන ලේක්හවුස් ආයතනය සමඟ සම සංවිධාන කටයුතු කරනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලයයි. මේ මස හත්වනදා සිට එකොළොස්වනදා දක්වා මිහින්තලා ආලෝක පූජාව පැවැත්වෙන අතර එහි එක් දිනක් වෙන් වී ඇත්තේ විදුලිබල මණ්ඩලයට හා විදුලිබල අමාත්‍යාංශයටය. අනෙක් දින වෙන් වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට හා ත්‍රිවිධ හමුදාවටය. අවසන් දිනය වෙන්වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් හා සියලුම, ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහාය. පොසොන් පොහෝ දිනයේ මිහින්තලය හා අනුරාධපුරය අවට ශ්‍රවණය කළ හැකි අයුරින් එෆ් එම් 90 . 1 ඔස්සේ පොසොන් ගුවන් විදුලි සේවාව විකාශය වන්නේ ය.
දිවංගත ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජේවර්ධන මැතිතුමාගේ සංකල්පයක් අනුව පසුකලෙක එනම් 1963 වසෙර්දි රංජිත් විජේවර්ධන මහතා විසින් ආලෝකපූජා පිංකම ආරම්භ කරන ලදි. එවකට අනුරාධපුරයේ දිසාපතිවරයා ලෙස සේවය කර ඇත්තේ අයිවන් සමරවික්‍රම මහතාය.
මිහින්තලාව පුදබිමට නව යුගයක් අරඹමින් ආරම්භ වූ ලේක්හවුස් ආලෝක පූජාව පිළිබඳ ආයුර්වේද වෛද්‍ය ඩී.ඒ. සෝමරත්න මහතා අතීතය සිහිපත් කරන්නට වූයේ සතුටිනි.
1963 අවුරුද්දේ තමයි ඕක වුණේ. මට මතකයි ජෙනරේටරය උඩට ගේන්න ගමේ මිනිස්සුත් අතගහනවා. ඒ කාලේ මම සාමාන්‍ය පෙළ විභාගයවත් කරලා නැහැ. රජකාලේ ඉඳලා පොසොන් එකට පෙරහර තිබිලා තියෙනවා. පොසොන් පෙරහරේ වඩම්මන මිහිදු හිමියන්ගේ ප්‍රතිමාව නිර්මාණය කළේ රුක්අත්තන ලීයෙන්. කැලේ අවට සුද්ද කරලා පාරවල් එළිකරලා පෙරහරට සූදානම් වෙනවා. මෙහෙ හොර හතුරේ ගනීවි කියලා රුක්අත්තන ලීයෙන් කරන ප්‍රතිමාව පරිස්සමට තිබ්බේ අනුරාධපුරේ. මං දන්න විදිහට දැන් ඒ ප්‍රතිමාව තියෙන්නේ කෞතුකාගාරයේ. අදත් පෙරහර තියෙනවා. ඒ පෙරහරේ අලි ඇත්තු ඉන්නවා. මිනිස්සු වන්දනාවේ ඇවිල්ලා මේ අවට නතර වෙලා උයාගෙන කාලා තමයි මේ ස්ථාන වැඳගෙන යන්නේ. මට මතකයි ලේක්හවුස් ආයතනයේ රංජිත් විජේවර්ධන මහත්තයා ඒ කාලේ හිටපු නායක හාමුදුරුවෝ ලයිට් දුන්න දා මේ ස්ථානයේ ඉන්නවා. මැදමළුවේ ඉඳලා කේබල් මඟින් තමයි උඩට ගල්වැලි යැව්වේ. එහෙමයි චෛත්‍ය පිළිසකර කෙරුණේ. ලේක්හවුස් ආයතනය බොහෝම හොඳ පිංකමක් එදා පටන් ගත්තේ. අදත් පෝයට මේ පළාතම එළිය වැටෙන්නේ ඒ පින්කම නිසා.” වෙදමහතා පවසන්නේ සතුටිනි.
අතීතයට වඩා දැන් මිහින්තලා රජමහා විහාරය සංවර්ධනය වී ඇත්තේය. දුරබැහැර පළාත්වලින් පැමිණෙන වන්දනා නඩවලට දැන් එහි බොහෝ පහසුකම් ඇත්තේය. නමුදු විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පොසොන් සමයට මෙම බිමට පැමිණෙන්නන් විසින් කරනු ලබන අකටයුතුකම් පිළිබඳ කතා කරන්නේ කලකිරීමෙනි.
“සිංහල රජදවස සිට මේ ස්ථානයේ පොසොන් උත්සවය සමරලා තියෙනවා. ඉස්සර කැකුණ තෙල්වලින් පහන් දල්වලා තමයි ආලෝක පූජාව පවත්වා තිබෙන්නේ. එකල විහාරාධිපතිධුරය හෙබවූ වලවාහැංගුණවැවේ රතනජෝති නායක හාමුදුරුවෝ තමයි ලේක්හවුස් ආයතනය ආලෝක පූජාව පැවැත්වීම සඳහා සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඉස්සර වප්මාසේ පුර අටවක දවසක තමයි පොසොන් උත්සවය තියලා තියෙන්නේ. ඩී. ආර්. විජේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව තමයි මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කර තිබෙන්නේ. මුල්කාලේ ගම්මට්ටමින් ආලෝක පූජාව පවත්වා තිබෙනවා. අද වනවිට මෙය මහා පිංකමක් බවට පත්වෙලා. මේ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනත් සහයෝගය දෙනු ලබනවා. මෙහෙ පවත්වන දන්සල් අතරින් පැරැණිම දන්සල තමයි ගම්පහ මුදුන්ගොඩ දන්සල. දැන් ඒ දන්සල කරන්නේ තුන්වැනි පරම්පරාව. අලුතින් ධර්ම ශාලාවක් ඉදිකරනු ලබනවා. ඊට ශ්‍රී ලංකා යුද හමුදා, සිවිල් ආරක්ෂක බළකාය පූර්ණ දායකත්වය ලබා දෙනවා. මේ සියල්ල ගැන අපට සතුටක් තිබුණත් වන්දනාවේ පැමිණෙන ඇතැම් අයගේ ක්‍රියා කලාප ගැන නම් පැහැදෙන්න බැහැ. ඇතැමුන් මේ පරිසරය, විනාශ කරනවා. පොලිතින් ප්ලාස්ටික් ගෙනැල්ලා පුරවනවා. සංවර ඇඳුම් ඇඳගෙන එන්නේ නැහැ. මෙය බොහෝම කනගාටුදායක දෙයක්. කොතරම් ඉල්ලීම් කළත් ඔවුන් මීට සවන් දෙන බවක් දැනෙන්නේ නැහැ. පොසොන් උත්සවය පවතින දිනවල මත්පැන්සල් වහලා තිබුණත් පැමිණෙන ඇතැම් අය මත්පැන් අරගෙන එනවා. මිහිඳු හිමියන් සමරනවා, බුදධ ශාසනය රකිනවා කියන්නේ මේ පරිසරය ගහකොළ ආරක්ෂා කිරීමටයි. මාධ්‍ය මඟින් දැනුම්වත් කළත් අපේ ඇතැමුන් මේ දේවල් පිළිපදින්නේ නැහැ.”
යනුවෙන් විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ලේක්හවුස් ආයතනයේ ගොඩනැඟිලි අංශයේ, මෙන් ම වෙනත් අංශවල සාමාජිකයෝ ද එබිම විවිධ කාර්යයන් හි නිරත වන්නාහ. ඉහළට යන පියගැට පෙළ ඒ හැන්දෑවේ පාළුවට ගොස්ය. අරලියා තුරු සෙවණ, අවට ගහකොළ අතරේ මිහින්තලා පුදබිම සැඟවී යද්දි අප යළිත් එන්නට වීමු. විදුලි එළියෙන් පොසොන් සඳ එළියෙන් සේල චෛත්‍යය, මිහිඳු චෛත්‍යය බැබළෙන අයුරු සිතින් මවා ගනිමිනි.