
ගංවතුරෙන් හා නායයෑම් වලින් වූ සිදුවීම් පිළිබඳ පුවත්වලින් පුවත්පත් පිටු පිරී ඉතිර යන්නට වුයේ සංවේදි මිනිසුන්ගේ හදවත්වලට නොමැකෙන තවත් වේදනාවක් ඉතිරි කරමිනි. ජීවිතයේ අනියත බව පමණත් නොව කර්මයට ඉඩදී ගෙවෙන අපේ ජීවිත තීරණය කරවන මේ සිදුවීම් පෙළ අපූරු දෛවෝපගත සිතුවම් පෙළක් ලෙසින් තවමත් අපේ මනසේ හොල්මන් කරයි.
ගංවතුරින් හා නායයෑම්වලින් සිදුවූ මේ මහා ව්‍යසනයට නැවතත් සටහනක් තබන්නට, ඒ අමිහිරි අතීතය හාරා අවුස්සමින් සිත් පීඩාවට පත්කරන්නට අපට ඇවැසි නොවූවද මේ දුක්බර කතාව සඳහන් කරන්නේ සටහනකට වඩා එපිටින් ගිය අනුවේදනිය තොරතුරක් ගැන පවසන්නටය.
මතුගම දිගන්න මායිමේත් හරඹකන්ද ආරම්භයේත් පදිංචි ගුණදාස සහ ලීලාවතීත් ඔවුන්ගේ දියණිය මලිති හා ඇගේ සැමියා සිසිරත් දහම්සත් ඇතුළු ඇයගේ දරුවන් තිදෙනාත් නාය යන මොහොතේ පදිංචිව සිටියේ ඔවුන්ගේ කඳු මායිමේ වූ මහ ගෙදරය. ඊට ඉදිරිපසින් වූ කඳු යායේ පෙනෙන දුරින් මලිති සිය නව නිවහන ඉදිකරගෙන යන්නීය.
පසුගියදා අධික වර්ෂාවක් ඇඳ හැලිණි. මහ ගෙදර පැත්තකින් සුළු නාය යෑමක් දකින්නට හැකි වූයෙන් ගුණදාස වැස්සේම දරුමල්ලන් කැඳවාගෙන එපිටින් කන්දේ වූ ඉදිකර ගෙන යන මලිතිගේ නව නිවහනට පිටත් වූයේ දහවලේය. වැස්ස අධික විය. දිගන්න ප්‍රදේශයේ මහ බියකරු අනෝරා වැස්සක් ඇඳ හැලුණේය.
සියල්ල හරියැයි සිතුණත් මලිති ගුණදාස මෙන්ම ඇගේ පවුලේ සියල්ලන්ම සොයාගෙන මාරයා පැමිණි බව ගම්මු දැන ගත්තේ පසුදාට පහන් වෙද්දී ය. මලිතිලාගේ අනතුරුදායකයැයි සිතා ඉවත්ව ගිය පරණ නිවෙස ඉතුරු විය. ආරක්ෂාව පතාගෙන ගිය නව නිවසත් සමඟ ඔවුහූ සියල්ලෝම පස්යට වැළලී ගියෝය.
“ මලිති අක්කා බැන්දේ කලවානෙන්. ඒ අයියා කොළඹ වැඩ කරන්නේ. අලුතින් ගෙයක් හදලා මාස තුනයි. වහලය ගැහුවේ ගිය සතියේ. එදා අක්කලාගේ පරණ ගේ පැත්තකින් නාය ගිහින් තියෙනවා. ඒක හරිම සුළුවෙන්. ඒත් එයාලා බය වෙලා. අපේ එහා ගෙදර නැන්දා වත්තේ දලු කඩාගෙන එනකොට දැකලා තියෙනවා ගුණදාස මාමායි, ලීලාවති නැන්දයි, මලිති අක්කයි, සිසිර අයියයි එයාලගේ ළමයි තුන්දෙනයි, වත්තේ වැඩ කරන කෙනයි අලුත් ගෙට යනවා.
එදා මේ අක්කගේ කකුල තුවාල වෙලා තිබිලා තියෙනවා. අයියා වැඩට ගිහිනුත් නැත්තේ අක්කගේ තුවාලේ නිසා. රෑ 11.30 ට විතර මලිති අක්කා හන්දියේ එයාලා නිතරම යන ත්‍රීවිලර් එකකට කෝල් කර කියලා තියෙනවා බේත් ගේන්න යන්න උදේට එන්න කියලා.
මලිති අක්කගේ එකම නංගි බැඳලා ඉන්නේ කලවානට. එයාටත් රෑ කෝල් කර තියෙනවා, අපි මහ ගෙදර අවදානම් නිසා අලුත් ගෙට ආවා. දැන් බය නැහැ කියලා. ඒත් අපි උදේ නැගිටින කොට මේ පළාතම නාය ගිහින්. මලිති අක්කලගේ ගෙයක් හොයා ගන්නවත් නැහැ.
ඒත් හාස්කමකට වගේ එයාලා අතහැරලා දාලා ගිහින් තිබුණු පරණ මහ ගේ ඉතුරු වෙලා. දවස් කිහිපයකට පස්සේ මලිති අක්කගේ මිනියයි වත්තේ වැඩ කරන කෙනාගේ මිනියයි හම්බ වුණා. අදටත් අනිත් මිනී හොයා ගන්න බැරි විදියට පස්යට වැළලිලා’’මලිතිලාගේ අසල්වැසි චතුරිකා සෙව්වන්දි පැවසුවාය.
ගඟෙන් දෙපස වූ කඳු යායවල් දෙකක් එකිනෙක ගැටී ගඟට වැටී ගඟදිය උතුරමින් සිදු වූ මේ දිගන්න ප්‍රදේශයේ නාය යෑමෙන් පස් යටට වැළලී ගිය ඔවුන් අදටත් පස් යටය. හමුදාවෙන් පැමිණ මහත් වෙහෙසක් දරමින් මේ වැළලී ගිය දෑ ගොඩ ගන්නට උත්සාහ කළද එය අසීරුය.
ගෙවල් මාරුකළද ඒ මරණ හෝරාවෙන් ගැළවෙන්නට මලිතිලාගේ දෛවය ඔවුනට ඉඩ දුන්නේ නැත. ඔවුන්ගේ ජීවිතය මෙයාකාරයෙන් අවසන් කරන්නට දෛවය තීන්දු කළේ පෙර කළ පවක් නිසා විය හැකියැයි අපි අනුමාන කරමු.