ගං වතුර මැද්දේ රෝහලේ බෙහෙත් ටික රැකගත් වෛද්‍ය­ව­රයා | සිළුමිණ

ගං වතුර මැද්දේ රෝහලේ බෙහෙත් ටික රැකගත් වෛද්‍ය­ව­රයා

වෛද්‍ය ප්‍රසාද් කොඩිතුවක්කු ගං වතුර මැද්දේ වෛද්‍ය සායනවලට යමින්

නිල්වලා ගං කොමලිය වියරු වී මුළු මාතර ගම්දනව් යට කරමින් මහා ජල කඳක් මවා මිනිස් ජිවිත හා දේපළ අහිමි කරමින් සයුර කරා ඇදී ගියේ රුදුරු විලාසයෙනි. ගඟ සියලු දේ විනාශ කරමින් ගලා බසිද්දී පොදු මහජනයාට අයිති දේ විනාශ වී යා නොදී රැක ගැනීමට වෙර දැරූ තවත් එක් මානම හිතවාදියකු ගැන මුළු මහත් මාතර ජනතාවම දැන් කතාබහ කරනුයේ හදවත්හි උපන් සෙනෙහසක් සමඟිනි.රෝගීන්ගේ ජීවිත පරදුවට තබා තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජනය කරන ඇතැම් වෛද්‍යවරුන්ට ආදර්ශයක් සපහන ඔහු නිරන්තරයෙන්ම මිනිසුන් වෙනුවෙන් කැපවී සේවයේ නිරතවන වෛද්‍යවරයෙකි. මාතර, කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වන ඔහු කවදත් කඹුරුපිටියේ ජනතවට ඉමහත් අස්වැසිල්ලකි. ඔහු නමින් වෛද්‍ය ප්‍රසාද් කොඩිතුවක්කුය. උපන් ගමද මාතර කඹුරුපිටියය.

විසි හය වැනිදා වැහිබර වලාකුළු හකුළුවා වියළි බිම් පොඟවමින් රට පුරා මහා වැහි වහින්නට වූයේ ගම් බිම් ජලයෙන් යටකරවමිනි. ගංගා වැව් පුරවාලමින් වැටුණු ජල කඳ කිසිදු අනුකම්පාවකින් තොරව දෙගොඩතළා යද්දී ගංවතුරට හසුවූ මිනිස්සු හා සතා සිවුපාවුන් අසරණ වූයේ කරකියා ගැනීමට දෙයක් නොමැතිවය. නිල්වලා ගංගාව ඉහළ සිට පහළ දක්වාම සිය ජල කඳ ගොඩබිම් නහවමින් පැමිණ මිනිස් ජිවිත රැසක්ම සිය තුරුලට ගනිද්දී බොහෝ දෙනෙක් නිවාස දේපළ අහිමිව අනාථ කඳවුරුවල කොටු වූහ. මෙවැනි තත්ත්වයක් හමුවේ කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ලෙස වෛද්‍ය කොඩිතුවක්කු හමුවේ වූයේ බැරෑරුම් වගකීමකි. සියලු දෙනා උන් හිටි තැන් අහිමිව ජීවිතය රැක ගැනීමට උත්සාහ දරද්දී වෛද්‍ය කොඩිතුවක්කු මහතාට සිහිපත් වුයේ සිය සෞඛ්‍ය බල ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ගෙන එනු ලැබු ලක්ෂ ගණනාවක් වටිනා ඖෂධ තොගයයි.ඒ වෙද්දී ඖෂධ තොගය ගබඩා කර තිබූ ආයතනයේ විදුලිය විසන්ධි වී මුළු පළාතම ඝන අන්ධකාරයේය. පළාතම ජලයෙන් යටවෙලාය. වහාම ක්‍රියාත්මක වූ වෛද්‍යවරයා සිය නවාතැනේ සිට ‍ආයතනය කරා පැමිණියේ ඖෂධ තොගය බේරා ගැනීමටය.

සිය ජිවිතය ගැනද නොසිතා ආයතනය කරා පැමිණි ඔහු ආයතනයේ ජෙනරේටරය සකස් කළේ ඖෂධ තොගයෙන් කොටසක් හෝ රැක ගැනීමේ අදිටනිනි. එම ඖෂධ විනාශ වූයේ නම් කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ දරුවන්ට අවශ්‍ය කරන ඖෂධවල මාස ගණනාවක හිඟයක් ඇතිවනු නොඅනුමානය.

“මට නිවෙසට වෙලා ඉන්න පුළුවන්කමක් තිබුණත් මගේ සෞඛ්‍ය බල ප්‍රදේශයේ දරුවන්ට ගෙන එනු ලැබු බෙහෙත් ටික බේරා ගෙන දරුවන්ගේ ජිවිත ආරක්ෂා කිරීමයි මගේ එකම අරමුණ වුණේ. මමත් බොහෝ අමාරුවෙන් තමයි නිවෙසේ ඉඳලා පැමිණියේ. මට ඕන වුණේ හෙට දවසේ දරුවන්ගේ ජිවිත බේරාගැනිමට හා රජයේ මුදල් නාස්ති නොකර රට වෙනුවෙන් රැක ගැනීමයි. මේ බෙහෙත් තබා තිබුණේ ශීතකරණවලයි. විදුලිය විසන්ධි වීමත් සමඟ පැය ගණනාවක් යෑමට පෙර මේ බෙහෙත් විනාශ වීමට ඉඩ තිබුණා. මේ ගැන සිහිපත් වූ නිසා මං ආයතනයේ මුරකරුවාට ද කතා කර ඔහුත් සමඟ මෙතැනට ආවා. අපි දෙන්නා මෙතැනට ආවේ හරිම අමාරුවෙන්. පළාතම ගං වතුරෙන් යට වෙලා. බොහොම අමාරුවෙන් ගංවතුරේම පැමිණීයාට පස්සේ අපේ ආයතනයේ වැඩ කරන රංජිනි මහත්මියගේ අධාර උපකාර ඇතිව අපිට බෙහෙත් ටික බේරා ගැනීමට පුළුවන්කම ලැබුණා. බෙහෙත් ටික බේරා ගෙන ආපසු එද්දී මගේ නිවෙසේ මිදුලටම ගං වතුර ගලලා. ඒත් මං මගේ යුතුකම ඉටු කළාය යන හැඟිම මගේ සිතට සතුටක් ගෙන ආවා.

කිසිම විටක මේ වගේ අවස්ථාවක දී මිනිසුන්ට කළ යුතු යුතුකම ඉටු කිරීමට අපි පැකිළෙන්නේ නැහැ. මගේ තිබුණු බෙහෙත් ටික අරගෙන ඉන්පසු ප්‍රදේශයේ ජනතාවට රාත්‍රී කාලයේත් බෙහෙත් ලබා දීම සිදු කළා.ඒ වන විටත් විදුලිය නැහැ.රෝගීන් පරික්ෂා ‍කළේ ලාම්පු එළියෙන්.රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා. මිනිසුන්ගේ ජිවිත බේරා ගැනීම කියන්නේ මම ජිවිතයේ ලබන සතුට එයයි. අපි ගං වතුරට කොටුවී දූපත්වලට කොටුවී සිටි මිනිසුන්ට වෛද්‍ය කඳවුරු පවා පැවැත්වූවා. මේ වෙද්දී ගංවතුරට කොටුවූ ඇතැම් අය නොයෙක් පාචන තත්ත්ව හා තුවාල ඇතුළු රෝගාබාධවලට ගොදුරු වෙමින් සිටින්නේ. ඒ නිසා මේ අවස්ථාවේ දී උපරිම ලෙස ජනතාව වෙනුවෙන් සේවය සිදු කිරීම අපේ යුතුකමයි. කරගොඩ හා උයන්ගොඩ වැනි ප්‍රදේශවලටත් ගොස් වෛද්‍ය සායන කළා. එම සායන කර ගැනීමට කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිතුමා අපට විශාල සහයෝගයක් ලබා දුන්නා. එතුමා බෝට්ටු ලබා දෙමින් අවශ්‍ය පහසුකම් ලබා දීම සිදු කළ නිසා අපට මෙය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණා.

ඇත්තෙන්ම තවමත් මේ ප්‍රදේශවල කොටුවූ ජනතාව සිටිනවා. ඒ නිසා අපි හැකි උපරිම ආකාරයෙන් ඔවුන්ගේ සෞඛ්‍ය කටයුතු වෙනු වෙන් උපරීම මැදිහත්වීමක් සිදු කරනවා. එසේම ජලය බැස ගිය ප්‍රදේශවල වේගයෙන් ඩෙංගු පැතිරී යෑමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ජනතාව තමා අවට ප්‍රදේශ පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත්"යැයි වෛද්‍ය කොඩිතුවක්කු අප හා පැවැසීය.

රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජිවිත ලබා දීම වෙනුවෙන් කැපවී සිය ජිවිතය දෙවැනි කොට ගංවතුර පවා නොතකා රට වෙනුවෙන් උපරිම කැප වීමෙන් වැඩකරන මෙවන් වෛද්‍යවරු රටට මහත් සම්පතකි.

Comments