
ගංවතුර කළ විපත කෙතරම්ද වග දැන් මුළු රටම දනී. එම ගංවතුරෙන් විපතට පත් වූවන් සේම අවතැන් වූවන් ගලවා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව කළ මෙහෙයුම් විටෙක ත්‍රාසජනක චිත්‍රපට දර්ශන වැනිය. ඒ ආකාරයෙන් අවතැන් වූවන්ට සහන සැලැසීම සේම විපතට පත්වූවන් ගලවා ගැනීම වෙනුවෙන් කළ ගුවන් මෙහෙයුමකදී පසුගිය 29 වැනිදා ගුවන් හමුදාවේ එම්. අයි. 17 වර්ගයට අයත් එස්.එම්.එච්. 589 දරන හෙලිකොප්ටර් යානය නොසිතූ මොහොතක සිදුවූ කාර්මික දෝෂයක් නිසාවෙන් ගොඩබැස්වීමට යෑමේදී අනතුරකට ලක්වූයේය.
ගාල්ල බද්දේගම ඉනිමංකඩ ප්‍රදේශයේ ගංවතුර නිසා විපතට පත්ව කොටුවී සිටි පිරිසක් වෙනුවෙන් සහනාධාර ද්‍රව්‍ය කේබල් ආධාරයෙන් ගොඩ බෑමට යාමේදී එක් ස්ථානයක නතර කරගෙන සිටීම නිසා සිදුවූ කාර්මික දෝෂයක් මීට හේතු වන්නට ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා අප කළ විමසුමකදී පැවසුවේය.
එහිදී සිදුවන්නට ගිය මහත් ව්‍යසනයක් යානයේ නියමුවා ලෙස කටයුතු කළ බළඝණ නායක භානුක දෙල්ගහගොඩ මහතාගේ නිසි පුහුණුව සහ දක්ෂතාව නිසා ‘අනූනවයෙන්’ බේරුණේය. එම අවස්ථාවේ නියමුවන් සමඟ ගුවන් හමුදාවේ විශේෂ බළකායට අයත් සාමාජිකයෝ ඇතුළුව 11 දෙනෙක් යානයේ සිටියහ. එම සියලු ජීවිත බේරාගෙන, දේපළ හානි ද අවම කරගෙන එම මොහොතේ තිබූ ගංවතුර හේතුවෙන් ගුවන් යානය බැස්සවිය හැකි සුදුසුම ස්ථානයට ගොඩබෑමට හැකි වූයේ ගුවන් නියමු භානුකගේ දක්ෂතාව නිසාය.
“එකපාරටම ගුවන් යානයක් කැරකිලා කැරකිලා පහත් වුණා. ඒත් එක්කම වැටිච්ච තැන තිබුණ මහෝගනී ගහේ පෙත්ත වැදිලා ගින්දරකුත් පිටවුණා.” ඒ ගුවන් යානය වැටෙන අයුරු සියැසින් දුටු ගම්වාසියෙක් පැවැසුවේය.
පසුගිය අඟහරුවාදා උදේ 7.30ට කොග්ගල ගුවන් කඳවුරෙන් ගුවන්ගත වූ යානය හරියටම 7.58ට කාර්මික දෝෂයක් නිසා ගොඩබෑමේදී අනතුරට ලක්විය.
“ඇත්තටම අපි සියලු දෙනාම කිසිම ප්‍රශ්නයක් නැතිව බේරුණා. සාමාන්‍යයෙන් මේ වගේ අවදානම් ක්‍රියාදාම කරද්දී මෙවැනි දේවල් වෙන්න පුළුවන්. ගුවන් නියමුවන් වශයෙන් අපි එවැනි අවදානමට මුහුණ දීමට පුහුණුව ලබලා තියෙන්නෙ. ඒ පුහුණුව උපයෝගී කරගෙන කිසිදු ජීවිත හානියක් නොවන්න වග බලාගත්තා. දෝෂය දැනුණ ගමන් මං පහළ බැලුවා. හැමතැනම වතුර පෙනුණේ. මං කළේ තැනිතලාවක් වගේ පෙනුණ තැනට ඉක්මනින්ම ගොඩබැස්සවීම. මං කියන්නෙ මෙවැනි මොන විදිහේ අවදානමකට මුහුණ දුන්නත් ගුවන් හමුදාවේ නියමුවන් වශයෙන් අපි මේ මොහොතේ දිගටම අපේ රාජකාරිය කරනවා. අපෙන් විය යුතු යුතුකම් ඉටුකරමින් දිවි ගලවා ගැනීම් සේම විපතට පත්වූවන්ට සහනාධාර බෙදීම දිගටම කරනවා.”යානයේ නියමු බලගණ නායක භානුක පවසයි.
ඔහුගේ දක්ෂතාව ගැන සැලවූ වහාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දුරකථනය ඔස්සේ භානුක අමතා සිදුවීමට ගිය මහත් විනාශයක් වළක්වා ගැනීම ගැන ප්‍රශංසා කර ඇත්තේය.