ව්‍යසන කළමනාකරණයට අලුත් යන්ත්‍රණයක් | සිළුමිණ

ව්‍යසන කළමනාකරණයට අලුත් යන්ත්‍රණයක්

 පසුගිය බදාදා හැන්දෑවේ පටන් ඇද හැළුණු ඇදහිය නොහැකි වර්ෂාවෙන් පසුව කලවාන නගරය පිටත ප්‍රදේශ හා සම්බන්ධ කෙරුණු ගොඩබිම් මාර්ග සියල්ල අවහිර වුණි. ගස් කඩා වැටීමෙන් ද කඳු නාය යෑමෙන් ද වෙනත් හේතූන් නිසා ද එම මහා මාර්ග අවහිර වී තිබුණි. සෙනසුරාදා දහවල ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකකින් සහන සේවා කණ්ඩායම් කලවානට ගොඩබසින තුරුම කිසිම සැපයුම් මාර්ගයක් විවෘත කර ගැනීමට නොහැකි වුණි. ඉරිදා අමාත්‍ය දයා ගමගේ පෞද්ගලික හෙලිකොප්ටර් යානාවෙන් කලවානට ගොස් රෝහලේ සිටි අසාධ්‍ය රෝගීන් රත්නපුරයට ගෙන එනතුරු තත්ත්වය පාලනය කර ගැනීමට බලධාරීන්ට අපහසු වුණි.

කලවාන හුදකලා වෙයි

දින හතරක් තිස්සේ අවහිර වී තිබූ ගොඩබිම් මාර්ග විවෘත කර ගනිමින් කලවාන සෙසු ලෝකයා හා යළි සම්බන්ධ වූයේ දින හතරකට පමණ පසුව ය. එතෙක් ගුවන් මගින් සැපයුම් ලබාදුන් අතර එය ද ප්‍රමාණවත් නොවූයේ ඒ වනවිටත් ආපදාවට ලක්ව තිබූ ප්‍රමාණය ආවරණය කර ගැනීමට තරම් සහන සේවා කණ්ඩායම් ප්‍රමාණවත් නොවූ බැවිනි. නාය යෑමෙන් ද ගස් කඩා වැටීමෙන් ද විනාශ වූ ජීවිත හා භෞතික සම්පත් ප්‍රමාණය සැලකිය යුතු තරම් ය. මේ වනවිටත් ඒවා ප්‍රතිසංස්කරණය කරමින් අවශ්‍ය සහන සේවා සලසමින් ජන ජීවිතය යළි ගොඩනැංවීමට කටයුතු කරමින් පවතී.

එහෙත් දින හතරක් යන තෙක්ම කලවානට ගොඩබිම් මාර්ග විවෘත කර ගැනීමට නොහැකිවීමත් එතෙක් පූර්ණ ආපාදා සහන සේවාවක් පවත්වාගෙන යෑමට නොහැකිවීමත් සමාජයක් ලෙස අප ලැජ්ජාවිය යුතු තත්ත්වයකි. කලවාන පමණක් නොව අයගම ද ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කයන්හි ද ප්‍රවේශ මාර්ග අවහිරවීම මත ආපදා සහන සේවා දුර්වලවීමක් දක්නට ලැබුණි.

රජයේ ප්‍රධාන පෙළේ ආයතනයක ඉහළම නිලධාරියකු පැවසූවේ ආපදා සහන සේවය මේ තරමින් පවත්වාගෙන යන්නේ මැතිවරණ පැවැත්වීමට රජයට ඇති යන්ත්‍රණය තුළ බවයි. දික්ත්‍රික් ලේකම්වරුන්ගේ සිට ග්‍රාම නිලධාරීන් දක්වා පවතින මැතිවරණ ඡාලය හා ඊට සම්බන්ධිත යන්ත්‍රණය ආපදා සහන සේවය සදහා ශක්තියක් වී තිබේ. මැතිවරණයක දී මේ යන්ත්‍රණය මෙහෙයවන්නේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවයි. මැතිවරණ කොමසාරිස්වරයාට පැවරී ඇති අසීමිත බලය යටතේ සියලුම රාජ්‍ය නිලධාරීන් ඔහුගේ නියෝගයට යටත් වන අතර එම යාන්ත්‍රණය සමග මෙහෙයුම් කිරීමට ඇති ඉහළම පූර්ණ බලැති ආයතනය මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මැතිවරණ කොමිසමයි.

මැතිවරණ කොමසාරිස්ට පැවරී ඇති අසීමිත බලය කොපමණ ද යත් " කකුලට නෙවෙයි ඔළුවටම තබන්න" යැයි කීමට ශක්තියක් තිබීම මැතිවරණ සාධාරණව පැවැත්වීම සදහා ඔහුට ඉවහල් විය. එම ප්‍රකාශයත් සමග සාධාරණ මැතිවරණ පැවැත්වීම සම්බන්ධ ජනතා බලවේග උද්වේගකර වූ අතර ප්‍රජාතන්ත්‍ර විරෝධීහු දුර්මුඛ වුණි. එය මැතිවරණ සාධාරණව පැවැත්වීමේ රහස විය. එහෙත් ආපදා කළමනාකරණයට යොදා ගන්නා සිවිල් ඡාලයට එවැනි අණදෙන හා මෙහෙයුම් කරන උපරිම බලයකින් යුතු එක් ආයතනයක් නොපැවතීම දුර්වලතාවකි. දිස්ත්‍රික් ලේකම්ගේ සිට ග්‍රාම නිලධාරියා දක්වා ආපදා සහන ඡාලයක් තිබුන ද එය ශක්තිමත්ව ක්‍රියාත්මක නොවන්නේ මේ හේතුව නිසා ය.මේ නිසා හයිය, පෞරුෂය හා ජවය ඇති පරිපාලන නිලධාරීන් හා වෙනත් රාජ්‍ය නිලධාරීන් සිටින ස්ථානයන්හි ආපදා සහන සේවා කටයුතු ගැම්මට ක්‍රියාත්මක වේ. එහෙත් එසේ නොවන දුර්වල හා තීන්දු තීරණ ගැනීමට නොහැකි නිලධාරීන් සිටින තැන්වල ආපදා සහන සේවා බිද වැටේ.

" කකුලට නෙවෙයි ඔළුවටම තබන්න"

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ගොඩනැගිලි පර්යේෂණ මධයස්ථානය හා ආපදා කළමනාකරණ අමාත්‍යං‍ශය වැනි ආපදාවන්ට සම්බන්ධ රාජ්‍ය ආයතන කිහිපයක් තිබුණ ද ඒවා අතර සම්බන්ධීකරණයක්, ඒකාග්‍රතාවක් හා සහයෝගයක් නොතිබෙන බවට පසුගිය ආපදා අවස්ථාව හොදම සාක්ෂියකි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්පත් හිගකම හා තාක්ෂණයට සංවේදී නොවීම යන කාරණා මත කල් ඉකුත්වෙමින් පවතින අතර අනෙකුත් ආයතන කාර්යාල ක්‍රම තුළ හිර වී පවතී. එසේම අනෙකුත් ආයතන ගන්නා වූ තීන්දු තීරණ ක්‍රියාත්මක නොවීමේ අර්බූදයකට ලක්වී තිබේ.

ලැබූ උගත් පාඩමක් නැත

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු නිසා කාලගුණ වෙනසක් එන්නට කලින් දැනුම් දෙන පූර්ව අවවාද කැපී පෙනෙන ලෙස ජනතාව අතර යන්නේ නැත. පසුගිය බදාදා සිදුවූ කාලගුණ වෙනස ද කල් ඇතිව දැනුම්දෙමින් පූර්ව ආරක්ෂණ උපක්‍රම යොදා ගත්තා නම් සිදුවූ හානිය අවම කර ගන්නට තිබුණි. එහෙත් ලෝක කාලගුණ අනාවැකි වලින් ලැබුණ තරමට හෝ පෙර දැනුම්දීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නොලැබුණි. නැත්නම් ඔවුන්ගේ පෙර දැනුම්දීම් සමාජ ගත නොවුණි.

ජවයක්, ශක්තියක් හා වැඩ කිරීමේ උණක් තිබූ නිලධාරීන් සිටින තැන් වල හානිය අඩු බව පෙන්වාදීමට සුදුසුම උදාහරණය රත්නපුර දිත්‍රික්කයේ වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ පුරෝකතනයයි. වාර්තාවන අන්දමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් අදාළ නිලධාරියා පවසා ඇත්තේ දැරිය නොහැකි වර්ෂාවත් සමග රත්නපුරයට අධික ගං වතුරක් අපේක්ෂා කළ හැකි බවයි. මේ පුරෝකථනය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වූවාට ඊට අදාළව ඉහළ බලධාරීන් ගත් තීන්දුවක් නම් නොවීය. එසේ පූර්වකථන ඉදිරිපත් වෙද්දීත් ඒවා සැලකිල්ලට නොගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලතාවකි.

මේ නිසා දිස්ත්‍රික් ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරී දක්වා පවතින රාජ්‍ය යන්ත්‍රණය ආපදා වලට සමබන්ධ අනෙකුත් ආයතන සමග සම්බන්ධීකරණය කිරීමට ශක්තිමත් තනි ආයතනයක් පිහිටුවිය යුතුය. එම ආයතනයට සියලු රාජ්‍ය ආයතනයන්ට හා නිලධාරීන්ට අණදිය හැකි පුර්ණ බලය හිමිවිය යුතුය. එසේම ඒවා සම්බන්ධීකරණය කරමින් මෙහෙයුම් කිරීමේ හැකියාව ද ශක්‍යතාව ද හිමිවිය යුතුය. එවැනි ආයතනයකට වගකියන හා සම්බන්ධීකරණය සිදුවෙන රාජ්‍ය නිලධාරියකු සියලු ග්‍රාමසේවා කොට්ඨාස මට්ටමින් සිටිය යුතුය.

තරුණ විකල්ප බලවගයක්

ගිය වසරේ මැයි මාසයේ ඇතිවූ විශාල කාලගුණ විපර්යාසය තුළ අරණායක සාමසාර කන්ද නාය යමින් විශාල විනාශයක් ඇති කළේ ය. ඉන්පසුව එම කන්ද අවට කලාප අධි අනතුරුදායක කලාප ලෙස නම් කරමින් පදිංචිකරුවන් එම ස්ථාන වලින් ඉවත් විය යුතු බවට නියෝග නිකුත් කෙරිණි. එහෙත් අද වනවිටත් සමහර පිරිස් එම අනතුරුදායක කලාපයන්හි රැදී සිටිති. සමහර අනතුරුදායක කලාප වෙනස් වී තිබේ. සමහර නිවෙස් අධි අනතුරුදායක කලාපයන්ගෙන් ඉවත් කරමින් එවැනි කලාප යළි නම් කර තිබේ. මීට හේතුව පක්ෂ දේශපාලනය ඒවාට ද ඇතුළු වීමයි. තමන්ට පක්ෂ මිනිසුන් අධි අවදානම් කලාපයේ රඳවා ගැනීමට උදව් කරන මෙවැනි පක්ෂ දේශපාලකයන් ජුගුප්සාජනක ය.

ඉතිහාසයේ ලංකාවට සිවිශාලම විනාශය ගෙන ආවේ 2004 දී ආ සුනාමි ව්‍යසනයෙනි. එහිදී වෙරළ තීරයේ සිට කිලෝමීටර් දෙකක වපසරියක ඉදිකිරීම් කිරීමට ඉඩ නොදෙන බව කීය. එසේම ගාල්ල නගරය රට අභ්‍යන්තරය තුළ යළි ස්ථාපිත කර අවදානම අඩු කිරීමට පියවර ගන්නා බව කීය. එහෙත් ඒ කිසිවක් නොවුණි. සුනාමි ව්‍යසනයෙන් පසුව ප්‍රතිසංකරණයට හා නගර නිර්මාණයට උදා වූ ඒ ස්වර්ණමය මොහොත අහෝසි වුණි. ඒ අවස්ථාව විනාශ කරගත් අපට යළි කවදා ව්‍යසනයන්ට මුහුණදීමේ ශක්තිමත් පරිසරයක් නිර්මාණය කරගන්නට හැකිවේද යන්න ප්‍රශ්නයකි.

ආපදාව වාර්තා වුණ මොහොතේ පටන්ම කොළඹ අගනාගරිකය කේන්ද්‍ර කර ගත් යෞවන යෞවනියන් හා තරුණ තරුණියන් පිරිසක් ආපදාවට පිහිටවීම තම ආත්මය කර ගනිමින් ඊට මැදිහත් වූහ. ඒ සඳහා ඔවුන්ට උදව් වූයේ සන්නිවේදන තාක්ෂණික දියුණුවත් සමග ආ ෆේස්බුක් වෙබ් අඩවියයි. ඔවුහු ෆේස්බුක් යොදා ගනිමින් සංවිධානය වෙමින් අවතැන් වූවන්ට පිහිටවීම සඳහා විශාල කැප කිරීමක් කළහ. ඒ මැදිහත්වීම සරළව බැහැර කළ නොහැක්කේ ඔවුන්ගේ සමාජ සංවේදීතා සමග සන්නිවේදන තාක්ෂණයේ දියුණුව යොදා ගැනීම නිසා ය. මේ මැදිහත්වීම නිසා විශාල කඩා වැටීමකට ගොදුරු වූ ජන සමාජයේ විවිධ ඉසව් කරා ශක්තිමත් සහෝදරාත්මක දෑත් දිගු විය. රාජ්‍යයක යන්ත්‍රණයට සමාන්තරව පැන නැගුණ මේ තරුණ නැගිටීම ඇත්තටම ප්‍රශංස­ාත්මක ය.

මේ තරුණ පිරිස් ආහාර, බඩු භාණ්ඩ හා ඇඳුම් පැළදුම් එක් රැස් කර ගත්හ. වාහන සොයා ගත්හ. සහන සේවා කටයුතු සඳහා තමාම ගියේ ය. ඔවුන්ම සකස් කර ගත් යාන්ත්‍රණයක් නිසා එය නිර්මාණාත්මක ය. ඔවුන් දුර්වල වූයේ ගුවන් බලය නොමැති නිසාම යැයි කිවහැකි අතර බිමේ මෙහෙයුම් වල දී ඔවුහු කරට කර සිටියහ.

ඇත්තටම බැලුවහොත් රජයේ සහන සේවා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට බරපතල ගැටළු පැන නැගී තිබුණි. ආපදාවකට පූර්ව සූදානමක් නොවීම හා ආපදා අවස්ථාක දී ඊට මුහුණදීම සම්බන්ධයෙන් අත්දැකීම් ගබඩා කර තබා නොගැනීම ඊට හේතූන් ය. ව්‍යසන කළමනාකරණයට විදෙස් ශිෂ්‍යත්ව ගෙන රාජ්‍ය නිලධාරීන් සෑහෙන පිරිසක් පිටරට යන්නට ඇත. එහෙත් කනිෂ්ට පරිපාලන නිලධාරියකු පවසා තිබුණේ "කියන්න පුළුවන්, කරන්නනෙ අමාරු" යන්නයි. මේ න්‍යාය ප්‍රාථමික හා ග්‍රාමීය පරිසරයක් තුළ සත්‍ය විය හැකිය. එහෙත් අප ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයක ය. ව්‍යසන කළමනාකරණය සම්බන්ධ විශිෂ්ට හා පුළුල් දැනුම් පද්ධතියක් තුළ ය. එවිට "කියන්න පුළුවන්, කරන්නනෙ අමාරු" යන්න කෙතරම් වූ අසරණ ප්‍රකාශයක් ද?

කියුබාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවලට ද කාලගුණ විපර්යාසයන්ගේ අහිතකර ප්‍රතිඵල වලට මුහුණ දෙන්නට සිදුවේ. එහෙත් එම රටවල එවැනි ආපදාවන්ට ලක් වන මිනිස් ජීවිත ගණන අතේ ඇගිළි ගණනටත් අඩු ය. දේපල හා ස්වභාවික සම්පත් විනාශ වුවද මිනිස් ජීවිත සුරැකේ. ඊට ප්‍රධාන හේතුව ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ඔවුන් පූර්ව ආරක්ෂක පියවර ගෙන ඇති බැවිනි. එහෙත් ශ්‍රී ලංකාවේ ගිය සතියේ සිදුවූ ව්‍යසනයේ දී 200ක් ඉක්මවන මිනිස් ජීවිත ඊට ගොදුරු වී තිබුණි. ඊට හේතුව මෙවැනි ආපදාවක් කළමනාකරණය කර ගැනීමට සමාජයක් ලෙස අප ශක්තිමත් නොවන බැවිනි. එනිසා පළමුව කළ යුත්තේ ව්‍යසන කළමනාකරණය උදෙසා මහජන සංවාදයක් ඇති කර ගැනීමයි. ඊට විදෙස් රටවල මෙන්ම මෙරටේ ව්‍යසන සම්බන්ධ අත්දැකීම් ද එකතු කර ගත යුතුය.

ඒ සියල්ල සාර්ථක කර ගැනීමට ආණ්ඩුවේ දේශපාලන යන්ත්‍රණය සංවේදී හා ශක්තිමත් එකක් විය යුතුය. එම අභියෝගයට මුහුණදීම සමාජයක් ලෙස අප මත පැටවී ඇති බරපතල කාර්යභාරයයි.

කේ.ජී.පිලිප් ශාන්ත

Comments