
ජූහි චවුලා ගී ගයයි
අනූව දශකයේ ඉමහත් ජනප්‍රියත්වයක් ලබමින් බොලිවුඩ් සිනමාව දීප්තිමත් කළ සුරූපී නිළි ජූහි චව්ලා දිගු කලකට පසුව නැවතත් සිනමා රංගනයට එක්වී සිටිනවා. මෙවර ඇය රංගනයෙන් මෙන්ම ගායනයෙන් ද රසික ජනතාවට සමීප වන බවයි බොලිවුඩ් ආරංචි මාර්ග පවසන්නේ.
ජූහි රඟපාන්නේ දකුණු ඉන්දීය කණ්ණඩ චිත්‍රපටයකයි. ළමයින් වෙනුවෙන් නිර්මාණය කෙරෙන ‘වෙරි ගුඩ් 10/10’ නම්වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ යෂ්වාන්ට් සර්දේශ්පාන්ඩේයි. ජූහි මේ චිත්‍රපටයෙහි සංගීත ගුරුවරියක ලෙස රඟපානවා. එය ආරාධිත කෙටි රංගනයක් බවයි පැවසෙන්නේ. “චිත්‍රපටය ආරම්භ වෙන්නේ ජූහිගේ රංගනයත් එක්කමයි. ඒ නිසා අපි මුලින්ම රූගත කළේ ජූහිගේ රඟපෑම්. මේ මාසෙ මුලදි අපි ඒ දර්ශන රූගත කළා. ජූහි ගීත ගායනා කරමින් රඟපාන දර්ශන දෙකක් මේ චිත්‍රපටයේ ඇතුළත් වෙනවා.” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා පැවසුවා.
ජූහි පවසන්නේ සංගීතය ඇගේ ජීවිතය සමඟ නිරතුරුවම සම්බන්ධ වී තිබෙන බවයි. කලකට පෙර ලන්ඩනයේ භාර්ති විද්‍යා භවන් ආයතනයට එක්වී පණ්ඩිත් විශ්ව ප්‍රකාශ් ගුරුතුමිය ගෙන් සංගීතය ඉගෙන ගත් බවත් ජූහි පැවසුවා. “මම හරිම සතුටෙන් ‘වෙරි ගුඩ් 10/10’ චිත්‍රපටයේ රඟපෑවා. මගේ රඟපෑම් රූගත කළේ උතුරු කර්ණාටක දිස්ත්‍රික්කයේ යලපුරා ප්‍රදේශයේ.” ජූහි, සුපුරුදු සුන්දර සිනහව නඟමින් පැවසුවා.
ජූහි, මීට පෙර කණ්ණඩ චිත්‍රපට කිහිපයකම රඟපා තිබෙනවා.
පරිනීතිගේ ලොකුම බොරුව
පරිනීති චොප්රා පසුගියදා මාධ්‍ය හමුවකදී තමන් කුඩා කාලයේදී මුහුණ දුන් නොයෙකුත් බාධක කම්කටොලු ගැන විස්තරයක් කළා. ඇය ඒ මාධ්‍ය හමුවට එක්වුණේ සුපිරි නළු ආක්ෂේ කුමාර් සමඟයි. එහිදී පරිනීති හැඟුම්බරව ප්‍රකාශ කළේ පාසල් වියේදී ඇගේ දෙමවුපියන් ගත කළේ දුක්බර ජීවිතයක් බවයි. ඇගේ මෙම ප්‍රකාශයට ඉන්දීය මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලබා දී තිබුණා.
දින කිහිපයක් ගතවෙද්දී පරිනීතිගේ ප්‍රකාශයට ලැබුණේ දැඩි ප්‍රතිචාරයක්. ඇය සමඟ එකම පාසලේ ඉගෙනුම ලැබූ මිතුරකු මුහුණු පොත මඟින් මේ ප්‍රතිචාරය දක්වා තිබුණා. ඔහු කීවේ පරිනීති කුඩා කාලයේ පටන් හැදී වැඩුණේ වත්පොහොසත්කමින් නොඅඩු පවුලක බවයි. පරිනීතිගේ ප්‍රකාශය පිළිගත නොහැකි යැයි ද වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණා.
පරිනීති තම දුක්බර ජීවිතය හෙළි කළේ මෙලෙසයි. “අම්බාලා කියන පුංචි ගමේ පවුලක තමයි මම උපත ලැබුවේ. පුංචි කාලෙදි මම ගොඩක් දුක් වින්දා. මගේ දෙමවුපියන්ට සල්ලි තිබුණෙ නැහැ. මම පාසල් ගියේ බයිසිකලෙන්. අපිට කාර් එකක් තිබුණෙ නැහැ. මගේ තාත්තා තමයි මාව බයිසිකලෙන් පාසලට එක්කගෙන ගියේ.” පරිනීතිගේ මේ ප්‍රකාශය සත්‍යයෙන් තොර යැයි ඇගේ පාසල් මිතුරා පැවසූ විට පරිනීති, ට්විටර් පිටුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ මේ අයුරින්... “මට අවශ්‍ය වුණේ කුඩා දැරියන් සහ තරුණියන් වර්තමානයේ මුහුණ දෙන දුෂ්කරතා පෙන්වා දෙන්නයි.” ඇය ප්‍රකාශ කළේ එපමණයි. මුලින් පැවසූ කතාවල ඇත්ත - නැත්ත නම් පැහැදිලි කර තිබුණේ නැහැ.
වියපත් නිළිය ගීතා අනාථ නිවාසයට
දෙමවුපියන් වයෝවෘද්ධ වී ගිලන් වූ පසුව ඔවුන්ව නොසලකා හරින දූ දරුවන් ගැන අපට නිතරම අහන්නට ලැබෙනවා. අපේ රටේ විතරක් නොවෙයි, අසල්වැසි රටේත් මෙවැනි අයුතු දේ සිදු වෙනවා.
එවැනි ශෝචනීය තත්ත්වයකට මුහුණ දී සිටින්නේ එදා හින්දි සිනමාවේ ජනප්‍රිය නිළියකව සිටි ගීතා කපූර්. ඇය වඩාත් ජනප්‍රිය වූයේ කමල් අම්රෝහි අධ්‍යක්ෂණය කළ ‘පාකීෂා’ චිත්‍රපටයේ රඟපෑමෙන්. මේ වන විට බෙහෙවින් වයස්ගතව සිටින ගීතා කපූර් පසුගිය අප්‍රේල් 21 දා මුම්බායිහි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඒ, ඇගේ රුධිර පීඩනය නියමිත මට්ටමට වඩා අඩු වූ නිසයි. ගීතා කපූර්ව රෝහලට ඇතුළත් කර ඇත්තේ ඇගේ පුත්‍රයකු විසින්. ගීතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඒ සඳහා වූ ගාස්තුව ගෙවන්නැයි රෝහලෙන් දැනුම් දී තිබෙනවා. ඇගේ පුත්‍රයා එම ගාස්තුව ගෙවීමට අවශ්‍ය මුදල් ඒ. ටී. එම්. යන්ත්‍රයකින් ලබාගෙන පැමිණෙන බව පවසා රෝහලෙන් නික්ම ගොස් තිබෙනවා. නැවත පැමිණ නැහැ.
ගීතා කපූර්ව හදිසියේ දැක තිබෙන්නේ එම රෝහලට පැමිණි ටජ්ඩාර් අම්රෝහියි. ඔහු, චිත්‍රපට අධ්‍යක්ෂ කමල් අම්රෝහිගේ පුත්‍රයායි. “ගීතා කපූර් මහත්මිය හඬමිනුයි හිටියේ. කතා කළේ වචන දෙක තුනයි. ඒ තරම්ම එයා කම්පාවට පත්වෙලයි හිටියේ. දැනගන්න ලැබුණු හැටියට නම් ගීතා මහත්මියගේ පුතා, එයාට කන්න බොන්න දීලවත් නැහැ.” ටජ්ඩාර් අම්රෝහි මාධ්‍යවේදීන්ට පැවසුවා. පසුව දැනගන්නට ලැබුණේ ගීතා කපූර්ව අනාථ නිවාසයකට යොමු කළ බවයි.