සිරි­යාවේ ගම­කින් මංගල යෝජ­නා­! | සිළුමිණ

සිරි­යාවේ ගම­කින් මංගල යෝජ­නා­!

ඔහු ලෝක සවාරිය ආරම්භ කළේ ස්විට්සර්ලන්තයේ ග්ලාරූස්වලිනි. මුලින්ම රුසියාවේ සැන් පීටර්ස්බර්ග් දක්වා ගොස් එතැනින් ස්කැන්ඩිනේවියානු රටවල් හරහා යළි ස්විට්සර්ලන්තයට පැමිණියේය. බටහිර යුරෝපීය රටවල් වන පෝලන්තය, ලැට්වියා, එස්තෝනියා, රුමේනියා ආදි රටවල් හරහා ගොස් තුර්කිය, සිරියාව, ජෝර්දානය සහ ඊජිප්තුවෙන් නැගෙනහිර අප්‍රිකාවට සේන්දු වූ ඔහුට අවශ්‍ය වූයේ යුරෝපයෙන් කෙටි කාලයක් තුළදී පිටවී ඉක්මනින්ම අප්‍රිකාවට සේන්දුවීමටය. මේ රටවල් අතරින් සිරියාවේදී ඔහුට අපූරු මිනිසුන් රාශියක් මුණ ගැසීමේ අවස්ථාව හිමිවිය. ඔහු සිරියාවේ සංචාරය කළේ එරට වර්තමාන යුද තත්ත්වයට පෙරය.

“දැන් ඇතිවෙලා තියෙන අභාග්‍යසම්පන්න යුගය උදාවෙන්න මාස කීපයකට කලිනුයි මං ඔය සිරියාවට ගියේ. යුද්ධයෙන් වර්තමානයේ ලොකු විනාශයක් වෙලා තියෙන අලෙප්පො නගරය කියන්නෙ මහා ඓතිහාසික නගරයක්. මං හිතන්නෙ දැන් එය සම්පූර්ණයෙන් විනාශ වෙලා. සිරියාව බොහෝම සුන්දර මනුස්සයන්ගෙන් පිරුණු රටක්. කවුරු හරි කුමක් හෝ උදවුවක්, අවශ්‍ය දෙයක් ඉල්ලුවානම් සිරියානු වැසියන් එකපයින් උදවු කරන්න ඉදිරිපත් වන්නෙ.”

ඉතාම පරිත්‍යාගශීලී, ආගන්තුක සත්කාරයට ළැදි බොහෝ පිරිස් සිරියාවේදී හමුවූ බව පවසන ඩිලන් ඔහුට එසේ හමුවූ අපූරු ගොවියකුගේ කතාන්දරය අප හා පැවසීය. එ් සිරියානු ගොවියා නමින් අබ්දුල්ය. ඔහු හමුවූයේ සිරියානු අගනුවර වන ඩැමැස්කස් නගරයට උතුරු දිගින් පැය හයක පමණ දුරකින් පිහිටි ඈත පිටිසර ගමකදීය.

“මං මගේ චාරිකාවෙදි යතුරුපැදියේ නැගී යද්දී රෑ බෝවුණාම කොහේ හෝ සුදුසු තැනක් බලා කූඩාරම අටව ගන්නවා. වරක් මෙහෙම නවතින්න තැනක් බලමින් යද්දී ගොවිපොළක් දැක්කා. මං ඒ ගොවිපොළ අයිති ගොවියාගෙන් ඔහුගේ ඉඩමේ මගේ කූඩාරම අටව ගන්න අවසර පැතුවා. ඔහුගේ නම අබ්දුල්. එවිට ඔහු මා එයාගේ ගෙදර එක්කගෙන ගිහින් වෙනම කාමරයක් දීලා නවාතැන් පහසුකම් දුන්නා. වැඩේ කියන්නෙ අපි අතර අදහස් හුවමාරුවට පොදු භාෂාවක් තිබුණෙත් නෑ. ගෙදරට ගිහින් ටික වේලාවයි ගියේ. මෙන්න... අසල්වැසියෝ ට්‍රැක්ටර්වලින්, බයිසිකල්වලින් මෙකී නොකී වාහනවලින් පෝලිමට එනවා අබ්දුල්ගේ ගෙදරට මා ගැන ආරංචි වෙලා. මට ඉතින් බේරිල්ලක් නෑ ගම්මුන්ගෙන් ඔවුන්ට මගේ සංචාරය ගැන තොරතුරු කියන්න කියලා. මං දින ගණනාවක් අබ්දුල්ගේ නිවෙසේ ඉඳලා අවට සංචාරය කරමින් ඒ ගම්මුන්ගේ සෑම ගෙදරකම වගේ ඇවිද්දා අබ්දුල්ගේ පුතා අමීන් එක්ක. අමින්ටත් හරිම විනෝදයක් මාත් සමඟ ඇවිදින එක. මොකද මට හැමතැනදීම විශේෂ අවධානයක් ලැබෙනවා. කොටින්ම කිව්වොත් සමහර ගෙවල්වලින් මට විවාහ යෝජනාත් ගේනවා! දින කීපයකට පස්සේ මං අබ්දුල්ගේ නිවෙසින් පිටත්වෙලා යන්න සැරසිලා මගේ සයිකලේ ඇලුමිනියම් පෙට්ටි පරික්ෂා කර බැලුවා. බලනකොට එහි තිබුණු මගේ ඇඳුම් ආයිත්තම් මොකුත්ම නෑ.

සයිකල් ධාවන ඇඳුමත් නෑ. මං ගේ ඇතුළේ හැම තැනම බැලුවා. කිසිම තැනක තිබුණේ නෑ. ගිහිල්ලා එළියේ-පහළියේ බැලුවා. බැලින්නම් මගේ ඇඳුම් සියල්ලම කවුරුහරි හෝදලා වතුර බේරි බේරි වැලේ තියෙනවා. මං ඇඳුම් හොයනවා දැකලා අබ්දුල්ගේ කෙලි පැටවු ‍ටික හොඳටම බයවෙලා. මට හොඳටම හිනා. මොකද දන්නවද කරලා තියෙන්නෙ මං යන විත්තිය ආරංචි වෙලා ඒ ළමයි ටික මගේ ඇඳුම් සියල්ල සෝදලා. මට හිතාගන්න බෑ මගේ සයිකල් ධාවන ඇඳුම ඒ පොඩිවුන් කොහොමද හේදුවේ කියලා. ඒක ඉතාම ගණකම්, ඊට හපන් ඒක මාස ගාණකින් හෝදලා නෑ. පස්සේ ඇඳුම් වේළනකල් අබ්දුල්ගේ ගෙදර තවත් දින කීපයක් ඉන්න වුණා. ඇත්තෙන්ම සිරියාව එදා එහෙමයි. ඒත් අද යුද්ධයෙන් බැට කන සිරියාව ගැන මතක් වෙද්දි අබ්දුල්ලා වගේ මිනිසුන්ට මොනවා වුණාදැයි හිතෙනවා. එය මගේ හිතට දුකක්”

ඉන්පසු ඔහු ගියේ නැගෙනහිර අප්‍රිකානු රටවල් වන සුඩානය, උගන්ඩාව, ටැන්සානියාව ආදි රටවල් හරහාය. ඔහු හා කතාබහේ යෙදෙද්දී අප කුඩා කල සිට අසා ඇති මහා සහරා කාන්තාරය පිළිබඳ මා ඔහු විමසුවේ ඒ ගැන සැබෑ අත්දැකීමක තොරතුරු දැන ගැනීමේ ආසාවෙනි.

“සහරාව කියන්නෙ ඇත්තෙන්ම විශාල ප්‍රදේශයක්. මං සහරාව හරහාත් ගමන් කළා. බටහිර අප්‍රිකාවේ මොරොක්කෝව, මරුටානියා වැනි රටවල සිට නැගෙනහිර අප්‍රිකාව දක්වාම සහරාව විහිදිලා තියෙනවා. මං මේ ලෝක සංචාරයේ යන්නට ප්‍රථම කීප වරක්ම සහරාවේ මෝටර් සයිකල් ගමන් ගිහින් තියෙනවා. ඊජිප්තුවෙන් සුඩානයට ගොස් සුඩානයේ සහරා කාන්තාර ප්‍රදේශය හරහායි මං මේ සංචාරයේදී ගමන් කළේ. සහරාව කියන්නේ වචනයෙන් කියා විස්තර කරන්න බැරි තරම් ඈතින් ඈතට පැතිරුණු හතර දිගින් වැලි කඳු වැලි වැටි විතරක් පේන ගිනි කතරක්.

මේ ගමනෙදි සහරාව හරහා යන්න මට දවස් තුනක කාලයක් ගියා. රස්නෙ කියන්නෙ පිච්චෙන තරම්. ඔටුවෝ එහෙම වැටිලා ඉන්නවා. දූවිලි කුණාටු නිකන් මූදු රැල්ල එනවා වගේ එන්නෙ. සාමාන්‍යයෙන් අපි හෙල්මට් එකේ වයිසර් එක දාගත්තම මූණට රස්නෙයිනේ. නමුත් සහරාවෙදි ඒකේ අනිත් පැත්ත. වයිසර් එක මූණට දාගත්තම දැනෙන්නෙ ශීතලක්. වයිසරය ඇරගෙන යනකොට මූණ පිච්චෙනවා වගේ දැවිල්ලයි. එක රැයක් මං කූඩාරම අටවගෙන ඉඳලා උදේ නැගිටලා කූඩාරමයි, බඩු-මුට්ටුයි එහෙම තියෙද්දි මං සයිකලෙන් පොඩි රවුමක් දැම්මා. මට වුණේ මාර වැඩක්. දැන් මට කූඩාරම තියෙන පැත්ත හොයාගන්න බෑ. ජී.පී.එස්. එකත් කූඩාරමේ දාලා ගියේ. සයිකලේ ආපු ටයර් පාරවල් සොයාගන්නවත් නෑ දූවිලි සුළඟට මැකිලා. බලන බලන පැත්ත තනිකරම වැලි කඳු පේන්නෙ. කොහොමහරි අන්තිමට පැය තුනක් විතර රවුම් ගහලා අහම්බෙන් වගේ කූඩාරම තියෙන පැත්තට ආවා.”

සහරා මරු කතරේ ජලය යනු අගනා සම්පතකි. මේ ගමන පුරාවට බීමට ජලය සොයා ගත් අන්දම ද ඔහු අප හා විස්තර කළේය.

“මම කොහොමත් ඔය ගමන යද්දි සෑම විටම වතුර ලීටර් 10ක් විතර ස්ටොක් කරන් ගියා. ඒ වගේම ඒ පැත්තෙ හැම තැනම වතුර බෝතල් විකුණන්නත් තියෙනවා. තව දෙයක්, මම ඔය ඊජිප්තුව, සුඩානය වගේ කාන්තාර රටවල්වලින් ගමන් කරනකොට දැක්ක දෙයක් තමයි හැමතැනම වගේ අපේ ඉස්සර ගෙවල්වල මිදුලේ තිබුණ පින්තාලිය වගේ දෙයක්. ඒ කියන්නෙ හැමතැනම තියෙනවා බීමට වතුර බඳුන්. ඒ හැම දේකින්ම පේන්නෙ ඒ රටවල මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරවල තරමයි.”

එවැනි දේ දකින විට කුඩා අවදියේ වත්තල, වනවාසල ප්‍රදේශයේ ජීවත්වෙද්දී නිවෙස් අසල බීමට තිබූ පින්තාලිය මතක් වූ බව පවසන ඩිලන් එසමයේ අපේ රටේ තිබූ වටිනා කියන ආගන්තුක සත්කාර ක්‍රම වර්තමානයේ ලාංකිකයන්ගෙන් ගිලිහී යාම මහත් දුකක් බව පැවැසුවේය.

ඩිලන් මේ ගමනේදී ඊජිප්තුව සහ සුඩානය අතර දේශසීමාව තරණය කිරීමේ රසවත් අත්දැකීම් ද විස්තර කළේය.

“මේ රටවල් දෙක අතර දේශසීමාව තරණය කරන්න පුළුවන් නසාර් විල හරහා මඟී බෝට්ටුවකින් හෝ නැතිනම් ගුවනින් විතරයි. ඒකට හේතුව රටවල් දෙක අතර තිබුණ දේශසීමා ප්‍රශ්නය. නසාර් විල ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නෑනේ. ලෝකයේ දිගම ගඟ වන නයිල් නදිය හරස්කර අස්වාන් වේල්ල ඉදිකිරීම නිසා හැදුණු ජලාශය තමයි නසාර් විල කියන්නෙ. මේක කීප වරක්ම ලොකු කරන්න වුණා ජල ගැලීම් නිසා. ඒ අවස්ථාවේදි නසාර් විල සුඩාන රටටත් පැතිරුණා. ඊජිප්තුවේ අස්වාන් නගරේ සිට සුඩානයේ වඩිහල්ෆා වෙත මඟී බෝට්ටුවක් යන්නෙ සතියකට එක දවසයි. ඒ සඳුදා හවස. මං අස්වාන්වල තියෙන සුඩාන කොන්සල් කාර්යාලයට ගියා වීසා ගන්න. ගියාම තමයි දැක්කෙ එතැන ඉන්න සෙනඟ. මීමැස්සෝ වගේ. මොකද මේ දේශසීමාව තරණය කරලා තමයි හුඟ දෙනෙක් අප්‍රිකාවේ පහළ කොටසට යන්නෙ.

අන්තිමේදී මට එදා යන බෝට්ටුවෙන් සුඩානයට යන්න බැරිවුණා. මම කළේ ඊළඟ සඳුදා වෙනකල් අස්වාන් අවට සිරි නරඹමින් සිටිය එක. ඒකෙන් මට අවස්ථාවක් ලැබුණා ලෝක උරුමයක් වශයෙන් යුනෙස්කෝව නම් කරලා තියෙන අබුසිම්බල් සිද්ධස්ථානය දැකබලා ගන්න.”

(තව කොටසක් ලබන සතියේ)

Comments