සඳු කට­කයේ සිටි­යදී උපන් කත; අඩු­පාඩු හදා ගත්තොත් ගෙද­රට සිරි­ක­තකි | සිළුමිණ

සඳු කට­කයේ සිටි­යදී උපන් කත; අඩු­පාඩු හදා ගත්තොත් ගෙද­රට සිරි­ක­තකි

ඔබ කාන්තාවක නම්; ඔබේ ඇතුළාන්තයේ සැඟවුණු රහස් පෙන්වන කැඩපතක් අපි ඔබේ අතට දෙමු. ඔබ ගැන කියන මේ ‍තොරතුරු කෙතරම් නිවරැදි දැයි බලන්න. ඊට පෙර මේ පාඩමත් මතක තබා ගන්න. ලග්නයට කියන තවත් නමක් වන්නේ ජන්ම රාශියයි. මේ රාශි චක්‍රය , මේෂ - වෘෂභ- මිථුන- කටක- සිංහ- කන්‍යා- තුලා- වෘශ්චික ධනු- මකර - කුම්භ - මීන යන පිළිවෙළට පවතී. එය වෙනස් වන්නේ නැත. ඔබේ කේන්ද්‍රයේ පළමුවැනි කොටුව ඔබේ ලග්නය ලෙස ගත යුතුය. මේෂ ලග්නයේ උපන්නේ නම් කිසිම ගැටලුවක් නැතිව පෙර කී පිළිවෙළට කොටුවෙන් කොටුව ගණන් කර ගෙන යන විට රාශි දොළොස ඉහත පිළිවෙළට හඳුනාගත හැකිය. ඔබ උපන්නේ ධනු ලග්නයෙන් නම්; ඔබේ කේන්දරයේ පළමු කොටුව ධනු රාශිය ලෙස ගත යුතු අතර දෙවැන්නට ‍මකර, තුන්වැන්නට කුම්භ, සිව්වැන්නට මීන, පස්වැන්නට මේෂ යනාදී වශයෙන් ගණන් කළ යුතුය.

සඳු ග්‍රහයා කටක රාශියේ සිටියදී උපන් කාන්තාව අමුතුම චරිතයකි. ඇය කල්පනා සාගරයේ පතුළෙහිම කිමිදෙන්නීය. පියවි ලෝකයට වඩා මායාකාරී ලෝකයක රැජිණ බවට පත් ‍වේ. ඇතැම් විට ඉතාම ආගමික භක්තිය ඇති ශ්‍රද්ධාව පෙරටු කර ගත් සිතින් ජීවත් වේ. තවත් විටෙක ඉතාම කලබලකාරී ඉස්පාසුවක් නැති හදිසියකින් ක්‍රියා කරයි.

ඔබගේ ජන්ම කේන්දරයේ සඳු ග්‍රහයා තැන්පත්ව සිටින්නේ කටක රාශියේ නම්, ඔබ නිතර නිතර සිතිවිලි වෙනස් කරන තැනැත්තියකි. එක අරමුණක සිත පිහිටුවා ගැනීම අසීරුය. එහෙත් ඔබ පින්වන්තියකි. හැම විටම පින් - පව් ගැන මෙනෙහි කරයි. සුදු - ලා නිල් - රන්වන් පාට සහ රිදී ඔබගේ ජය වර්ණ වේ. කායිකව ඔබ ඉතා උදාසීන චරිතයක් ලෙස පෙනී යා හැකිය. ඔබ හොඳ මවකි. හොඳ පතිනියකි. එහෙත් ප්‍රේමයේ දී පරාජිතය. ඔබේ සහකරු තෘප්තිමත් කිරීමට ඔබ අපොහොසත්ය. මේ දුබලතාව වටහා ගෙන ගෘහ ජීවිතය ගෙන යෑම මැනවි.

ශරීරයේ අධික බර, තරබාරුව, ජීවිතයේ මැදිවියේ දී ඔබ වෙත ළඟා වේ. අධික නින්ද, දහවල් නින්ද නිහඬ සතුරෝ වෙති.

දර්ශනය, ආගමික විශ්වාසය, මනෝවිද්‍යාව සහ ගුප්ත විද්‍යාවන් කෙරෙහි මහත් සේ ඇලුම් කරන ඔබ ආශ්චර්ය ජනක යමක් සිදුවනතුරු ප්‍රශ්න මඟ හරිමින් කාලය ගෙවා දමයි. ක්ෂ්ණිකව තීන්දු ගන්නා නමුත් ඒවා ක්‍රියාත්මක කරන්නේ අඩුවෙනි.

සෝමාරි ගතිය, වුවමනාවට වඩා ස්ත්‍රීභාවය හිසට ගැනීම, නිසා ඔබට ඉදිරියට යෑම සඳහා ලැබෙන අවස්ථාවන් මඟ හැර ගනී. ඉහත කී දුබලතා මඟ හරවා ගතහොත් ඔබ ගෙදරට සිරිකතකි.

ආහාර - පාන - ඇඳුම්- පැළැඳුම් යනාදියෙන් ඔබ කිසිදා අග හිඟයකට පත් නොවේ. ඉතාම නරක කල දසාවකදී වුවත් ඔබට වුවමනා සියලු දේ ලබා ගැනීමට කෙසේ හෝ මඟ පෑදේ. ඔබ මවක නම් ඔබේ දරුවන්ට කිසිදා කුසගින්න පීඩාවක් බවට පත් නොවේ.

දසන් දක්වා පුළුල්ව හිනැහෙන විට ඔබේ ශරීර මාංශ චලනය වේ. අධික දුක හා අධික සතුට යන අවස්ථා දෙකෙහිදීම ඔබගේ නෙත් අග තෙත් වේ. එහෙත් ඔබට සියල්ල ඉක්මනින් අමතක වන හෙයින් ඉතා වේගයෙන් යථා තත්ත්වයට පත් වේ.

බර අඩි තබා ගමනේ යන ඔබට බොහෝ විට හිමි වන්නේ ඇත් ගමනකි. ප්‍රිය සම්භාෂණ, සමිති සමාගම්, යනාදියෙහි උසස් තැනත් හිමි වේ. රැකියාවක නියුතු කාන්තාවක් නම් විධායක ශ්‍රේණියේ තනතුරු නිතැනින්ම හිමි වේ. අන් අයට අවවාද අනුශාසනා පැවැත්වීමට ද මැය සතු දක්ෂතාව කැපී පෙනේ.

දරු සම්පත් බහුල කාන්තාවකි. එමෙන්ම දාරක ස්නේහය පිරි දයාබර මවකි. තමාගේ දරුවන්ට මෙන්ම අන් දරුවන්ට ආදරණීය වේ. පරිත්‍යාගශීලීවන අතරම තමා වෙත තෑගි බෝග ලැබීම සම්බන්ධයෙන් ද තුටු පහටු වේ.

අරලිය, වතු සුදු ආදී මල් වර්ගද , හිම තලාවක් ද සිහිනෙන් දකී. නිදන විට ගෙරවීම ඔබ සතු තවත් දුබලකමකි. මැදිවියට එළඹීමත් සමඟම ඔබ වඩාත් තලතුනා පෙනුමක් ආරූඪ කර ගන්නා අතර ලිංගික ජීවිතය පිළිකෙව් කරන්නට ගනී. විවාහ සංස්ථාවේ පැවැත්මට මෙය තරමක බාධාවකි.

ඔබ සතු ‍ලොකුම දුබලකම වන්නේ සිත මිස කය නැති බඹලොවක හෝ ‍මේ කාම ලෝකයේ ජීවත්වන්නට උත්සාහ දැරීමය. කෙසේ නමුත් කටක රාශියේ සඳු සිටියදී උපන් කත සමාජ ගෞරවය දිනා ගන්නා, බොහෝ පරිවාර සම්පත්තිය ඇති වාසනාවන්ත තැනැත්තියකි.

Comments