
තිරිවානා ගල් වූ නිල් මැණික්
සිරිපා අඩවිය මැණික් ආකරයකි. නමුත් ඒ පින් බිමෙන් මැණික් ගරා ප්‍රයෝජනය ගැනීමට පින් තිබිය යුතුය. මැණික් ගරන්න යන හැමෝටම මැණික් නොලැබේ. සමහරුන්ට දින හතකට වඩා සිටීමට ඉඩ නොදී ආපසු ඒමට කරුණු කාරණා යෙදේ. සමහරුන්ට ලැබෙන මැණික් සිරිපා හිමයෙන් පිට වන විට තිරිවාන ගල් බවට පත් වේ. මේ එවැනි අත්දැකීමකට මුහුණ දුන් අයෙකු වූ සෝමපාල වෙදගෙදර වෙදමහතා කී කතාවකි.
පස් දෙනෙකුගෙන් යුත් නඩයක් සිරිපා අඩවියෙහි මැණික් ගැරීමට ගියේය. දවස් දහයකට සෑහෙනසේ ආහාර බඩු මුට්ටු පොදි බැඳගෙන රාත්‍රී කාලයේ එරත්නෙන් පිට වූයේ මිනිසුන්ට හමුවන නිසාය.
එළිය වැටෙන්නට පෙර තේ වත්තේ අම්බලමට ගිය ඔවුහු එළිය වැටෙන තෙක් සිටියේ එතැනින් එහා යෑමට ඇත්තේ අලි කොටි සිටින වනයක් නිසාය. එහිදී උදේ ආහාරය ලෙසට රොටී පුච්චාගෙන අනුභව කළ ඔවුහු ගමන ආරම්භ කළහ. දහවල් වන විට සීත ගඟුලත් හැරමිටිපානත් අතර දොළ පාරක් වෙත ළඟා වූහ.
දොළ ඉස්මත්තට ගිය ඔවුන්ට සාමාන්‍යයෙන් වතුර සහිත දෙණියක් හමු විය. මෙම දෙණියේ පතල් කැපීමට තීරණය කළ පිරිස උස් ගොඩැල්ලක වාඩිය තනා ගත්හ.
වාඩිය සාදා අවට පිරිසුදු කර සීතල අධික බැවින් බිම නිදා ගැනීමට අපහසු නිසා මැස්සක් තනා ගත්තේ ලී කෝටු උපයෝගී කරගෙනය.
ඔවුන්ගේ මුල් දවස වාඩිය සෑදීම සඳහා ගත විය. පසුවදා වාඩියට පේන දුරින් පතලක් කැපුවේ සමන් දෙවියන්ට බාරයක් ද වෙමිනි.
පතල අඩි තුනක් පමණ හාරද්දි ඉල්ලම හමු විය. වතුර ඉසිමින් හෑරුව වළේ ඉල්ලම් කැඩීමට සූදානම් වන විට ක්ෂණයකින් වළ වතුරින් පිරී යයි. නැවත නොකඩවා වතුර ඉස වළ හිස් කර ඉල්ලම කැඩීමට සූදානම් වන විටම වළ වතුරින් පිරී යයි.
එතැන වතුර උල්පත සැර වැඩි නිසා ඔව්හු එම පතල අත හැර වෙනත් තැනක පතලක් කැපීමට පටන් ගත්හ. එම පතලද හාරා ඉල්ලම කැඩීමට සූදානම් වෙද්දී වතුරින් වළ පිරී යන්නට විය. දවස පුරා උත්සාහ කළද වතුර හිස් කර ඉල්ලම කැඩීමට නොහැකි විය.
මෙසේ දින හයක් තිස්සේ පතල් තුනක් කපා ඉල්ලම් කැඩීමට නොහැකිව හෙම්බත්ව සිටි නඩය කුමක් කරන්නදැයි කතිකා කරන්නට විය. රාත්‍රී ආහාරය ගෙන මැස්සට ගොඩවී සීතලට ඔරොත්තු දෙන සේ රෙදි පොරවා මේ වතුර ගැන කතා කරමින් නින්ද එන තෙක් සිටින්නේ ගිනි මැළය නිවෙන්නට නොදී අවුළුවමින්ය.
හත් වැනි දිනට ද එළිය වැටිණ. ඔවුන් කතිකා කර ගත්තේ වතුර තිබියදීම ඉල්ලම හාරා ගොඩට දැමීමටය. උදේ ආහාරය සප්පායම් වූ ඔවුන් පතලට බැස ඉල්ලම ගොඩ දමන්නට වූයේ කට මට්ටමට වතුර තිබෙන පතලට බසිමින්ය. එකිනෙකා මාරුවෙන් මාරුවට ඉල්ලම් ගොඩගත්හ.
උදේ වරුවේ ගොඩ ගත් ඉල්ලම් නාම්ඹු දෙකකට සෑහෙන්න තිබුණි. එම ඉල්ලම් ටික සේදුවේ දෙවියන්ට වූ බාරය සිහි කරමින්. එසේ ගැරූ නම්ඹු දෙකේ නිල් මැණික් කැට හතරක් තිබුණි. එයින් සතුටු වූ ඔවුන් වාඩියට ආවේ ඒ ලෙසට හෙටත් ඉල්ලම් ගොඩ දැමීමට කතා කරමින්ය. වාඩියට විත් උදේ උයා තිබූ බත් මුට්ටිය දුටු ඔවුන්ට දෙවියන් සිහි විය. බත් මුට්ටියේ පණුවන්ය. වෑංජන ඇතිළියේ ද පණුවන්ය. තවත් එහි සිටීමට බැරි බව දැන ගත් ඔවුහු ඉතිරි බඩු මුට්ටු පොදි බැඳ ගම් බලා පිටත් වූහ.
යාන්තම් ඇඳිරි වැටීගෙන එන විට තේ වත්තේ අම්බලමට පැමිණි ඔවුහු රාත්‍රී ආහාරය සප්පායම් වී හිමිදිරියේ ම එරත්තට පැමිණ මුල්ම බසයෙන් ගමට ගියහ. ඔවුන් වතුර බෝතලයක දමා ගෙන ගෙනා මැණික් ගල් හතර එළියට ගත්තේ අලෙවි කිරීමට ගෙන යෑමටය.
පතලයෙන් ගරා ගත් නිල් මැණික් ගල් හතර පතල් නඩේ පස් දෙනා ඉදිරියේම බෝතලයට දමා තිබුණි. දැන් ඒවා සුදු තිරිවාන ගල් බවට පත්වෙලාය.
නිල් පාට වෙනුවට බොර පාට වී තිබුණ ද ගල්වල හැඩය වෙනස් වී නොතිබුනි. පතල් නඩය සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගෙන කියා තිබුණේ ඒ ඉල්ලමේ තිබූ මැණික්වල හැටියට මෙසේ තිරිවාන ගල් නොවුණා නම් සිරිපා අඩවිය අනෙක් පැත්ත පෙරළෙන බවය.
ඉල්ලමට ළං වූ සුදු හැඳි කත
සිරිපා සමයේ නොව අවාරයට රහසිගතව නඩ දහයක් පහළොවක් සිරිපා අඩවියේ තැන තැන මැණික් ගරති. එම නඩ අතරින් මැණික් ලැබී ඒවා අලෙවි කර ගැනීමට ලැබෙන්නේ කිහිප දෙනෙකුට පමණි. සමහරුන්ට මැණික් ගැරීමට බාධා පැමිණේ. එවිට ආපසු ගම් බලා එති. ඇතැම් පතල් නඩ ගුප්ත බලවේගයන්ට බිය වී කැලයේ නොසිට ගම් බලා පැමිණෙති. මේ එසේ ගුප්ත බලවේගයකට බිය වී පැමිණි නඩයක් ගැන කියන කතාවකි.
රාත්‍රී කාලයේ එරත්න හංදිය පසු කිරීම කළ යුතුව තිබුණේ එහි මිනිසුන්ට ඇස නොගැසී ගමන යෑමටය. එනිසා පිරිස් වෑන් රථයකින් රාත්‍රී කාලයේ එරත්න පසු කර ටික දුරක් වෑන් රථයෙන් ගමන් කර එළිය වැටෙන විට තේ වත්තේ අම්බලමට ගොඩ විය. උදේ ආහාරය එහිදී සකස් කර ගත් ඔවුහු හිමිදිරියේ ම තේ වත්තෙන් ගමන අරඹා සීත ගඟුළට පිවිස සීත ගඟුළ දිගේ හිමයට පිවිසුණහ.
සීත ගඟුලේ සිට කි.මී. තුනක් පමණ ගොස් තැනිතලා දෙණියකට පිවිසුණු ඔවුහු එම දෙණියේ පතල් කැපීමට තීරණය කර වාඩියක් ඉදිකිරීමට පටන් ගත්හ.
දවස පුරා වාඩිය තනා ගිනිමැළයට අවශ්‍ය දර එකතු කර රාත්‍රි ආහාරය ගෙන විනෝද කතාවෙන් රාත්‍රිය ගත කළේ නින්දක් ද නොමැතිවය. කිසිම බාධාවකින් තොරව රාත්‍රිය පසුකළ ඔවුන් පසුවදා වාඩියට නොදුරුව පතලක් කපා ඉල්ලම ගොඩ දැමුවේ එතරම් ගැඹුරක් නොමැති බැවිනි.
ඉල්ලම ගොඩ දමා පසුවදා ගැරීමට අදහස් කළ ඔවුහු එදිනම වැඩ නිමා කර වාඩියට ගියේ දිය නෑමට නොහැකි තරමට සීතල තිබූ බැවින් යාන්තමට දොළ පහරින් අත පය සෝදාගෙනය. ඔවුහු රාත්‍රී ආහාර සකස් කිරීමට සූදානම්ව තේ කහට බොමින් වාඩිය ඉදිරියේ වාඩි වී පතල දෙස බලා කතා කරමින් සිටියහ.
එවිට එක් අයෙකු දුටුවේ සුදු සාරියක් හැඳගත් කාන්තාවක් පතලය ළඟට විත් ඉල්ලම් ගොඩ දෙස බලා සිටින බවයි. ඔවුන් එකිනෙකා ඒ දෙස බලා කතා කර ගත නොහැකිව ගල් ගැසී සිටියදී එම කාන්තාව දොළ දිගේ උඩු අතට යන්නට ගියාය.
ඇගේ දිගු කොණ්ඩය දණහිසෙන් පහළට වැටී තිබුණි. කාන්තාව ලාලිත ගමනින් ගමන් කරන දෙස පතල් නඩය විමතියෙන් බලා සිටියේය. ක්රීං ක්රීං ගා හඬ නඟන රැහැයියන්ගේ නාදය ඔවුන්ගේ බිය තවත් වැඩි කළේය. එවෙලේ ගමන් කිරීමට හැකියාව තිබුණා නම් සිරිපා අඩවියෙන් එළියට බසින්නේ තවත් එහි රැඳීමට හිත් නොදෙන නිසාය.
රාත්‍රී ආහාරය සකස් කිරීමටවත් හිතක් නොමැති වූ ඔවුහු ගොළුවා තිත්ත බෙහෙත් බීවා සේ මුහුණ අඳුරු කර ගෙන ගිනි මැලය වටා වාඩි වී කල්පනා කරන්නට වූහ. රාත්‍රිය නිදි නැතිව ගෙවීමට ඔවුන්ට සිදු වූයේ විටින් විට ඇසෙන්නට වූ බියකරු හඬ නිසාය.
තොරතෝංචියක් නැතිව උලමා හඬන ශබ්දය වාඩියට උඩු පැත්තෙන් ඇසෙන්නට විය. ඒ හඬ ඇසෙන ඕනම අයෙක් බියෙන් වෙවුලා යන්නේය. ඒ අතර කොටියා ගොරවන හඬ වාඩිය කිට්ටුවම ඇසිණි. මේ හඬ අසමින් නිරාහාරව එළිවන තුරු සරුවට ගිනි මැළය අවුළුවාගෙන දෙවියන්ට කන්නලව් කරමින් ඔවුහු රාත්‍රිය ගත කළහ.
වටින් පිටින් එළිය වැටීගෙන එද්දී ඔවුන්ගේ හිතේ පැළපදියම් වී තිබූ බිය ටිකෙන් ටික පහ වන්නට විය. ඔවුන් වචනයක් දෙකක් කතා කරන්නට පටන් ගත්තේ එවිටය. එතෙක් කිසිවෙක්වත් කතා නොකළහ. හොඳට එළිය වැටුණාට පසු රොටී පුච්චාගෙන උදේ ආහාරයට ගත් ඔවුහු මැණික් ගැරීම එතැනින් නිමා කොට ගෙන ගිය බඩුමුට්ටු පොදි බැඳගෙන වාඩි ගලවා ආපසු ගම බලා පැමිණියහ.