මම ඊර්ෂ්‍යා­කා­ර­යෙක් ඔයා ඒක දැන­ගෙන ඉන්න එක හොඳයි | සිළුමිණ

මම ඊර්ෂ්‍යා­කා­ර­යෙක් ඔයා ඒක දැන­ගෙන ඉන්න එක හොඳයි

රාජඍෂි ආලින්දයට ගියේ තමා අසලක සිටින බව නොදුටුවා සේ වීම රෝජා සඳපාණිට පුදුමයක් වූයේ නැත. බන්දුල ඔහු පිටුපසින් ගොස් යළිත් ආපසු ආවේ තරුණිය දෙස ඕනෑකමින් බලමිනි. තරුණ යුවළ අතර කිසියම් අමනාපයක් හට ගෙන ඇතැයි ඔහු සිතුවේ සිහින් සිනාවක් මුවඟ ඇතිවය. තරුණිය සේවක තරුණයාගේ සිනාව දුටුවේ නැත.

බන්දුල වේලාව බැලුවේය. හෝරා විනාඩි කටු තවමත් නමය පසු කර නැත. බන්දුල දන්න තරමින් පුරුද්දක් ලෙස රාජඍෂි ආහාර ගන්නේ නමය පසු වූ විටය.

රූපවාහිනියේ හඬ අඩු කළ රෝජා සඳපාණි බන්දුල දෙස ඕනෑකමින් බැලුවාය.

“මැඩම් පුංචි සර් තාම කෑම කාලත් නැහැ. මං කෑමට එන්න කිව්වම මට බැන්නා. පුංචි තරහක් හිතේ තියෙනවා වගේ. මැඩම් කතා කළොත් කෑමට ඒවි. නේද?”

තරුණිය බන්දුලට පිළිතුරු දුන්නේ නැත. සේවක තරුණයා තරුණ සිත නිසා ම තරුණ යුවළගේ විරසකය කුමක් නිසා ඇති වී දැයි නැවතත් සිතන්නට විය.

ඔහු නොපෙනී ගිය පසු තරුණිය නැගිට ආලින්දයට පියවර මැන්නාය. රාජඍෂි පහසු අසුනක වැතිරුණ ඉරියව්වෙන් දෙඅත් ළය හරහා බැඳ මිදුල දෙස බලාගෙන කල්පනාවකය.

“රාජඍෂි අයිය එන්න කෑම කන්න.”

තරුණිය ආයාචනා ස්වරයෙන් ඉල්ලා සිටියාය. හිස හරවා ඇය දෙස වරක් බැලුවද ඇගේ ආයාචනය කෙරෙහි ඔහු සැලකිල්ලක් දැක්වූයේ නැත.

“ආඩම්බර නැතුව එන්න කෑම කන්න.”

තරුණිය නැවතත් ඇරියුම් කළාය.

“ආඩම්බර නැතුව?”

“ඔව්”

“බන්දුලට කිව්ව කතාව තමා ඔයාට කියන්න තියෙන්නෙත්”

“මොකක්ද ඒ?”

“මං කෑමකට ආවා නෙමේ.”

“රාජඍෂි අයියා, මේකට මං සම්බන්ධ තාත්තා නිසා. මගෙ තාත්තාට ඕනැ වුණා නරේන් මාමා මුණ ගැහෙන්න. රුක්නාද් ගෙ පණිවිඩේකට. නරේන් මාමා කියලා එළියට ගිහින් කෑම කමු කියලත්.”

රාජඍෂි රෝජා සඳපාණිට බාධා කරන්නට විය. මේ භෝජන සංග්‍රහ තමාට අවශ්‍ය නැතැයි ඔහු කීවේ අසතුට සඟවා නොගෙනය.

“රාජඍෂි අයියා; තාත්තා කිව්වා නරේන් මාමලාට කරදර නොකර අපි කෑම හදාගෙන යමු කියලා. මාමා ඒ ගැන දන්නෙ නැහැ අපි එනකන්ම.”

“රෝජා මට ඔය කතාවලින් පලක් නෑ.”

“ඔය තරම් අහංකාර වෙන්න එපා රාජඍෂි අයියා. අපිට දුක හිතෙනවා.”

“කවුද අපි?”

“තාත්තා නිතර ම ඔයා ගැන අහනවා.”

“කැමති දෙයක් කියන්න ඉතින්.”

“හරි මං කැමති දෙයක් කියන්නම්. දැන් එන්න.”

තරුණිය තරුණයා වෙතට දකුණත පෑවේ ඔහු නැගිටුවා ගෙන හෝ මේසයට කැඳවා ගෙන යෑමටය. රාජඍෂි ඇයට අත දුන්නේ නැත.

“මේ පුටුවෙන් ඉඳ ගන්න.”

ඔහු සමීපයේ පුටුවක් පාමින් ඇයට කීවේ නියෝග හඬකිනි. ඇය වහා ඔහුට අවනත වූවාය.

“රෝජා අපි හැමෝම මිනිස්සු. අපි ගෞරවයට කැමතියි. හිඟන්නෙකුට වුණත් යමක් දෙන කොට ගෞරවයක් ඇතිව දෙන්න ඕන. අගු පිළක ඉඳන් කෑවත් රජ මේසෙක වාඩිවෙලා කෑවත් ඒකයි මනුෂ්‍යකමේ සත්‍යය.”

තරුණියට තරුණයා කියන්නේ කුමක්දැයි අදහාගත නොහැකි විය. ඔහු කතා කරන්නේ කිසියම් වේදනාබර හඬකිනි. මෙතරම් අමනාපයකින් කතා කරන්නට ඔහුට කිසිවෙක් කළ වරද කුමක් ද?

“රාජඍෂි, ඔයා මොනවා කියනවද මට තේරෙන්නෙ නැහැ. මොකක්ද මගෙන් ඔයාට වුණ වැරැද්ද?”

“ඒ ගැන දැන් කතා කරන්න මං කැමති නැහැ. දැනට මේ ටික මතක තියා ගන්න. මූණ කිලුටු කරගෙන නොදී බැරිකමට, ඕනෑවට එපාවට, බත් කටක් දෙන එක හිඟන්නෙකුට වුණත් දරා ගන්න බැහැ. අසරණකමට කයි. ඒත් හිත?”

“මොනවද මේ කියන්නෙ?”

තරුණිය ඇසුවේ සෝබර කලබලයකිනි.

“මේ ඔයාලගෙ මහගෙදර. මාමගෙ ගෙදර. මේ ගෙදරට ඔයා හිඟන්නෙක් ද? සාධාරණ හේතු නැතුව කෙනෙකුගෙ හිතට දුක් දෙන්න එපා. පව් නේද?”

තරුණිය කීවේ රාජඍෂි තුළ කුණාටුවක් මවමිනි. කුණාටුවේ දෝංකාරය ඇයසිතට දැනෙනවාට රාජඍෂි බිය විය. ඇය තමාගෙන් පිළිතුරු අපේක්ෂා කරන බව ඔහුට පෙනිණ.

“සමාවෙන්න රෝජා. ඔයාගෙ තාත්තා නරේන් මාමා මුණ ගැහෙන්න ආවෙ රුක්නාද් මන්ත්‍රීතුමාගෙ පණිවිඩයක් අරන් කියලා දැන් ඔයා කිව්වනෙ. මට ඒක අමතක වුණා. සමාවෙන්න.”

තරුණියට තරුණයාගේ සිත් පත්ල ස්පර්ශ කර බැලීමේ ස්ත්‍රී ඤාණය තිබිණි. ඔහුට රුක්නාද්ගේ පණිවිඩ කතාව අමතක වූයේ නැත. අමතක කර දැමුවේ ඕනෑ කමිනි.

“ඊර්ෂ්‍යාකාරයා”

ඇය කීවේ ඔහුට ඇසෙන නෑසෙන තරමේ සෙමෙනි. ඇගේ ස්ත්‍රී සිතෙහි සොඳුරු හාවභාව හුරතලය කල්යල් බලමින් සිට අවදි විය. ඉනික්බිති මේ ඊර්ෂ්‍යාකාරයා තමාට කුමන පිළිතුරක් දේ දැයි ඇය විමසිලිමත් වූවාය. ඔහු මුව විවර කළේ යමක් කියන්නට වුවද වෙනත් මඟකට අවතීර්ණ වූවා සේ එකවරම නිහඩ විය.

“මොකක්ද ඔයා කියන්න හැදුවෙ?”

ඇය ඇසුවේ ඔහු දෙන පිළිතුර පිළිබඳ හැඟීමක් නැතුවම නොවේ. මනෝහාරි පවසන පරිදි තවත් නරේන් කෙනෙකු රාජඍෂි තුළින් බිහිවීමට ඉඩ නොදිය යුතුය.

“මොකක්ද ඔයා කියන්න හැදුවෙ?”

“ඔව් රෝජා ඔයා හරි. මං ඊර්ෂ්‍යාකාරයෙක්. ඔයා ඒක දැන ගෙන ඉන්න එක හොඳයි.”

තරුණිය හිස සැලුවාය. ඇය පුටුවෙන් නැගිට මිදුලට බැස්සේ මඳහසක් දෙතොලෙහි ඇතිවය. මොහොතකට පෙර වට වර්ෂාවෙන් මහ පොළොව තෙත් වී ඇත. තණපත් වැලි කැට මත පතිත තෙත, දෙපතුල් සීතල කළද සේදී පිරිසුදුව තිබුණ තණපත් ඇගේ දෙපතුල් කිලිටි කළේ නැත.

“මේ හරියට සර්පයො ඇදෙනවද?”

ඇය ආපසු හැරී බලා ඇසුවාය. මේ භූමියේ සිටින එකම විෂ දළ ඇති සර්පයා න‍ෙර්න් මාමා යැයි කීමට තරම් මාමා කෙරෙහි බිඳුණු සිතකින් සිටි රාජඍෂි ඇයට පිළිතුරක් දුන්නේ නැත.

මෙතෙක් මේ නිවෙසේ පැවති කුඩා ප්‍රියසාද හමුවීම්වලදී රවිහාරි මනෝහාරි අක්කලා සහ තමා අනිවාර්යයෙන් ම ඊට සහභාගී විය යුත්තන් යැයි නරේන් මාමාගේ නියෝගයක් විය. එම නියෝගයට නතු නොවූ මෙ පුවත අසන සොහොයුරියන් දෙදෙනා නොසතුටට පත්වීම නියතය. රෝජා සඳපාණි කෙරෙහි ද තරහක් ඇති කර ගන්නවාට සැකයක් නැත.

ඉහ නිකට පැසුණු බුද්ධිමතුන්ගේ ජීවිත දැක්ම ව්‍යාකූල නම් තරුණ සිත් ගැන කුමක් කියන්නද?

“එක අතකට අපේ අම්මා කියන කතාව ඇත්ත. මෙයාට පිස්සු. ලජ්ජත් හිතෙනවා. අපිට කතා කරන්න ඕන රෝජාවත් නේෂන් දොස්තර මහත්තයාවත් නෙමේ අපේ නරේන් මාමා. මේ සිද්ධිය දැන ගත්තම අපේ යාළුකම්වලට නපුරු සර්පයෙක් දෂ්ඨ කළා වගේ වෙයි.”

රාජඍෂිගේ සිතින් නරේන්ද්‍ර පිළිබද නොසතුට මැකී ගියේ තරුණියගේ සක්මන කෙරෙහි සිත ඇදී යෑමත් සමඟය.

ඇය පිළිබඳව තම සිත උපත ලබන සොඳුරු සිතුවිලි ආශ්වාදජනකය. සුන්දර සඳපාණි සඳපහන් පැතිර ඇති මඳ අඳුරෙහි මිහිරියාවෙන් ‍මත්ව, ප්‍රේමයේ මුලකුරු සද්ගායනා කරමින් තණපත් මත දෙපය තබන්නීය.

චන්ද්‍රකාන්තිය හා ප්‍රේමය අතර ඇති සුබැඳියාව මිනිස් සිත උමතු කරවන්නට තරම් වීමේ අරුමයක් නැතැයි ඔහු සිතුවේය.

තමා ආහාර නොගන්නේ ඇයට විරුද්ධවීමට හෝ රිදවීමට නොව නරේන්මාමාගේ දුර නොපෙනෙන සිතට එරෙහිව යැයි තරුණියට කීමට තවත් කාලය ගත යුතු යැයි ඔහු සිතුවේය.

පුස්තකාලයේ පැවති සංවාදය අවසන් කරමින් නරේන් සහ නේෂන් වෛද්‍යවරයා රෝජාසඳපාණි සොයා මැඳුර ඉදිරිපසට ආවේය.

“රාජඍෂිත් ඇවිල්ලා වගේ.”

රාජඍෂිගේ මෝටර් රථය දුටු නරේන් කීවේ ඔහුටත් ඇසෙන්නටය.

“නරේන් මාමා ලොකු සාකච්ඡාවක කියලා බන්දුල කිව්වා. මං ඉතින් බාධා නොකර මෙහාට වෙලා හිටියා.”

“මොන බාධාවක්ද? රාජඍෂිත් ආවා නම් තරුණ ළමයින්ගෙ අදහස් ගැනත් අපට දැන ගන්න ලැබෙනවනෙ... කොහොමටත් රාජඍෂි රටේ දේශපාලනය ගැන හිතන්න ඕන කාලෙ ඇවිත්. මට හැමදාම මේ මන්ත්‍රිකම කුඩයක් වගේ ඉහළන් ඉන්න බැහැ. අලුත් අතකට හිතකට යන්න ඕන...”

නරේන්ද්‍ර මන්ත්‍රිවරයා නිවැරැදි යයි දනවන බැල්මෙන් නේෂන් වෛද්‍යවරයා අසා සිටියේය.

“රුක්නාද්ගෙ පණිවිඩයක් ගැන රෝජා කිව්වා.”

“ඔව්. රාජඍෂි. සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් බර්ගර් කවුරු වුණත් මේ විදිහට ගියොත් එක එක ජාතියකට නෙමේ සමස්ත රටටම වෙන හානිය තේරුම් ගන්නවා නම් ඒක මිනිස්සුන්ගෙ වාසනාවක්. රුක්නාද්ගෙ පණිවිඩේ ඒක තමා.”

රෝජා සඳපාණි වැඩිහිටි කතා ඇසීමෙන් සක්මන නවතා ඔවුන් ඉදිරියට ආවාය.

“රාජඍෂි පුතා කෑම කාලද?”

නේෂන් ඇසුවේ දියණිය දෙස ද බලමිනි. ඇය නිහඬව සිටියාය.

“ඍෂි කෑම කාලා එන්නකො පොඩි කතාවක් තියෙනවා කියන්න.”

“එපා නරේන් මාමා.”

“මේ ළමයා අපිට කෑම හදාගෙන ඇවිත්. කෑම අහක දාන්න හොඳ නැහැ.”

“නරේන් මාමා මට කන්න කියන්නෙ කෑම අහක දාන්න බැරිකමටද?”

රාජඍෂි ඇසුවේ නුරුස්නා හඬකිනි. නරේන්ද්‍ර තිගැස්සුණේය. ඤාති පුත්‍රයා සිත කෝපයක් ඇත.

සමහරවිට ඒ ඔහුටත් ස‍හෝදරියන් දෙදෙනාටත් පියාගේ සහ දියණියගේ පැමිණීම නොදන්වා සිටීම නිසා යැයි අනුමාන කළ හැක. ඔහුගේ මුහුණේ ප්‍රියමනාප පෙනුම අතුරුදහන් වී ගොස්ය.

“ඩොක්ටර් අපි ළඟදිම දවසක ආයෙත් මුණ ගැහෙමු. ඇත්ත වශයෙන් ම මං නම් කැමතියි රුක්නාද්ගෙ අදහස්වලට. එයාට කියන්න මට ෆෝන් කරන්න කියලා. මං එයා වෙනුවෙන් නෙමේ රට වෙනුවෙන් කරන්න පුළුවන් ඕනෑම යහපත් වැඩකට උදව් කරනවා. මහාජන නියෝජිතයෙකුට සැනසිල්ලෙ මැරන්න පුළුවන් රට වෙනුවෙන් තමන්ගෙ යුතුකම ඉෂ්ඨ කළොත් විතරයි. අපි මහජන දේපළවලින් යැපෙන මිනිස්සු. රටට ජාතියට ණය නොවී මැරෙන දේශපාලනඥයෙක් විතරයි ස්වරග රාජ්‍යයට යන්නෙ. කෙළවර නිවන් දකින්නෙ.”

රාජඍෂි නරේන්ද්‍රට සවන් දුන්නේ සතුටෙන් නොවේ. ඔහුගේ සිතට මේ මොහොතේ රාහුල පැමිණියේය.

“දේශපාලනඥයො බණ කියන්න යන එක සම්පූර්ණයෙන් ම බොරුවක්. පෞද්ගලික වාසි ගන්න අනුන් මුළා කිරීමක්. දැන් දැන් පැවිදි උතුමන්ටත් වැඩිය බැඳීම් තියාගන්න හොඳ නැහැ. බැඳීම් අත අරින්න ඕන කියලා කෑගහන්නෙ දේශපාලනඥයො. කෝටි ගණන් වටිනා ගෙවල් දොරවල් මන්දිරවලින් එළියට බැහැලා, කෝටි ගණන් වටින කාර් එකකින් ඇවිත් බැඳීම් අත් අරින්න කියලා අපිට අවවාද කරන කොට මට නම් කේන්ති යනවා. ඒ කවුරුවත් වාහන ගෙවල් ‍දොරවල් ඉඩකඩම් පදවි තානාන්තර එක්ක තියෙන බැඳීම අත අරිනවද? නෑ... ලංකාව පුරා ගරා වැටුණ පන්සල්වල භික්ෂූණ් වහන්සේ කොච්චර ඉන්නවද? ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ ඔළුවට කඩා වැටෙන පාසල් කොච්චර තියෙනවද? එහෙම නම් ඔය වාහන මාලිගා විකුණලා හරි ඒ යහපත් භික්ෂූන්වහන්සේට ගරා වැටුණ ඉස්කෝලවලට උපකාර කරන්න ඔය බණ කියන දේශපාලනඥයන්ට පුළුවන් වෙන්න ඕන. බුදු බණත් තමන්ගෙ වාසියට. වෙළෙඳාමක්. දේශපාලන අවශ්‍යතාවක්.”

එසේ කියන රාහුල යහපත් බෞද්ධයෙකි. ඔහුගේ බෞද්ධකම දෙමවුපියන් බෞද්ධ නිසා ලැබුණ දෙයකට වඩා ධර්ම දැනුම තුළින් බෞද්ධයෙකු වීමෙන් ලැබෙන විට ධර්මයේ නිර්මලත්වය වඩ වඩා දැනෙන්නට පටන් ගෙන ඇත. සත්‍ය වශයෙන් ම රාහුලගේ බෞද්ධ ප්‍රතිපත්ති නරේන්ද්‍ර මාමාගේ ආත්මාර්ථකාමී බුද්ධාගම්කාරකමට වඩා ඉහළ තලයක රැඳී ඇති බව රාජඍෂිගේ විශ්වාසයයි.

        

Comments