බැස්ටි­යන් මාමා‍ෙග් කිහිල්ලේ රහස | සිළුමිණ

බැස්ටි­යන් මාමා‍ෙග් කිහිල්ලේ රහස

1947 වර්ෂයේ බදුල්ල නගරයට නුදුරු කණපැලැල්ල නම් ග්‍රාමයේ ජීවත්වුණු බැස්ටියන් මාමා ප්‍රසිද්ධ පෙදරේරුවෙකි. මනා කාය බල ශක්තියකින් යුත් ඔහු යෝධයකු මෙන් උස මහත ය. බැලූ බැල්මට රෞද්‍ර පෙනුමකින් යුක්ත වුව ද ඔහු ඉතා අහිංසක ය. කරුණාවන්තය. බැස්ටියන් මාමා දිනපතා මේසන් වැඩට යන්නේත්, එන්නේත් බයිසිකලයෙනි. හවසට වැඩ ඇරී නිවෙස බලා යෑමට පෙර ඇගේ පතේ අමාරුවට හීන් අඩියක් ගැසීම ඔහුගේ දෛනික පුරුද්ද විය.

එකල අද මෙන් බදුල්ල නගරයේ තැන තැන ‘වයින් ස්ටෝස්’ හෝ ‘ලිකර් ෂොප්’ නොතිබිණි. අරක්කු තැබෑරුම හැරුණු විට මුළු නගරයටම තිබුණේ බාර් දෙක තුනක් පමණි. විහාරගොඩ ඌව හෝටලයේ අරක්කු බාර් එක ගෙදර යන ගමන් ෂොට් එකක් දාගෙන යන අයට එදා තිබුණු ප්‍රසිද්ධ ස්ථානය විය. සුපුරුදු පරිදි බැස්ටියන් මාමා ද එදින හවස ගෙදර යන ගමන් බයිසිකලය හෝටලය ඉදිරිපිට නවතා බාර් එකට ගොඩ වැදුණේ දෙකක් දාගන්නට සිතාගෙන ය.

බාර් එක තිබුණේ හෝටලයේ වෙනම කාමරයක මහ පාරට මුහුණලා ය. එය ඉතා කුඩා ප්‍රමාණයේ කාමරයකි. ඊට ඇතුළුවන ස්ථානයේ දොර අසල මිනිසෙකුගේ සාමාන්‍ය උසට ඉදි කැරුණු බාර් එක ය. ඒ මත දෙපැත්තේ අරක්කු ‍බෝතල් පෙළට අසුරා තිබිණි. බොන්න එන අය තමන්ට අවශ්‍ය ‘ඩ්‍රෑම්ස්’ ප්‍රමාණය ඕඩර් කර මුදල් ගෙවූ පසු බාර් කීපර් අදාළ ප්‍රමාණය මැන වීදුරුවකට වක්කර දෙන්නේ ය. එය අතට ගන්නා බොහෝ දෙනෙක් එහි හිටගෙනම අරක්කු වීදුරුව හුස්මට දෙකට පානය කර මුහුණු ඇඹුල් කරගෙන වහා එතනින් මාරුවීම සිරිතක් කරගෙන සිටියහ.

බැස්ටියන් මාමා ද අදාළ මුදල ගෙවා ඩ්‍රෑම්ස් දෙකක් ම ඕඩර් කළේ ය. ඒ මොහොතේ ම බැස්ටියන් මාමා ගැන යම් රහසක් දන්නා ගමේ හිතවතෙක් පැමිණ ඔහු ළඟින් ම සිටගත්තේ ය.

“ආ... බැස්ටියන් මාමේ. මේ ගෙදර යන ගමන් ද?” යැයි අසමින් ඔහු බැස්ටියන් මාමාගේ කිහිල්ල ප්‍රදේශයට දඹරැගිල්ල දිගු කළේ ය. හුදු හෙළයෙන් ඔහුගේ මව සිහිපත් කරමින් ඔහුට බැණ වැදුණු බැස්ටියන් මාමා විදුලි වේගයෙන් අත් දෙක දෙපසට ගැසුවේය. බාර් එක මත දෙපස අසුරා තිබූ අරක්කු බෝතල් සීසී කඩව විසිරී ගොස් පෙරළී බිම වැටී බිඳී ගියේ ය.

බැස්ටියන් මාමාගේ මේ උපන්ගෙයි කිතියෙහි රහස දැන සිටි ගමේ හිතවතාට ඕනෑ කළේ පොඩි විහිළුවක් කරන්නට ය. එහෙත් විහිළුව දැන් දුර දිග ගොස් ඇති බව දැනගත් ඇඟිල්ලෙන් ඇන්න එම පුද්ගලයා මෙම සිද්ධිය නිසා බියට පත් විය. ඔහු වහා එම ස්ථානයෙන් අඩියට දෙකට පලා ගියේ ය.

බැස්ටියන් මාමා ගැන නොදන්න බාර් කීපර්ට හොඳටම කේන්ති ගොස් අලාබය ඉල්ලීය. බැස්ටියන් මාමා අත අලාබය ගෙවීමට මුදල් නොමැතිකමින් සිද්ධිය පොලිසියටත් එතැනින් උසාවියටත් ගියේ ය.

දින කිහිපයකට පසු බැස්ටියන් මාමාට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ලිපියක් ලැබිණි.

ඉතා දිළිඳු අයෙකු වූ බැස්ටියන් මාමා නගරයේ සිටි ප්‍රසිද්ධ නීතිඥ මහතෙකු හමුවී තමන්ට සිදුවූ ඇබැද්දිය ගැන කියා තමන්ට පිහිටක් වන ලෙස ඉල්ලා සිටියේ ය. බැස්ටියන් මාමා හොඳ මේසන් බාස් කෙනෙකු බවත් ඔහු අහිංසක පුද්ගලයෙකු බවත් ඔහුගේ වත ගොත හොඳ හැටි දැන සිටි නීතිඥවරයා නඩුව විභාග කෙරෙන දින උදෑසන තමා හමුවන්නට එන ලෙස ඔහුට දැන්වීය‍.

නීති තර්ක මැද බැස්ටියන් මාමාගේ අලාබ අය කර ගැනීමේ වන්දි නඩුව සුදු ජාතික විනිසුරුවරයකු ඉදිරියේ විභාග කෙරිණි. දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ගේ වාද විවාද උණුසුම් විය. බැස්ටියන් මාමා විත්ති කූඩුවේ සිටගෙන අන්දමන්ද වූ ලෙස බලා සිටියේ ය.

හදිසියේ ම පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විත්තිකරු දෙස බලා “තමා එ් අවස්ථාවේ අරක්කු බී සිටියා නේද?” යනුවෙන් තර්ජනාත්මක ස්වරූපයෙන් ප්‍රශ්න කෙළේ ය. මින් භීතියටත් ලැජ්ජාවටත් පත් බැස්ටියන් මාමාට දෙලොව සිහිවිය.

මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා නැඟී සිට විනිසුරුවරයාට කරුණු පැහැදිලි කරමින් (ඉංග්‍රීසි බසින්) එදා සිදුවූ දේ සවිස්තරව පැවසීය.

සාවධානව සියල්ල අසා සිටි විනිසුරුවරයා විත්තිකරු දෙස එක එල්ලේ මොහොතක් බලා සිට නඩු විභාගය විනාඩි 15 කට කල් දමා විනිසුරු අසුනින් නැගිට සිය නිල කාමරය වෙත ගියේ ය.

අනතුරුව තෝල්ක මුදලි නිල කාමරයට කැඳවූ විනිසුරුවරයා යම් උපදෙසක් ලබාදුන්නේ ය. විනාඩි 15 කට පසු නඩු විභාගය යළි ඇරැඹිණි.‍ ඒ අතර විනිසුරු තුමා හදිසියේ ම මෙම විත්තිකරුගෙන් පැනයක් විමසීය.

විනිසුරුතුමා ඉංග්‍රීසි බසින් ඇසූ එම පැනය සිංහලට පරිවර්තනය කරමින් විත්තිකූඩුව ඉදිරිපිට සිටගත් තෝල්කමුදලි,

“තමුන් චෝදනාවට වරද කරුද? නැද්ද?” යැයි අසමින් දඹරැඟිල්ල විත්තිකරුගේ කිහිල්ල දෙසට දිගු කළේ ය. එසැණින් ‘දඩාස්’ ගා නැඟුණු මහ හඬින් උසාවියේ සිටි හැම දෙනා ම කලබලයට පත්වූහ.

විදුලි වේගයෙන් ක්‍රියත්මක වූ විත්තිකරුගේ දකුණු අත තෝල්කමුදලිගේ මුහුණ හරහා එල්ල විය. තෝල්කමුදලි විත්තිකූඩුව ඉදිරිපිට හරහට බිම ඇද වැටිණි.

විත්තිකරුගේ වම් අත එම වේගයෙන් ම විත්තිකූඩුවේ වම්පස ඇන්දේ වැදිණි. එම පහරට විත්තිකරුගේ වම් අතේ වැලිමිටෙන් පහළ කොටස තුවාල වී ලේ ගලන්නට විය. අධිකරණ ශාලාවේ සිටි පිරිස අන්ද මන්දව බලා සිටිති.

බිම වැටී සිටි තෝල්ක මුදලි උසාවියේ පොලිස් සාජන්වරයාගේ සහායෙන් නැගිට ගත්තේ ය.

විත්තිකරුගේ සැබෑ මානසිකත්වය වටහාගත් උගත් විනිසුරුවරයා විත්තිකරුට නගා තිබූ සියලු චෝදනාවලින් ඔහු නිදහස් කොට නඩුව ඉවත දමන බැව් ප්‍රකාශයට පත් කළේ ය. තෝල්ක මුදලි සිනාව මැඬපවත්වා ගනිමින් තමා නිදහස් යැයි විත්තිකරුට පැවැසීය. ඉන් සතුටට පත් විත්තිකරු වම් අතේ ඇවි­‍ෙළන තුවාලයේ වේදනාව දරාගත නොහැකිව අතට බෙහෙත් දාගන්නට රෝහලට ගියේ තමන් රටක් රාජ්‍යයක් දිනාගත් අයෙකු ලෙස මහත් උජාරුවෙන් ය‍.

(මීට වසර 70 කට පමණ පෙර සිදුවූ මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු ලබාදුන් පස්සර ශ්‍රී දේව හිමිපාණන්ට අපගේ ස්තුතිය)

 

Comments