පොරොන්දම් කියන්නේ පට්ටපල් බොරුවක් | සිළුමිණ

පොරොන්දම් කියන්නේ පට්ටපල් බොරුවක්

කළුකුමාර දෝෂය - මල්වර නැකත් -අහිංසකයන් රවටන ජාවාරමක්ද?

ජීවිතයේ විවිධාකාර දුක්පීඩා ගැටලු එන්නේ අප කාටත් කියලා නෙමෙයි. හැබැයි ඒ දේවල් තේරුම් ගැනීමටත් එළැඹි සිහියෙන් මුහුණ දීමටත් දැනුම් තේරුම්කමක් හා ආත්ම ශක්තියක් නැති මිනිසුන් ලෝකයේ කවදත් ජීවත් වුණා. තමන්ට එල්ල වන මුහුණ දෙන ගැටලුවලින් මිදීමට යම් කිසිවකුගේ උදව්වක් සහායක් අවශ්‍යය වෙයි කියලා මේ අය හැමදාවත් හිතුවා.

එවැනි පිරිස් මානසිකව ඉහළින් ඔසවා තබන්නට සංවිධිත ව්‍යුහයක් අප රට තුළ නැති බව කනගාටුවෙන් වුවද කිව යුතුයි. එහෙත් පෞද්ගලික වුවමනාවන් මත ක්‍රියාත්මක සමහර ආයතන නැතුවා ද නොවේ. කොහොම වුණත් ජීවිතයට එල්ල වන ප්‍රශ්න ඇති තැන අවසානයේ අප නානාප්‍රකාර කට්ටඩියන්, පේන කියන්නත්, යන්ත්‍ර මන්ත්‍ර හදි හදි හූනියම් පසු පස දිවගොස් ඔවුන්ව ධන කුවේරයන් බවට පත්කරන්නට ද පෙලඹෙන්නේ කෙසේ හෝ විසඳුමක් සොයන්නයි. කෙසේ හෝ මෙලෙස දුකට පත් මිනිසුන් ගසාකන ජාවාරම් ලොව අනෙක් රටවල මෙන් ම කලින් කලට ලංකාවේ ද ඇතිවී පැතිරී ජනප්‍රසාදයක් ද ලබන බව නොරහසකි. මේ ලිපි පෙළ ඉදිරියේදි එවැනි කූට ජාවාරම්කරුවන්ගේ යථාර්ථය හෙළිකරන්නට මගහසර දක්වයි කියන විශ්වාසයෙන්, ජ්‍යෝතිෂයේ ඇත්ත නැත්ත පිළිබඳ කතාකරන්න අප ආරම්භයේදිම හිතුවා.

පසුගිය කාලවල ජ්‍යෝතිෂය පිළිබඳ විවිධ මතවාද පැතිර යද්දී සැබෑවටම මේ ජ්‍යොතිෂයේ ඇත්ත ගැන ප්‍රවීණ ජ්‍යෙතිර්වේදි ඉන්දික තොටවත්තයන් හා කළ සංලාපයයි මේ.

 මේ ගෙවී යන්නේ වෙසක් මාසේ වුණත් අපි ආපහු හැරෙමු අවුරුදු මාසේට. ඔය අවුරුදු නැකත්වල අවුලක් තියෙනවලු. මීතොටමුල්ලේ හානියටත් ඒක බලපෑවාලු. මොකක්ද මේ අවුල? මේක ලිහාගෙනම අපි කතාවට බහිමු.

ඔබ හොඳ තැනකින් පටන් ගන්නේ. දැන් ඔය නැකත කියලා දෙයක් කියනවා. මොකක්ද නැකත කියන්නේ? නැකත කියන්නේ මම දකින විදිහට එක්තරා අතිරේක සාධකයක්. නැකත වැදගත් වෙනවා කෘෂි කාර්මික කටයුතු වලට. තවත් පැත්තකින් සර්ප විෂ වෙදකමට වගේ එකකදි රෝගියාගේ තත්වය නිර්ණය කරන්න. ඖෂධ භාවිතයේදි අතිරේක ජීව බලයක් එක්කරන්න ඖෂධවලට නැකත වැදගත් වෙනවා. එහෙම නැතිව හැම එකකට ම නැකතක් ඕන නැහැ.

 මම අහන්නේ අවුරුදු නැකත් අවුල මොකක්ද?

දැන් මෙහෙම හිතන්න: අවුරුද්දට නැකත් හදනවා මේක හොඳයි සුභයි කියලා. හැබැයි මම කියන්නේ ඔය නැකත ලංකාවේ කෙනෙකුගේ විපත් නැකත වෙන්න පුළුවන්; එහෙම නැත්නම් වඳ නැකතක් වෙන්නත් පුළුවන්. ඇයි එහෙම වෙන්න බැරිද? මම කියන්නේ මේක පෞද්ගලික එකක් නෙමෙයි. අවුරුදු නැකත හොඳ වුණා කියලා රටට අබමල් රේණුවක විශේෂ සහනයක් වෙන්නේ නැහැ. ඉතාම නරක වෙලාවක මේක සැමරුවා කියලා රටට අල්පෙනෙති තුඩක හානියක් වෙන්නෙත් නැහැ.

 ඔබ මේ කරන්නේ බරපතළ චෝදනාවක්. ඒ වගකීම ඔබ ගන්නවද?

පැහැදිලිවම මම වගකීමෙන් කියන්නේ. දැන් මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා නේ. ඕකටත් අවුරුදු නැකත් බලපෑවා කිව්වනේ. ඒ කියන්නේ කන්ද නායයන්න ග්‍රහයෝ කලින් සෙට්වෙලා ඉඳලා තියෙනවා. එතකොට මම අහන්නේ කොලොම්බියාවේ නාය ගියෙත් නැකත් හදල ද? මේවා ඇත්තම විහිළු! මම කියන්නේ මේ ජෝක් සපයන එකට චූටි මල්ලි පොඩි මල්ලි බන්දු ටෙනී වගේ අය ඉන්නවා. ඒක ඒ අය විද්‍යානුකූලව කරනවා. අපේ ජ්‍යෝතිෂවේදින් ඒ අයගේ ජොබ්එක බාරගන්න එපා. මොකද, එයාලට ඒකවත් හරියට කරන්න බැහැ.

 ඔය නැකත් හදන්නේ රටේ පිළිගත් ජ්‍යෝතිෂ වේදින්නේ...

මෙහෙමයි. මම ඔය නැකත් කමිටුවල නැහැ. ඕවට යන්නෙත් නැහැ. කෙටියෙන් ම කියන්නේ ඔය අවුරුදු නැකත්වල ඇති දෙයක් නැහැ. අලුත් අවුරුද්ද ලබන මොහොත විතරයි ඔතන ජ්‍යොතිෂ කාරණය. අනෙක් දේවල් සංස්කෘතිකයි. ඒවා අපි හදාගත්ත දේවල්. ඒ දේවල් අපි කළත් එකයි නොකළත් එකයි. මේකේ සංස්කෘතික රහක් තියෙනවා. එච්චරයි මම කියන්නේ.

 හරි මෙහෙම දෙයක් හිතමු. අද රට හැම තැන ම ජ්‍යෝතිෂවේදින්. හැබැයි හැමෝම කම්පියුටරයෙන් ගේම ගහනවා කියලයි සමහරු නම් කියන්නේ.

ඇත්තටම කේන්දර සටහනක් හදන්න නිවැරදි පරිගණක මෘදුකාංගයක් භාවිත කිරීම මම පෞද්ගලිකව දකින්නේ ඉතාම හොඳ දෙයක් විදිහට. සාමාන්‍යයෙන් කේන්ද්‍රයක් මනෝමය ගණිතය ඇසුරෙන් හදන්න සාමාන්‍යය කෙනෙකුට පැයක් විතර යනවා. මේ කාර්යබහුල සමාජ ක්‍රමයට කේන්දර දහයක්වත් එහෙම බලන්න බැහැ. ඒ නිසා පරිගණක භාවිතය වැරැද්දක් විදිහට මම දකින්නේ නැහැ.

 දැන් ඔය විදිහට පරිගණකය දන්න ඕන කෙනෙකුට කේන්දර බලන්න පුළුවන්නේ.

මෙහෙමයි. වරදවා වටහාගන්න එපා. මම එහෙම කියන්නේ නැහැ. තමන්ට කේන්දරයක් හදන්න බැරිකමක් තියාගෙන ඔය මෘදුකාංග පාවිච්චි කරනවා නම් එතන ගැටලුවක් තියෙනවානේ. ඉන්දියාව වගේ රටවල මෘදුකාංග විශාල වශයෙන් නිර්මාණය වෙනවා. ඒක හොඳයි. අතින් හදපු කේන්දර බැලුවම සියයට අසූවකට වඩා වැරදියි. ඇත්තටම සමහර කේන්දර හරිම විහිළුයි. ඔය පරිගණක යන්ත්‍රය දන්නේ නැති කුහක පිරිසක් කියනවා පරිගණකය වැරදියි කියලා.

මම අහන්නේ අභ්‍යවකාශයට රොකට් යවන්න කොම්පියුටර් හරිනම් ගුවන් ගමන් පාලනය කරන්න කොම්පියුටර් හරිනම් යුද කටයුතුවලදි මිසයිල යවන්න කොම්පියුටර් හරිනම් කේන්දරේට මේ වැ‍ෙඩ් හරියන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? ඕක කුහකකමට කියන කතාවක්. සම්ප්‍රදාය රැකගන්න සම්ප්‍රදාය අතික්‍රමණය කිරීමයි කළ යුත්තේ. කේන්දරේ කොම්පියුටරයෙන් හැදුවට කමක් නැහැ. හැබැයි පවර්කට් එකක් ආවොත් කේන්දරේ අතින් හදාගන්නත් පුළුවන් වෙන්න ඕන!

 දැන් ඔය පොරොන්දම් ගළපනවනේ. ඔය ගැළපීම් මම අහන්නේ හරියට ම හරිද? මොකද හරියට ගැළපුණ පොරොන්දම් තියෙන පවුල් අවුල් වෙළත් තියෙනවනේ.

මෙහෙමයි. ඔය පොරොන්දම් කියන්නෙ ම පට්ටපල් බොරුවක්. ඒක තනිකරම විහිළුවක්. මෑත කාලයේ ජ්‍යෝතිෂයට පහළවුණු මහා පඬිවරයා ක්‍රිෂ්ණ මූර්ති. එතුමා‍ෙග් හතරවන පොතේ “විවාහය, විවාහ ජීවිතය, දරුඵල” කියන පොතේ ඔය දේ හොඳින් පැහැදිලි කරනවා. පොරොන්දම් කියන්නේ මහා පිස්සුවක්. මම එය දැඩිව ප්‍රතික්ෂේප කරනවා.

දැන් මෙහෙම හිතන්න රුක්ෂ පොරොන්දමෙන් දරු සම්පත බලනවා කියනවා. එහෙම නම් කේන්දර සටහනේ පස්වෙනි කොටවු මකලා දැම්ම නම් ඉවරනේ. පොරොන්දම් මත විවාහය තීරණය වෙන්නේ නැහැ. කේන්දරය කියන්නේ සියුම් පරික්ෂාවක්. පොරොන්දම් කියන්නේ බමුණන්ගේ මනෝ විකාරයක්. ඇත්තට ම පොරොන්දම් කියන්නේ දකුණු ඉන්දියානු දෙමළ ජ්‍යෝතිෂ කුල විසින් හදාගත්ත බරපතළ විෂබීජයක් කියලයි මම දකින්නේ.

 හොඳයි ජ්‍යෝතිෂයේ ජනප්‍රියම කාරණයක්නේ අනාවැකි. ඇත්තටම හදහනෙන් එහෙම අනාවැකි කියන්න පුළුවන්ද?

මම ඔය අනාවැකි කියනදේට වඩා කැමතියි පුරෝකථන කියන එකට. ඒක හරිම විද්‍යානුකුලයි. මෙහෙම හිතන්න කොටස් වෙළෙඳ පොළ ගන්න. මිලංකා මිල දර්ශකය. ආර්ථිකය පිළිබඳ දැනුමක් තියෙන කොටස් වෙළෙඳපොළ ගැන හොඳින් අවධානයෙන් ඉන්න කෙනෙකුට යම් පුරෝකථනයක් කරන්න පුළුවන්. හැබැයි ඒක සියයට සීයක් නිවැරැදි නොවෙන්න පුළුවන්.

රිසර්ච් කරන එකෙන් කරන්නෙත් පුරෝකථන කරන එක. විශේෂයෙන් මැතිවරණවලදි ලෝකයේ බොහෝ රටවල් එහෙම කරනවා අපි දැකලා තියෙනවා. ජ්‍යෝතිෂයෙන් පුරෝකථන කරන්න පුළුවන්. හැබැයි ඒ දේවල් සියට සීයක් නිවැරදියි කියලා කියන්න බැහැ. සීයක් කීවොත් යම් ප්‍රමාණයක් වරදින්නත් පුළුවන්.

 හඳහන් බලන බොහෝ දෙනෙක් කර්ණමුන්ඩියෙන් වැඩ ගන්නවා කියලා කියන්නේ මොකක්ද?

මෙහෙමයි ඔය කාරණේ වැරදි නැහැ. ඒත් බොහෝ දෙනෙක් තමන්ට ඒ බලය තියෙනවා කියලා කියන්නේ නැහැ. හැබැයි බහුතරයක් එහෙම දෙයක් පාවිච්චි කරනවා. දැන් ඔය දේ වැඩ කරන්නේ නැති වුණාම වැරදි දේවල් කියනවා. හැබැයි මේක පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. භූත ආත්ම එක්ක ගනුදෙනු කරන දේවල්වල යම් මානසික රෝගයකුත් තියෙනවා. මම කියන්නේ ඕක ජ්‍යෝතිෂ්‍ය නෙවෙයි. බහුතරයක් ලංකාවේ ශාස්ත්‍රකරුවන් ගත්තම ඔවුන් මානසික රෝගීන්. ඔය සමීක්ෂණ කරන උදවියට මම කියන්නේ ඔය දේව ආරූඪයෙන් ශාස්ත්‍ර කියන බහුතරයක් එක‍්කෝ සැමියා මිය ගිය කාන්තාවක්; නැත්නම් විවාහ ජීවිතය අවුල් කරගත්ත අය. පීඩා විඳින අය. මේ අයට තියෙන්නේ මානසික රෝගයක් විතරයි. ගිහින් හොයලා බලන්න. මේවා පට්ටපල් බොරු දේවල් විතරයි. හැබැයි ජ්‍යෝතිෂ්‍ය කියන්නේ වෙනම දෙයක්. අනෙක අපට තිබුණ නියම ශාස්ත්‍රානුකූලව ගොඩනැගුණු සම්ප්‍රදායක්. දැන් ඒක බිස්නස් වෙලා. මම කියන්නේ මේවා හෑල්ලුවට ලක්කරන්න එපා.

මම උදාහරණයක් කියන්නම්. සුමත්‍රාවල භූමිකම්පා වෙන‍කොට සුනාමි ඒවි කියලා අනතුරු ඇඟවීම් කළාද? හැබැයි එකවතාවක්වත් ආවද? එතකොට අපි භූ ගර්භ විද්‍යාඥයින්ට හිනාවුණා ද ඔයගොල්ලන්ගේ අනාවැකි වැරදුණ කියලා. එහෙම නොකරන්නේ ඇයි අපි? බටහිරට තියෙන දේශපාලන ආර්ථික ආධිපත්‍යය නිසා.

ආතර් සී. ක්ලාක් මහතා වරක් කිව්වා හිටපු ජනාධිපතිවරියකට 2005 දී නොබෙල් තෑග්ග ලැබෙනවා කියලා. ඒත් මේ වෙනතුරු ලැබුණේ නැහැ. හැබැයි කවුරුත් කතා කරන්නේ නැහැ ආතර් සී. ක්ලාක්ට වැරදුණා කියලා. ඊළඟට 2000 ජනවාරි 01 දා මධ්‍යම රාත්‍රි 12ට ලෝකයේ සියලු පරිගණක අක්‍රියවෙලා ලොකු අවුලක් වෙනවා කිව්වා. හැබැයි ඔරලෝසුවක්වත් නැවතුණේ නැහැ. ඉතිං අපි ඇහැව්වේ නැත්තේ ඇයි බටහිර විද්‍යාඥයින්ගෙන් ඇයි ඒ අනාවැකිය වැරදුණේ කියලා. ලෝකයේ හැම විද්‍යාවකම තියෙනවා නිවැරදිවීම් හා වැරදිවීම් කියලා දෙයක්. ඒක මොන දේටත් වගේ ජ්‍යෝතිෂයටත් සාපේක්ෂයි.

 ඔබ කියනවා පොරොන්දම් බොරු. එහෙම නම් මේ දේවල් මේ තරම් කාලයක් පැවතුණේ කොහොමද?

එක්තරා පූජකයෙක් හිටියලු පුද පූජා පවත්වන. ඔහුට හිටියා සුරතල් පූසෙක්. පූජකයා පූජාව කරන්න කලින් නාන්න යනවා. එතකොට පූසා පූජා වට්ටිය කනවා. දැන් පූජාව කරන්න බැහැ. ඒ නිසා පූජකයා පූසාව පුටුවක බැඳලා නාන්න යනවා. ඔය අතරේ පූජකයා මිය යනවා. ඉතිං පූජකයාගේ පුතා වැඩේට බැස්සා. පුතත් මේ වැඩේ කරන්න ගත්තා. ඒක චාරිත්‍රයක් බවට පත්වුණා. ඉතිං කිසිදු විචාරයක් නැතිව ඔහොම කරන චාරිත්‍ර අපි දැකලා තියෙනවා. ඒවගේ හරයක් තියෙනවද කියලා අපි විමසලා බලන්න ඕන. මම හිතන්නේ අපි ඒවට අභියෝග කළ යුතුයි.

 මල්වර නැකත් කියලා දෙයක් තියෙනවානේ. දැන් ඔය දේවල්වල සත්‍යතාවක් ඇත්තට ම නැද්ද?

ඇත්තට ම නැහැ. ඔය මල්වර නැකත්වලින් කාන්තාවකගේ දෛවයට කිසිදු බලපෑම් කරන්න බැහැ. ඒක වැරදියි කියලා කියනවා නම් මම අභියෝග කරනවා. ඔය කේන්දර බලන අය අහලා තියෙනවද ඔබේ මල්වර වීමේ නැකත මොකක්ද කියලා. ඒක ඒ තරම් බලවත්නම් අහන්න එපැයි. ඔවුන්ගේ උප විඥානය දන්නවා මේක බොරුවක් කියලා. වැඩි දෙයක් ඕන නැහැ අද හෝමෝන ගහපු කුකුල්මස් කාලා අද දැරිවියන් ඉක්මනට මල්වර වෙනවා කියලා හැමෝම දන්නවා. එතකොට මේ රටේ දැරිවියන්ගේ දෛවය තීරණය කරන්නේ සො‍සේජස් කම්පැනිද?

දැන් ඔය කළුකුමාර දෝෂ තියෙනවා කියනවා. මේවා පට්ටපල් බොරු. කළුකුමාර දෝෂ කියන්නේ කාන්තාවන්ගේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළවීමත් එක්ක වෙන එක්තරා මානසික සංසිද්ධියක්. ඒක අතීතයේ කාන්තාවන්ට තිබුණා ඔවුන් විවෘතව සමාජගත නොවීම නිසා. අද තියෙන ටියුෂන් පන්ති ටිකටයි ඉස්කෝල ටිකටයි ජාත්‍යන්තර පාසල් ටිකටයි පින් සිද්ධ වෙන්න අද ඇති කළුකුමාර දෝෂයක් නැහැ. අපි ඇත්ත ඇති හැටියටත් මිථ්‍යාව මිථ්‍යාව හැටියටත් කතා කරන්න ඕන.

 

Comments