
තම අත්-පාවල තිබෙන අඩුව ගැන පුංචි සාවින්දිට වගේ වගක් නැත. ඇය හුරුබුහුටි සුරතලියකි. තම ආබාධිත තත්ත්වය ගැන කිසිදු හාහූවක් නැති සාවින්දි අනෙක් දරු පැටවුන් සමඟ හරි-හරියට කෙළිදෙළෙන් කල් ගෙවති. එහෙත් සාවින්දි දකින බොහෝ දෙනාගේ නෙතගට කඳුළක් උනන්නේ නිරායාසයෙනි. ඒ උපතින්ම ඇය මෙලොව එළිය දකින විට ලබා දී තිබෙන අකාරුණික ජීවිතය දුටු විටයි.
පෙනුමට තිබෙන අතත් ආබාධිතය. අනෙත් අත සම්පූර්ණයෙන්ම නැත. පුංචි කකුල් දෙකක් තිබුණත් වාරු නැති සාවින්දි වයස අවුරුදු හතරහමාරක පසුවන පුංචි සුරතලියකි. වර්තමානයේ ඇය එහෙ-මෙහෙ දුව-පනින්නෙ අපූරු මෙවලමකිනි. පුංචි පැටවුන්ට සෙල්ලම් බඩු දෙන්නෙ සෙල්ලම් කරන්නටය. එහෙත් සාවින්දිට එසේ ලැබුණු සෙල්ලම් කරත්තය තම ජීවන ගමනට රුකුලක් වී තිබෙන බවක් ඇය දකින විට පෙනේ.
මාවනැල්ල සිට හෙම්මාතගම පාරේ කිලෝමීටර් හතක් පමණ ගිය තැන හමුවන අල්පිටිය හංදියෙන් වමට හැරී කිලෝමීටර් හතරහමාරක අතුරු මාර්ගය අවසන් වන්නෙ සාවිනා සාවින්දිගේ නවාතැන වන ආබාධිත දරුවන් 123 දෙනෙකු පමණ සිටින අශෝකපුර ආබාධිත ළමා නිවාසයයි.
එහි ප්‍රධාන පාලිකාව වන ඒ. එස්. සිරිවර්ධන මහත්මියට ‘අම්මා’ යනුවෙන් ආමන්ත්‍රණය කරන සාවින්දිගේ කතාව අප ඇයගෙන් විමසුවාය.
“ඔය දුව අපේ වත්තල ප්‍රීතිපුර ළමා නිවාසයෙන් මෙහෙට ආවේ මාර්තු 06 වැනිදා. එයා ඉපදිලා මාස එකහමාරෙන් වගේ ඇගේ දෙමවුපියෝ ප්‍රීතිපුර ළමා නිවාසෙට භාර දීලා. එහෙ ඉන්න පුෂ්පා, රමණි, නිරෝෂා යන අය තමයි මේ දැරිය බොහොම අමාරුවෙන් මේ තත්ත්වෙට අරන් තියෙන්නෙ. අවුරුදු දෙකහමාරේදි විතර ඔය තියෙන කකුල් දෙකෙන් ඇද ඇද යන්න අරන්. ඊට පස්සෙ තමයි ඔය සෙල්ලම් කරත්තය අතින් අල්ලගෙන පපුවෙන් තද කරගෙන යන්න හුරු වුණේ.”
අද සාවින්දි සෑම තැනකම දුව පනින්නෙ සෙල්ලම් කරත්තයෙනි.
ඕනෑම පල්ලමක, බෑවුමක ඇය සීරු මාරුවෙන් ගමන් කරයි. ඒ ඇයට අඟපසඟ අඩු වූවත් තිබෙන ඥානයේ මහිමයෙනි. ඒ අනුව සාවින්දි යනු ඉතාම බුද්ධිමත් කෙලි පැටික්කියක වග ගම්‍ය වේ.
“අපිට හරිම සතුටුයි සාවින්දි ගැන. අත්-පා හරියට නොමැතිව වුවත් පුංචි දැරිය අනෙක් ළමයි සමඟ හරි-හරියට පෑහෙමින් හැම දෙයක්ම කරනවා. චිත්‍ර අඳින්න, කවි-ගීත ගයන්න හරි දක්ෂයි. සෙල්ලම් කරන්නමයි ඕනෙ. ඒ වගේම හරිම කීකරුයි.”
එසේ පවසන ප්‍රධාන පාලිකා සිරිවර්ධන මහත්මියට පුංචි සාවින්දි “අම්මේ බත් කවන්නකෝ” යනුවෙන් අහිංසක ආයාචනයක් කරයි.
සෙල්ලම් කරත්තය අත්වාරුවක් කරගෙන ජීවන ගමන යෑමට සැරැසෙන පුංචි දැරියට නිසි ප්‍රමිතියකින් යුතු එවන් උපකරණයක් සාදවා දෙන්නට ඇති-හැකි අයෙකු හෝ ආයතනයක් ඉදිරිපත් වනවානම් එය මිහිපිටදී කරගත හැකි උතුම් පින්කමකි. සාවින්දිට සේම එම ළමා නිවාසයේ වෙසෙන සෙසු ආබාධිත දරුවන් වෙනුවෙන් උදවු කිරීමට කැමැති අයෙකු වෙත්නම් 0353955368 ඇමැතිය හැකිය.