ගුරු සේවයේ රස­කතා | සිළුමිණ

ගුරු සේවයේ රස­කතා

වැවට ගිය කැමරාව

සරත් විජයරත්න - ලුණුවිල

 

ලුණුවිල මහා විද්‍යාලයයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සිසු සැමට ඉමහත් සතුටක් ගෙන දෙන්නක් ව‍ූයේ, හුදෙක් තම කුසලතා මවුපිය ගුරුවරු අබිමුව ඉදිරිපත් කිරීමට ලැබීම නිසා ය. 60 දශකයේ උසස් පෙළ සිසුවන් වූ අපි ශෛලිගත නාට්‍යයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියෙමු. කේ.එල්. අමරදාස නමැති මගේ හොඳම මිත්‍රයා නාට්‍යයේ නිෂ්පාදකයා විය. විවිධ ප්‍රසංගය ඉදිරිපත් කරන දිනය උදා විය. අමරදාස ඉතා උදෑසන කැමරාවක් ද රැගෙන පැමිණියේ ය. අපි පෙර පුහුණුවීම් කරමින් සිටියදී අමරේ කැමරාවද රැගෙන කඩිනමින් උඩුමහලට නගිනවා දකින්න ලැබුණි. අනතුරුව ඔහු පහත මාලයට බැස කලබලයෙන් මා වෙතට පැමිණි‍ෙය් ය‍.

“මොකද බං උඹේ මූණ රතුවෙලා... බය වෙලා වගේ මොකද වුණේ?”

“මං අර ජෝඩුවෙ පින්තූරයක් ගත්ත... හරි වැ‍ෙඩ් සර් දැක්කනෙ”

ඔහු එසේ පැවසුවේ පෙමින් වෙළී සිටි අපේ ගුරු යුවළක් ගැන ය. පාසල් ජීවිතයේ ඇතැම් ගුරුවරු අතර මෙන් ම ගෝලයන් අතර ද ප්‍රේම සම්බන්ධතා ඇති වීම සාමාන්‍ය ස්වභාවයකි. තරමක් තැති ගෙන සිටි අමරදාස මා කැටුව පාපැදිය වෙත ගොස් වේවැල් කූඩයේ සුරක්ෂිතව කැමරාව තැන්පත් කර අභ්‍යාස පොත් කිහිපයකින් වසා දමා කම්බි පොටකින් කාදුව හිර කෙළේ ය. විවිධ ප්‍රසංගයේ සියලු ම ඉසව් රූපගත කිරීම ඔහුගේ අරමුණ විය. අපි විවේකයට පෙර පුහුණුවීම් නිමකර පාපැදිය වෙත ගියේ කැමරාව ගෙන ඒමට ය. කූඩය විවෘත කළ ඔහු තිගැස්සී මා දෙස බැලුවේ ය. ඔහුගේ නළලේ දා බිඳු නැගුණි.

“කැමරාව උස්සලා” ඔහු කෑගැසුවේ ය.

“මොකාද මේක ගත්තු එකා?”

ඔහු කෝපයෙන් බෙරිහන් දී කල්පනාවට වැටුණේ ය.

“අමරේ ඕක ගන්ඩ ඇත්තෙ අර සර්ගෙ ගෝලය වෙන්ඩ බැරිද? අපි උගෙන් අහමු. කලබල නොවී හිටපං” මම ඔහු අස් වැසුවෙමි.

අදාළ ගුරුතුමා වෙනුවෙන් ඇප කැප වී සිටි කීකරු ම ගෝලයා රූපතුංගය. අනෙකා දේවේන්ද්‍රය. කෙසේ වෙතත් දෙදෙනාම විදුහලේ ජනප්‍රිය ශිෂ්‍යයෝ ය. අපි විදුහල පුරාම රූපතුංගව සොයා බැලුවත් ඔහු අතුරුදන් වී තිබුණි.

“අනිවාර්යයෙන් ම රූපය, කැමරාව ඉස්සුවා...

උදේ හිටිය එකා දැන් නෑ... අපි යමුද උන්ගෙ ගෙදර? අමරදාස යෝජනා ‍ෙකළේ ය.

දේවයාගේ මග පෙන්වීම අනුව අපි පහසුවෙන් ඔහුගේ නි‍ෙවසට ළඟාවීමු. කාන්තාවක් මිදුල අමදිමින් සිටියා ය.

“නැන්දේ රූපතුංග ගෙන් හදිසි පණිවුඩයක්.”

“ඒ මොකද්ද? ඇය කලබලයෙන් ඇසුවාය.

“ස්කෝලෙ නැටුම් පොටෝ ගන්ඩ කැමරාව ඉල්ලන් එන්ඩ කිව්ව” අමරදාස පැවසුවේ ය.

“කැමරාව? අපේ එකාට කොහෙන්ද කැමරාවක්? ඉන්ඩකො බලන්ඩ” ඇය ගෙට ඇතුළු වූවා ය. අපි දොරපාමුල සිට ඇගේ ඉරියව් බලා සිටියෙමු. ඇය අල්මාරි මේස ලාච්චු අරිමින් අස්සක් මුල්ලක් නෑර සෙව්වා ය‍.

“මෙහෙ ඇති කැමරාවක් නෑ ළමයිනේ” අපි ඇගෙන් සමුගෙන පාසලට ළඟා වෙද්දී අදාළ ගුරුතුමා සමඟ රූපතුංග කතා කරමින් සිට අප දැක මග හැර ගියේ ය. අපේ සැකය තහවුරු විය. අවස්ථාව බලා කැන්ටිම අසලදී රූපයාව අල්ලා ගතිමු.

“ඇත්ත කියාපිය තෝ මගෙ කැමරාව හොරකම් කළා නේද?” අමරදාස කෝපයෙන් කෑගැසීය.

“මොන කැමරාවක් ද? උඹට පිස්සු”

“පිස්සු” ප්‍රතිරාවය කළ අමරෙ ඔහුගේ කට මිරිකා කන හරහා වේගයෙන් පහරක් ගැසීය. පැත්තට වීසිවූ රූපතුංග පහරට පහර කිහිපයක් ම ආපසු එල්ල කෙළේ ය. මගේ මිත්‍රයා වෙනුවෙන් මම ද ගෝරියට සම්මාදම් වීමි. කොතෙක් ගුටි කෑවත් ඔහු සුදනා වූවා මිස කැමරාව ගැන වචනයක් පිට නොකෙළේ ය.

කාල පරාසයට නවාතැනක් නැත. මම ගුරු වෘත්තියට එළඹ විශ්‍රාම ගෙන සිටියෙමි. අමරදාස ද රාජ්‍ය සේවයට බැ‍දුණි. රූපතුංග ව්‍යාපාරිකයෙක් විය. දේවේන්ද්‍ර දේශපාලනයට පිවිස තිබුණි.

දිනක් රූපතුංග මා හමුවීමට පැමිණියේ පාසලින් සමුගෙන අවුරුදු 45 කට පමණ පසුව ය. ඔහු දකිද්දී මට ඇති වූයේ අප්‍රමාණ සතුටකි. “රූපෙ උඹව දැකපු කල්... තවම එදා වගේමයි. අප දෙදෙනා බොහෝ වේලාවක් සතුටු සාමීචිව කථා කරමින් සිටි අතර පාසල් ජීවිතයට ද පිවිසියෙමු.

“රූපෙ උඹ අමරයගෙ කැමරාව ඉස්සුව නේද? දැන්වත් ඇත්ත කියපංකො” ඔහු හඬ නගා සිනාසුනේ ය.

“මේකයි... සර්වයි මිස්වයි අමරෙ හොරෙන් පොටෝ අරන් තියනවා. කොහොම හරි සර්ට මේක දැනිලා... සර් බයවෙලා මාව ගෙන්නල කිව්ව අමරදාසගෙ කැමරාවෙ ෆිල්ම්රෝල ගලවල ගෙනත් දෙන්ඩ කියල... දැන් ම ඒක කරපං කිව්වා”

“ඉතින්?” මම කුතුහලයෙන් ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි. ඔහු සිනා සෙමින් කතා කරයි.” මම හැම තැනම හොයල අමරෙගෙ බයිසිකලය ළඟට ගියා... කූඩෙ තිබුණු කැමරාව අරගෙන වැව පැත්තට දිව්ව. පඳුරක් අස්සට රිංගල කැමරාව අරගෙන වැව පැත්තට දිව්වා.. පඳුරක් අස්‍සට රිංගල ෆිල්ම් රෝල ගලවන්ඩ හැදුව හැදුව බෑ. මං කැමරාවක් අල්ලපු පළමුවෙනි දවස... පස්සෙ මං කැමරාව වැවට විසි කරල සර්ව හම්බවෙන්ඩ ගියා... මාව දැකපු සර් හිනාවෙලා මගෙ පිට අත ගාල “වැඩේ හරිද රූපයෝ” කියල ඇහැව්ව.

“මා කැමරාව වැවට වීසි කළා” කිව්වම සර්ගෙ මූණ ඇඹුල්වෙලා නළලට අත ගහල ඇස් දෙක පියාගෙන පුටු ඇන්දට ඇලවුණා...”

‘ග්‍රැමර්’ පුළුවන් ‘ස්පෝකන්’ බෑ

ඒ.ඇම්. නවරත්න බණ්ඩා-නිකවැරටිය

මෙය දැනට දශක තුනකට පමණ පෙර වූ සිද්ධියකි.

මා නිකවැරටිය ප්‍රදේශයේ විදුහලක විදුහල්පති ලෙස සේවය කරමින් සිටින අතර වාරයේ දිනක දිග කලිසමක් හැඳ ගත් සිහින්, මිටි සිරුරක් ඇති කාල වර්ණ පුද්ගලයෙක් විදුහලට පැමිණියේ ය. මා කතා කිරීමට පෙර මෙම පුද්ගලයා “සර් මට රස්සාවක් නෑ.‍ ඉංග්‍රීසි ඩිප්ලෝමා සහතිකයක් තිබෙනවා. ඔබ තුමාගේ විද්‍යාලයේ ඉංග්‍රීසි උගන්වන්න හදලා දෙන්න යැයි පැවසීය. මේ වනවිට විදුහලේ ඉංග්‍රීසි ඉගැන්වීමට ගුරු භවතකු නොසිටි බැවින් මාද මෙම පුද්ගලයාගේ ඉල්ලීමට එකඟ වීමි. ගුරු මණ්ඩලයට දැක්වූ විට ඔවුන් ගේ ද කැමැත්ත පළ විය. වැටුප කීයක් බලාපොරොත්තු වන්නේ දැයි ඇසූ විට ඉංග්‍රීසි මහතා මාසයකට කීයක් හරි දෙන්නැයි පැවසී ය.

“එහෙම නම් ඔබගේ ලිපිනයත් සහතිකයේ පිටපතකුත් දී යන්න, පැමිණීමට දිනයක් දන්වන්නම්” යැයි මම පැවසීමි. ඉංග්‍රීසි මහතා පිටත්ව ගියේ ය. පිටස්තර පුද්ගලයකුට ඉංග්‍රීසි ඉගැන්වීමට සැලැස්වීම සඳහා ඉහළින් අවසරයක් ගත යුතු යැයි සිතූ මම කලාප අධ්‍යක්ෂතුමා හමුවීමට ගොස් විදුහලේ ඉංග්‍රීසි ඉගැන්වීමට ගුරු භවතකු නොමැති බවත් ස්වේච්ඡාවෙන් වාගේ ඉංග්‍රීසි කිරීමට පුද්ගලයෙක් අසා ඇති බවත් ඒ සඳහා ඔබ තුමාගේ අවසරය ලබාදෙන ලෙසත් පැවසීමි. මෙහිදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා තමාට නෛතික වශයෙන් ඉංග්‍රීසි ඉගැන්වීමට පිටස්තර පුද්ගලයකුට අවසරයක් දිය නොහැකි බවත් පාසල් සංවර්ධන සමිතිය සමඟ සාකච්ඡා කර ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස්කර ගන්නා ලෙස කියා සිටියේ ය. ඉන්පසු මාද අධ්‍යක්ෂ තුමාගේ ප්‍රකාශයට සෑහීමට පත්ව විදුහලට පැමිණ ගුරු මණ්ඩලයේ ද කැමැත්ත ඇතිව පාසල් සංවර්ධන සමිතියේ විශේෂ ‍රැස්වීමක් සතියේ දිනක පැවැත්වීමි. ‍එම රැස්ව‍ීමේ දී සිද්ධිය ප්‍රකාශ කිරීමෙන් පසු සතුටට පත් දෙමවුපියෝ ඉංග්‍රීසි උගන්නවා ගැනීමට සමිතියෙන් මාසිකව මුදලක් ඉංග්‍රීසි මහතාට දීමට කැමැත්ත ප්‍රකාශ කළහ. මේ අනුව ඉංග්‍රීසි මහතාට විදුහලට පැමිණීමට දිනයක් දැන්වීමි. මම ඔහුට අනුකම්පා කර ගමේ පාසලේ නැවතී සිට වියදමක් නැතිව විදුහලට පැමිණීමට කටයුතු ද සැලසීමි. තවත් සහයෝගයක් ලෙස මාගේ පා පැදිය ද ඉංග්‍රීසි මහතාට ගමනට ලබා දුනිමි.

දැන් ඉංග්‍රීසි මහතා විදුහලට පැමිණ ඉංග්‍රීසි ඉගැන්වීම කරගෙන යයි. දිනක් මම පංතිය අධීක්ෂණයට ගියෙමි. ඉගැන්වීම අධීක්ෂණය කරමින් මම “මේ ළමයින්ට ඉංග්‍රීසි කතා කිරීමට ටිකක් පුරුදු කරන ලෙස ඉංග්‍රීසි මහතාට පැවසිණි. එවිට ඉංග්‍රීසි මහතා මා අමතා නිහතමානීව ඇඹරෙමින් මෙසේ ප්‍රකාශ කෙළේ ය.

“සර් මට ග්‍රැමර් (ව්‍යාකරණ) නම් පුළුවන්. “ස්පෝකන්’ නම් (කතාව) බෑ” එවිට මම සිනාසී ඉංග්‍රීසි මහත්තයාට ග්‍රැමර්, ස්පෝකන් දෙකම පුළුවන් විය යුතුනෙ යැයි කීවෙමි. එවිට කිසිවක් නොදොඩා ඉංග්‍රීසි මහතා නිශ්ශබ්ද විය. මාගේ මේ ප්‍රකාශයට දෝ ඉංග්‍රීසි මහතා පසුදින සිට විදුහලට නොපැමිණියේය. සොයා බැලීමේ දී මාගේ පාපැදියත් ඩැහැගෙන පාසලේ ස්වාමීන් වහන්සේටත් නොකියාම ඉංග්‍රීසි මහතා මාරු වී ඇති බව දැන ගන්නට ලැබිණ. මෙම සිද්ධියෙන් මම විමතියටත් කලකිරීමටත් පත්වීමි.

 

(විශ්‍රාමික විදුහල්පති, 

Comments