අධිෂ්ඨානය ඇතත් හිසට වහලක් නොලැබෙන අධිෂ්ඨානපුර වැසියෝ | Page 2 | සිළුමිණ

අධිෂ්ඨානය ඇතත් හිසට වහලක් නොලැබෙන අධිෂ්ඨානපුර වැසියෝ

 ‘මඩකළපුවෙ පොඩි කඩයක් දාගෙන බිස්නස් සේරම හො..ඳ..ට කරගෙන සන්තෝසෙන්... අපි සාමයෙන් හිටියා මල්ලියේ... බොහෝම ඉස්සර....‘ දීපාල් සිල්වාගේ ඒ ගීත ඛණ්ඩය ගයමින් සිටි කොලු ගැටයා අප දෙස බලා ගීතය නවතා අප හමුවට ආවේය.

‘මහත්තයල....‘

‘අපි පත්තරෙන් මේ ගමේ අය ගැන විස්තර දැන ගන්න‘

ඔහු අත දිගු කර වසා තිබූ කඩයක් අපට පෙන්වූවේය. ‘කාන්ති ස්ටෝර්ස් - මාතර‘ යනුවෙන් එම කඩයේ සඳහන්ව තිබුණි.

‘කාගෙද මේ කඩේ.....'

'ඉස්සර හිටපු කාන්ති අක්කගේ...'

'ඉස්සර කිව්වේ, දැන් නැද්ද?'

'කොටි ගමට ගැහුවට පස්සෙ ඒ හැමෝම ගම දාල ගියානෙ මහත්තයො, දැන් ගමට ආවට අපිට ඉන්න හිටින්නවත් තැනක් නැහැ.'

'මේ ගමේ නම අධිෂ්ඨානපුර වුණේ කොහාමද?

'අනේ මං දන්නෙ නැහැ මහත්තයො අපිට නං දැන් කිසිම අධිෂ්ඨානයක් නැහැ, එන විදිහකට මුහුණ දෙනව මිසක්'

අපට එසේ පවසමින් තරුණයා නික්ම ගියේ වයස අවුරුදු 60ක පමණ පෙනුමැති අයෙක් පෙන්වා දෙමිනි. ඒ තැනැත්තා අධිෂ්ඨානපුර එකමුතු ධීවර සමිතියේ සභාපති ජී.එන්.ඩබ්. ජයරත්න මහතායි. ධීවර කර්මාන්තය ජීවනෝපාය කරගත් ඔහුගෙන් අධිෂ්ඨානපුර ගැන අපට බොහෝ විස්තර දැන ගන්නට ලැබුණි.

මඩකළපුව නගරයට සමීප චෙංකලාඩිහි පිහිටි අධිෂ්ඨානපුර ගම්මානය ආරම්භ කර ඇත්තේ 1933 වසරේදී, එනම් මීට වසර 84කට පෙරදීය. එදි සිටම සිංහල වැසියන්ගෙන් සමන්විත වූ මේ ධීවර ගම්මානයේ සිංහල බෞද්ධ මෙන්ම සිංහල කතෝලික ජාතිකයන්ද දිවා ගෙවා තිබෙනවා. සියලු දෙනාගේම වෘත්තිය වී ඇත්තේ අධිෂ්ඨානපුරට යාබඳ ‘පුණ්ණකුඩා‘ ධීවර වෙරළේ ධීවර කර්මාන්තයේ නියැළීමයි. එදා අධිෂ්ඨානපුර ඉඳි කර විහාරස්ථානය අදත් පවතින අතර බෝධීන් වහන්සේ කියා පාන්නේ ශත වර්ෂයක පමණ එහි බෞද්ධ ඉතිහාසයයි.

ගම්මානයේ පවුල් 2000ක් පමණ දිවි ගෙවූ අතර ඔවුන් සියලු දෙනාම සාමයෙන් සමඟියෙන් දිවි ගෙවූ නමුත් 1987 දී ත්‍රස්තවාදීන් විසින් මේ ගම්මානයට එල්ල කරන ලද ප්‍රහාර නිසා ජනතාවට උන් හිටි තැන් අහිමි වුණා. ජනතාවගේ නිවාස විනාශ වුණා. ඔවුන්ගේ ධීවර බෝට්ටු ආම්පන්න සියල්ල ද ඒ සමඟම විනාශ වී ගියා. 1987 වසරේදී පුණ්ණකුඩා ධීවර ගම්මානයත් අධිෂ්ඨානගමත් අත් හැර දමා තම තමන්ගේ ඥාතීන්ගේ නිවාස වලට මේ ජනතාව පිටත් වී ගියා.

2009 වසරේදී යළි තම උපන් බිම වෙත පැමිණියත් ඔවුන්ගේ නිවාස දේපළ මේ කිසිවක් දක්නට තිබුණේ නැහැ. තැනින් තැන නෂ්ටාවශේෂ පමණක් දක්නට ලැබුණා.

අධිෂ්ඨානපුර විහාරයේ බෝධීන් වහන්සේ පමණක් උපද්‍රවයකින් තොරව වැඩ සිටියා.

තැනින් තැන ඉතිරිව තිබුණු ළිං මෙන්ම අප මුළින්ම දුටු ‘මාතර - කාන්ති ස්ටෝර්ස්‘ වෙළෙඳ සලේ ඉතිරිව ඇති බෝඩ් ලෑල්ල අද කියා පාන්නේ තවමත් අධිෂ්ඨානපුර පෞඪ ඉතිහාසයකින් යුතුව රැඳී සිටින බවයි.

එකමුතු ධීවර සමිතියේ ලේකම් ඒ. ආරියවතී මහත්මිය පවසන්නේද තමන් 2009 වසරේදී යළි ගමට පැමිණියත් තවම පහසුකම් කිසිවක් සපයා දීමට බලධාරීන් පියවර ගෙන නොමැති බවයි. වසර 8ක් පමණ ගත වී ඇතත් තවමත් ධීවර කර්මාන්තයට අවශ්‍ය ආම්පන්න කිසිවක් ලබා ගන්නට හෝ සහනයක් ලැබී නැහැ.

මේ වන විට ඉන්දීය ආධාර යටතේ නිවාස 73ක් අනුමත වී ඇතත් තවමත් ඒ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් ආරියවතී මහත්මිය පැවසුවා.

අධිෂ්ඨානපුරට පානීය ජල පහසුකම් කිසිවක් ද නැහැ.විදුලිය පහසුකම් ඉල්ලා සිටියත් ලබා දෙන්නට කිසිවෙකු උත්සාහ නොදරති.

‘අපිට මුස්ලිම් ජාතික මහත්තයෙක් නළ ළිං 10ක් හදල දුන්නා, කන්න බොන්නත් අපිට නැති බැරි වෙලාවට ලබා දුන්නේ මුස්ලිම් ජාතික අය තමයි. නිලධාරි ඉන්නවා පුටු රත් කරනවා ඇරෙන්න අපි ගිහින් යමක් ගැන ඇහුවත් හරියට උත්තරයක් දෙන්නෙ නාහැ. අනුමත වෙච්ච ගෙවල් ටික හදල දෙන්නවත් කිසිම උනන්දුවක් නැහැ‘ ආරියවතී මහත්මිය සුසුම්ලමින් පෙනවා දෙයි.

තවමත් හරි ගමන් ගෙයක් දොරක් හදා ගන්නට හැකි වී නොමැති අධිෂ්ඨානපුර ගම්වැසියන්ට හිරු පායන්නේ කවදාද යන්න ගැන ඔවුන් විමසිල්ලෙන් සිටියත් තවමත් නිලධාරීන් අඩ නින්දේය.

අහල පහළ පාසලක් නොමැති නිසා දරුවන් ගම්මානයට ගෙන්වා ගැනීමට මේ ගම්වාසීන්ට හැකියාවක් නැහැ. තම දරුවන්ගේ දරුවන්ද මේ වන විට පාසල් යන වයසේ පසුවන බව ඔවුන් පෙන්වා දෙනවා. පාසලකට මුල්ගල තබා කාලයක් ගතව ඇති නමුත් තවමත් ඒ මුල්ගල තවම පැළ වී තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

නැඟෙනහිර ජනතාව යළි පදිංචි කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වුවත් ජලය විදුලිය පහසුකම් කිසිවක් ‍නොමැතිව තම උපන් ගම්බිම්හි උරුමය ‍රැක ගැන්මට අධිෂ්ඨානපුර ජනතාව දරන්නේ දිවි පරදුවට තබන වෑයමකි. අඩුම වශයෙන් තවමත් මේ ජනතාවට තම දූ දරුව්න සමග එක්ව දිවි ගෙවන්නට පාසලක් හෝ ඉඳි කරන්නට නොහැකි වීම සැබැවින්ම කනගාටුදායකය. මේ තත්ත්වය උඩ අධිෂ්ඨානපුර ධීවර ජනතාවට පිහිටක් වන්නට කිසිවකු ඉදිරිපත් නොවීම ජාතියේ අභාග්‍යයකි.

මේ දිනවල දිවයින පුරාම බලපවත්වන අයහපත් කාලගුණය මේ ජනතාවටද බලපානා බව අමුතුවේන කිව යුතු නොවේ. දැන් ඔවුන්ට හිසට වහලක් නොමැතිව සිටින්නේ කෙසේද? බහුතරයක් ජීවිතයේ වයෝවෘද්ධ වයසේ දිවි ගෙවන අය වෙති. ඔවුහු දොස් පවරන්නේ දේශපාලනඥයන්ට නොවේ.

නිලධාරිවාදය මේ ජනතාවගේ ජීවිනාලියට පහර දීම නවතා ඔවුන්ට සහන සැලසීමට කටයුතු නොකරන්නේ ඇයි? අඩුව වශයෙන් පාසලක් හෝ ඉඳි නොකිරීම කාගේ වරදක්ද? එ‍ය‍ දේශපාලනඥයන්ට පවරා අත පිහිදා ගැනීම කළ යුතුයැයි සිතන්නේද?

මඩකළපුව පොලොන්නරුව මාර්ගයේ චෙංකලාඩි වලින් මුහුද දෙසට හැරී කිලෝමීටර් 3ක් පමණ ගිය විට පුණ්ණකුඩා වෙරළ ආසන්නයේම පිහිටා ඇති අධිෂ්ඨානපුර ගම්මානයට හිරු පායා දෙන්නට නිලධාරීන් කටයුතු කරන්නේ කවදාද යන පැනය අසන්නේ කාගෙන්ද යන්න අපට මතුව ඇති ප්‍රශ්නයයි.

මඩකළපුව නගරයට ආසන්නව පිහිටි එකම සිංහල ගම්මානය වන අධිෂ්ඨානපුර ජනතාවගේ උරුමය රැක දෙන්නට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ බාධාවන්ද එමට තිබෙන බවත් අපට වාර්තා වනවා. වසර 84ක් ඉපැරැණි ගම්මානයක ජනතාව යළි පදිංචි කිරීමට නිලධාරීන්ට වසර 8ක කාලයක් මදිව තිබෙන්නේ තම සාක්කුවලට යමක් නොවැටහෙන නිසාද යන්න අපට මතුව ඇති තවත් සැකයකි.

තාරක වික්‍රමසේකර
සේයාරූ - රුක්මාල් ගමගේ

Comments