![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/05/19/viwara_02.jpg?itok=Pj39a13Z)
සකල ජම්බුද්වීප චක්‍රවර්ති ශ්‍රීමත් ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජනේශ්වරයාණෙනි, ඔබ ගේ උදාරතර මහිමයෙන් විස්මයප්‍රාප්ත චිත්තයෙන් යුක්ත වැ, පාදාභිවන්දන පූර්වක ගෞරවාස්පද භාවයෙන් මෙ සේ ඔබ ගේ නාමයට සමර්පණය කැරෙන අභිස්තුතියයි.
එදා ඔබ, අන්තර්ජාතික වෛශාඛ්‍ය මහෝත්සවයෙහි අග්‍ර ආරාධිතයාණන් වැ මෙහි සැපත් වන කල, අපගේ ගද්‍රභ දේශපාලකයනට නුවණ දුන මැනැවැයි අපි බැගෑපත් වැ ඔබ අයැදියමු. එ වුව ද ඒ අයැදුම පළ වන්නට පෙර ම ඔබ මෙහි පැමිණ සියලු කටයුතු නිමවා ආපසු ගියහ. ඒ නො දැකැ වුව ද අප කී තරුණ ස්වකීය අන්තර්ඥානයෙන් ම පසක් කළ සෙයින් ඔබ, ඔවුනට හොඳ ම හොඳ නුවණක් ලබා දුන්හ; ඔවුනට ඡන්දය දෙන මෙ රට ගද්‍රභ ජනයාට එයට ද වඩා හොඳ නුවණක් ලබා දුන් හ. අහෝ! ඔබ ගේ මහිමය, ඔබගේ තීක්ෂණ ඥානය පසක් කළෙමු. එ හෙයින් ජනාධීශයාණෙනි, අප ගේ හෘදයාභ්‍යන්තරයෙන් ම නැඟැ එන තෙල ස්තුති පූර්වක අභිප්‍රශස්ති අප කෙරෙහි කළ කරුණායෙන් පිළිගත මැනැවි.
ඔබ අන්තර්ජාතික වෛශාඛ්‍ය මහෝත්සවයේ දී කළ අනර්ඝ ආරම්භක දේශනය අපි බෙහෙවින් පසසමු. එ බන්දක් කළ හැක්කේ ඔබ වැනි සුධීමත් කෙනකුන් ම විනා අන් කවරෙක් ද? එහෙත් නරවීරයාණෙනි, ඔබගේ නියම දෙස් ම නම් එදා දික්ඔය දී කළ දෙස් ම ම ය. ඔබ අප ගේ දෙස්පලුවනටත් අපටත් නියම නුවණ ලබාදුන්නේ එහි දී ය.
අනෙකක් කුමට ද? ඔබ ගේ දික්ඔය ගමන ම කො තරම් වටනා ගමනක් ද? පිය කෙනකුන් තමන් ගෙන් දිගු කලක් ඈත් වැ උන් දරුවන් බලන්නට යන්නාක් මෙන් ඔබ, ඉතා දිගු කලකට පෙර ඔබ ගේ රටින් මෙහි පැමිණියවුන්, ඔවුනුත් නො ව ඔවුන් ගේ පරපුරින් පැමිණෙන්නවුන් බලන්නට ගිය හ. අහෝ ස්වදේශ වාත්සල්‍යයක මහිම! ඔවුන් ගේ නෑයන් මිතුරන් තව මත් සිය රටෙහි සිටුනා බව ඔවුන් හට සිහි ගැන්වූ හ. බැලුව මැනැවි ඔබ ගේ අවංක සත්‍යවාදිත්වයේ මහිම. අපි ඒ වතු කම්කරුවන් අපේ ම ජනයා කොට සලකමු. අප ගේ දේශපාලකයෝ ඔවුනට - නැත, නැත ඔවුන් ගේ නායකයනට රිසි රිසි දේ ඉල්ලූ කෙණෙහි දෙති. ඒ වනාහි ඒ අසරණ ජනයා ගේ ඡන්දය ගන්නට කැරෙන්නක් නො වේ හුදු කරුණාව නිසා ම කැරෙන්නෙකි.
ඔබ ඔවුනට ඔවුන‍්ගේ ඉතිහාසය මතක් කැර දුන්හ. ඔවුන් ගේ මුල් මෙහි නොවන බව කියා දුන් හ. කො තරම් අගනේ ද? ඔවුන් ඒ බිරිතනි යුගයේ ඔබ ගේ දේශයෙහි දක්ෂිණ පථයේ යන එන මං නැති වැ කුසට අහරකුදු, ගතට ඇඳුමකුදු නැති වැ සිටි සමයේ දෙව් ලොවකට යන්නාක් මෙන් මෙ රටට ආ සැටි, මෙහිදී කා බී තර වැ ගත් ඔවුන් ගේ නායකයන් මෑත කල්හි මෙ රට හැම රජයක් ම අල්ලේ නැටැවූ සැටි දු මඳක් හෝ මතක් කළා නම් තව ද අගනේ නො වේ ද? ඒ යේ වා! ඔවුන් ගේ අතින් නිපැයෙන ශ්‍රී ලංකා තේ ඔබ විසින් ඇගැයුණු අයුරු! අහෝ, ඔබ වන් තේ පිළිබඳ විශාරදයකු අතින් ම ලද ඒ ඇගැයීම කෙසේ නම් වදනින් විස්තර කෙරෙමු ද?
නර ශ්‍රේෂ්ඨයාණෙනි, ඔබ වනාහි ඉතිහාස ඥානයෙනුදු මැනැවින් සැදුණෝ ය. ඒ අතිපුරාණ කාලයෙහිදී මේ ලංකා ද්වීපයක් ඒ මහාභාරතයත් එක ම භූමියත් වැ පැවැතිණැ යි යන ඉතිහාසඥ මතය ඔබට නම් රහසක් නො වේ ම ය. එහෙයින් අදත් මේ දෙ රටේ ආරක්ෂාව බෙදා වෙන් කළ නොහැකි යැයි ඔබ නො බා නො සැලී කී හ. එ මතු ද? මේ දෙ රටේ, වෙළෙඳාම, ආයෝජන නිදහසේ ගලා යුතු යැයි ද කීහ. බැලුව මැනැවි එකමුතු බවේ සවිය දන්නා ප්‍රඥාවෙක මහිම! සිය දිළිඳු අසල්වැසියා ද තමාගේ ම කොටසක් කොට දක්නා කරුණාවෙක මහිම! ඔබ ගේ මේ මහා ප්‍රඥාව, කරුණාව අභිමුඛයෙහි අර කළු කොඩි කාරයන් වලග දෙ පා අස්සෙහි ගසා ගෙන රටෙහි දු නො සිට දිවෙන අයුරු මේ මේ පෙනෙන්නා වැන්න.
නරේන්ද්‍රයාණෙනි, වඩාලාත් අප හද පැහැරගනුයේ මේ එතෙකුදු නොෙව්. හස්තිරාජයන් දෙදෙනකු මධ්‍යයෙහි වන කේශර සිංහරාජයකු මෙන් අප ගේ සුරු, අබිරු ගරු ජනපතිඳුන් ගරු අගමැතිඳුන් මධ්‍යයෙහි ඔබ අතිනත් අල්ලා විරාජමාන වැ සිටි ආකාරය යි.
හිතමිතුරා