චොක්ලට් ෆැක්ටරියේ චොක්ලට් තරම්ම රසවත් රෝල් ඩාල් | සිළුමිණ

චොක්ලට් ෆැක්ටරියේ චොක්ලට් තරම්ම රසවත් රෝල් ඩාල්

හැරල්ඩ් තම දරුවන් කැමැති වනු ඇතැයි සිතූ ලස්සන ලස්සන දේවල් එකතු කළේ ඔවුන් මවු කුස තුළ සිටියදීමය. සොෆී දරුවන් ලැබීමට සිටි සෑම විටෙකම ඇය ගම්බද අසිරිය විඳ ගැනීමට කොහේ හෝ දුර පළාතකට රැගෙන යාම ද හැරල්ඩ්ගේ සිරිතකි. මව සොබාවිකත්වයේ මිහිර විඳගන්නා විට කුස තුළ සිටින දරුවාට ද එය දැනෙන බව කී ඔහු දරුවා වැඩුණු මිනිසකු වූ පසු සොබා සෞන්දර්යයේ රසය විඳගත හැකි මෙන්ම හොඳ මිනිසකු වීමටත් එය බලපාන බව ඔහු විශ්වාස කළේය.

නිසැකවම හැරල්ඩ් හොඳ තාත්තා කෙනෙක් විය. එහෙත්, රෝල්ට එතරම් කලක් පිය සෙනෙහස විඳීමට නොලැබිණි. රෝල් සිවු හැවිරිදිව සිටියදී හදිසි රෝගී තත්ත්වයකින් හැරල්ඩ් මියගිය බැවිනි. හැරල්ඩ්ගේ මරණයට ඊට ටික දිනකට පෙර සිය දියණියක බිලිඳු වියේදීම ජීවිතය හැර යාම ද බලපාන්නට ඇත. රෝල් උපන්නේ ද හැදී වැඩුණේ ද වේල්සයේය. එසේ වුවද නිවාඩු කාලයේදී මව සහ සොයුරු සොයුරියන් සමඟ නෝර්වේ බලා යාමට ඔහු ආසා කළේය. ඒ ගිය ගමන්වලදී මුත්තණුවන් හා මිත්තණියගෙන් ඇසු ජනකතා ඔහුගේ පසුකාලීන ලේඛක දිවිය ඔපවත් කළ බව පැහැදිලි වේ.

ලේඛකයකු වීමට ඔහුට වඩාත් බලපෑවේ කියැවීමය. පාසල් අවදියේ පටන්ම ඔහු බොහෝ පොතපත කියැවීය. සිය ජිවිත කාලය තුළ රෝල් ඩාල් ළමා පොත් 19ක් ලීවේය. ඔහු ළමයින් සඳහා ලිවීමට පටන්ගත්තේ තාත්තා කෙනකු වූ පසුව වීම ද විශේෂ කාරණයකි.

රෝල්ගේ පළමු රැකියාව සුප්‍රකට තෙල් සමාගමක සේවකයකු ලෙස ටැන්සානියාවේය. වර්ෂ 1939 දී ඔහු රාජකීය ගුවන් හමුදාවට බැඳුණි. කෙන්යාවේදී ලැබු පුහුණුවෙන් පසු දෙවන ලෝක යුද්ධයට ඔහු සම්බන්ධ වූයේ ගුවන් නියමුවකු ලෙසය. යුද්ධයේදී අනතුරකට ලක්වූ ඔහු දරුණු ලෙස තුවාල ලැබීය. ප්ලාස්ටික් සැත්කමකින් නාසයක් බද්ධ කිරීමට සිදු විණි. රෝල්ම කියා ඇති පරිදි ඔහුගේ ජිවිතයේදී සිය සමීපතමයන්ගේ පටන් නාසය දක්වා බොහෝ දේ ඔහුට අහිමි විය.

ලේඛනකරණය සඳහා රෝල් දිරි ගැන්වූයේ ලේඛක සී. එස්. ෆොරස්ටර් විසිනි. රෝල් සිය පළමු කෙටිකතාව ලීවේ “සැටඩේ ඊවිනින් පෝස්ට්” පුවත්පතටය. එවක් පටන් තවත් පුවත්පත් සඟරා ගණනාවකටම ඔහු නිර්මාණ යොමු කළේය.

රෝල්ගේ පළමු ළමා කතාව “ද ග්‍රෙම්ලින්ස්”ය. (1942). එය වෝල්ට් ඩිස්නි සමාගම සඳහා ලියන ලද්දක් වන අතර සිතූ තරම් සාර්ථක නොවිණි. ඉන් පසුව ලියූ “සම්වන් ලයික් යූ” (1953) අතිශයින් සාර්ථක විය. එය ප්‍රකාශයට පත්වූයේ ඔහු සිනමා නිළියක වූ පැට්‍රීෂියා නීල් විවාහ කරගත් සමයේදීමය. ඇය ඇකඩමි සම්මාන ලාභිනියකි. මේ විවාහයෙන් ඔවුන්ට දරුවෝ පස්දෙනෙකි. එක් දරුවෙක් කුඩා කාලයේදීම මියගියේය. දරුවන් නින්දට යන තුරු ඇඳට වී කතාන්දර කීම රෝල්ගේ සිරිතකි. අදටත් අතිශයින්ම ජනප්‍රිය ඔහුගේ ළමා කතාවල මූල බීජය ඇත්තේ එතැනය. දශක තුනක විවාහ ජිවිතය අවසන් කරමින් රෝල් සහ පැට්‍රීෂියා 1983 දී දික්කසාද වීමෙන් පසු රෝල් ඈන් ක්‍රොස්ලන්ඩ් විවාහ කරගත්තාය. 1990 දී මියයන තෙක්ම ඔහුගේ සහකාරිය වූයේ ඈන්ය.

රෝල් ළමා කතාකරුවකු ලෙස මුලින්ම සාර්ථක වූයේ 1961 දීය.

“ජේම්ස් ඇන්ඩ් ද ජයන්ට් පීච්” ලිවීමත් සමඟය. ඔහු ඊට තුන් වසරකට පසු “චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි” ලීවේය. කෙසේ වුවද, ඔහුගේ පළමු ළමා කතා පොත “ජේම්ස් ඇන්ඩ් ද ජයන්ට් පීච්” නොවේ. “ද ග්‍රෙම්ලින්ස්” නම් නවකතාව ළමයින් උදෙසා ඔහු ලීවේ 1943 දීය.

දෙවැනි ලෝක යුද්ධයේදී අනතුරට ලක්වීමෙන් පසු ඔහු වොෂින්ටනයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවයට යැවුණේ ගුවන් හමුදා නිලධාරියකු වශයෙන්මය. එහිදී ඔහුගේ රාජකාරිය වූයේ ඔත්තු බැලීමය. MI6 ඔත්තු සේවාවට ඔහු අනුයුක්ත කර තිබිණි. ජෙම්ස් බොන්ඩ් කතා මාලාවේ නිර්මාපකයා වන ඉයන් ෆ්ලෙමිං ඔහුට හඳුනා ගැනීමට ලැබෙන්නේ ද මේ රාජකාරිය අතරතුරදීය. යුද ගුවන් නියමුවකු ලෙස ලැබු අත්දැකීම් ලියන්නැයි ෆොරස්ටර් කළ ඉල්ලීමට ඔහු ප්‍රතිචාර දැක්වූයේ පසු දිනට කතාවක් ලියමිනි. ෆොරස්ටර් එය කියවා බලා එහි කිසිදු වෙනසක් නොකර සැටඩේ ඊවිනින් පෝස්ට් පුවත්පතට යොමු කළේය. එය එහි පළ විණි. රෝල්ට ඩොලර් 1000ක් ද ලැබිණි. “මං ලිවීම පටන්ගත් ඒ මොහොත මගේ ජීවිතය වෙනස් කරාවි කියල මං කීයටවත් සිතුවේ නෑ...” පසු කලෙක රෝල් ඩාල් ඒ ගැන පැවසුවේ එලෙසය.

“චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි” කතාවේ චාලි මෙන්ම රෝල් ද පාසල් සමයේ චොකලට් රස බලන්නෙකි. එක්තරා ප්‍රකට චොකලට් සමාගමක් සිය නවතම නිෂ්පාදන රස බැලීම සඳහා ඔහු සතු මිතුරන්ට යොමු කළේය.

රෝල්ගේ සුප්‍රකට කෘතීන් කිහිපයකම ප්‍රකාශිත පිටපතට පෙර ලියූ පිටපත් කිහිපයක්ම තිබේ. ඒවා වරින්වර වෙනස් කිරීමෙන් පසු අවසන් පිටපත මුද්‍රණය විය. එම මුල් පිටපත් සහ මුද්‍රිත කෘතිය අතර නොයෙක් වෙනස්කම් දැකිය හැකි වේ.

රෝල් ඩාල් යනු වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට නව සොයා ගැනීම් කිහිපයක්ම හඳුන්වා දීමට දායක වූ අයෙකි. නූතන වෙන්ට්‍රිකියුලර් කැතීටරය සහ ෂන්ට් වෑල්වය (ස්නායු ශල්‍ය සැත්කම් සඳහා භාවිත වන) සොයා ගැනීමට ඔහුගේ දායකත්වය ලැබිණි. ඔහු ෂන්ට් වෑල්වය හඳුන්වා දීමට යොමුවීම පිටුපස සංවේදී කතාවක් තිබේ. ඔහුගේ පුත් තියෝ සිවු මස් දරුවකුව සිටියදී රිය අනතුරකට ලක්වීමෙන් මොළයට සිදුවූ හානියට ප්‍රතිකාර කිරීමේදී ශල්‍යකර්මයක් ද කිරීමට සිදු විය. රෝල්, ෂන්ට් වෑල්වය සැලසුම් කළේ ඊට යොදා ගැනීමටය.

ශල්‍යකර්මයෙන් තියෝ සුවය ලැබීය. වෑල්වය අවශ්‍ය නොවිණි. එහෙත් එවක් පටන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට එය උපකාරී විය.

රෝල් ඩාල්ගේ වැඩිම ජනප්‍රියත්වයක් ලැබු ළමා කෘතීන් ලියැවී ඇත්තේ ඔහු වැඩියෙන්ම කරදර විඳිමින් සිටි සමයේදීය. 1960 ගණන් යනු ඔහුගේ ලේඛක ජීවිතයේ සශ්‍රිකම වකවානුවකි. තියෝ රිය අනතුරකට ලක්වූයේ ද වැඩිමහල් දියණිය ඔලීවියා 7 හැවිරිදි වියේදී ජීවිතයෙන් සමුගත්තේ ද බිරිය පැට්‍රීෂියා ආඝාත තත්ත්වයෙන් පෙළෙන්නේ ද මේ අවදියේ ය.

ලේඛකයකු ලෙස ඔහු හඳුන්වා දුන් අලුත් වචන සහ චරිත නාම සංඛ්‍යාව 500 ඉක්මවීය. scrumdiddlymptious පටන් fvizzlecrume දක්වා පුදුමාකාර වචන ඒ අතර තිබේ. රෝල් ඩාල්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් ‘ඔක්ස්ෆර්ඩ් යුනිවසිටි ප්‍රෙස්’, ‘රෝල් ඩාල් ශබ්දකෝෂය’ නමින් ශබ්ද කෝෂයක් පවා නිර්මාණය කළේය. එහි ලේඛකයා හඳුන්වා දුන් සහ ලේඛනයේදී භාවිත කළ සැබෑ සහ මවා ගත් වදන් 8000ක් පමණ අඩංගු වේ. ඔහුගේ ඇතැම් කෘතීන් පළමු වරට ප්‍රකාශයට පත් වූයේ, 1990 නොවැම්බර් 23 වැනිදා ඔහු ජීවිතයෙන් සමුගත් පසුවය. The Vicar of Nibbleswicker, The Minipins; Roald Dahl’s Guide to Railway Safety සහ Nlemovies with food at Gipsy House 1991 දී ප්‍රකාශයට පත් කෙරිණි.

රෝල් ඩාල්ගේ අතිශයින්ම ජනාදරයට පත් කෘතීන්වල උපත සිදු වූයේ ඔහුගේ ගෙවත්තේ පිහිටා තිබූ කුඩා ලියන ගෙදරය. එහි දොර හැඬලයට යොදා තිබුණේ ඔහුගේම උකුෙළ් අස්ථි කොටසකි. එම අස්ථි ‍කැබැල්ල ශල්‍යකර්මයකදී ඉවත්ෙකාට ඔහු ළඟ තබාගෙන සිටි එකකි. බිලියඩ් ක්‍රීඩාව සඳහා භාවිත කරන කොළ පැහැ පුවරුවකින් සකසා ගත් ලියන පුවරුව උකුළ මත තබාගෙන ඔහු ලිවීමේ යෙදිණි. මේ ලියන ගෙදරට කුඩා ළමයින්ට ඇතුළුවීම තහනම් විය. ඔහු ඔවුන්ට කියා තිබුණේ එහි දරුණු වෘකයන් සිටින බවය.

Comments