උසස් පෙළට රසායන විද්‍යාව සමඟ චිත්‍ර කර්මය | සිළුමිණ

උසස් පෙළට රසායන විද්‍යාව සමඟ චිත්‍ර කර්මය

 අපේ පාසල් පද්ධතියේ කනිෂ්ඨ ද්විතීය අධ්‍යාපනයේ දී සෞන්දර්ය විෂයය, තාක්ෂණික විෂයය සහ අතිරේක විෂයයන්හිදී ශිෂ්‍යයන්ගේ රුචිය අනුව විෂයය ස්වල්පයක් පමණක් තෝරා ගැනීමට අවස්ථාව තිබේ. එම කනිෂ්ඨ ද්විතීය අවධියෙන් පසු එළඹෙන ජ්‍යෙෂ්ඨ ද්විතීය අවධියේ දී කලා, විද්‍යා, වාණිජ හා තාක්ෂණික යනුවෙන් විෂයධාරා ගත කරනු ලැබේ. එවිට ශිෂ්‍යයනට තෝරා ගත හැක්කේ එක් විෂය ධාරාවකින් විෂය තුනක් පමණි. එවිට ශිෂ්‍යයනට තමන් කැමැති විෂයය සංඛ්‍යාවක් හෝ කැමැති විෂයයක් තෝරා ගැනිමට ඉඩක් නැත. එවිට බොහෝ දෙනෙකුට සිදුවන්නේ තමන් ප්‍රිය නොකරන තමන්ට ඉගෙනීමට පහසු නොවන, අනාගත රැකියාවකට උපකාරි නොවන අනාගත තවත් පාඨමාලාවකට තුඩු නොදෙන විෂය තුනක් ඉගෙනීමටය. උදාහරණයක් ලෙස විද්‍යා විෂයය ක්ෂේත්‍රය ගත හැකිය. අ.පො.ස. (උ.පෙ.) විභාගයෙන් පසු වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අපේක්ෂිත ශිෂ්‍යයනට උ.පෙ. පාඨමාලවේදී තෝරා ගත හැක්කේ රසායන විද්‍යාව, ජීවවිද්‍යාව සහ භෞතික විද්‍යාව පමණක් ම ය. ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට අපේක්ෂිත ශිෂ්‍යයන්ට තෝරා ගත හැක්කේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා සංයුක්ත ගණිතය පමණක් ම ය. ඒ අයට සංයුක්ත ගණිතය වෙනුවට ශුද්ධ ගණිතයවත් තෝරා ගැනීමට අවසර නැත. ඉහත කී විශ්ව විද්‍යාල පාඨමාලා සඳහා වරම් ලබන්නේ අතළොස්සක් වූ සංඛ්‍යාවකි. අසමත් වන බොහෝ අයට යන එන මං නැතිවේ.

මෙසේ, සිර කර තබා ඇති විෂයය සංයෝජනය ලිහිල් කළ යුතුය. මෙතරම් ලිබරල්වාදී දේශපාලන ආර්ථික, සමාජීය සහ අධ්‍යාපනික වාතාවරණයක් තුළ පුළුල් දෘෂ්ටියකින් ඉහත කාරණය දෙස බැලිය යුතුය.

නම්‍ය විෂය සංයෝජනයක ඇති වාසි

1. ප්‍රධානත ම වාසිය නම් ශිෂ්‍යයන්ගේ අභිරුචිය අනුව විෂයය තෝරා ගැනීමට හැකිවීමයි. යම් ශිෂ්‍යයකු ගණිතය, ඉතිහාසය, සංගීතය, චිත්‍ර ඉගෙනීමට කැමැති වෙනවා විය හැකි ය. තමන් රුචි කරන විෂයය ඉගෙනීමට අවසර ලැබේ නම් ප්‍රමුඛ ව ඔහුට ඉහළ සාධක මට්ටමක් ලබා ගත හැකි වනු ඇත. ඉගෙනීමේ ඇති කර්කශ භාවය නැති ව ප්‍රීතියෙන් එම කාර්ය කරනු ඇත.

2. ක්ෂේත්‍ර කීපයක සුදුසුකමක්, අධ්‍යාපනයක් ලබන නිසා විභාගයෙන් පසු විවිධ පාඨමාලාවලට ප්‍රවේශවීමට ද විවිධ රැකියා සඳහා අයදුම් කිරීමට ද වැඩිපුර අවස්ථාවක් ලබනවා ඇත.

3. තවද විෂයය කීපයක ඉගෙනුම මඟින් සමබර පෞරුෂයක් ද වර්ධනය කර ගනු ඇත.

4. එක් අතකින් මේ ක්‍රමය මඟින්, අ.පො.ස. (උ.පෙ) උගැන්වීමට අවශ්‍ය ගුරුවරුන්ගේ හිඟය තුනී කර ගැනීමට ද පිටිවහලක් වනු ඇත. කලා අංශයේ විෂයය දෙකක් පමණක් ඉගැන්වීමට හැකි ගුරුවරයකු ද විද්‍යා අංශයේ විෂයයක් දෙකක් ඉගැන්වීමට හැකි ගුරුවරයකු ද සිටින පාසලකට මේ ආකාරයෙන් උ.පෙ. පන්තියක් ගෙන යෑමට හැකියාව ලැබේ.

5. විද්‍යා, කලා, වාණිජ ආදි වශයෙන් සමහර පාසල් හි පවතින බෙදීම අහෝසි වී ශිෂ්‍යයන් හා ගුරුවරුන් අතර සමග්‍රහණය ද වැඩෙනවා ඇති.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට යාමේ දී දුෂ්කරතා මතුවිය හැකිය. ඕනෑ ම හොඳ කටයුත්තකට බාධා පැමිණේ. ඒ ඒ ක්ෂේත්‍රවල වගකිව යුත්තන්ගේ කාර්ය භාරය එම දුෂ්කරතා මඟහරවා ගැනීමට කටයුතු කිරීමය.

උ.පෙ. පාඨමාල‍ාවේදී තමන්ට ප්‍රයෝජනවත්, ඉගෙනීමට පහසු, ආශාවෙන් ඉගෙන ගත හැකි විෂයයන් ඉගෙනීමට බාධාවක් පමණක් නොව තමන් දුෂ්කරතාවලට බලපාන ප්‍රධාන කාරණයක් වී ඇත්තේ අ.පො.ස. පාඨමාලාව විෂය තුනකට සීමා කිරීමයි. නූතන ලෝකයේ වෙනත් රටවල මෙන් ශිෂ්‍යයන් කැමැති විෂයය මෙන් ම විෂයය සංඛ්‍යාවක ද ඉගෙනීමක් කිරීමට අවකාශ තිබිය යුතුය. එංගලන්තයේ අ:පො:ස: (උ.පෙ) විෂය තුනක් වන්නේ අවමයයි. විෂයය පහක් හයක් ඉගෙනීමට එරට බාධාවක් නැත. ඕස්ට්‍රේලියාවේ අවම විෂය සංඛ්‍යාව හතරකි.

ඒ ඉංග්‍රීසි සහ තවත් විෂය ක්ෂේත්‍රයක විෂයයන්ට අමතරවය. Advanced Level විභාගය රටවල් 152 ක පවත්වන්නේ London Advanced Level විභාගය අනුව යමිනි. විෂයයන් තුනකට වැඩි ගණනක් කිරීමෙන් ලැබෙන වාසි අපමණය.

තවදුරටත් අප යෝජනා කරන්නේ 12 වන ශ්‍රේණිය අවසානයේදී විෂය දෙකකට ද 13 වන ශ්‍රේණියෙ අවසානයේ දී තවත් විෂය දෙකකට ද විභාග දෙපාර්තමේන්තුව විසින් විභාගයක් පැවැත්විය යුතු ය යන්නය. Z - score ගණනය කළ යුත්තේ ශිෂ්‍යයන් කැමැති විෂය තුනකට පමණක් වීම ඔවුන්ට තවත් සතුටක් ගෙන දෙන කාරණයක් වනු ඇත.

අවුරුද්දකට විෂයයන් දෙක බැගින් අවුරුදු දෙකකට විභාගය දෙවරක් පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවට බරක් විය නොහැකිය.

අවුරුද්දකට වරක් (උ.පෙ) විභාගය පැවැත්වීම දැනුදු සිදුකෙරේ. එසේ ම එම (සමත් / අසමත්) ශිෂ්‍යයන් සඳහා කීපවරක් ම විභාගය පැවැත්වීම ද දැනුද සිදුකෙරේ. ඒ විෂයයන් තුනක් සඳහා ය. යෝජනාව අනුව විභාගය පැවැත්විය යුත්තේ විෂයය දෙකක් සඳහා පමණි.

පාසල් පාදක ඇගැයීම, ව්‍යෘපෘති, ඉංග්‍රිසි, සාමාන්‍ය දැනුම, පරිගණක විද්‍යාව, ප්‍රායෝගික පරීක්ෂණ ආදිය සඳහා කොටස් වශයෙන් අවස්ථා කීපයකදී විභාග පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවට සාමාන්‍ය කාර්යයකි.

සිඩ්නි ජයවීර
හිටපු අධ්‍යක්ෂ විෂයමාලා සංවර්ධන අංශය
ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම. 

Comments