ඩයිනෝසරයන් සේ වඳ නොවීමට නම්....! | Page 2 | සිළුමිණ

ඩයිනෝසරයන් සේ වඳ නොවීමට නම්....!

 විසිවන සියවස ලෝකයට බිහි කළ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සුප්‍රකට කියමනකින් මේ සටහන ආරම්භ කරන්න කැමතියි. ඒ කියමන තමයි "එකම ක්‍රියාමාර්ගයක නැවත නැවතත් යෙදීමෙන් ලැබෙන ප්‍රතිපඵළයේ කිසිදු වෙනසක් කළ නොහැකිය" යන්නයි. අයින්ස්ටයින් මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ භෞතික විද්‍යාත්මක පර්යේශනයන්ට අදාලව වුවත් මේ කියමන වෙනත් ඕනෑම සන්දර්භයකටද අදාලයි.

මේ කියමන තනි තනි පුද්ගලයන් වශයෙන් අප සයලු දෙනාගේම පෞද්ගලික ජීවිතවලට මෙන්ම රටක් වශයෙන් අපේ රටටද සෘජුවම අදාළ කියමනකි. එනම් ඔබ මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවෙලක් එලෙසින්ම දිගටම කරගෙන යන්නේ නම් ප්‍රතිඵලයද මෙතෙක් ලැබූ ප්‍රතිඵලයම වන්නේය. එහෙයින් ප්‍රත්ඵලය වෙනස් කරන්න අවශ්‍ය නම් යෙදවුම හෙවත් මෙතෙක් කල් කරගෙන ආ ක්‍රියාමාර්ගය මුළුමනින්ම වෙනස් කළ යුතුව ඇත.

එහෙත් අවාසනාවකට මෙන් බොහෝ මිනිසුන් තම තමන්ගේ පුරුද්ද හෝ ඇබ්බැහිය වෙනස් කරගැනීමට අකමැතිය. තමන්හට පුරුදු වූ ඇබ්බැහියක් කොතරම් අහිතකර එකක් බව හැඟුනද එය අත්හැර දැමීමට බොහෝ මිනිසුන්ට නොහැකිවී ඇත. මෙය ආකල්පමය ගැටළුවකි. මේ පිළිබඳව කදිම අදහසක් සුප්‍රකට දාර්ශනිකයකු වන සාද්ගුරුතුමා විසින් මේ මෑත කාලයේ රූපවාහිනී නාලිකාවක ඉදිරිපත් කරනව මම දැක්කා. ඔහු කියා සිටියේ ජනතාවට තමන් මුහුණපා සිටින සියලුම ප්‍රශ්න වලට ක්ෂණිකවම විසඳුම් අවශ්‍ය වුණත්, එකී ගැටලු සඳහා දියහැකි විකල්ප විසඳුම් එකකටවත් යන්න ඉඩ නොදෙන බවය.

සාද්ගුරු තුමා මෙන්න මේ වගෙ අදහසක් ඉදිරිපත් කරනව. " අපට පැය විසිහතරෙම අඛණ්ඩව විදුළිබලය තියෙන්න ඕන. හැබැයි විදුලි බලය උත්පාදනය කරන කුඩා ජලවිදුලි බලාගාරයක්, තාප බලාගාරයක් හෝ වෙනත් ඕනෑම විකල්පයකට යන්න ඉඩදෙන්නෙත් නෑ." ඉතින් ඔහුට අනුව නම් මේකට හේතුව මිනිසුන් සැලකිලිමත් වෙන්නෙ ප්‍රශ්න පිළිබඳවම පමණයි. විසඳුම් අහසින් හරි ගෙනල්ල පාලකයො දෙන්න ඕන. විසඳුම් වලට සරලව යන්න දෙන්නෙත් නෑ.

අපි හැමෝටම අපේ රට සිංගප්පූරුවක් කරගන්න අවශ්‍යයි. හැබැයි එහෙම කරගන්න තනි තනි පුද්ගලයන් වශයෙන් අපෙන් අවශ්‍යවෙලා තියෙන ආකල්ප වෙනස වත් කරගන්න අපි කැමති නෑ. මේ තත්වයට ඉතා තදින්ම බලපාන හේතුවක් මේ දිනවල සමාජ වෙබ් අඩවි ජාලාවල ජනප්‍රියව සංසරණය වන එක් කියමනක සඳහන් වෙනවා. ඒ තමයි " ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඒ සඳහා මිනිස්සුන්ට දාර්ශනික සහ වීරත්වයෙන් සපිරි විසඳුම් අනන්ත සංඛ්‍යාවක් තිබේ" යන්නය.

මෙකී තත්වය තවදුරටත් උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් අප දැනට මුහුණදී සිටින කසල කළමනාකරන ගැටලුව ගෙනහැර දැක්විය හැකිය. සියල්ලන්ම තම තමන්ගේ කසල ඉතාමත්ම නොසැලකිල්ලෙන් පරිසරයට බැහැර කරන නමුත්, එකී කසල ප්‍රතිචක්‍රීයකරණය සඳහා අදාළ ආයතන ඉදිරිපත් කරන සියලුම විසඳුම් වලට අත්තනෝමතික ලෙස විරුද්ධ වේ.

කෙටිම මාර්ගවලින් බලයට ඒමට උත්සාහ දරමින් ඉන්න දේශපාලන ව්‍යාපාර වලින් ජනතාවගෙ ඔළුවලට ඔබල තියෙන වැරදි ආකල්ප නිසා ජනතාව ඕනෑම ඉදිරිගාමී ප්‍රතිසංස්කරණයකට හෝ වැඩ පිළිවෙළකට රට ගෙනියන්න හදනකොටම විරුද්ධ වෙනව. මෙම තත්වයට හේතුවී තිබෙන්නේ අපේ රටේ පවතින දේශපාලන සංස්කෘතියේ විකාරරූපී භාවයයයි. කිසියම් පක්ෂයක් තමන් බලයේ සිටිද්දී යහපත්යැයි හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කළ ඕනෑම වැඩපිළිවෙළකට එම පක්ෂයම බලය අහිමිවීමෙන් පසුව විරුද්ධවීමේ සිල්ලර බල දේශපාලන සංස්කෘතියයි.

අපේ රටේ ජනතාවගෙන් බහුතරය තවමත් තමන් කුමන හෝ හේතුවක් නිසා අල්ලාගත් පක්ෂය හෝ නායකයා බලයට ගෙන ඒම සඳහා රටට කුමන හෝ අවැඩක් සිදුවූවත් කමක් නැත යන ස්ථාවරයේ සිටිනවා. ඔවුන්ගේ එකම අභිප්‍රාය වී ඇත්තේ තමන් ආදරය කරන පක්ෂය හෝ නායකයා බලයට ගෙන ඒමයි. එකී අගතිගාමී අභිලාශය නිසා ඔවුන් රට දෙවන තැනට දමා කටයුතු කිරීමටද කිසිදු ලෙසකින් පසුබට වන්නේ නෑ. මන්ද තම පක්ෂය බලයට ගෙන ඒමෙන් ඔවුන් ලබන්නේ හැඟුම් බර සතුටක් නිසා සහ හැඟීම් වලට තර්කානුකූල හේතු තිබීම අවශ්‍ය නොවන නිසාත්ය. මෙම තත්වය පිළිබඳව මනා අවබෝධයක් තිබෙන දේශපාලනඥයින් මෙම තත්වය තමන්ට බලයට පැමිණීම සඳහා ඉතාමත්ම පහත් ලෙස පාවිච්චි කරනවා. රට දැනට තිබෙන තත්වයෙන් එක් අඩියක් හෝ ඉදිරියට යාමට නම් මෙම දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම වෙනස්විය යුතුයි. ඒ සඳහා රටේ ජනයාගෙන් බහුතරයකගේවත් ආකල්ප වල බරපතල වෙනසක් සිදුවිය යුතුය.

එකී ආකල්ප වෙනස සිදුවිය යුතු වන්නේ පහත සඳහන් ආකාරයටයි.

1. ආදරණීය මට්ටමින් පක්ෂ සහ භක්ත්‍යෝන්මාදයෙන් හැඟුම් භරිතව නායකයින් ඇදහීම නැවැත්විය යුතුයි.

2. අනික් පක්ෂයෙන් සිදුකළ යම් කිසිවක් වැරදි නම් ඒ දේම තමන්ගෙ පක්ෂෙන් කළත් වැරදිම විය යුතුය.

3. තමන්ගෙ පක්ෂෙන් කරපු යම් කිසිවක් නිවැරදියි නම් වෙන පක්ෂෙකිනුත් ඒ දේම කළ විටද නිවැරදිම යුතුය.

4. තමන්ගේ පක්ෂය හැරුණුවිට සෙසු සියල්ලම දෙස සර්ව අශුභවාදීව බැලීමත් තමන්ගෙ පක්ෂෙ දිහාවෙ විතරක් සර්ව ශුභ වාදීව දැකීමත් වහාම නැවැත්විය යුතුය.

5. කිසියම් සිදුවීමකදී පක්ෂ භේදයකින් තොරව රටට වාසිදෙය කුමක්දැයි තීරණය කරනු මිස තම පක්ෂය කරන ඕනෑම දෙයක් සාධාරණීකරණය කිරීමට උත්සාහ නොකළ යුතුය.

එකී ආකල්ප වෙනස වෙත ජනතාවගෙන් බහුතරයක් නැඹුරු කරගන්න හැකිවෙනවානම් අප දැනට සිරවී සිටින ස්ථානයෙන් රට ඉදිරියට ගෙනයන එක එතරම් අපහසු කාර්යයක් නෙවෙයි.

මම නැවතත් මේ ලිපිය ආරම්භයේදී සඳහන් කල අයින්ස්ටයින්ගේ කියමනට එන්නට කැමතියි. අප නිදහසින් පසු කළ කී සමහර දේ සාර්ථකවී ඇති අතර තවත් සමහර දේවල් අසාර්ථකවී ඇත. එය ගෝත්‍රික පක්ෂ දේශපාලන පදනමකින් නොබලා වටහාගත යුත්තකි. එසේනම් අප දැන් අපේ රටේ ඇතැම් ක්ෂේත්‍ර රැඩිකල් වෙනස්කම් වලට භාජනය කළ යුතුව ඇත. එකී වෙනස්කම් කිරීමට නම් ජනතාවගේ සිතුම් පැතුම්වල බරපතළ වෙනසක් විය යුතුය. අප අන්ධභක්තියෙන් අදහාගෙන සිටින ජනප්‍රිය සංකල්ප සමහරකගෙන් අප බැහැරවිය යුතුව ඇත.

මීට වසර මිලියන ගනනකට කලින් මේ පෘථිවිය මත ජීවත්වූ දැවැන්තම සත්ත්ව කොට්ඨාසය වූයේ ඩයිනසෝරයන්ය. එහෙත් මීට වසර මිලියන 65 කට පෙර ඩයිනසෝරයන් මිහිපිටින් මුළුමනින්ම වඳවුණා. මෙලෙස ඩයිනසෝරයන් මිහිපිටින් වඳවීමට බලපෑ ප්‍රධානම හේතුව ලෙස විද්‍යාඥයින් විසින් සලකනු ලබන්නේ පෘථිවිය ඒ කාලයේ භාජනය වෙමින් තිබුණු පාරිසරික විපර්සායයන්ට අනුගතවෙමින් හැඩගැසෙන්නට මෙම දැවැන්ත සත්ව කොට්ඨාසයට නොහැකිවීමයි. මේ කාලයේම ජීවත්වූ වෙනත් සත්ව කොට්ඨාසවලින් සමහරක් තවමත් පෘථිවියෙහි ඉතිරිව සිටියි. ඒ අන් කිසිදු හේතුවක් නිසා නොව වෙනස් වන පාරිසරික තත්වයන්ට අනුගතවීමට ඔවුන්ට හැකිවීම නිසාය.

මෙම තත්වය ඉදිරියේදීත් අඛණ්ඩව සිදුවෙමින් ගලායනු ඇත. පෘථිවිය පාරිසරික වශයෙන් වෙනස්කම් වලට භාජනය වනවාසේම මිනිස් ශිෂ්ටාචාරයද අඛණ්ඩව පරිණාමය වෙමින් ඉදිරියටම ගලාගෙන යමින් පවතියි. එය කිසිදාක නවතින ක්‍රියාවලියක්ද නොවේ. ගල්යුගය, එඬේර යුගය, කෘෂිකාර්මික යුගය සහ කාර්මික යුගය වැනි යුග ගණනාවක් පසු කරමින් මිනිස් ශිෂ්ටාචාරය වත්මන් යුගයට අවතීරණය වී ඇත. මේ යුගයේ ලෝක ප්‍රවණතාව නිවැරදිව ග්‍රහණය කරගෙන එකී තත්වයන් අපේ ජාතික අවශ්‍යතා හා සමග නිසිලෙස ගලපාගැනීමට නොහැකි වන්නේ නම් අපටද සිදුවන්නේ ඩයිනොසෝරයන්ට සිදුවූ දේමය.

ලුතිනන් කර්නල්
චන්න කරුණාරත්න

Comments