මේ කෙල්ල අර ගෑනි­මයි | සිළුමිණ

මේ කෙල්ල අර ගෑනි­මයි

සෝමා ජයකොඩි 

සළොස්වක පුන් සඳ වැහි වලා පෙළක ග්‍රහණයට අසුවය. ඉන්මිදී පලා යෑමේ උත්සාහයක් ගනිමින් සිටින සැටියක් ද වරින් වර තුනී වලාවන් විනිවිද පෙනේ. එය සොඳුරු සිතුවමක් ද කටුක දසුනක්දැයි සිතට ද‍ැනෙන නොදැනෙන තරමින් සිතමින් නරේන්ද්‍ර පෙරදිග අහස්තලය දෙස බලා සිටියේ තවත් බලා‍පොරොත්තු සහගත ප්‍රබල සිතුවිල්ලක් සිත ඇතිවය.

නේෂන් වෛද්‍යවරයා කීවේ රාත්‍රි හත වන විට නරේන්ද්‍ර මුණ ගැසීමට බලාපොරොත්තු වන බවයි.

“සර්”

බන්දුල සඳැල්ලට ආවේය.

“කෝපි ගෙනාවා සර්.”

නරේන්ද්‍ර බන්දුල දෙසට හැරුණේ ය.

“මං කෝපි හදන්න එපා කිව්වෙ නැද්ද?”

නරේන්ද්‍ර ඇස‍ුවේ සැකයෙනි. මේ කෝපි බිඳකට හුරු පුරුදු වේලාවක් නොවේ.

“සර් කිව්වෙ චුට්ටක් වෙන්න හදන්න.”

“හ්ම්..”

බන්දුල කෝපි බඳුන නරේන්ද්‍ර අතට දී ආපසු හැරුණේය.

“මං රෑ කෑමට එළියට යනවා. කෑම එපා.”

නරේන්ද්‍ර කීවේ මඳක් හඬ නඟාය.

“හොඳයි සර්”

මේ සැන්දෑව වැදගත් සාකච්ඡාවකටය. මේ සැන්දෑව නේෂන් වෛද්‍යවරයා සමඟ රාත්‍රි ආහාරයට නිවෙසින් පිටතට යෑමටය. රෝජා සඳපාණි පියා සමඟ ඒ දැයි අවිනිශ්චිතය. ඇය පිළිබඳව කිසිවක් නේෂන් කීවේ නැත.

නරේන්ද්‍ර නැවතත් අහස දෙස බැලුවේ වුවමනාවෙනි. වලාකුළු ග්‍රහණයෙන් මිදී නිදහස ලත් සඳ වේග ගමනකය. ප්‍රිය වියොව වලාකුළට දැරිය නොහැකි වූවා මෙනි. බලාපොරොත්තු රහිත වැහි බිදු කඳුළු කැට සේ කඩා හැලෙන්නට විය.

“කොහෙ තිබුණ වැස්සක් ද මේ?”

නරේන්ද්‍ර තමාගෙන් ම ඇසුවේය.

පූර්ණ චන්ද්‍රාලෝකය, කඩාවැටෙන වැහි බිඳු තුළට පිවිසෙන්නට වූයේ චමත්කාරජනකය දසුනක් මවමිනි. සංවේදී පෙම්වතකු හඬන ප්‍රියාවියකගේ කඳුළෙන් කම්පා වූවා සේය. සඳ එළිය, වැහි බිඳු කෙරෙහි අනුකම්පා සහගතව ආලෝකාලිංගනයෙන් දයාව දැක්වූයෙන් කඩා වැටෙන වැහි කඳුළු වර්ණවත් විය. එය මහපොළොව මත හැපෙමින් විසිරෙනු නරේන්ද්‍ර දුටුවේ අසීමිත සතුටක උද්වේගකර රංගනයක් මෙනි.

අහස නිහඬව සඳ එළිය සහ වැහි බිඳු රැඟුම බලා සිටී. තාරකා තැන තැන ඇත. උන් නිහඬ ශෝකයක ගිලී හෝ ඊර්ෂ්‍යා සිතින් පාෂාණභූතවය.

‍”ස්වභාවධර්මයයි මනුෂ්‍ය ජීවිතයයි අතර තියෙන සම්බන්ධය පුදුමාකාරයි. අදහාගන්නත් බැරි තරම්. මිනිස් හැඟීමකින් පවා සොබාදහමට ආලේප වෙනවා.”

නරේන්ද්‍රගේ සිත කතා කරන්නට විය. මිනිසාට සොබාදහම තුළ සුවිශේෂි වැදගත්කමක් ඇත්තේ නිර්මාණශීලීව යමක් කියන්නට කරන්නට හැකි වීම නිසා ද? එහෙත් ඒ අබැටක් වන් වැදගත්කම අවබෝධ කර නොගැනීම තුළ මිනිසා මංමුළාව සිටී. එදා පෑවූ සඳ සුදු කිරණ විදා වැහි බිඳු තුරුලු කර ගත්තා සේ, මෙදා සඳ ද ඒ හුරු පුරුද්දෙන් ඈත් වී නැත. හෙට ද එය එසේම සිදු වනු ඇත.

වැහි කඳුළු එකවර ම වේගවත් විය. දෙතුන් විනාඩියකින් වේගය නිවී ගියේ නරේන්ද්‍ර සිතට සතුටක් දෙමිනි.

නේෂන්ට වර්ෂාව බාධාවක් වී නම් එය ඉවත් වී ඇත. නො එසේ නම් දියණිය තනිව නි‍ෙවසේ දමා ඒ මේ නොහැකියාව මතුවී ඇද්ද? රෝජා සඳපාණි සිතා මතා තමා මඟ හරින බවක් නරේන්ද්‍රට දැනෙන්නට පටන් ගෙනය.

“මේ ගෑනු ළමයා ගැන මගෙ හිතේ ඇති වුණේ මගේ ම දුවෙකුට වගේ ආදරයක්. ඒත් ඒක තේරුමක් නැති සිතුවිල්ලක් වුණා. මේ කෙල්ල අර ගෑනිමයි. අර ගෑනිමයි. එයාගෙ භූතාත්මෙමයි. ඔව් ප්‍රියදෝණි උඹ මාව තේරුම් ගත්තෙ නැහැ. නෑ. නෑ. උඹට බණින එක පාපයක්. මාව තේරුම් ගන්න මං උඹට ඉඩක් දුන්නෙ නැහැ. ඒකට මං දඬුවම් විඳින්න ඕන. නෑ දඬුවමක් නෙමේ. කවදා හෝ කරපු අකුසල්වල විපාක දීමක්. පණ්ඩිත ආච්චි. මාව තේරුම් ගන්න උත්සාහ කළේ නැහැ. ගෑනියෙකුට පුළුවන් මිනිහෙක්ගෙ ආත්මය උදුරලා අරන් පොළේ ගහලා චප්ප කරන්න. උඹ මට ඒක කළා. උපාසක ආච්චි. ඒත් කිව්වෙ මං උඹේ ආත්මය ලජ්ජාවට පත් කළා කියලා.”

නරේන්ද්‍රගේ සිත බෙහෙවින් විඩාබර විය. ප්‍රියදෝණි මහමායා රෝජා සඳපාණිගේ වෙස් ගෙන තමා රිදවන්නේ යයි හැඟීමෙන් මිදීමට නොහැකිකම මේ වියපත් සමයට ඔරොත්තු නොදෙන හෝ නොගැළපෙන බරක් යයි ඔහු සිතුවේ පසුතැවිල්ලෙනි.

අතීතය සිහිනයක් පමණකැයි පිළි නොගන්නා සිතකට කුමන බලපෑමක් කරන්නද? සසර ගමනේ යථාර්ථය කුමක්ද? එක් වීමකට වියෝවීමකට සමුගැනීමකට පලා යෑමකට කොතරම් අර්ථ දුන්නත් කුමන අර්ථ දුන්නත් ඒ සියල්ල සුණු විසුණු කර දමමින් ප්‍රේමය ද වෛරය ද නොදන්නා ස්ත්‍රී පුරුෂ බැඳීමක් මේ සා සිත් වේදනාවක් ඇති කරන්නේ යයි කෙසේ පිළිගන්නද? කිසිවෙකුට පවසා සිත සැහැල්ලු කර ගැනීමේ උත්සාහයක යෙදුණොත් එහි අවසානය කුමක් වේද? “මේ මිනිසා නොව මේ මන්ත්‍රිවරයා උමතුවෙන් යයි මුහුණු පොතට” වැටෙන්නට ඉඩ ඇත.

බොහෝ කාලයක් තමගේ සිතින් ඉවත් ව ගොස් යයි විශ්වාස කළ ගැහැනිය, එසේ නොගොස් හද පත්ලේ ගැඹුරක තුළ සැඟවී කල්යලා බලා පිටතට පැමිණ රෝජා සඳපාණි තරුණිය හා මිතුරුදමක් ඇති කර ගෙනය. තමා ඇයට දුන් දුක් නිග්‍රහ අපහසා උසුළු විසිළු සරදම් පිළිබඳව ඇය තරුණ මිතුරිය දැනුවත් කර ඇත.

“ඔව් මං වැරදියි. මං හැසි‍රුණේ මනුෂ්‍යයෙක් විදිහට නෙමේ සතෙක් විදිහට. මට.. මට... ඒ කාලෙ ගෑනියෙක් කියන්නෙ පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩයක් විතරයි. ගැහැනියකට ශරීරයක් විතරක් නෙමේ වචන තියෙනවා, හිතක් තියෙනවා කියලා මං හිතුවෙම නැහැ. ඒත් මං උඹට හුඟක් ආදරය කළා. වෙන ගෑනු දිහා බලන ඇස් දෙකෙන් නෙමේ මං උඹ දිහා බැලුවෙ. උඹ ඒක තේරුම් ගත්තෙ නැහැ.

මට කේන්ති ඒකයි. පිරිමියෙකුට පුළුවන් ද ගෑනියෙක් ළඟ දණින් වැටෙන්න? උඹ මට මොනවද නොකිව්වෙ? මං පුරුෂෝත්මකවාදියෙක් කිව්වා. පුරුෂාධිපත්‍යයෙන් හිස උදුම්මවා ගත්ත මිනිහෙක් කිව්වා. පෞරුෂවයේ ශක්තිය වැරදි විදිහට පාවිච්චි කරන නපුරු මිනිහෙක් කිව්වා.

 ඒ සේරම චෝදනාවල තිබුණෙ කඳුළු. ඒ කාලෙ මං ඔය වචනවල හැබෑ තේරුමවත් දැනගෙන හිටියෙ නැහැ. හෝඩියෙ ඉඳන් ඉංග්‍රිසියෙන් ඉගන ගත්ත මං කොහොමද ඔය ගාම්භීර අපබ්‍රංශ වචනවල තේරුම දන්නෙ? ඒ නිසා උ‍ෙඹ් කඳුළුවල වටිනාකම මට තේරුණෙ නැහැ වස්තුවේ. මට සමාවෙයන්. ඒත් පිං සිද්ධ වෙයි අර කෙල්ලට ආවේශ වෙලා මට දඬුවම් දෙන්න ලෑස්ති වෙන්න එපා. මම මං නැති වෙයි.”

වත්තට පිවිසෙන මහ ගේට්ටුව අතරින් ඇදී ආ මෝටර් රථයක හඬින් නරේන්ද්‍ර සිතුවිල්ලෙන් අවධි විය. නේෂන්ගේ අලුත් මෝටර් රථයට වැටුණ වැහි බිඳු තුළ ද සඳ එළිය දිලිසෙමින් තිබිණි. ඔහු සිත සදැල්ලෙන් පහළ ආලින්දයට යාමේ අදහසක් ඇතිව නැති විය.

“සර් දොස්තර මහත්තයා ඇවිත්.”

බන්දුල පණිවිඩය ගෙන ආවේ ය.

“දැක්කා. උඩට ම එක්ක එන්න.”

නරේන්ද්‍ර නැගිට ඔහුගේ කුටියට ගියේ කමිසයක් ඇඟ ලා ගැනීමටය. කමිසය ඇඟ ලා ගත් න‍රේන්ද්‍ර කැඩපත ඉදිරියේ සිට ගත්තේය.

“නරේන්ද්‍ර මාමා. අපි ආවා.”

බලාපොරොත්තු සහගත වුණත් ඉටු නොවේ යයි සිතූ ඒ මිහිරි හඬ ඔහ‍ුගේ දෙසවන් සනසවමින් කුටිය තුළට ඇදී ආවේය.

“ඩොක්ටර් වාඩිවෙන්න.”

නරේන්ද්‍ර කීවේ තරුණියගේ සොඳුරු වදන් කෙරෙහි සැලකිල්ලක් නැති ස්වරූපයෙනි. එවිට ඇගේ මුහුණෙහි කුමන වෙනසක් වන්නට ඇද්දැයි ඔහු සිතුවේ සිහින් උරණ හැඟීමක් ද ඇතිවය. සමහර විට පියා සමීපයේ සිටින නිසා ඇය සතුටු සිතින් කතා කළා වීමට පුළුවන.

“ඔය ගෑනු ළමයගෙ ඔළුවට එක එක විකාර දාන්නෙ රාහුලයි ම‍නෝහාරියි. අපරාධෙ කියන්න බැහැ. රාජඍෂි යි රවිහාරියි වළ දාපු අතීත කතා ගොඩ දාන්න හදන්නෙ නැහැ. මුං ළමයි නෙමේ රහස් පරීක්ෂකයො. අපේ ඇදකුද අපිට වරදිච්ච තැන් තමා හොයන්නෙ. හොයනවා විතරක් නෙමේ ඒවා බෙදා අරිනවා. ඒත් මුං නරක ළමයි නම් නෙමේ.”

නරේන්ද්‍ර කල්පනා කරමින් ම හිස පීරා ගත්තේය. අනතුරුව සෙමින් සෙමින් සදැල්ලට ගියේය. අසුන් ගෙන සිටි රෝජා සඳපාණී වහා නැගී සිටියාය.

“වාඩි වෙන්න. කෝ තාත්තා?”‍‍

“පහළ වොෂ් රූම් එකට ගියා.”

නරේන්ද්‍ර ඇය ඉදිරියේ පුටුවක හිඳ ගත්තේය. එතැන සිටද පුන්සඳ බැබළෙනු මැනවින් දසුනට අසුවෙයි. ඇය සිටියේ සඳ බැබළෙන අහසට පිටුපා ඔහුට මුහුණලාය.

“මොනවද පහුගිය දවස්වල මං ගැන හොයා ගත්ත අලුත් ‍තොරතුරු?”

ඔහු ඇසුවේ ඇය ලජ්ජාවට පත් කරමිනි. වරක් ඔහු දෙස බැලූ ඇය මුහුණ පහත් කර ගත්තාය.

“කතා කරනවා ගෑනු ළමයා. අරයා මෙයා මොනවද මං ගැන කිව්වෙ?”

රෝජා සඳපාණි හිස නැගුවාය. මේ මිනිහා තමාට අභියෝග කරනවා නොවිය හැකිද?

“නරේන් මාමා ගැන තොරතුරු හොයන්න නම් මට කිසිම ඕන කමක් නැහැ.”

“එහෙනම් කවුරු ගැන හොයන්න ද ඕනෑකම?”

“ප්‍රියදෝණි මහමායා මැතිනිය ගැන.”

“ඇයි එයාට නැන්දා කිව්වෙ? දැන් මොකද මැතිනිය වෙලා?”

“මාමා තාමත් ඒ අහිංසක මනුස්සයව බාල්දු කරනවා. පව්. ඒ වැරදිවලට දඬුවම් තමා ඔය විඳින්නෙ.”

“මං එයාට වැරදි කරලා දැන් දඬුවම් විඳිනවා? මොකක්ද මං විඳින දඬුවම?”

“ඔයාට බැහැ නරේන් මාමා එයාව අමතක කරන්න. ඔයා වගේ මනුෂ්‍යයෙකුටවත් ගෑනියෙක් හිතින් අයින් කරන්න බැරි නම් මට හිතා ගන්න පුළුවන් එයා නරේන් මාමාගෙ හිතේ කොතනද ඉන්නෙ කියලා.”

“මං කියන්නද ප්‍රියදෝණි ඉන්න තැන?”

“අනේ මහ පොළොව යට කියලා නම් කියන්න එපා.”

“නෑ දුව. ඔයා දන්නවා කපලා කොටලා ආපහු මූට්ටු කරපු හෘද වස්තුවක් මට තියෙන්නෙ. හරියට මැහුම් පාර නොවැටුණ හිස් තැනක තමා එයා ඉන්නෙ. දෙදරලා ගිය හිතක පුංචි හිඩැසක එයා ඉන්නවා. එයා පොළොව යටට යනවා දැක්කා නම් මට දුකෙන් වුණත් හිත හදා ගන්න තිබුණා.”

“නරේන් මාමා මොනවා කියනවද මන්දා?”

රෝජා සඳපාණි සංවේගාත්මක වූවාය. මේ මිනිසා මනෝහාරි හෝ රාහුල හඳුනාගෙන සිටින මිනිසා ම නොවේ. ඔවුන් දකින මිනිසාට වඩා හාත්පසින් ම වෙනස් අතිශයින් සංවේදී මිනිසෙක් ඔහු තුළ සිටී. සැඟවී සිටින මිනිසා පිටතට ගෙන මගේ සැබෑ ස්වරූපය බලන්නැයි ලෝකයට නොව එක් අයෙකුට හෝ ඇරියුම් කිරීමේ හැකියාවක් ඔහුට නැත. මහජනතාවක් විසින් තමා වෙනුවෙන් රාජ්‍ය පාලනයට තෝරා ගත් නියෝජිතයකුට උමතු ප්‍රේමවන්තයෙකු වීමට හැකිද? ඔහු කියන පරිදි ඔහු වගකීම් සහගත මහජන නියෝජිතයෙකි.

මේ නියෝජිතකමට නරේන්ද්‍ර රත්නවීර ආලෝකයක් විය යුතු බව ඔහු තදින් විශ්වාස කරයි. නියෝජිතකම නරේන්ද්‍රට ආලෝකයක් යයි වැරදි වටහා ගැනීමකට ඔහු ඉඩ තබන්නේ නැත. එය බොළඳ හැඟීමකි.

සියලු ම මහජන නියෝජිතවරුන් මැති ඇමතිකම්වලට ආලෝකයක් වීම දේශපාලන ප්‍රතිපදාවක් සේ ස්ථානගතව ඇත්නම් ර‍ෙට් වත්මන් දියුණුවට මෙන් ම අනාගත දියුණුවට ද නියත වශයෙන් ම ඉන් පිටිවහලක් ලැබේ.

එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ කුමක් ද? වාද විවාද ගුටි බැට හුවමාරුවලින් වෙහෙසට පත්වුණ පසු ස්වකීය ආසන මතම සිට සිහින මායා ජාලවල ඇලී වෙළී පැටලී නින්දට යාමය. මෙයින් නියෝජිත මන්ත්‍රි මණ්ඩලයට ඝන පූර්ණත්වයක් ඇතා නැතා කුමන ව්‍යවස්ථාවක් හෝ පනතක් සම්මත කර ගැනීමේ හැකියාව ඇත. නියෝජිත මන්ත්‍රි මණ්ඩලය පිටරටකට විකුණා දැමීම වඩා හොඳ බව නරේන්ද්‍රගේ අදහසයි. මන්ත්‍රිවරුන් නින්දේ හෝ කැලෑ පැන සිටින අවස්ථාවක ඡන්දය විමසීම වඩා ප්‍රතිඵලදායකය. 

 

Comments