
සුගන්ධි ආරියරත්න
රත්මලාන යනු අප රටේ තවත් වෙළඳ නගරයකි. වෙනත් ආකාරයකට කිවහොත් කර්මාන්ත පුරයකි. යුතු අයුතුකම් රැසක් සිදුවන පුරවරයකි. ඇතැම් තරුණ තරුණියෝ පෙම් සුව විඳීමට මේ නගරය තෝතැන්නක් කර ගනිති. සමහර තරුණියන් ප්‍රේමයේ නාමයෙන් ගැබ් ගනිද්දී ඒ සොඳුරු පුවත පැවසීමට පෙම්වතා සොයන විටයි දන්නේ ඔහු තවත් කැදැල්ලක හිමිකරුවෙක් බව. නැතිනම් ඔහු ඇය රවටා පලා ගොස් ඇති බව. එවන් තත්ත්වයන් යටතේ අසරණවන මෙම කතුන්ගෙන් බොහොමයකගේ අවසාන තීරණය වන්නේ ගබ්සාවය.
අතැම් තරුණියෝ ජීවිතයත් මරණයත් අතර වූ එවැනි තීරණයකට පැමිණ වේදනාවෙන් තම ප්‍රේමයේ බීජය විනාශකර දමද්දී තවත් පිරිසක් උපේක්ෂාවෙන් එම බීජයට ජීවය ලබා දෙති. තවත් විටෙක සිදු වූ වරද නිවැරැදි කර ගැනීමට නොහැකි වීමෙන් ප්‍රේමය විවාහය දක්වා ගෙන ගියද ඔවුහු සාර්ථක විවාහ ගත නොකරති. අවසන දරුවෝ මෙන්ම මවුවරු ද දුක් විඳිති.
මෙවන් තත්ත්වයක් යටතේ නිරන්තරයෙන්ම පවුලට ශක්තියක් වන්නේ මවයි. නමුත් අත දරුවකු ඇකයේ හොවාගෙන ගෙදර ආර්ථිකය සරි කර ගැනීම ඇයට දුෂ්කර කටයුත්තකි. කවුරුන් හෝ තමන් රැකියාවට ගොස් පැමිණෙන තෙක් තම දරුවා බලා ගන්නේ නම් එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වන්නේය. එවිට දරුවන් මහමඟ දමා යෑම්, මවු දෑතින් දරුවන් මරා දැමීම් වැනි සාපරාධී අපරාධයන්ට මඟ වැළකේ. රත්මලාන දේදුණු දිවා සුරැකුම් මධ්‍යස්ථානය ආරම්භව ඇත්තේ මෙවන් දුක් විඳිනා මවුවරුන්ගේ සහනය හා රැකවරණය සඳහාය.
ඇන්ටන් ජයකොඩි යනු දේදුණු දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයාය. ඔහු තරුණ කල දුප්පත්කමේ අන්තයේ සිට ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ අයෙකි. තමා උපයන ධනය ඵල රහිත දේ වෙනුවෙන් කැප නොකොට ඉතිරි කිරීම ඔහුගේ අරමුණ විය. ඔහු කාලයක පටන්ම තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කර ඉතිරි කරගත් දේ වැයකොට ප්‍රදේශයේ දුප්පත් පවුල්වලට උදව් කිරීමට කටයුතු කළේය.අවශ්‍ය දේ ලබා දීමට ඔහු කටයුතු කළේය.
“මං මුලදී කළේ දුප්පත් පවුල්වලට වියළි ආහාර ලබා දීමයි. ඒත් එය ප්‍රමාණවත් නැතැයි මට හිතුණා. ඉන් පස්සේ මම දිගින් දිගටම ආර්ථික වශයෙන් අපහසුතා ඇති අය වෙනුවෙන් යමක් කරන්නේ කොහොමද කියා මං සොයා බැලුවා. ඒ හොයාගෙන යනකොටයි දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් මේ කටයුත්ත ගැන මගේ මිත්‍රයෙක් මට අදහස දුන්නේ. ඒ අනුවයි මම දේදුණු දිවා සුරැකුම් මධ්‍යස්ථානය පටන් ගත්තේ.” යනුවෙන් ජයකොඩි මහතා පැවසීය.
දේදුණු දිවා සුරැකුම් මධ්‍යස්ථානය 1990 දී ආරම්භ කරන්නේ සුළු රැකියා කරන සුළු ආදායම් සහිත මවුවරුන්ගේ දරුවන් රැක බලා ගනිමින් එම මවුවරුන්ට ශක්තියක් වීම සඳහාය.
“මෙය ව්‍යාපාරයක් ලෙස දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යෑමක් නොවෙයි. අමාරුවෙන් ජීවිතය සොයන මවුවරුන් වෙනුවෙන් සේවයක් ඉටු කිරීමයි මට අවශ්‍ය වුණේ. සල්ලි අරගෙන දරුවන් බලා කියා ගැනීමක් මෙතැන වෙන්නේ නැහැ. අත මිටේ මුදල් නැති යමක් සොයා ගෙන ආර්ථිකය සරිකර ගැනීමට උත්සාහ දරන මවුවරුන්ට දිවා කාලයේදී ඔවුන්ගේ දරුවන් බලා දී උදව්වීමයි මෙතැනින් කෙරෙන්නේ.” යැයි ඔහු පවසයි.
මේ ස්ථානයේ මාස 3 සිට අවුරුදු 3 දක්වා වයස්වල දරුවන් රැක බලා ගනු ලැබේ. රත්මලාන වැනි කර්කශ පරිසරයක තුරු ලතාවන්ගෙන් ගහන සිසිල් සෙවණක් සහිත එම ස්ථානය කාගේත් සිත් සනහාලයි. එතැනට පා තැබූ සැණින් අපට ඇසුණේ ළදරුවන්ගේ සිනා හඬය.
දේදුණු දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කිරි කැටි දරුවෝ තිස් දෙනෙක් මේ වෙද්දී දිවා කල රැකවරණය ලබති.දරුවන්ගේ මවුවරුන් උදෑසන සිටම මෙතැනට දරුවන් ගෙනැවිත් හැරළති. එසේ පැමිණෙන දරුවන්ට මෙහිදී වෙනම පහසු ඇඳුමක් අන්දවනු ලැබේ. එතැන් සිට ඒ පුංචි දරුවන්ගේ මවු තනතුර බාර ගන්නේ ඉවෝන ජයකොඩි මහත්මියයි. ඇය දරුවන් වෙනුවෙන් පාන්දර හතරේ සිටම වැඩ අරඹන්නීය. සේවිකාවන් හත් දෙනෙකුගෙන් සමන්විත දේදුණු ළදරු නිවහනේ උදේ ආහාරය නිතිපතා සැකසෙන්නේ ඇය අතිනි. කිසි විටෙක දරුවන් අපහසුතාවයට පත් කරන පැම්පස් මෙහි දරුවන් වෙනුවෙන් භාවිතයට නොගන්නා අතර කපු රෙද්දෙන් නිම වූ පිරිසුදු නැප්කින් පමණක් භාවිතා කෙරේ. දරුවන්ට වතුර බීම සඳහා ඇති බෝතලයේ සිට ඇඳ ඇතිරිල්ල දක්වා ආරක්ෂා සහිතව ජීවානුහරණය කරනු අපි දුටුවෙමු.
මෙහි සිටින දරුවන්ගේ මුව පිරී ඇත්තේ හසරැල්ලෙනි. ඔවුන්ගේ සුරතල් වදන් එහි මොහොතක් ගත කල අපගේ සිත් පිනවාලීය. මාස 3 සිට අවුරුදු දෙකට අඩු දරුවන් නිරන්තරයෙන් සෙල්ලම් බඩු සමඟින් කෙළි දෙලෙන් කල් ගත කරද්දී අවුරුදු දෙක ඉක්ම වූ දරුවෝ පෙර පාසල් යෑමට පෙර ලැබිය යුතු මූලික දැනුම ලබති. එහිදී දරුවෝ ඉංග්‍රීසි උගනිති. සින්දු කියති. රූප හඳුනා ගනිති.
“දරුවන්ගේ කායික වර්ධනය වගේම මානසික වර්ධනය පිළිබඳවත් අපි නිරන්තර අවධානයෙනුයි ඉන්නේ. යම් දරුවෙක්ගේ බර අඩු වීමක් වගේ සියුම් දේවල් පවා තේරුම් ගන්න හැකි තරමටම දරුවන් එක්ක වැඩ කරලාම දැන් අපි හුරු වෙලායි ඉන්නේ. අපි මේ දරුවන් වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය උපදෙස් පවා ලබා ගන්නවා” ජයකොඩි මහත්මිය පැවසුවාය. දරුවන්ට අවශ්‍ය කිරි පිටි, විටමින් වර්ග, පැණි රස ආහාර මෙන්ම සෙල්ලම් බඩුද මෙහිදී දරුවන්ට නොඅඩුව ලැබේ.
මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ මෙම දරුවන්ගේ පවුල්වල තත්ත්වය සොයා බලා ඒ පවුල් වෙනුවෙන්ද කළ හැකි සියලු යුතුකම් ඉටු කරමින් දරුවන්ට පමණක් නොව ඔවුන්ගේ මවුපියන්ටද මඟ පෙන්වීමය.ශශිකලා සෙව්වන්දි වයස අවුරුදු 26ක දෙදරු මවකි. දරුවන්ගේ පියා ත්‍රීරෝද රථ රියැදුරෙකි. පවතින ආර්ථික අර්බුද හමුවේ සෙව්වන්දි සුළු රැකියාවක් කරන්නීය. තම කුඩා පුතු තබා රැකියාවට යෑම ප්‍රශ්නයක් වෙද්දී ඇයට පිහිට වූයේ දේදුණු දිවා සුරැකුම් මධ්‍යස්ථානයයි.
“මගේ දරුවාට දුප්පත් අපට දෙන්න බැරි තරම් සැප පහසුකම් මෙහිදී ලැබෙනවා. මුලින් දරුවා පුංචි නිසා දාලා යන්න හිත නොදුන්නත් දරුවා අපිට වඩා සුරක්ෂිතව බලා ගන්නා නිසාම මෙහි රැඳවූවා. මගේ මේ දරුවට විතරක් නෙමෙයි ලොකු පුතාට උවමනා විටමින් පවා අපට මෙහෙන් ලැබෙනවා. අපෙන් මාසෙකට වරක් කොළ මිටියක්, පරිප්පු කිලෝවක් , එළවළුවක් වගේ දෙයක් විතරයි දෙන්නේ. ඒත් අපේ දරුවන්ට රෑ කෑම එක, සෙල්ලම් බඩු, විටමින් වර්ග වගේ ගොඩක් දේවල් ලැබෙනවා.” යැයි සෙව්වන්දි පැවසුවාය.
පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කරන ලද ආයතනයක් වන මෙය රටේ පිළිගත් පුණ්‍යායතනයක්ද වේ. දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගියද මේ හරහා සිදු වන්නේද මවකගේ යුතුකම් නොවන්නේද? මවුවරුන්ගේ දිනය යෙදී ඇති අද වන් දිනක ලොව පුරා මවු ගුණ සැමරෙද්දී අන් මවුවරුන්ගේ දරුවන්ට සැබෑම මවුවරුන් වී සිටින මේ සැවොම කාගේත් පැසසුමට ලක් විය යුතුය. මවුවරුනි, ඔබත් සුළු රැකියාවක් කරමින් සුළු ආදායමක් උපයන මවක් නම් ඔබේ දිවියට ශක්තියක් වන්නට දේදුණු නිවහන සෑදී පැහැදී සිටී.