
සුභාෂිනි ජයරත්න
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය මේ වන විට මහත් උත්සවශ්‍රීයෙන් ලංකාවේ පැවැත්වෙන්නේ පෙර වසරවල නොවූ තරමට බෞද්ධයන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය වඩමිනි. මෙම ජාත්‍යන්තර උත්සවයේ නිල වෙසක් කලාපය මේ වන විටත් පාර්ලිමේන්තුව අසල දියවන්නා වෙසක් කලාපයේ පැවැත්වෙන අතර අති අලංකාර වෙසක් සැරසිලිවලින් මේ මාවත අලංකරණය කර තිබීම සුවිශේෂය. දියවන්නා වෙසක් කලාපයේ වූ අපේම සැරසිලි අතර මෙවර බොහෝ දෙනෙකුගේ නෙත ගැටුණු අති දුලභ දුසුනක් ඔබට මතක ඇති. ඒ පාර්ලිමේන්තුව ඉදිරියෙන් ජපන් මිත්‍රත්ව පාරට මායිම් වූ වෙසක් කලාපයේ මුහුදු වැලියෙන් නිම කර තිබූ ලොව විශාලම වැලි බුද්ධ ප්‍රතිමාවයි. එහි දිග අඩි 40කට ආසන්නය.
ඉන්දිවේ ජන්ම භූමිය ලැබූ ලෝ ප්‍රකට වැලි නිර්මාණකරුවකු වන සුදර්ශන් පට්ටානයික් පසුගිය 8වැනිදා ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනාවකට අනුවය. ඒ බෞද්ධයන්ට සුවිශේෂ වූ මේ අසිරිමත් මොහොතේ සිය දෑතින් ලොව දිගම වැලි බුදු පිළිමය තනා ජාත්‍යන්තර බෞද්ධ උත්සවය වඩාත් අර්ථවත් කරන්නටය. විශේෂයෙන්ම ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් මිතුදම තවත් ශක්තිමත් කරන්නට සුදර්ශන් පට්ටානයික් ගේ නිර්මාණය හේතු විය.
දියවන්නා වෙසක් කලාපයේ මේ සුවිශේෂි නිර්මාණය කළ මේ ශිල්පියා කවුද ? බොහෝ දෙනකුට වූයේ කුතුහලයකි. මේ නිර්මාණ ශිල්පියාගේ හැකියාවෙන් බිඳක් ඔබට පවසන්නේ බෞද්ධයින් වන අප ඔහු කළ මේ සේවය ඇගයිය යුතු නිසාමය.
ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ පූරි නම් මුහුදු බඩ ගමක සුදර්ශන් උපත ලද්දේ දුප්පත්කම දායාද කර ගෙනය. ඔහුට ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගන්නට පවා මුදල් නොමැති විය. කුඩා කල සිටම ඔහුගේ වැඩි කාලයක් ගත වූයේ මුහුදු වැල්ලත් සමඟ හරඹ කිරීමටය. පූරි ගමේ රන්වන් වැල්ල ටිකෙන් ටික සුදර්ශන්ගේ ගමන වෙනස් මඟකට හැරවීය. ඉන්දියාවේ ජගන්නාත් දේවාලය මේ වැල්ල අසලම විය. බොහෝ ඉන්දියානුවන් පූරි ගමේ වූ මේ ජගන්නාත් දේවාලය වැද පුදා ගැනිමට පැමිණීම සිරිතක් විය. එලෙස පැමිණෙන සංචාරකයන්ට පෙනෙනන්ට සුදර්ශන් වැල්ලේ යම් යම් වැලි නිර්මාණ කළේය.
“ මා පාසල් යවන්න මගේ දෙමවුපියන්ට සල්ලි තිබුණේ නැතත් මම කොහොම හරි රජයේ පාසලකට ඇතුළත් වී ඉගෙන ගත්තා. පූරි වැල්ලේ මම විවිධ දේ නිර්මාණය කරන්න පටන් ගත්තේ කිසිම ඉගෙනීමකින් තොරවයි. ටිකෙන් ටික මේ රන්වන් වැල්ල මගේ නිර්මාණයන්ට ඉඩදී බලා හිටියා. මම පූරි වැල්ලේ විවිධාකාර දේ නිර්මාණය කළා. ජගන්නාත් විහාරය වැඳගන්න එන ඇතැම් සංචාරකයන් මගේ දේවල් අගය කළත් තවත් අය ඒ දෙස නොබලාම යන්න ගියා. ඒවා රැල්ලටම හේදිලා යන්න ගියා. සමහර මාධ්‍ය ඇවිත් මගේ නිර්මාණ පිංතූර අරගෙන ගියා. මට වයස අවුරුදු 12 කියන්නේ මගේ ජීවිතේ තීරණාත්මක කාලයක්. මේ වන කොට මම ගොඩාක් ප්‍රසිද්ධ වෙලා හිටියා වගේම ජාත්‍යන්තරයටත් ගියා. 1991දී මට පුළුවන් වුණා පූරි ගමේ ඉන්දියාවේ ප්‍රථම වැලි නිර්මාණ පුහුණු ආයතනය ඉදිකරන්න.........” සුදර්ශන් පවසයි.
කිසිදු ඉගෙනීමකින් හෝ හවුහරණයක් නැතිව ඉන්දියාවේ ඉහළටම පැමිණි ප්‍රථම වැලි නිර්මාණ ශිල්පියා සුදර්ශන් ය. ඉන්දියාවේ උසස්ම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ නිර්මාණකරුවන් පරද්දමින් රන් සම්මාන 50 කට ආසන්න ප්‍රමාණයක් දිනාගෙන ඇත. පූරි ගමේ උසම වැලි නිර්මාණය කරමින් ලෝක වාර්තාවක් තබන්නටද සුදර්ශන්ට හැකියාව ලැබුණි. සුදර්ශන් ලංකාවට පැමිණියේද මෙවන්ම වූ ලෝක වාර්තාවක් තබන්නටය. ඔහු මෙවර දියවන්නා වෙසක් කලාපයේ අඩි 50 ක් පමණ දිගට වැලිවලින් නිර්මාණය වූ ලොව දිගම බුදු පිළිමය කළේ ඒ ලෝක වාර්තාවට එහා ගිය උතුම් බුද්ධත්වයට පසුබිම සැපයූ තම දේශයටත්, බෞද්ධයින්ගේ නිජබිම වූ ශ්‍රී ලංකාද්වීපයටත් කරන්නා වූ ගෞරවයක් වශයෙනි.